----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

බූරුවා මහත්තයා කැටුව එන මනෝ

Sunday, March 13, 2011

බූරුවා මහත්තයා කැටුව එන මනෝ

එදිනෙදා ජීවිතයේදී අපි මුහුණ දෙන දේවල් අනුව වෙලාවකට අපට හිතෙනවා බූරුවෙක් මහත්තයෙකුට ඇඳලද, එහෙමත් නැත්නම් මහත්තයෙක් බූරුවෙකුගෙ තත්ත්වයට වැටිල ද කියලා. එහෙත් ඒ ගැන ප්‍රශ්න කරන්න හෝ විවරණය කරන්න සාමාන්‍ය ජනතාවට නම් අවස්ථාවක් ලැබන්නෙ නැති තරම්. නමුත් ප්‍රතිනිර්මාණය තමන්ගේ මාධ්‍ය කොට ගත් කලාකරුවා සමාජයේ ඕනෑම දෙයක් තම නිර්මාණ ප්‍රතිභාවෙන් ප්‍රශ්න කරන්න අවස්ථාව සලසා ගන්නවා. ප්‍රවීණ නිර්මාණකරුවකු හා රංගන ශිල්පියකු වන ජයලත් මනෝරත්න ‘බුරුවා මහත්තයා’ නම් තම නවතම නාට්‍යයත් සමඟ මේ මස 11 – 12 යන දිනයන්හිදී ලුම්බිණියට ගෙඩ වදින්නෙ ඛේදාන්ත ප්‍රහසනයක් ඔබ හමුවේ දිග හරින්නයි. මේ කතා බහ ඒ නිමිත්තෙනුයි.

* මෙවර ඔබේ නවතම වේදිකා නාට්‍යයට පදනම වැටෙන්නෙ අලුත්ම තැනකින්?

ඇත්තෙන්ම ඔව්. ක්‍රිෂාන් චන්දර් කියන උර්දු ලේඛකයාගේ ‘Mr Donkey’s Autobiography’ නව කතාව ගුණතිලක මැටියගනේ සිංහලයට පරිවර්තනය කළා ‘සත් ගුණවත් බූරුවා මහතාගේ ස්වයං ලිඛිත චරිතාපදානය’ කියල. මෙන්න මේ නව කතාව කියවද්දී මට හැඟී ගියා මේ කතා වස්තුවට සාහිත්‍යයෙන් ඔබ්බට යන්න පුළුවන්ය කියලා. වචනවලට සීමා වෙලා ඇති දේ රූප බවට පත් කරන්න පුළුවන්ය කියලා. ඒකට හේතුව මේ පරිවර්තනය ඒ තරම්ම සජීවියි. නවකතාව කියවද්දී හිතෙනවා චිත්‍රපටයක් ද මේ බලමින් ඉන්නෙ කියලා. ඒ නිසා මම හිතුවා මේක වේදිකාවට ගේන්න ඕනය කියලා. අනිත් අතට වඩාත් දුෂ්කර සේකරගේ ප්‍රබන්ධ කාව්‍ය ‘ලෝකය තනි යායක්’ කියන නමින් වේදිකා රංගයක් හැටියට සාර්ථක කරන්න අපට පුළුවන් වුණු නිසා තාත්ත්වික ගණයේ නවකතාවක් වේදිකාවට ගේන්න පුළුවන්ය කියන විශ්වාසය නිසයි මම මේ වැඩේට අත ගැහුවෙ. ඒ වගේම මම දන්න තරමින් මෑත කාලයේ නවකතාවක් මත පදනම් වෙලා වේදිකා නාට්‍යයක් කෙරිලා නෑ. මේ නිසාත් මේක අපට වගේම රසිකයාටත් අලුත්ම අත්දැකීමක් කියලයි මම හිතන්නේ.

* නවකතාව නාට්‍යයක් බවට පෙරළීමේ කටයුත්ත කොහොමද සිද්ධ වුණේ?

මේ නාට්‍ය ගොඩ නැගීමේදී මම කළේ නවකතාවේ තියෙන නාට්‍යයට උචිත සාධනීය දේවල් අරගෙන නාට්‍ය මාධ්‍යයට නොගැළපෙනවයි කියලා දැනුණු දේවල් ඉවත් කරලා, සමහර තැන් ගලප්පා ගැනීමේ පහසුව සඳහා පූරකයකුත් යොදාගෙන සමස්තයක් වශයෙන් නවකතාවේ ඇති නාට්‍යමය අවස්ථා බහුල කොටස් ටික මම මගේ නාට්‍ය නිර්මාණයට යොදා ගත්තා.

* නවකතාවක් නාට්‍යයක් බවට පත් වෙද්දී ඒ සඳහා උචිත ආකෘතිය තීරණය වුණේ මොන විදිහටද?

පූර්ව නිශ්චිත ආකෘති හැටියට ගැනෙන නාඩගම්, නූර්ති ශෛලිගත වගේ එක ආකෘතියකට අනුගත වෙලා ඒක ඇතුළට අපේ වස්තු විෂය ඔබනවද එහෙමත් නැත්නම් උචිත ආකෘතියක් හොයා ගෙන යනවද කියන ප්‍රශ්නය මෙතෙන්දි අපටත් ඇති වුණා. එනිසා අපි කළේ නාට්‍ය පුහුණුවීම් කාලයේදී නිදහසේ ආකෘතියක් ගොඩ නැගෙන්න ඉඩ ඇරීමයි. අවසානයේ ප්‍රේක්ෂකයාට කම්මැලිකමක් හෝ රස විඳින්න බාධාවක් ඇති නෙවන විදිහේ ආකෘතියක් ඉබේම ගොඩ නැගෙනවා. මේ නාට්‍යයෙ තියෙන්නෙත් ඒ විදිහට නාට්‍යයත් එක්ක ගොඩ නැගුණු ආකෘතියක්.

මේ නාට්‍ය ආකෘතියත් මේ දක්වා අපි කරගෙන ආපු පර්යේෂණාත්මක අත්හදා බැලීම්වලම දිගුවක් වේවි.

* මෙවර ‘බුරුවා මහත්තයා’ වේදිකාවට ගෙන්න යම් විශේෂ හේතු කාරණාවක් තියෙනවද?

මේකට පදනම් වෙන්නෙ නේරු අගමැතිතුමාගේ කාලයේ ඉන්දීය පසුබිමක ගොඩ නැගුණු ඓතිහාසික කතාවක් වුණත් මේ සමකාලීන ශ්‍රීී ලාංක්ය සමාජයටත් ඒ කියන කතාව ඉතා හොඳින් ගැළපෙනවා.

බුරුවෙක් කන්තෝරුවකට ගියහම මුහුණපාන අත්දැකීම් ඇසුරෙන් ධනේශ්වර පංතිය වාසි ගන්න බූරුවෙකුව වුණත් පාවිච්චි කරනවය කියන කාරණය තමයි මෙයින් ඉස්මතු කෙරෙන්නෙ.

අදේවවාදී, සමාජවාදී අකල්ප දරපු නාට්‍ය, නවකතා, කෙටි කතා හා තිර කතා රචනා නිර්මාණය කළ නිර්මාණකරුවෙක් හැටියට ක්‍රිෂාන් චන්දර්ගේ තියුණු නිර්මාණශීලී දැක්ම මේ නිර්මාණය පුරාවටම උත්ප්‍රාසයෙන් යුතුව ගැඹුරින් සටහන් වෙලා තියෙනවා මේ තෝරා ගැනීමට ඒකත් හේතුවක්.

* මේ තෝරා ගැනීමට කලාවේ අරමුණ ගැන ඔබේ ආකල්පයත් බලපානවාද?

පැහැදිලිවම, සතුට, විනෝදය ලබන අතරෙම කලාව ඇසුරු කරන්නාට එයින් නව අත්දැකීමක්, දැක්මක්, ප්‍රඥාවේ වර්ධනයක් ඇති වෙන්න ඕන. අපේ ජීවිතය අලුත් විදිහට දකින්න අලුතෙන් හිතන්න පොළඹවන්න පුළුවන්කමක් කලා කෘතියකට තියෙන්න ඕන. අපි අද ගෙවන්නෙ වේගවත් ජීවිතයක්. කොටින්ම අපි සියල්ලෝම දඩිබිඩියේ දුවමින් ඉන්නේ. මේ විදිහට අපි දුවන්නෙ කොහාටද? ජීවිතය උදෙසාද? මරණය උදෙසාද? මෙන්න මේ ගැන කල්පනා කරන්න පෙළඹවීමක් කලාවෙන් කෙරෙන්න ඕනය කියලයි මම විශ්වාස කරන්නෙ.

* ඔබේ නාට්‍ය නිර්මාණවලට දයක වෙන්න තෝරා ගත් නිශ්චිත පිරිසකට විතරයි දොර ඇරෙන්නෙ. මෙහෙම වෙන්නෙ ඇයි?

අපි හැම වෙලාවෙම අලුත් අයට අවස්ථාව දෙන්න සූදානම් වගේම කැමැත්තෙන් ඉන්නෙ. නමුත් මේ පුංචි රටේ අපේ නිර්මාණ සඳහා දායක කර ගත හැකි මට්ටමේ දක්ෂා තියෙන, ඒ වගේම කැප කිරීම් කරන්න පුළුවන්කම තියෙන පිරිස ඉතාම සීමිතයි.

මාස පහක් හයක් නොමිලේ පුහුණුවීම්වලට කී දෙනෙක් එයිද? අපි නිර්මාණයක් කරද්දී අපට තියෙන ආර්ථික හා සමාජීය ප්‍රශ්නත් එක්ක අපට බැහැ බිංදුවෙ ඉඳල යන්න. ඒ නිසා අඩුම තරමින් අපට සිද්ධ වෙනවා 50 න් වත් පටන් ගන්න. ඒකට සුදුසු අපේ මේ ගමනට පොඩි හරි හයියක් ශක්තියක් වෛන්න පුළුවන් අයව අපි එකතු කර ගන්නවා මිසක් එතන කල්ලිවාදයක් කොහෙත්ම නෑ කියන එකත් කියන්න ඕන.

* මේ නාට්‍යයේදී ඔබත් සමඟ එකතු වෙන පිරිස?

මාත් සමඟ ගිහාන් ප්‍රනාන්දු, මාදනී මල්වත්තගේ, සරත් චන්ද්‍රසිරි, අජිත් ලොකුගේ, සුසිල් වික්‍රමසිංහ, නිමල් යටිවැල්ල, මාලි ජයවීර රංගනයෙනුත්, රංග සමරකෝන් රංගාලෝකරණයෙනුත්, ස්විනීතා පෙරේරා රංග වස්ත්‍ර නිර්මාණයෙනුත්, උපාලි හේරත් රංග භූ®මි අලංකරණයෙනුත්, ජගත් පද්මසිරි අංග රචනයෙනුත්, චන්දන නිශාන්ත වේදිකා පරිපාලනයෙනුත් දායක වෙනවා. නර්තන වින්‍යාසය රවි බන්දු විද්‍යාපති. සංගීතය ප්‍රදීප් මුතුකුඩආරච්චි, උදේනි අල්විස් ඇතුළු අසූවේ කණ්ඩායම තමයි මෙවරත් නාට්‍ය ඉදිරිපත් කරන්නෙ.

* මේ වගේ පිරිසක් තමන්ගේ නිර්මාණ කාර්ය වෙනුවෙන් හැඩ ගස්වන අතරතුරේම ඔබත් එහි භූමිකාවක් බවට පත්වීම කියන සුවිශේෂී තත්ත්වයත් එක්ක ඔබ ගනුදෙනු කරන්නෙ මොන විදිහටද?

එක නම් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. නමුත් මම මුලින්ම නළුවෙක්. නිර්මාණකරුවෙක් වෙන්නෙ දෙවනුව. මේ නිසා නළු වෘත්තියේ තියෙන ආශ්වාදයට නාට්‍යයක රඟපෑමෙන් ලබන තෘප්තියට මම ගොඩක් කැමැතියි. නමුත් අපේ වගේ් රටක රඟපෑම කියන අමාරුම කාර්යයට ඉන්නෙ ඉතාම සීමිත පිරිසක්. ඒ සීමිත පිරිසෙන් එක් කෙනෙක් මම කියලයි මම විශ්වාස කරන්නෙ.

යම් චරිතයක් ක්‍රමානුකූ®ලව අවශ්‍ය පරිදි ගොඩ නැගීමේ හැකියාව මට තියෙනවය කියලත් මම විශ්වාස කරනවා. මේ නිසා මුලින් මම රඟපාන්නෙ නැතුව අධ්‍යක්ෂණය විතරක් කරනවය කියලා හිතාගෙන පටන් ගන්න නාට්‍යයක වුණත් දවස් කිහිපයක් පුහුණුවීම් ඉදිරියට යද්දී මට හිතෙන්න ගන්නවා අපරාදේ රඟපාන්න හැකියාව තියෙද්දිත් මමත් මේකේ චරිතයක් නොකරන්නෙ කියලා.

ඊට පස්සේ දවස් කිහිපයක් යද්දී ඉබේම මමත් මගේ නාට්‍ය තුළ නළුවෙක් බවට පත් වෙලා. එහෙම වුණාට පස්සේ හරියට ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් බැටිං, බෝලිං, කීපිං කියන ප්‍රධාන කාර්ය භාරයන්ගෙන් එකක් කරමින්ම කණ්ඩායමක් නිවැරැදි අවසානයක් කරා ක්‍රමානුකූ®ලව මෙහෙය වනවා වගේ මෙහෙයවීමයි කරන්නේ.

නමුත් මගේ නාට්‍යයේ මමත් නළුවෙක් විදිහට රඟපාද්දී අනිත් නළුවො හරියට රඟපානවද, සංගීතය හරියට එනවද, අවශ්‍ය කරන දේවල් වේදිකාවේ හරියට ස්ථානගත කරලා තියනවාද වගේ දේවල් ගැන හිත හිතා ඉන්න පුළුවන්කමක් නෑ.

මම ඒ දේවල් ගැන හිතමින් ඒ බැරෑරුම් මුහුණ ප්‍රේක්ෂකයා හමුවේ පෙන්නන්නෙ නැතුව, අඩුපාඩු හෝ වෙනත් හේතු නිසා නාට්‍යයේ මම රඟපාන අතරතුර මට මොන තරම් කෙන්තියක් ගියත්, නිවැරැදි සාත්වික අභිනයෙන් මගේ භූ®මිකාව හරියට කරලා නළුවෙක් හැටියට කරන සහ කළ යුතු රඟපෑම හරියට කළාට පස්සෙ තිරය පිටුපසට ගිහිල්ලා අවශ්‍ය නිවැරැදි කිරීමක් හෝ මඟ පෙන්වීමක් කරනවා. නාට්‍ය කලාවේ එදා සිට පැවතෙන අවධානය සහ අවධාරණය කියන ගුණාංග මේ වගේ වෙලාවට අපේ පිහිට එනවා කියලයි මට හිතෙන්නේ.

* මේ නවතම නාට්‍ය ප්‍රේක්ෂකයාට වැදගත් වෙන්නෙ මොන විදිහටද?

මේක එක පැත්තකින් ගුණතිලක මැටියගනේ ගේ ඉතා ප්‍රශස්ත පරිවර්තනයක්. අනිත් පැත්තෙන් නවකතාවක් වේදිකා නාට්‍යයක් බවට පත්වන සුවිශේෂී අවස්ථාවක්. ඒ නිසා රසිකයන් මේ නවකතාව කියවීම හා ඒ මතින් ගොඩ නැගුණු ‘බූරුවා මහත්තයා’ නාට්‍යය නැරැඹීමෙන් ඛේද සුඛාන්ත නාට්‍යයක නවමු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඒ අත්දැකීම විඳගන්න අපත් එක්ක එකතු වෙන්නය කියලා නාට්‍යය රසිකයන්ට ආරාධනා කරනවා.

0 comments:

Post a Comment