බ්ලැක් බොක්ස් නාට්‍ය?
මේ මොකක් ද? නාට්‍යකරුවන්ට විකල්ප මාතෘකාවක්. අපේ රංග කලාවට එක් වන තවත් අලුත් වචනයක් පමණක්ද?
‘ඉන්ටරුක්ට් ආර්ට් තියටර්’ හවුස් නමින් හඳුන්වන මෙම රඟහල, රාජගිරිය ඔබේසේකර මාවතේ පිහිටියකි. එහි නිර්මාතෘ, බ්ලැක් බොක්ස් නාට්‍ය රංග තාක්ෂණය ලාංකේය නාට්‍ය සම්ප්‍රදායට එක් කළ එම්. සෆීර් නාට්‍යවේදියා සමඟ මම කතා බහට එක් වුණෙමි.
මොකක්ද මේ බ්ලැක් බොක්ස් කියන්නේ?
ලෝකයේ රංග කලා ඉතිහාසයේ රංග ශාලා ක්‍රම හයක් හඳුනා ගන්නවා. ඒවා නම් රංග පීඨ හෝ කවාකාර රංග ශාලාව, රංගාවටය, ඉදිරියට නෙරූ හෝ විවෘත වේදිකාව හා ප්‍රොසීනියම් වේදිකාවයි. මේ අතරට මෙයට වසර පනහකට හැටකට උඩදී ‘බ්ලැක් බොක්ස්’ නමින් හඳුන්වනු ලබන ක්‍රමවේදයක් පිවිසෙනවා. මේ ක්‍රමවේදය මෑත භාගය වනතුරුම මෙරට නාට්‍ය භාවිතයට ගැණුනේ නැහැ.
ඉහත දැක් වූ වේදිකාවල බොහෝ පුද්ගලයන්ට එක ආකාරයකට නැරඹීමේ අපහසුවක් තියෙනවා. එම නිසා ප්‍රේක්ෂකයා හා රංගය අතර තාර්කික හා ප්‍රයෝගික හිඩැස අවම කිරීම, ප්‍රේක්ෂකයා හා රංගය අතර දැඩි සන්නිවේදනයක් ඇති කිරීම හා නිර්මාණයට අවශ්‍ය ලෙස රඟහල හා අවකාශය සකසා ගැනීම ආදිය මේ තුළින් සිදු කෙරෙනවා.
මෙහිදී සිදුවන විශේෂතා මොනවාද?
මෙතෙක් ප්‍රේක්ෂකයා උදාසීනව කම්මැලිව නැරඹූ ක්‍රමය ඉවත්ව උද්යෝගීමත් වීම, ප්‍රේක්ෂකයා නිර්මාණය සමඟ ඇද බැඳ තබා ගැනීම, ප්‍රේක්ෂකයා හා රංගය අතර දැඩි බැඳීමක් ඇති වීම මෙහිදී නිරායාසයෙන් සිදු වන්නක්. එහෙත් සීමිත පිරිසකට පමණයි මෙය නැරඹීමට හැකි වන්නේ.
අර විශාල පිරිසක් එකට සිට නැරඹූ ක්‍රමය මෙහිදී නිශ්චිත සීමිත පිරිසකට ලඝු වෙනවා. නිර්මාණයත් සමඟ ප්‍රේක්ෂකයා සියයට දෙසීය ක් බැඳී සිටිනවා. මෙ බ්ලැක් බොක්ස් ක්‍රමය තමයි නාට්‍යයක, පර්යේෂණයන්, මතවාද, විද්‍යාව ආදිය පරීක්ෂා කිරීමට ඉතාමත් ගැළැපෙන තැන.
කොටින්ම කිවහොත් පර්යේෂණාත්මක ක්‍රමවේදයකට උචිතම තැන බ්ලැක් බොක්ස්. මෙහි ඉඩ සීමිතයි. නිර්මාණ අවකාශය අසීමිතයි. ඒ අවකාශය කියන්නේ චින්තනය. මෙතනදී නිර්මාණකරුවාට බොහෝ අත්හදා බැලීම් කළ හැකියි. නාට්‍ය කලාව, සංගීතය, නැටුම් මේ ඕනෑම දෙයක් අත්හදා බලන්න පුළුවන්. බ්ලැක් බොක්ස් ක්‍රමයේදී අත්හදා බලපු විද්‍යාවන් එක්ක තමයි හය වැනි ක්‍රමයකට ලෝකය එන්නේ.
එය ‘සකසා ගත් හෝ සොයා ගත් අවකාශ’ තුළ නිර්මාණයන් කිරීමයි. මේ කලාව අද ලෝකයේ භාවිත වන නවීනතම වේදිකා රංග ක්‍රමය. මේ නිසාම තමන් අවශ්‍ය අවකාශයක ඕනෑම නාට්‍යයක් පෙන්විය හැකියි. උදාහරණ ලෙස ගඟක නම් ගඟක, පිට්ටනියක නම් පිට්ටනියේ. මෙය විශාල අවකාශයක් තුළ ඉතාම තාත්ත්විකව නාට්‍ය පෙන්වීමේ කලාවක්.
එතනදී ප්‍රෙක්ෂකයා ස්ථානය අනුව හැසිරිය යුතුයි. මේ විද්‍යාව එන්න එන්නම දියුණු වෙනවා. එහි ප්‍රතිඵලය තමයි නවීන රංග ක්‍රම සොයා ගැනීම. මේ බ්ලැක් බොක්ස් ක්‍රමයේදී ප්‍රේක්ෂකයන් හට රංගනයේ ඇති විශ්වාසනීය භාවය, ප්‍රේක්ෂක ප්‍රතිචාර සෘජුවම ලැබීම ආදිය නිසා රංගය අති සාර්ථක වෙනවා.
කොටින්ම කියනවා නම් භාෂාව කියන දූපත් මානසිකත්වය නිශේධ කළ හැක්කේ මේ බ්ලැක් බොක්ස් වැනි රංග ක්‍රම තුළින්. එය ඒ තරම් ප්‍රබලයි.
ලංකාවට ‘බ්ලැක් බොක්ස්’ ආගමනය සිදු වන්නේ කොහොමද?
මට ශිෂ්‍යත්වයක් ලැබිලා යුරෝපයේදී ලැබුණු නාට්‍ය අත්දැකීම තමයි අද මේ විදියට ‘බ්ලැක් බොක්ස්’ තියටර් එකක් ලංකාවේ අරඹන්න තරම් පෙළඹ වූයේ. මට කණගාටුවට කරුණ මීට වසර පනහකට පමණ පෙර ලෝකයේ ඇති වුණ මේ ක්‍රමය මට පෙර එහි ගිය අය ලංකාවට හඳුන්වා නොදීම ගැනයි.
ඒ සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් ඔබට අනුග්‍රහය ලබා දුන්නාද?
මම මගේම මුදලින් දැන් මේ තියන කුඩා රඟහල නිර්මාණය කළා. 2008 වසරේදී නිර්මාණය කළ මේ රඟහල මගින් මම වැඩමුළු දෙකක් පවත්වා සාර්ථක ‘බ්ලැක් බොක්ස්’ රංග කලාවක් ස්ථාපිත කරන්න වැර වෑයම් ගත්තා. එහිදී පනහකට අධික තරුණ පිරිසක් මෙහි නියම ප්‍රතිඵල ගත්තා. මේ කටයුත්තට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය මට විශාල සහයෝගයක් ලබා දුන්නා.
මේ හරහා ඔබෙන් රටට වන කාර්යයක් තිබෙනවාද?
මම හා මගෙන් මේ කලාව ඉගෙන ගත් පිරිස හරහා ඉන්දියාව හා යුරෝපයේ රටවල් කිහිපයක් එක් කරගෙන ‘ඉන්ටරුක්ට් ආර්ට් සංසදය’ මඟින් මේ ‘බ්ලැක් බොක්ස්’ කලාව ලංකාවට හඳුන්වා දීම නිමිති කොට ගෙන ජාත්‍යන්තර වේදිකා නාට්‍ය උළෙලක් පවත්වන්න උත්සාහ කරනවා.
මේ වන විට රටවල් හතක් මෙහි පැමිණීමට සූදානමින් සිටිනවා. එය 2011 වසරේ අගදී පවත්වන්න තමයි සැලැසුම් කර තිබෙන්නේ. මෙය අප හඳුන් වන්නේ ‘කලම්බෝ තියටර් ෆෙස්ටිවල්’ යනුවෙන්. මෙහි අරමුණ අපේ නාට්‍ය කලාවට ජාත්‍යන්තර වටිනාකමක් ලබා ගැනීමයි.
මම එම්. සෆීර් නම් නාට්‍යවේදියාගේ සොඳුරු රඟහලෙන් පිය මැන්නේ ජාත්‍යන්තර නාට්‍ය උළෙලක සිරිය සිතින් මවා ගනිමිනි.
පසුව ලියමි:-
එම්. සෆීර් යනු කඳවුරක්, දෘෂ්ථාන්තයක්, පශ්චත්තාප, සැබෑ මුහුණු, කරුණවෙන් සවන් දෙන්න, ඔය දොර අරින්න ආදී නාට්‍යයන් ඇතුළු නාට්‍ය දොළසක් හා කෙටි නාට්‍ය තුනක් හා වේදිකා කළමනාකරණය නැමැති නවතම පොත (උසස් පෙළ නාට්‍ය හා රංග කලාවට නිර්දේශිත අතිරේක කියවීම් පොතක්) රචනා කළ කතුවරයාය.
0 comments:
Post a Comment