----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

සාමා එන්න පොලිසියේ මල් පිපීදැයි බලන්න!

Saturday, March 12, 2011

සාමා එන්න පොලිසියේ මල් පිපීදැයි බලන්න!

පොලිසිය වටා මල් පාත්ති. ලස්‌සන ලස්‌සන පාට පාට මල් පිපිලා..." සාමා එන්න මල් පිපීදැයි බලන්න... "හෝඩි පොතේ තිබූ පාඩම මතක්‌ වේ. කූඩුවේ ඉන්න අපරාධකාරයෙක්‌ මාංචු පිටින් එළියට කැඳවාගෙන ආ ඕ.අයි.සී. මහත්තයා "චොප්පේ... එන්න මල් පිපිලාද කියලා බලන්න..." යෑයි බොහෝම හිතවත්ව ආදරයෙන් කියයි. "එන්න... එන්න... මෙයා පැමිණිල්ල පස්‌සේ දාමු.. අපි බලමු වත්තේ මල් පිපිලාද කියලා..." තරුණ පොලිස්‌ කාන්තාවක්‌ තොදොල් වෙමින් පැමිණිල්ලක්‌ දාන්න ආ වයසක අම්මා කෙනෙක්‌ගේ අතින් අල්ලාගෙන වත්තේ ඇවිද යන්නීය. මල් පැණි බොන්න ආ බඹරුන්ගේ රූං රූං හඬ, පැණි කුරුල්ලන්ගේ කීචි බීචි නාදය සිරකුටියටද ඇසේ. පාර තොටේ යන අයත් මල් පිපිලාදැයි බලන්න පොලිසිය තුළට එන්නට පෝලීම් ගැසී සිටිති... ඉන්න ඉන්න ඔයාලා හැම කෙනෙකුටම අවස්‌ථාව දෙනවා... මේ හැම දෙයක්‌ම ඉතිං ඔයාලාගේම තමයි "මුරකුටියේ ඉන්නා කොස්‌තාපල්වරයා සිනාමුසු මුහුණින් පවසයි.

මේ ඉතා නුදුරේදීම දිවයිනේ සෑම පොලිසියකම අපට දක්‌නට ලැබෙන දසුනක්‌ විය හැකිය. පොලිසිය, පොලිස්‌ නිලධාරියා කෙරෙහි ජනතාවගේ සිත්වල ආදරයක්‌ ඇති කළ යුතුය. ඒ නිසා සෑම පොලිස්‌ ස්‌ථානයක්‌ වටාම ඉදිකර තිබෙන තාප්ප කඩා දැමිය යුතුය. පොලිසිය තාප්පයකින් වෙන් කළ යුතු නොවේ. තාප්ප කඩා මල් වැවිය යුතුයි. එවිට පොලිසිය කෙරෙහි තිබෙන ජනතා ආකල්පය වෙනස්‌වනු ඇත. මේ පසුගියදාක පොලිසියට ඉහළින් ආ නියෝගයකි. ඒ අනුව මේ වන විටත් අගනුවර හා ඒ අවට පොලිස්‌ ස්‌ථාන කීපයකම තාප්ප කඩා බිමට සමතලා කර තිබෙන අයුරු අපට දක්‌නට ලැබිණි.

ඇත්තටම ජනතාවට පොලිසිය අරහං වී ඇත්තේ තාප්පය නිසාද... තාප්ප කැඩීමෙන් පසු පොලිසිය කෙරෙහි ඇති ජනතා ආකල්පය වෙනස්‌ වේවිද...

පොලිසියත් ජනතාවත් අතර කාලාන්තරයක පටන් තාප්පයක්‌ නැතිනම් පවුරක්‌ ඉදිව තිබෙන බව නම් සත්‍යයකි. එය ගලක්‌ බැඳි තාප්පයක්‌ නොවේ. අකාරුණික බව, කෲර වධහිංසාව, අල්ලස, ඇතුළු තවත් විවිධ අකටයුතුකම් නමැති පවුර නිසා පොලිසිය ජනතාවගෙන් ඈත්ව තිබේ. සැබවින්ම කඩා බිඳ දමා පොළවට සමතලා කළ යුත්තේ මේ පවුර මිස ගලින් බැඳි තාප්පය නොවේ.

තාප්පයකින් වටවූ පොලිස්‌ ස්‌ථාන තුළ විය යුතු දැ මෙන්ම නොවිය යුතු දැත් සිදුවේ. එනිසා තාප්ප කඩා මල් වවන්න තීරණය කළා යෑයි සිතිය හැකිය. ඒත් තාප්පය කැඩූ පමණින් ගොඩනැඟිල්ල තුළ සිදුවන දෑ ජනතාවට නිරා වරණය වේද.

රාජ්‍ය ආයතන අතුරින් දූෂිතම ආයතනය පොලිසිය බව පසුගිය කාලයේ විවිධ සමීක්‍ෂණ වාර්තා පෙන්වා දුන්නේය.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ඉතා වැදගත් මහත්වරුද සේවය කරති. ඒත් මහත්වරුන්ට වඩා සිටිනුයේ මහත්හොරුය. පොලිස්‌ දෙපාර්තමේන්තුව වසර සියයකට වඩා පැරැණිය. මේ කාලය තුළදී පොලිසිය වෙතින් සාමාන්‍ය ජනතාව ඈත් වූවා මිස ළං වීමක්‌ සිදුවූයේ නැත.

පණ පිටින් අත්අඩංගුවට පත්වන සැකකරුවන් දිනකට දෙකකට පසු යළි නිවසට එන්නේ පෙට්‌ටියකිනි. අඟුලාන තරුණයන් දෙදෙනාගේ ඝාතනය එක්‌ උදාහරණයක්‌ පමණි. බම්බලපිටිය මුහුදේදී පොලිස්‌ නිලධාරියකු අහිංසකයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ ශෝක ජනක සිද්ධිය ද තවත් උදාහරණයකි. ඒ පොලිසිය කෙරෙහි ජනතාව තුළ ඇති වැරදි ආකල්පය තිව්‍ර කළ සිද්ධීන් දෙකකි.

මුදල් සහ වෙනත් වාසි තකා පොලිස්‌ පැමිණිලි පොතේ පිටු ගලවා පැමිණිලි යට ගැසීම සාක්‌කි සටහන් අතුරුදන් කිරීම ද ඇතැම් පොලිස්‌ ස්‌ථානවල සිදුවන්නකි. බොහෝ පොලිස්‌ ස්‌ථානවල වත්තපිටිය ශුද්ධ කරන්නේ හෙරොයින්වලට ඇබ්බැහි වූවන්ය. ඔවුන්ට දවසේ දීමනාවක්‌ ගෙවනු ලබයි. ඒ මුදලින් නොව හෙරොයින්වලිනි. දවසේ වැඩ නිමවූ පසු කුඩු පැකැට්‌ටුවක්‌ පොලිසිය විසින්ම අදාළ තැනැත්තාට ලබාදේ. මෙවැනි සිද්ධියක්‌ අඟුලාන ද්විත්ව ඝාතන නඩු විභාගයේදී ද මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේ සාක්‌කිකරුවෙකු අනාවරණය කළේය. එය ඇසූ විනිසුරුවරයාද මවිතයට පත්විය.

සැකකරුවන් සමග අත්අඩංගුවට ගන්නා හෙරොයින් රස පරීක්‍ෂකවරයා වෙත උසාවිය හරහා ඉදිරිපත් කරන්නේද පොලිසිය විසිනි. එහෙත් අවසානයේදී රස පරීක්‍ෂකවරයාගේ නිගමනයට අනුව පොලිසිය එවූ කුඩු පැකැට්‌ටුවේ ඇත්තේ පාං පිටිය. හෙරොයින් නැත. සැකකරු නිදහස්‌ය.

පොලිස්‌ නිලධාරීන් දිනපතා තමන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරයි. සැකකරුගේ ඥතීන් ද උදෑසනම පොලිසියට පැමිණේ. සිගරට්‌, සිසිල් බීම වලින් පොලිස්‌ නිලධාරීන්ට සංග්‍රහ කිරීමට මේ ඥතීන්ට සිදුවේ. ඒ සැකකරුට අගතියක්‌ වේ යෑයි බියෙනි. දිවා ආහාර වේලද මේ ඥතීන්ගෙනි. චයිනිස්‌ රෙස්‌ටුරන්ට්‌ එකක නමක්‌ කියන පොලිස්‌ නිලධාරියා සැකකරුගේ ඥතින් ලවා උසාවියේ පොලිස්‌ මුරපළ වෙත පයිඩ් රයිස්‌, බුරියානි ගෙන්වා ගනී. සැකකරුට අගතියක්‌ වේ යෑයි බියෙන් ඔවුන් පොලිස්‌ නිලධාරීන්ට දිවා ආහාරය ද ලබාදේ. (ඇතැම් පොලිස්‌ නිලධාරීන් මෙවැනි ක්‍රියාවන්ට විරුද්ධ බවද මෙහිදී සඳහන් කළ යුතුය.) මේ ආකාරයට සැකකරුගෙන් කන බොන පොලිස්‌ නිලධාරියා විවෘත අධිකරණයේදී ඔහු වෙනුවෙන් කළ ගුණ දක්‌වයි. "ස්‌වාමිනී සැකකරු ඇප මත මුදා හරිනවාට විරුද්ධ නැහැ..." යෑයි පොලිස්‌ නිලධාරියා විනිසුරුවරයාට පවසයි. පොලිසියේ ඉල්ලීම මත සැකකරුට ඇප ලැබේ.

කුඩු, ගංජා, කසිප්පු මෙන්ම ගණිකා නිවාස වැටලීම සඳහා ද පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායම් පිටින් පොලිස්‌ ස්‌ථානයෙන් පිටව යති. අදාළ වැටලීමට පෙර කුඩු ජාවාරම්කරුට, ගංජා, මුදලාලිට, කසිප්පු මුදලාලි සහ ගණිකා නිවාසයේ මැඩම්ට පොලිසිය පැමිණෙන බවට "නිව්ස්‌" එක ලැබී අවසන්ය. ජීප් රියට නැඟීමට පෙර වැටලීමේ කණ්‌ඩායමේ නිලධාරියකුම අදාළ ජාවාරම්කරුට ඔත්තුව ලබාදී අවසන්ය.

පොලිසිය ඇතැම් විට කිසිදු වරදක්‌ නොමැති අහිංසකයන් සැකපිට අත්අඩංගුවට ගනී. ප්‍රදේශවාසීන්, ඥතීන් සියල්ලෝ ඔහු අහිංසක බව දනී. එහෙත් පොලිසියට ඔහු අපරාධකාරයෙකි. නොකළ වැරදි ගැන අසමින් පහර දෙති. අවසානයේ ඔහු අහිංසකයකු බව පොලිසිය ද වටහා ගනී. එහෙත් ප්‍රමාද වැඩිය. පහරදී ඇත. නිදහස්‌ කළොත් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව එල්ල වේ. එනිසා පොලිසිය මේ චෝදනාවෙන් ගැලවීමට උපක්‍රම යොදයි. ඒ අහිංසකයා අපරාධකරුවෙකු බවට පත් කිරීමය. අහිංසකයා සන්තකයේ කුඩු හෝ ආයුධ, නැතිනම් බෝම්බ තිබූ බවට චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කරයි. නිර්දෝෂී පුද්ගලයා රිමාන්ඩ් බාරයට පත් කරයි. පොලිසිය අහිංසකයන් දරුණු අපරාධකරුවන් බවට පත් කරන්නේ ඒ ආකාරයටය.

මහමග සැඟවී සිට රථ වාහන වැරදි කරනතුරු බලා ඉන්නා පොලිස්‌ නිලධාරීන් වාහනය නතර කරති. උසාවි යැම කරදරයක්‌ බව දන්නා රියෑදුරෝ ගොඩින් ප්‍රශ්නය විස¹ ගනී. ඇතැම් පොලිස්‌ නිලධාරීන් දඩ කොළය සඳහා වැරදි හදති. රියෑදුරා අත කිසිදු වරදක්‌ නැතත් අඩුම ගානේ වාහනයේ විදුලි පහනක්‌ නැතැයි චෝදනා කරමින් හෝ දඩ කොළ ලියන අවස්‌ථා ඇත. දේශපාලකයන් නිසා අසරණ වන පොලිස්‌ නිලධාරීන් සමස්‌ත පොලිස්‌ දෙපාර්තමේන්තුවට අපහාසයක්‌ ලෙස හැසිරෙන අවස්‌ථාද දක්‌නට ලැබේ. විරුද්ධ පක්‍ෂවල විරෝධතා උද්ඝෝෂණවලට පහර දෙන මැරයන්ට ආරක්‍ෂාව දීමට ඇතැම් පොලිස්‌ නිලධාරීන්ට සිද්ධ වන්නේ දේශපාලන බලධාරීන්ගේ නියෝග මතය. පසුගියදාක කොළඹදී සරසවි සිසු උද්ඝෝණයකට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කළ ආකාරය ඉන් අපහසුතාවටම පත්වූ සරසවි සිසුන්ගේ දසුන අතිශය දුක්‌බරය. එහෙත් සරසවි සිසුන්ගේ පැත්තෙන් ගත්කල ඔවුන් මේ අරගල කරනුයේ අනාගත පරපුරේද අයිතිවාසිකම් රැක ගැනීමටය. අද ඔවුන්ට පහර දෙන පොලිස්‌ නිලධාරියාගේ දරුවාට ද හෙට මේ අයිතිවාසිකම් භුක්‌ති විඳීමේ අවස්‌ථාව වෙනුවෙන් ඔවුහු අරගල කරති.

අප මේ සඳහන් කළේ පොලිස්‌ නිලධාරීන් විසින් සිදුකරන ජනතාවට අප්‍රසන්න ක්‍රියාවන් කිහිපයක්‌ පමණි. පොලිසිය සහ ජනතාව වෙන් කරන්නේ එවැනි දේය. දෙපාර්ශ්වය වෙන් කරන පවුර එයයි. එහෙත් ජනතාවගේ මේ ආකල්පය වෙනස්‌ කරන්න ආණ්‌ඩුව උත්සාහ කරන්නේ පොලිසියේ තාප්ප කඩා බිඳ දමමින් නම් එය නිශ්ඵල ක්‍රියාවකි. කළ යුත්තේ පොලිස්‌ නිලධාරීන්ගේ ආකල්ප සහ ක්‍රියා කලාපයන් වෙනසකට ලක්‌ කිරීමය.

තාප්ප වෙන් කිරීමෙන් ජනතාව ළංකර ගත හැකිනම්, ජනතා විශ්වාසය ගොඩනැංවිය හැකිනම් ඉදිරි මැතිවරණවලදී අපේක්‍ෂකයන් ලෙස තරග වදින ලොකු ලොක්‌කෝද තම නිවෙස්‌ වටා ඉදිකර ඇති මහා ප්‍රාකාර කඩා බිඳ දමනු ඇත. එසේ නම් ඉදිරියේදී අරලියගහ මැඳුරේ තාප්පය ද කඩා බිඳ දැමීම නොකර සිටීද.

පොලිසියේ ඉහළම තලයේ සිටින අයෙකුගේ බිරියට ද බැක්‌ අප් රථවලින් ආරක්‍ෂාව ලබාදෙන බව පසුගියදා රටම දැන ගත්තේය. ඒ සිදුවූ හදිසි අනතුරක්‌ නිසාය. අදාළ ජ්‍යෙෂ්ඨතම නිලධාරියාගේ බිරියට ආරක්‍ෂාව සපයමින් වේගයෙන් ආ ජීප් රියකට අහිංසක යතුරුපැදිකරුවෙක්‌ ගැටී මරණයට පත්විය. පොලිස්‌ නිල දරුවෙකුගේ බිරියක්‌ මෙතරම් වේගයෙන් යන රාජකාරි කටයුත්ත කුමක්‌ද... ඇයට ආරක්‍ෂාවට බැක්‌අප් රථ අවශ්‍යද... මේ ජනතාවගේ සිත් සතන් තුළ ඇතිවන ප්‍රශ්නය.

තාප්ප කඩන්නේ පොලිස්‌ ස්‌ථානය කෙරෙහි ජනතාවට ප්‍රසාද ජනක හැඟීමක්‌ ඇති කරවීම සඳහා යෑයි යමෙකුට පැවැසිය හැක. එසේ නම් අප පෙරකී ස්‌ථානයන්හි ද තාප්ප කඩා බිඳ දැමිය යුතුය. පාසල්, පල්ලි, පන්සල් ආදියේ ද තාප්ප කඩා බිඳ දැමීය යුතුය.

තාප්ප කඩා දැමීමෙන් පොලිසිය හා පොලිස්‌ නිලධාරීන් කෙරෙහි ඇති ජනතා ආකල්පය වෙනස්‌ වේද යන්න ගැන තීරණය කිරීම ජනතාවටම භාර කරමු.

අජිත් අලහකෝන්

Copy Rights -Diwayina

1 comments:

Anonymous said...

niyama lipiyake machan

Post a Comment