----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

කැලණි සරසවියේ ‘මධුමල් සුවඳ’

Saturday, March 12, 2011

කැලණි සරසවියේ ‘මධුමල් සුවඳ’ කපිල කුමාර කාලිංග

කලකට පසු කැලණි සරසවියට ගියේ එහි සිසුවකු වන ගාමිණී බස්නායකගේ ‘මධුමල් සුවඳ’ නමැති කෙටිකතා එකතුව පිළිබඳ කතාබහට සහභාගි වීමටය.

ඔහු කල්තියාම මට පොතක් එවා තිබුණි. උඩින්පල්ලෙන් කියවා එය පසෙක තැබූ මම උත්සවය පැවැති 28ට දෙදිනකට පෙර යළිත් කියැවීම සඳහා පොත සෙවීමි. එය නුවරය. මා කොළඹ ය. ගාමිණීට දුරකථනයෙන් ඇමතූ මම සිදුවූ ප්‍රමාදය ගැන පවසා තවත් පොතක් ලබාගත හැකි මඟක් විමැසීමි.

”පොතක් එවන්න බැරිකමක් නැහැ. ඒත්, නෙට් (Net) එකෙනුත් පොත බලන්න පුළුවනි.”

ගාමිණී කීවේය.

අම්පාරේ, මහඔය, සේරංකඩ මහා විද්‍යාලයෙන් කැලණි සරසවියට ආ ගාමිණී බස්නායක නම් වූ තරුණ සිසුවා ඔහුගේ පළමු කෙටිකතා එකතුව අන්තර්ජාලයෙන් කියැවිය හැකි බව දන්වා සිටීම මා තුළ ඇති කළේ විමතිය මුසු සතුටකි. ඒ වනවිටත් පොත්පත් වෙබ් අඩවියෙන් (pothpath.com) 800 දෙනෙකු පමණ ‘මධුමල් සුවඳ’ කියවා හෝ දැක තිබූ බව පසුව දැනගන්නට ලැබුණි.

කෙනෙකුගේ මුල් කෘතියේ ගුණාගුණ කෙසේ වුවද ඉන් ඔහු ලබන්නේ මහත් ආස්වාදයක් බව අත්දැකීමෙන් දනිමි.

ගාමිණීගේ කෙටිකතා ගැන ප්‍රධාන දේශනය කරන්නට පැමිණ සිටියේ ප්‍රතිභාපූර්ණ ලේඛකයකු වන කේ.කේ.සමන් කුමාරය.

මා ‘දවස’ කතු මඬුල්ලේ සේවය කරන අවධියේ එක් දිනෙක (1987 පෙබරවාරි 15) සමන් ඔහුගේ මුල් කෘතිය පිරිනැමීමට එහි පැමිණියේය. සතියකට හෝ දෙකකට පසු යළිදු පැමිණියේය.

”පොත කියෙව්වද?”

”තාම නෑ සමන්. හෙට අනිද්දා කියවනවා”

අජිත් තිලකසේනගේ කෙටිකතාවලින් චමත්කාරයට පත්ව සිටි මට සමන්ගේ කෙටිකතා තුළින් ද පෙනුණේ පොඩි අජිත් කෙනෙකි. ඒ බව මම බොහෝ දෙනාට දැනුම් දුන්නෙමි.

සමන්ගේ කෙටිකතා එකතුවේ නම ‘සර්පයකු හා සටන්වැද’ විය. සමකාලීන මිත්‍ර ජනයා අතර එය කොතරම් ජනප්‍රිය වී ද යත් සමන් කුමාරට ‘සර්පයා’ යනුවෙන් නමක් ද පටබැඳුණි.

ගාමිණීගේ පොතේ වැඩේ සඳහා මා කැලණි ගියේ සමන් සමඟය. එදින උදෑසන ඔහු මට දුරකථනයෙන් කතා කළේය.

”කපිල.. මම මේ සර්පයා කතාකරන්නෙ..”

සමන් කුමාරගේ මුල්පොත ඔහු ‘සර්පයෙකු’ බවට පත්කළේ එසේය.

’70 දශකයේ ප්‍රේමය’ දොරට වඩින දා එය පිළිගැන්වීම සඳහා මා ඇරැයුම් කළේ සයිමන් නවගත්තේගමයන්ටය. මා ඔහුට මගේ පොත පිළිගැන්වූ පසු ඔහු ද මට පොතක් පිරිනැමුවේය. ඒ නවගත්තේගමයන්ගේ මුල්ම කෙටිකතා එකතුව වූ ‘මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාවෙ‘හි (1960) දෙවැනි මුද්‍රණයේ පිටපතකි! එදා මට නොවැටහුණත් පසුකලෙක නවගත්තේගමගේ සියුම් සරදම වටහා ගතිමි.

සරසවි පිවිසුම් පෙළ ශිෂ්‍යයකුව සිටියදී ලියන ලද ‘ඔහුගේ කතාව‘ට පසුව නවගත්තේගමගේ පොතක් මුද්‍රණයෙන් පළවන්නේ ඊට එකොළොස් වසරකට පසුවය. ඔහුගේ ම වචනයෙන් කියනවා නම් එය මංගල මොහොතකි.

දැන් දැන් පොත් ප්‍රකාශනය සුලභය. ඒ අතර හොඳ පොත් දුලබය. පිටු දහයක පහළොවක ළමා කතාවක් ලියාගත්තෝ ද උත්සව පවත්වා දොරට වැඩීම් කරති. එබඳු තැනක ප්‍රධාන අමුත්තා “සාහිත්‍යකාමී” ප්‍රාදේශීය සභාපතිතුමාය. නොඑසේ නම් කලා රසික, පොලිස් ස්ථානාධිපතිවරයාය! අනෙක් උදවිය නෑදෑයෝය.

තවත් සමහර දොරට වැඩීම්, තනිකරම පිටකසා ගැනීම්ය. කතුවරයා ගොනාට ඇන්දවීම්ය.

මේ නිසා ම පොත කියැවීමට පෙර ඒ පිළිබඳ දේශනා බාර ගැනීම ද භයානක යැයි සමන් කුමාර කියා සිටියේය.

0 comments:

Post a Comment