ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන් මේ එක්වී සිටින්නේ ක්‍රිකට් වසන්තය සමඟයි. වසර හතරකට පසුව එළඹෙන මේ ක්‍රිකට් වසන්තය සමරන්නට ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් බලා සිටියේ සැදී පැහැදී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක්ම ශ්‍රී ලංකාවේ පැවැත්වීම නිසා කිසියම් වූ සැණකෙළි ස්වරූපයක් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබේ.
කොළඹ ඛෙත්තාරාම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය, වීරවිල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙන්ම පල්ලෙකැලේ මුත්තයියා මුරලිදරන් ක්‍රීඩාංගණය ද මේ වෙනුවෙන් මෙරට මෙන්ම විදේශීය ක්‍රීඩා ලෝලීන්ගෙන් ද පිරී ඉතිරී පැවතුණි. මේ සැණකෙළි සමයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ම බිහිවුණු සංස්කෘතියක් ඇතිවුණ ආකාරයක් දක්නට ලැබුණි.
නගරයක් නගරයක් පාසා දක්නට ලැබුණේ ක්‍රිකට් වසන්තය වෙනුවෙන් නැඟුණු දැවැන්ත කටවුට් හා පෝස්ටර්ය. කොළඹ නගරය අවට ගතහොත් සෑම වටරවුමක්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහ ශ්‍රී ලාංකේය ක්‍රිකට් කණ්ඩායමට සුබපතා නැඟුණු ධජ පතාකවලින් සැරසී තිබුණි. අපේ රටේ ජනමාධ්‍ය හැසිරවීමේදී ද වැඩි අවධානයක් යොමුවී තිබුණේ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙනි.
විශේෂයෙන් ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා නිරන්තර අපේ දෙසවනට රැගෙන ආවේ ක්‍රිකට් වසන්තය පිළිබඳ පණිවුඩයි. මේ වෙනුවෙන් වැඩිම ගීත ප්‍රමාණයක් නිර්මාණය වූ රටත් සමහර විට අපේ රට වන්නට පුළුවන. පසුගිය කාලය ඇතුළත ඔබත් නිරන්තර ජනමාධ්‍ය සමඟ සම්බන්ධ වී හෝ ජනමාධ්‍ය ඇසුරේ සිටියා නම් කොපමණ ගීත සංඛ්‍යාවක් ඔබටත් ඇසෙන්නට ඇත්ද?
මේ ක්‍රිකට් ගීත සාහිත්‍යයට ද ඉතිහාසයක් ඇත. අපි මුලින්ම වඩ වඩාත් මේ පිළිබඳ උනන්දු වූයේ 1996 වර්ෂයේ දී අපේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් කණ්ඩායම ජගත් ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ අපේ රටේ නම රැන්දූ ඓතිහාසික ආශ්චර්යවත් මොහොතින් පසුවය. එවකට ශ්‍රී ලාංකේය ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය අපේ රටට රැගෙන ඒමෙන් පසුව ඒ පිළිබඳ වන උනන්දුව, උද්යෝගය අපේ රටේ ජනතාව තුළ ද වැඩි වැඩියෙන් ඇති වන්නට විය.
ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වන්නට ප්‍රථමයෙන් ක්‍රිකට් ක්‍රීඩා ගැන ලියවුණු ජනප්‍රිය ගීතයක් අපේ ගීත සාහිත්‍යයේ විය.
’තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා
දහසක් නෙතු මා දෙස යොමු වෙනවා
සිත මා පිරිලා...”
ජනප්‍රිය ගායන ශිල්පී සමන් ද සිල්වා ගැයූ මේ ගීතය ඔබට තවමත් මතක ඇති.
ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් ශූරයන් වූ පසු අතිශයින්ම ජනප්‍රිය වූ බයිලා ගීතයක් අපේ ගීත සාහිත්‍යයට එක්විය.
”පුන්සඳ පායා මගේ රට දිලෙන්නා
ප්‍රීති ඝෝෂා නිතර ඇසෙන්නා
ලංකාවට ක්‍රිකට් කිරුළ ලැබුණදා
ලංකාවම ඩාන්ස් කරන්නා...”
ඇන්ටන් සිල්වා විසින් ගායනා කරන ලද මේ ගීතයට එකල මුළු රටම එක්වී සිටියහ.
ඒ අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වෙසෙන සෑම ශ්‍රී ලාංකිකයෙකුම එක්කර ගනිමින් එකට ගයන්නට හැකි ගීතයක් යැයි කියමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ගීතය ලෙස පසුගිය කාලයේ එළිදැක්වූයේය.
2011 ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේදී එක ජාතියක් ලෙසින් අත්වැල් බැඳ ගනිමින් එකම ජයග්‍රාහී ඉලක්කය වූ ක්‍රිකට් කිරුළ යළි ශ්‍රී ලංකා මාතාවගේ හිසෙහි පලඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවනට ශක්තිය ධෛර්යය, පතා එක්වෙමු යන්න මෙම ගීතයේ තේමාව විය. නව පරපුරේ පොප් ගායකයෙකු වූ ළහිරු පෙරේරා ගායනා කළ මෙම ගීතය ගීත රචක මනුරංග විජේසේකර ගේ පබැඳුමකි.
”කොදෙව් රටේ පොල්ගස්වල කරටි කඩන්න
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු ගලවන්න
ඉන්දියාවෙ කඳුවල හිම දියකරවන්න
කැන්ගරුන්ට එන්න කියමු බජිරි කවන්න...
එන්න..
රොත්ත පිටින් චට්නි හදන් එන්න
ටොනික් කඩන් වඩේ හපන් එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
සිංහ පැටව් රඟ දෙනවා මෙන්න...
ක්‍රිකට් නිල ගීතය වශයෙන් නම්කර තිබූ මේ ගීතය පසුගියදා අතිගරු ජනාධිපතිතුමන් අතින් අත්හිටුවීමට නියෝග ලැබුණේ මේ ගීතයේ පද රචනයෙන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන රටවල් කිහිපයකට අවමානයක් සිදුවන නිසාවෙන් බව අපට දැනගන්නට ලැබුණි.
ඒ වෙනුවට ක්‍රිකට් නිල ගීතය වශයෙන් නන්දන වික්‍රමගේ රචනා කළ රූකාන්ත ගුණතිලක ගායනා කරන පහත ගීතය නම් කෙරිණ.
මේ ජාතියේ උපහාරයයි
මේ අපේ ප්‍රණාමයයි
අත් වැල් බැඳන්
එමු සිවු දෙසින්
සොයුරන් ලෙසින්
මිතුරන් ලෙසින්...
මෙහි ගී තනු නිර්මාණය රූකාන්ත ගුණතිලකගේ වන අතර ගායනයට එක්වනුයේ රූකාන්ත සමඟ චන්ද්‍රලේඛාය.
ක්‍රිකට් නිල ගීතයේ ගී පද රචක නන්දන වික්‍රමගේ ක්‍රිකට් නිල ගීතයට අමතරව තවත් ක්‍රිකට් ගීත දෙකක් රචනා කර ඇත.
”මුළු ලෝකෙ ජගතුන් පරදා
අපිමයි ජයගන්නේ
ලක්දෙරණේ සැවොම එක්වී
ජය දද ලෙළ දෙන්නේ.....
මෙහි සංගීත නිර්මාණය රොමේෂ් සුගතපාල ගේ වන අතර ගී තනුව සචින්ත දේවනාරායන ගේය. ගායනයෙන් එක්වනුයේ සචින්ත දේවනාරායන, චින්තක ජයසිංහ සමඟ රොමේෂ් සුගතපාලයි.
ඔහු රචනා කළ අනෙක් ගීතය
”දහසක් තරු පායලා
දස දෙස උණුසුම පැතිරිලා
ජනයා එක්රොක් වෙලා
පිබිදිලා සිත් පිබිදිලා...
ගිතයයි එය තනුව සංගීතය හා ගායනය මහින්ද බණ්ඩාර පුත්‍ර සමාගමෙනි.
මේ අතරම තවත් අපේ ජනප්‍රිය ගායකයකු ගායනා කරන්නට යෙදුණු ක්‍රිකට් ගීතයක් පසුගියදා අපට අසන්නට ලැබුණි. ඒ ඉමාන් පෙරේරා ගයන පහත ගීතයයි.
උස් උස් උස් හඬින්
කෑ කොස්සන් ගසමු මලේ
අත් අත් අත්වැල් බැඳන්
ලක් ධජයට රොද බඳිමු මලේ...
මේ ගීතයේ ගී පද රචනය චාමින්ද රත්නසූරියගේය.
මීට ප්‍රථම ජනප්‍රිය ගීත රැසක් රචනාකර ඇති චාමින්ද බොහෝ විට නව අදහස් පෙරටු කොට යමින් නව ආකාරයේ නිර්මාණ ඉදිරිපත් කිරීමට වෙර දරන ගීත රචකයෙකි.
ගීතයේ සංගීත නිර්මාණය නදීක ගුරුගේ ගෙනි. ඉමාන් චාමින්ද සහ නදීකගේ අදහස වූයේ ‘පපර බෑන්ඩ්’ ක්‍රිකට් ගීත ඉක්මවා ගිය ජවයක් සහ ගැඹුරක් ඇති නිර්මාණයක් කිරීම තමන්ගේ අරමුණ වූ බවයි. ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙකු වශයෙන් අපේ සංගීත ක්ෂේත්‍රයට අගනා නිර්මාණ රැසක් දායාද කළ බන්ධුල නානායක්කාරවසම් අතින් රචනා වූ අපූරු ක්‍රිකට් ගීතයක් ද පසුගියදා අසන්නට ලැබුණි.
”කොයි අතකින් නැඟුණත් මහ කඳු මුදුනට
එක දසුනයි දිස්වන්නේ
කොයි දෙසකින් ආවත් ඔබ අප කවුරුත්
එක අරමුණකයි ඉන්නේ
කොයි නමකින් ගැලුවත් ගංගා සහසින්
සයුරයි අප හඳුනන්නේ
එලෙසින් ඔබ අප කාගෙත් සිරුරේ
එකම ලෙයයි දිව යන්නේ...
අපි ලකුණු හඹා ඇදෙමු
අපි කඩුලු දවා ගනිමු
ජය පරාජය ද විඳීමු
ආදරය බෙදා ගනිමු...”
රංග දසනායකගේ සංගීත රචනයට මේ ගීතය ගායනා කරනුයේ නිමන්ත හේෂාන්ය. මෙහි රූප රචනය රනිඳු හංවැල්ලගෙනි.
මෙතෙක් ඇසූ ක්‍රිකට් ගීතයන්ට වඩා එහා ගිය කුමක්දෝ ආදරණීය බවක් මේ පදවැල් ඔස්සේ අපේ හිත් තුළට ගලන බව මට දැනුණි.
ඒ මේ පද පෙළ යට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව කොයි මොහොතකවත් ඉස්මතු නොවන නිසාවෙනි. ඔහු පවසන්නේ ජය ද පරාජය ද එක ලෙස විඳගෙන ආදරය බෙදාගන්නා ලෙසයි.
මේ අතරම නව පරපුරේ තනු නිර්මාණ ශිල්පියකු සංගීත අධ්‍යක්ෂවරයකු මෙන්ම ගායකයකු ලෙස අපේ රටේ තරුණ පරම්පරාවේ ආදරය දිනාගත්, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ රිද්මය ජාත්‍යන්තරයට ගෙනයන්නට වෙහෙසුණු ඉරාජ් වීරරත්න ද ක්‍රිකට් ගීතයක් ‘සිංහ සෙයියාවෙන්’ (Lion Nation) නමින් පසුගියදා නිකුත් කළේය.
වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල රචනා කළ මේ ගීතයේ තනුව සහ සංගීත නිර්මාණය ඉරාජ්ගේ ම ය. ඔහුගේ Ill Noize ශබ්දාගාරයේ පටිගත කළ මේ ගීතයේ සංගීත සංයෝජනය සඳහා ඔහු තෝරාගත්තේ රංග දසනායකය. ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ජයශ්‍රී සංගීත කණ්ඩායම ඉරාජ් සමඟ මේ ගීතය ගයන්නට එක්වේ.
සිංහ සෙයියාවෙන් වැජඹෙනවා නම්
දෑ අනුරාගෙන් රට ගැන සිතා
ළය අත තබා ජයගෙන ඒ නම්
කෙළිලොල් තාලෙන්
සක්වල සොයා ....
ඒ ගීතයයි.
ජාතික වශයෙන් වැදගත් අවස්ථාවලදී අපේ ජාතික ධජය, සිංහ කොඩිය අභිමානයෙන් ගුවනේ ලෙළ දෙන අන්දම අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු. මේ සුපුරුදු දසුන මින් පෙර නොවූ දැවැන්ත ආකාරයෙකින් යොදා ගනිමින් නිර්මාණය කරන ලද රූප රාමු ඇතුළත් ක්‍රිකට් ගීතයක් අපි නිතර දකින්නෙමු.
මෙහි විශේෂත්වය වනුයේ 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ සිටි, එම ජයග්‍රහණයට ප්‍රබලතම දායකත්වය දුන් සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා, ක්‍රීඩක රොමේෂ් කළුවිතාරණ, කුමාර් ධර්මසේන, උපුල් චන්දන, සමඟ රූපවාහිනී මාධ්‍යයේ ප්‍රබල භූ®මිකා නිරූපණය කළ ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහ, ඕෂධී හේවාමද්දුම, ධනංජය සිරිවර්ධන, සුජානි මේනකා, මංජුලා කුමාරි, ඉරාජ් වීරරත්න සමඟින් ක්‍රිකට් ලෝලීහු දසදහස් ගණනක් මේ සඳහා එක්වී සිටිති.
එකමුතුවේ සුබ ලකුණු මතින් අපි
සිනහව ආයෙමු ගෙනෙමු අපී
අභිමානෙට යළි තුරුළු වෙමූ අපි
කප් එක ආයෙමු ගෙනමු අපි...
අජිත් ගලප්පත්ති විසින් රචිත මේ ගීතයට තනුව නිර්මාණය කරන ලද්දේ සංගීතඥ මහේෂ් දෙනිපිටිය විසිනි. ප්‍රධාන ගායන ශිල්පීන් වන්නේ ජානක විතානගේ සහ රුවන් වීරසේකරයි. මෙහි අලංකාර රූප රචනය ජානක තිලකරත්නගේය.
සමස්ත අයි.සී.සී. ක්‍රිකට් තරගාවලියේ නිල ක්‍රිකට් ගීතයේ සිංහල ගීතය ලෙස සඳහන් වූයේ මෙයයි.
”දිලේ අපේ තරු ලෝකේ ලෝකේ
දිනේ අපේ විරු ආයේ ආයේ
පැහැදේ පැහැදේ (සිංහ උදානේ)
පහරේ පහරේ (සිංහ උදානේ)
එකම තනුවකට ගැයෙන මේ ගීතය සිංහල හින්දි හා බෙංගාලි භාෂාවලින් ලියැවී ඇති අතර බොලිවුඩ් චිත්‍රපට සඳහා සංගීතය සපයන සංගීත වේදීන් තිදෙනෙක් වන ශංකර්, හේෂාන් සහ ලෝයි විසින් මෙහි තනුව නිර්මාණය කරනු ලැබ ඇත. මෙහි හින්දි ගීතය ගායනය කරනුයේ ශංකර් මහදේවන්ය. සිංහල ගීතය ගයනුයේ ගායන ශිල්පි රනිඳු ලංකාගේය. මෙය පදරචනය කළේ ෂෙහාන් ගලහිටියාවය.
”මෙන්න ආයේ ඇවිල්ලා
ක්‍රිකට් උණුසුම ඇවිල්ලා
එකතු වීලා ගයාලා
බලමු මැච් එක සෙට් වෙලා...
’ලා කප්’ නමින් හැඳින්වෙන මේ ගීතයත් පසුගියදා මාධ්‍යයට නිකුත් කෙරිණි. ගීතය ගායනා කරනුයේ ධනෝද්‍යා යාපා ඇතුළු ඇගේ මිතුරු ඳතුරියන් පිරිසක්. ඔවුන් විසින්ම රචනා කරනු ලැබ ඇති මේ ගීතය සංගීතවත් කර ඇත්තේ දුමිඳු ජයවර්ධනය.
ඒ අතරම ජනප්‍රිය ගායිකා චාන්දනී හෙට්ටිආරච්චි සහ ඇගේ දියණිය ජැකලයින් විසින් ගායනා කරන ලැබූ ක්‍රිකට් ගීතයක් ද පසුගියදා මාධ්‍යයට නිකුත් විය.
සිංහ නාදය රැව්දේ
සැමගේ සිත් හී හෙළයේ
හිටියේ සොයුරෝ එක්වෙලා
සැම කණ්ඩායමක් පරදා
ජය ටැඹ වෙත යයි සැමදා
ලංකා මාතා ජයවේ....
චාන්දනීට මෙම ගීතය රචනා කර ඇත්තේ අරුණ කිත්සිරිය. සංගීත නිර්මාණය කර ඇත්තේ කසුන් කල්හාරය. ගී තනු නිර්මාණය තිළිණ රුහුණගේ ගේය.
මේ අප දන්නා සහ අපට ඇසුණු ක්‍රිකට් ගී නිර්මාණය. මෙයට අමතරව තවත් ක්‍රිකට් ගීත මෙරට සංගීත කණ්ඩායම් අතර හෝ නිර්මාණය වන්නට ඇති.
ක්‍රිකට් සංස්කෘතිය අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට කොපමණ නිර්මාණ රැසක් දායාද කර ඇත්ද? ඉන් නියම රුචිකත්වය කුමක්ද යන්න ගැන තෝරා බේරා ගැනීම අපේ රසික රසිකාවියන්ගේ වගකීමයි.
0 comments:
Post a Comment