----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

හස්තිකාන්ත මන්තරය අපූරුයි

Wednesday, March 30, 2011

හාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර 1956 දී අති සාර්ථක ‘මනමේ’ නිර්මාණයෙන් පසුවද සිය නාට්‍ය පර්යේෂණ අත්හළේ නැත. 1961 දී සිංහබාහු නාටකය නිර්මාණයට පෙර අන්තර් කාලයේ දී වෙනත් ශෛලීයේ නාට්‍ය හතරක් නිර්මාණය කෙළේ ය. පේමතෝ ජායතී සෝකේ (1957) කදා වළලු (1958) එලොව ගිහින් මෙලොව ආවා (1959) සහ රජයේ කලායතනයේ නාට්‍ය මණ්ඩලය වෙනුවෙන් 1959 දීම හස්තිකාන්ත මන්තරේ නිෂ්පාදනය කර බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ රඟ දැක් වූයේ ය.

එතුමා එම නිෂ්පාදනයට එවක රජයේ කලායතනයට සම්බන්ධව සිටි කලාගුරු පණීභාරත සංගීතපති ලයනල් එදිරිසිංහ සංගීත විශාරද කේ. ඒ. දයාරත්න ද සිල්වා චිත්‍ර විශාරද ස්ටැන්ලි අභයසිංහ සහ ඇස්. පී. චාල්ස් වැනි විද්වතුන් සම්මාදම් කර ගත්තේ ය; එම නිෂ්පාදනය අපට නරඹන්නට ලැබුණේ නැත. පණ්ඩිත් අමරදේව - සෝමබන්ධු විද්‍යාපති - බෙන් සිරිමාන්න – බැස්ටියන් කවිකේශව - හෙන්රි ජයසේන – ට්‍රිලීෂියා අබේකෝන් (පසුව ගුණවර්ධන) වැනි ප්‍රවීණයන්ගේ දායකත්වයෙන් නිර්මිත හස්තිකාන්ත මන්තරේ ජන රංග සභා නිෂ්පාදනය දැක බලා ගැනීමට අපට හැකි විය.

එම පරිපූර්ණ නිෂ්පාදනයෙන් අපි නොමඳ ආස්වාදයක් ලැබුවෙමු. එහෙත් විස්මයට පත් වුයේ නැත. මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ කෘතහස්තභාවය සමඟ එක් වූ විශිෂ්ට රංගන ශිල්පීන් විශාරදයන්ගේ දායකත්වයෙන් එවන් ආස්වාදකර සාර්ථක නිර්මාණයක් බිහිවීම විස්මය දනවන සිදුවීමක් නොවන බැවිනි. එහෙත් ඉන් 51 වසරකට පසු ඉකුත් ජනවාරි 17 වැනිදා හස්තිකාන්ත මන්තරේ ලලිතා සරච්චන්ද්‍ර නිෂ්පාදනය දුටු අපි අමන්දානන්දයට පත් වුවා සේම, විස්මයට ද පත්වීමු. මන්දයත්, නර්තනවේදී රවිබන්ධු විද්‍යාපතිත්, රංගන ශිල්පී සනත් විමලසිරිත් හැරුණු විට අවශේෂ දුහුනත් පිරිසක් සමඟ රංගනය, ගායනය, නර්තනය, සහිත මේ සා සාර්ථක නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීම දුෂ්කර කටයුත්තක්.

හස්ති කාන්ත මන්තරේට කේන්ද්‍ර වන්නේ බෞද්ධ සාහිත්‍යයේත් සංස්කෘත සාහිත්‍යයේත් විවිධාකාරයෙන් දැක්වෙන උදයන වෘතාන්තයයි. අවන්ති දේශයේ උජ්ජේනී නගරයේ රාජ්‍යය කළ චණ්ඩපජ්ජෝත රජු තම සතුරු උදයත රජු සතු හස්තිකාන්ත මන්තරේ ලබා ගැනීමට දරන මූලෝපායික ප්‍රයත්නයත්, ඔහු පිනවීමේ අටියෙන් යථාර්ථය වසන් කරමින් දෙන උපදෙස් නිසා රජුගේ අභිලාෂය පමණක් නොව, සිය දියණියන් අහිමිකර ගැනීම උපහාසවූ බයෙන් සරච්චන්ද්‍ර විවරණය කරයි. දඹදිව උජ්ජේනීපුර මැති ගණ සෙව්නා රාජ සභාවක සිදුවන සමස්ත නාට්‍ය ක්‍රියාවලිය සියුම් කලාත්මක ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කළ රීතියක් අනුව යමින් මෙම නිෂ්පාදනය එළි දැක්වීමට ලලිතා සරච්චන්ද්‍ර සමත් වන්නීය. හස්තිකාන්ත මන්තරේ සරච්චන්ද්‍ර නිෂ්පාදනය නොදුටු බැවින්ම, ලලිතා සරච්චන්ද්‍රම අනුකාරක ලක්ෂණවලින් තොර නිර්මාණයකට අවශ්‍ය ශික්ෂණය ලැබී තිබේ.

දීර්ඝ කාලීන සරච්චන්ද්‍ර සේවනයත්, මනමේ, සිංහබාහු, කදා වළලු, එලොව ගිහින් මෙලොව ආවා සහ විශේෂයෙන් සංස්කෘත නාට්‍ය ශෛලියට අනුගත රත්නාවලී නාට්‍යය අධ්‍යක්ෂණයේදීත් පරිශීලනයේ දීත් ලත් පරිචය, හස්තිකාන්ත මන්තරේ සාර්ථකත්වයට උපකාරී වී තිබේ. මෙහි එන කේන්ද්‍රීය චරිත උදයන රජු (සනත් පියසේන) මණ්ඩපජ්ජෝත රජු (ජානක මුණසිංහ) වාසුලදත්තා (ලක්ෂාණී අමරතුංග) සහ බිසව (කුමාරි මැණිකේ) මැනවින් තෝරා ගැනීමටත් මෙහෙයවීමටත් අධ්‍යක්ෂවරිය සමත්ව සිටී. “මේ මුළු නාට්‍යයෙහිම හාස්‍යය මිස, බැරෑරුම් උපදේශයක් නැති බවත් රසිකයන්ට සවසක විනෝදය ලබාදීම” තම අභිලාෂය බවත් සරච්චන්ද්‍රයන් ප්‍රස්තාවනාවෙහි සඳහන් කළ ද වෙල්ලවැහුම් හෝ එලොව ගිහින් මෙලොව ආවා මෙන් පෙළ සරල නොවේ.

හස්තිකාන්ත මන්තරේම දුර්ලභ රාගයකින් නිෂ්පන්න සංගීත ප්‍රබන්ධයක් බව කියැවෙයි. එාජ සභා වන්දීන්, පඬිවරුන් වැනි භූමිකා අළලා සර්ග සහිත කාව්‍ය ප්‍රබන්ධ, සංගීත ශාස්ත්‍රයෙහි එන රාග රාගිනීන් සහ ව්‍යාකාරණාදී විෂය පිළිබඳ සාකච්ඡා වෙයි. එසේම හාස්‍යය දනවන නාටකයක් වුව, මෙහි එන ගීත සියල්ල රාග පදනම් කරගත් ශාස්ත්‍රීය ගීත ලක්ෂණ සහිත නිර්මාණ බවට පත් වෙයි. පුරසඳ මඩලෙන් වඩින ඇතාණෝ යනුවෙන් ඇරැඹෙන හස්තිකාන්ත මන්තරේ මෙන්ම, හිරුද චන්ඩය, රැසක් මණ්ඩය, මනු ලෝ සරණයි ආදී ගී ශාස්ත්‍රීය පදනමින් යුක්ත වීම නිසා මෙම නාටකයේ පෙළ අපූරු සුන්දරත්වයකින් යුත් වියමනක් බව ද කිව යුතු ය. භාෂා - සංගීත සාහිත්‍ය කලාවන්හී පාරප්‍රාප්ත සරච්චන්ද්‍රයන් මෙහි දී කාව්‍ය ශාස්ත්‍රය සංගීත ශාස්ත්‍රය හා ව්‍යාකාරණ ශාස්ත්‍රය භාවිත කරන්නේ උදාංමවේ එන සේනක, පුක්කුස, කාවින්ද, දේවින්දාදී පණඩිතයන් සතර දෙනා සිහිගන්වන, සැබෑ ශාස්ත්‍රවන්තයින් නොවන, චාටු බස් දොඩන පඬිවරුන් ව්‍යාකරණ විධි නියමයන් නමැති පඹගාලේ පැටලී හස්තිකාන්ත මන්තරය තේරුම් කර දීමට නිරර්ථක වෑයමක යෙදීම උපහාසයට ලක් කිරීමටයි.

හස්තිකාන්ත මන්තරේ යනු හස්තිකාන්ත නම් දුර්ලභ රාගයකින් බැඳුණු සංගීත ප්‍රබන්ධයක් බව කියා සංගීත ශාස්ත්‍රය ගැන හසරක් නොදන්නා මණ්ඩපජ්ජෝත රජු මුලාකර සරදමට ලක් කිරීමටයි. නාට්‍යයේ සමුදයාර්ථයට හානියක් නොවන පරිදි නාට්‍ය පිටපත ද හඬ දූතයා, අධිකරණ ඇමැති වැනි චරිත ද සංස්කරණය කොට, විශිෂ්ට නිෂ්පාදනයක් කිරීමට ලලිතා සරච්චන්ද්‍ර සමත්ව සිටී. උදයත රජුගේ රංගාවතරණය වාසුලදන්තාගේ රංගාවරණය අවස්ථා රවි බන්දු විද්‍යාපති කථක් නර්තනයේ සියුම් අංග භාවිතයෙන් විචිත්‍රාකාරයෙන් ඉදිරිපත් කරයි. ඒ දෙදෙනා එක්වීම ලයාන්විත සංගීතයකින් ද වර්ණවත් වෙයි. බොරු ඇතාගේ ගමන් විලාසය පඬිවරුන්ගේ ගමන් තාල ද්වන්ධ සටන පූර්වාකරයෙන් ගෙන හැර දැක්වේ. උදයන රජුගේ වාසුලදත්තාගේ ගායනා කුසලතා කැපී පෙනේ.

කාලයට දේශයට හා භූමිකාවත්ට ගැලපෙන රංග වස්ත්‍රාභරණ හා වෙස් නිර්මාණ ඉහළ ප්‍රමිතියක තිබිණි. උදයත චණ්ඩපජ්ජෝත වාසුලදත්තා ඇතුළු සියලු දෙනාගේ රංගනයෙන් හස්තිකාන්ත මන්තරේ පෝෂණය කර ගැනීමට අධ්‍යක්ෂවරිය සමත් වෙයි. හස්තිකාන්ත මන්තරේ ලලිත සරච්චන්ද්‍ර නිෂ්පාදනය උසස් පෙළ සිංහල, නාට්‍ය හා රංග කලාව, සෞන්දර් බාහිර උපාධි විෂය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නොව, අර්ථවත් රසපූර්ණ නාට්‍යයක පරිපූර්ණ ආස්වාදය පතන සිංහල නාට්‍ය රසික ජනතාවට අපූරු අත්දැකීමක් වනු නිසැක ය.

Copy Rights - Dinamina

0 comments:

Post a Comment