ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක
ප්‍රියංකර රත්නායක කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. රූපණවේදියෙකි. නාට්‍යවේදියෙකි. සෝමලතා සුබසිංහගේ ‘විකෘති’ වේදිකා නාට්‍යයේ රංගනයෙන් දායක වෙමින් වේදිකාවට ප්‍රවිෂ්ට වූ ඔහු ‘කෙකින්න’, ‘අසිනමාලි’ ප්‍රමුඛ වේදිකා නාට්‍ය රැසක රංගනයෙන් ද සකලජන, මූදු පුත්තු වැනි නාට්‍යවල වේදිකා කළමනාකරණයෙන් ද දායක වූයේ ය.
ෆ්‍රිට්ස් බෙනවිට්ස්ගේ ‘හුණුවටයේ කතාව‘ නාට්‍යයෙහි ද රැඟූ ඔහු රෝගියා, වන සරණ (තිසාහාමි) පිටගම්කාරයෝ (නිහාල්) වනස්පති (රන්කිරා), ප්‍රමුඛ ටෙලි නළු රාශියක ද තුන්වැනි ඇහැ, ඉරැස්මා, ප්‍රභාකරන් ඇතුළු චිත්‍රපට රාශියක ද ප්‍රමුඛ චරිත රඟපෑවේ ය. ‘දොරකඩ මාරාව‘ චිත්‍රපටය සඳහා ප්‍රියංකර සම තිරරචනයෙන් දායක විය.
කලකට පෙර ‘ඊඩිෆස්’ නාට්‍යය නිර්මාණය කළ ඔහු ‘අද වගේ දවසක ඇන්ටිගනි’ සමඟ යළිත් වේදිකාව ආක්‍රමණය කර ඇත.
සොෆර්ක්ලීස්ගේ ‘ඇන්ටිගනී’ ග්‍රීක නාට්‍යය 60 දශකයේ මහාචාර්ය රංජනී ඔබේසේකර ඉංග්‍රීසි භාෂාවෙන් ද 1994 සෝමලතා සුබසිංහ සිංහල භාෂාවෙන් ද නිෂ්පාදනය කළා. ඔබ වසර 7 කට පමණ ඉහත ‘ඊඩිෆස්’ නාට්‍යය නිර්මාණය කළා. ‘ඇන්ටිගනී’ නාට්‍යය කෙරෙහි ඔබේ අවධානය යොමු වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන් යැයි මට සිතෙනවා.
ඔව්. ‘ඇන්ටිගනී’ සොෆර්ක්ලීස් නමැති විශිෂ්ට නිර්මාණකරුවාගේ නාට්‍ය ත්‍රිත්වයකින් එකක්. මේවා නාට්‍ය ත්‍රිත්වයක් ලෙස හැඳින්වුවත් මේ නාට්‍යවල චරිත අතර සම්බන්ධයක් තිබුණා. නමුත් මේවා වෙන වෙනම කතන්දර තුනක්. පළමුවැන්න ‘ඊඩිෆස්’. මේ නාට්‍යය මම වසර 7 කට පමණ පෙර නිර්මාණය කළා. ඊඩිෆස් නාට්‍යය නිෂ්පාදනය කළ සමයේ හා එය හැදෑරූ සමයේ මා ග්‍රීක නාට්‍ය බොහෝ ගණනක් කියැවූවා. ඒ අතරට ‘ඇන්ටිගනී’ නාට්‍යයත් අයිතියි. සෝමලතා සුබසිංහ මහත්මියගේ ‘ඇන්ටිගනී’ නාට්‍යයත් මා නැරඹුවා. නමුත් එය මගේ නිෂ්පාදනයට බලපෑමක් වුණේ නැහැ. මා කෙරෙහි බලපෑවේ වෙනත් කරුණක්. මා ‘ඇන්ටිගනී’ නාට්‍යය කියැවූවේ 1988 - 1989 කාලයේ. එය ඉතා අර්බුදකාරි, ඛේදජනක සිදුවීම් රාශියක් අසන්නට දකින්නට ලැබුණු භීෂණ යුගයක් බව මා අමුතුවෙන් කිව යුතු නැහැ.
එදා බාල, තරුණ, මහලු භේදයකින් තොරව ජීවිත ගණනාවක් ඉතා ඛේදජනක ආකාරයට මිය ගියා. මෙය අපගේ හෘද සාක්ෂියට බලපෑ ප්‍රශ්නයක්. ඒ සමඟ ‘ඇන්ටිගනී’ නාට්‍යය කියවන විට අපට වැටහෙනවා. මේ ඛේදවාචකය ඉතා බරපතළ ලෙස දිගින් දිගටම අපේ සමාජයෙහි සිදු වූ බව. නිසි ගෞරවය නොලැබී මේ පොළොවේ වැලළුණු සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සෑම වර්ගයකම පුරවැසියන් සිටියා. තවත් සමහරු තම ඥාතියා මිය ගොස් නැතැයි සිතා සොයනවා. අතුරුදන් වූවන්ගේ සංවිධාන අපේ රටේ බිහිවුණා. ‘ඇන්ටිගනී’ නාට්‍යය නිෂ්පාදනය කිරීමට මට බලපෑවේ මේ කරුණයි.
එසේ නම් මේ එළි දුටුවේ දශකද්වයක කාලයක් ඔබ නිර්මාණය කිරීමට තැත් දැරූ නාට්‍යයක්.
මේ නාට්‍ය නිර්මාණය කිරීම ප්‍රමාද වීමට හේතුවක් තිබෙනවා. නාට්‍යයක් නිර්මාණයේදී එය ගුණාත්මක අතින් පෝෂණය කර ගැනීමට නම් එමඟින් ගොඩනැඟෙන වටපිටාවත් පොහොසත් විය යුතුයි. එනම් මෙය සාර්ථකව ඵල දරන්න මුදල් ඕන. ඒ නිසා මේ නිර්මාණය පමා වුණා. නාට්‍යයක් කිරිමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලැබුණාට පසුව මා තෝරාගත්තේ කාලාන්තරයක් පුරා මගේ හිතේ පැලපදියම් වෙලා තිබුණු ‘ඇන්ටිගනී’. FLICT නමැති ආයතනය අපට මුදල් අනුග්‍රහය දැක්වූවා. ඒ හැරුණු විට කැලණිය විශ්වවිද්‍යාලයේ අප (නාට්‍ය හා රංග කලා) අධ්‍යයන අංශයත් මීට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා.
මෙරට නාට්‍ය කලාවට විශ්වවිද්‍යාල ඇදුරන්ගෙන් ඉටුවූ මෙහෙවර අමතක කළ නොහැකියි. මහාචාර්ය ඊ.එෆ්.සී. ලුඩොවයික්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවේගම, මහාචාර්ය රංජනී ඔබේසේකර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය තිස්ස කාරියවසම් මේ අතරින් සුවිශේෂයි. එහෙත් මේ සියලු සරසවි ඇදුරන් නියෝජනය කළේ සිංහල, ඉංග්‍රීසි හා ජනසන්නිවේදන අධ්‍යයනාංශ. නාට්‍ය හා රංග කලා විෂයයෙහි ම නියැළී නාට්‍ය තැනූ ප්‍රමුඛ සරසවි ඇදුරා ඔබයි .
මා උගන්නන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අධ්‍යයනාංශයේ. මගේ ශාස්ත්‍රීය පර්යේෂණාගාරය තමයි රඟහල. පුරාවිද්‍යා ආචාර්යවරයකුට පුරාවස්තු නටබුන් පිහිටි ස්ථානත්, භූගෝල විද්‍යා ආචාර්යවරයකුට භූගෝලීය සාධක තිබෙන තැනුත් එසේ ම විද්‍යා ආචාර්යවරයකුට විද්‍යාගාරයත් පර්යේෂණාගාර බවට පත්වෙනවා. මගෙන් දැනුම ලබන විද්‍යාර්ථින්ගේ පර්යේෂණාගාරයත් රඟහලයි. අලුත් විදියට අප සිතිය යුත්තේ මෙතැනදීයි. ‘අද වගේ දවසක ඇන්ටිගනි’ නාට්‍යය එක් අතකින් ආචාර්යවරයා වන මටත්, අප අධ්‍යයනාංශයේ විද්‍යාර්ථින්ටත් පර්යේෂණාගාරයක්.
ඊඩිෆස්’ නාට්‍යය නිෂ්පාදනයෙන් පසුව ඔබ සොෆර්ක්ලීස් ගේ නාට්‍ය ත්‍රිත්වයේ තෙවැන්න වෙත යොමු වෙනවා. සොබාදහම සහ මිනිසාගේ සබඳතා ග්‍රීක නාට්‍යවල මූලික ලක්ෂණයක්. සොබාදහමේ නීතිය සහ රාජ්‍ය නීතිය අතර ගැටුම මේ නාට්‍ය ත්‍රිත්වයේ ම සියුම් හුයක් ලෙස බැඳී තිබෙනවා.
‘ඇන්ටිගනි’ සොෆර්ක්ලීස්ගේ ප්‍රකට නාට්‍ය ත්‍රිත්වයේ තුන්වැන්නයි. ‘ඊඩිෆස්’ සහ ‘කොලෝ නස් හි ඊඩිෆස්’ හි ඇතුළත්වන්නේ ඔහුගේ පුරාවෘත්තය. ඊඩිෆස් රජු තමාගේ මවු බව නොදැන ඇය බිසව කොටගත් නිසා එය දැනගැනීමෙන් පසුව ඇස් අන්ධ කරගන්නවා. පළමු නාට්‍යය එතැනින් නිමයි. ‘කොලොනස් හි ඊඩිෆස්’ නාට්‍යයට ඇතුළත් වන්නේ ඇස් අඳ ඊඩිෆස් රජු පිටුවහල් වී ගිය පසු ඔහුගේ මරණය සිදුවීම දක්වා වූ කතා පුවතයි.
‘ඇන්ටිගනි’ නාට්‍යයේ දැක්වෙන්නේ මෙවැන්නක්. රාජ්‍යයේ අයිතිය දිනාගැනීම සඳහා ඊඩිෆස් රජුගේ පුතුන් දෙදෙනා අරගල කරනවා. මින් එක් පුතෙක් පැනගොස් වෙනත් රාජ්‍යයක් එකතු කොටගෙන තම සොහොයුරාගේ රාජ්‍යයට එරෙහිව කැරැලි ගහනවා. මෙහි ප්‍රතිඵලය ලෙස මේ දෙදෙනාම මිය යනවා. ඉන්පසු බලයට පත්වන්නේ ඉඩිෆස් රජුගේ ඥාති සොහොයුරා. එනම් ඔහුගේ බිරියගේ සොහොයුරා. රජකම ලැබූ පසු බාප්පා නීතියක් පනවනවා. එනම් රට වෙනුවෙන් සටන් කළ පුත්‍රයාට නිසි රාජ්‍ය ගෞරව දී ආදාහනය කළ යුතුයි. නමුත් රටට විරුද්ධව කැරැලි ගැසූ පුත්‍රයාට ඒ ගෞරවය ලබාදීම සපුරා තහනම්. යම් පුද්ගලයකු එසේ කළහොත් ඔහුටත් මරණීය දණ්ඩනය හිමිවිය යුතුයි. මෙය රටේ නීතියක්. ඊඩිෆස් රජුට පුතුන් දෙදෙනකු පමණක් නොව දූවරු දෙදෙනෙක් ද සිටිනවා. ඉන් එක් දුවක් තමයි ‘ඇන්ටිගනී’. ඇය මේ නීතියට විරුද්ධව නැඟී සිටිනවා.
තමාගේ එක් සහෝදරයකුට අවශ්‍ය ගෞරවය ලබාදුන්නා වගේම අනෙක් සහෝදරයාටත් අවසාන ගෞරවය ලබාදිය යුතු බවත් නැත්නම් එක් සහෝදරයකුට අසාධාරණයක් සිදුවන බවත් ඇය පවසනවා. මේ නාට්‍යයේ එක් තැනක ඇන්ටිගනී ලේ ඥාතිත්වය ගැන විශේෂ ප්‍රකාශයක් කරනවා. එනම් සැමියෙක් නැතිවුණොත් එක්කෙනෙක් නැත්නම් තව කෙනෙක් ලබාගත හැකියි. පුතෙක් නැතිවුණොත් වෙනත් සැමියකු ලවා හෝ පුතෙක් ලබාගත හැකියි.
සහෝදරයෙක්, මවක්, පියෙක් නැතිවුණොත් නැතිවුණාමයි. නැවත ලබාගත නොහැකියි. ඇන්ටිගනී මේ ප්‍රශ්නය මතු කරනවා. එක් සොහොයුරකුට නිසි ගෞරවය නොදුන්නොත් තමා මියගිය පසු මළවුන්ගේ ලෝකයේදී සොහෙයුරා, මව, පියා හමුවූ විට මා ඔවුනට මුහුණදෙන්නේ් කෙසේද? මිනිසාගේ ජීවත්වීම සඳහා සොබාදහමෙන් නීතිපනවා තිබෙනවා. උපත, විවාහය, මරණය ආදී මිනිස් ජීවිතයේ ප්‍රමුඛ සිද්ධීන් මේ සොබාදහමේ නීතියට අනුව සිදුවෙනවා. මරණයෙන් මතු ලෝකය බොහෝදෙනාගේ විශ්වාසයක්. විශ්වාස නොකරන අය තුළ පවා මරණයෙන් මතු ලෝකය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් මනුෂ්‍යයා ශිෂ්ටාචාරගත වූ පසුව ශිෂ්ටාචාරය විසින් ඇති කරන ලද සිරිත් විරිත් සම්මත රැකගන්න වෙනම නීතියක් හැදුණා.
සමාජයේ අර්බුදකාරී වන්නේ රාජ්‍ය පවත්වාගෙන යාමට සකස් කළ නීතියත් සොබාදහමේ පැවැත්ම සඳහා බිහිවූ නීතියත් එකිනෙක ගැටීම නිසා. සොබාදහමේ නීතිය විසින් බිහිකරන ලද මනුෂ්‍යයා විසින් තමයි රාජ්‍යයේ නීතිය සකස් කොටගෙන තිබෙන්නේ. මනුෂ්‍යයා සිටින්නේ මේ නීති දෙකට අතරමැද. ඇන්ටිගනී මුහුණදෙන හෘද සාක්ෂියේ ප්‍රශ්නයයි. ඇගේ බාප්පා මුහුණ දෙන රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ ප්‍රශ්නයයි දෙකම බැලුවම සාධාරණයි. නමුත් එක් නීතියක් ඉටුකරගන්නාවිට අනෙක් නීතිය බිඳෙනවා.
නාට්‍යයේ හැටියට මේ දෙදෙනාම ඛේදවාචක දෙකකට මුහුණපාන අයුරු පෙනෙනවා. බොහෝ දේශපාලනික දේවල්, මනුෂ්‍යයා සම්බන්ධ දේවල් අද මේ මොහාතෙත් අපගේ ජීවිතය ඇතුළේ, සමාජය ඇතුළේ සිදුවෙමින් තිබෙනවා. ඒ නිසා මේ නාට්‍යය වසර දෙදහස් පන්සියයකට එපිට ලියැවුණත් හෙට දවසටත් ඒ ආකාරයෙන් වලංගුයි. සර්වකාලීනයි. මේ සංවාදය පියා පුතු අතර, පියා දියණිය අතර, සහෝදර සහෝදරියන් අතර ගොඩනැඟෙනවා. එනම් නාට්‍යය ගොනුවන්නේ රාජ්‍යයේ ප්‍රධාන පුරවැසියෝ පස්දෙනා අතර.
අප රටේ සමාජ දේශපාලන, ආර්ථික, සංස්කෘතික ගැටලු පාදක කරගැනීමේදී බහුතර නාට්‍යකරුවන් එහිලා විදෙස් සම්භාව්‍ය නාට්‍ය කෘතීන්ගේ් පරිවර්තන කෙරෙහි යොමුවන්නේ එදා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් දැක්වූ පරිදි සෞන්දර්යාත්මක පරතරය (Aesthetic Distance) නමැති සංකල්පය නිසාද?
ස්වතන්ත්‍ර වුවත් පරිවර්තන වුවත් නාට්‍ය, නාට්‍යමයි. ස්වතන්ත්‍ර නාට්‍යකරුවෝ බහුලව බිහිවෙන්නේ නැහැ. අපේ රටේ වුණත් හොඳ ස්වතන්ත්‍ර නාට්‍යකරුවෝ හතර පස්දෙනයි බිහිවුණේ. හැබැයි මේ ස්වල්පය බිහිවෙන්න නම් හොඳ පරිවර්තන නාට්‍ය සාහිත්‍යයක් අපට තිබිය යුතුයි.
නාට්‍ය කලාවේ ගැඹුරට ගියාම ලෝකයේ සෑම තැනකම නාට්‍ය එකයි. ග්‍රීක නාට්‍ය දෙවියන් සමඟ බැඳී තිබෙනවා. සමහර දෙවිවරු පෙරදිග රටවලින් බටහිරට ගිය අය. ග්‍රීසියේ ඩයොනීසියස් පර්සියාවෙන් එරටට ගිය දේව ඇදහිල්ලක්.
ශේක්ස්පියර්ගේ ඇතැම් නාට්‍යයක්, බ්‍රෙෂ්ට්ගේ සමහර නාට්‍යයක් විවිධ තැන්වලින් උකහාගත් කතාවස්තු පාදක කොටගනයි, නිර්මාණය වුණේ.
බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාව අපගේ උම්මග්ග ජාතකයේ එන කතාවකට සමානයි. උසස් නාට්‍යකරුවෝ තමන්ගේ නාට්‍ය සඳහා මූලාශ්‍ර තෝරා ගැනීමේදී පෙරදිග අපරදිග බේදයක් සැලකුවේ නැහැ. ඕනෑම හොඳ නාට්‍යයක් වින්දනාත්මක වීමත් ප්‍රේක්ෂකයනට සමීප වීමත් ඉතා වැදගත්.
අනෙක එහි මනුෂ්‍යයා පිළිබඳ සියුම් විග්‍රහයක් තිබිය යුතුයි. හොඳ ස්වතන්ත්‍ර නාට්‍යයක් ලිවීම සඳහා ලෝක නාට්‍ය සාහිත්‍යය හැදෑරීමෙන් ලැබෙන පරිචය වැදගත් වෙනවා.
1 comments:
"Oedipus" "Ada wage dawasaka Antigone" ekama wedikawaka narabana dawasa wedi ethaka nowana bawa mata wiswasai,
Post a Comment