----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

බොරු ආඩම්බර චරිතවලට මම කොහෙත්ම කැමැති නෑ

Monday, March 28, 2011

බොරු ආඩම්බර චරිතවලට මම කොහෙත්ම කැමැති නෑ

මනීෂා නාමල්ගම

පාසල් වියේ පටන් විවිධ කලා හැකියාවන් ප්‍රකට කළ මනීෂා ජාතික රූපවාහිනියේ මුතුහර වැඩසටහනින් කලා ලොවට පිවිසි තැනැත්තියකි. මනීෂා රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය සහ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ගණනාවක්ම මේ දිනවල සෑම රූපවාහිනී නාලිකාවකින්ම විකාශය වනු දැකගත හැකිය.

මේ දිනවල ඔබ නිරතවී සිටින කලා කටයුතු මොනවාද?

ටෙලිනාට්‍ය කිහිපයකම රූපගත කිරීම්වලට සහභාගී වෙනව. ඒ වගේම දකුණු ඉන්දීය චිත්‍රපටයක රූපගතකිරීම්වලටත් සහභාගී වෙනව. මම රංගනයෙන් දායක වුණු සුදත් රෝහණගෙ ‘ස්වයංජාත’, සමන් කුමාර ලියනගේගෙ ‘සඳගිරි පව්ව‘, චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘සුවඳයි පාන්දර’, ටිකිරි රත්නායකගෙ ‘ආදර වසන්තයක්’ වැනි ටෙලිනාට්‍ය කිහිපයක්ම මේ දිනවල විවිධ රූපවාහිනී නාලිකාවල විකාශය වෙනවා. ඒ වගේම මම සහභාගිවුණු අලුත් වෙළෙඳ දැන්වීම් කීපයක්ම මේ දවස්වල රූපවාහිනියෙන් දැකගන්න පුළුවනි .

ඔබ රඟපෑ චිත්‍රපට පිළිබඳව සඳහන් කළොත්..?

මම මේ වන විට චිත්‍රපට අටකට දායකවෙලා තියනවා. එයින් 3ක්ම දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපට.

ද්‍රවිඩ චිත්‍රපටවල සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණෙ කොහොමද?

ඒකට ගොඩක්ම හේතුවුණේ මගෙ බාහිර පෙනුම. දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරු කියන්නෙ මගෙ පෙනුම කේරළ, මලයාලම් තරුණියකගෙ වගේ කියල. ඒ නිසා වෙන්න ඕන මට දකුණු ඉන්දීය චිත්‍රපට කීපයකම වැඩ කරන්න අවස්ථාව ලැබුණේ.

රඟපෑම ඔබේ වෘත්තියද?

ඔව්. රඟපෑම මගේ වෘත්තිය.

ඔබේ කලා කටයුතුවලට සැමියාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

මගෙ සැමියා සරත් නාමල්ගම. ඔහු රංගන ශිල්පියෙක් වගේම ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක්. අපි විවාහ වුණු මුල් කාලෙදි සරත් මම රඟපානවට වැඩි කැමැත්තක් දැක්වූවේ නෑ. නමුත් දැන් ඔහු මගෙ වැඩකටයුතුවලට සම්පූර්ණ සහයෝගය ලබා දෙනව. මම ඕනෑම නිර්මාණයක් බාරගන්න ඉස්සරවෙලා ඔහුගෙන් අහනව. ඔහු සමඟ ඒ නිර්මාණය ගැන කතාබහ කරනවා. සරත් මට ඒ හැමදේකම හොඳ නරක කියල දෙනව. මගෙ නිර්මාණවල හොඳම විවේචකයා මගෙ සැමියා.

ඔබේ පවුලේ තොරතුරු?

මමයි මගෙ සැමියයි තමයි අපේ පවුල. අපි සතුටින් ඉන්නව.

නවීන විලාසිතාවලට ඔබ කැමැතිද?

විලාසිතා කරන වයසේ ඉන්න කෙනෙක් හැටියට මම ඉතාම කැමැතියි නවීන විලාසිතාවලට. ඒත් මම හැම තිස්සෙම කරන්නෙ මගෙ වයසට, මගෙ තත්ත්වයට, තැනට අවස්ථාවට ඔබින විලාසිතා. තව කෙනෙක් කරන්නන් වාලේ විලාසිතා කරල සමාජයේ සිනහවට ලක්වෙන්න මම කැමැති නෑ.

ඔබ නිරූපණය කරන්න කැමැති චරිතයක් තියෙනවද?

මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් කාලයක් ගත වුණත් මම කැමැති චරිතයක් කරන්න මට තවම අවස්ථාව ලැබිල නෑ. හැබැයි මට විශ්වාසයි මට ඕනෑම චරිතයක් නිරූපණය කිරීමේ හැකියාව තියෙනව කියල. ඒ නිසා ප්‍රේක්ෂකයින්ට දැනෙන රංගනයක් ඉදිරිපත් කරන්න මම හරිම ආශාවෙන් ඉන්නෙ.

රංගනයෙන් තොරව විවේකයෙන් ඉන්න අවස්ථා කොහොමද ගෙවෙන්නේ?

මට තරමක් විවේකය අඩුයි මේ දවස්වල. ඒත් ඉඩ ලැබෙන අවස්ථාවල පොතක් කියවීම මම හරිම කැමැති දෙයක්. ඊට අමතරව මගෙ කාලයෙන් ගොඩක් වැය වෙන්නෙ සමාජයේ නැති බැරි අයට උදව් කිරීමට. මම ඒක ප්‍රසිද්ධියේ කරන දෙයක් හෝ විලාසිතාවක් ලෙස කරන දෙයක් නෙමෙයි.

මම මේ සමාජයට, මිනිසුන්ට හරිම ආදරෙයි. ඒක මම පුංචි කාලෙ ඉඳලම මා තුළ තිබූ දෙයක්. ඒ නිසා මට හැකි අයුරින් අන් අයට පිහිට වෙනවා. අපේ සමහර කලා ශිල්පීන් ප්‍රසිද්ධියට සමාජ සේවයෙ යෙදෙනව. ඒත් තමන් ළඟ වාඩිවෙලා ඉන්න සහෝදර කලා ශිල්පියගෙ මූණ බලල හිනාවෙන්න උත්සාහ කරන්නෙ නෑ. ඒක හරිම කනගාටුවට කරුණක්.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ඔබ ගරු කරනවද?

ඇත්තෙන්ම ඔව්. තමන් නිරතවෙලා ඉන්න ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ගරු කිරීම ඕනෑම ක්ෂේත්‍රයක සිටින පුද්ගලයකු තුළ තිබිය යුතු ගුණාංගයක්. ඕනෑම ක්ෂේත්‍රයක් පවතින්නේ ඒ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ට නවීනයන් දක්වන ගරු සැලකිල්ල මත කියලයි මම හිතන්නෙ.

ඔබ ආඩම්බරද?

නැහැ, කොහෙත්ම නෑ. හැබැයි මම බොරු ආඩම්බර චරිතවලට කොහෙත්ම කැමැති නෑ.

කලා ක්ෂේත්‍රයේ ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?

කලා ක්‍ෂේත්‍රය තුළ ලොකු බලාපොරොත්තු මගේ නෑ. මට ලැබෙන නිර්මාණයට හොඳින් දායකවීමයි මගේ බලාපොරොත්තුව. අද මේ ක්‍ෂේත්‍රයේ තැනක් ලැබෙන්නෙ දක්ෂතාවලට වඩා දැනහැඳුනුම්කම්, මිත්‍රකම් වැනි විවිධ හේතු මත. නිර්මාණ ලැබෙන්නෙ ඔවුන්ට. ඒක ක්ෂේත්‍රයට හානියක් වගේම කනගාටුවට කරුණක්. ඇතැම් වේලාවලට මේ ක්‍ෂේත්‍රය ගැන කලකිරීමක් ඇති වෙනව. ඒ කලකිරීම නිසා ඉදිරියේදී මම රටින් පිටවෙලා යන්නත් ඉඩ තියෙනව.

0 comments:

Post a Comment