‘වචන අටක් කියන්නට මාස අටක් පුහුණු වුණා’
- ප්‍රවීණ සිනමා හා රූපවාහිනී නළු හා අධ්‍යක්ෂක සතිස්චන්ද්‍ර එදිරිසිංහ
* රංගන ශිල්පයට ඔබ යොමුවුණේ කොහොමද ?
මගේ ලොකු අයියා (ධර්මසිරි එදිරිසිංහ) කලාකරුවෙක් නොවුණත් ඔහුට හොඳ රසිකත්වයක් තිබුණා. ඔහු මාව ජී.ඩී. ඇල්. පෙරේරා මහතා ට හඳුන්වා දුන්නා. ඒ අනුව මට ඔහුගේ ”වෙස්සන්තර” නාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලැබුණා. නාට්‍යය පුහුණුවීම් මාස අටක් පැවැත්වුණා. මම ඒ හැම පුහුණුවීමකටම ගියා. නමුත් මට කියන්නට තිබුණේ වචන අටක් පමණයි. ආධුනිකයෙක් හැටියට එදා තිබුණු කැපවීම තවමත් මාතුළ තිබෙනවා.
* ඔබ රඟපෑ අනෙකුත් වේදිකා නාට්‍යය ගැන කියනවානම්
රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටින්නට මට වුවමනාවක් තිබුණත් එතැනින් පස්සේ මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මම මොලියර්ගේ tatute දෘෂ්‍ය කාව්‍යය ඇසුරින් “බකතපස්” කියලා නාට්‍යයක් කළා. මේ නාට්‍යය නැරඹූ ගුණසේන ගලප්පත්ති මහතා හා හෙන්රි ජයසේන මහතා ඔවුන්ගේ නාට්‍යවල රඟපෑමට ආරාධනා කළා. ඒ අනුව මම ගුණසේන ගලප්පත්තිගේ ‘ලියතඹරා’ හා ‘මහගෙදර රීරි යකා” නාට්‍යයේත් හෙන්රි ජයසේනගේ “මනරංජන වැඩවර්ජන” නාට්‍යයේත් රඟපෑවා. මෙතැනින් පස්සේ මට නාට්‍යය කිහිපයකට ම රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ අතරින් සුනන්ද මහේන්ද්‍රගේ ‘ගැහැනියක්’ හා ‘සයුරෙන් ආ ලඳ’ යන නාට්‍ය දෙකත් රංජිත් ධර්මකීර්තිගේ ‘මහගෙදර’ ‘චෙරි උයන’ නාට්‍යය හා දයානන්ද ගුණවර්ධනගේ ‘ඉබිකට්ට’, ජී.ඩී. ඇල් පෙරේරාගේ ‘රතුරෝස’ (රොමියෝ ජුලියට්) යන නාට්‍යය විශේෂයි.
* වේදිකා රංගනයේ දී ඔබ වඩාත් කැමැත්තක් දැක්වූ සම්ප්‍රදායක් තිබුණා ද?
මම එක සම්ප්‍රදායකට කොටුවුණේ නැහැ. නාට්‍ය නිෂ්පාදකයෙක් ලෙස ශෛලිගත හා තාත්වික යන සම්ප්‍රදායන් දෙකටම අයත් නාට්‍ය නිර්මාණය කළා. ‘සොක්කානෝ රජාණෝ’ හා ‘හොටබරි යුද්ධය’ ශෛලිගත සම්ප්‍රදායක් කළත් ‘බක තපස්’ හාා ‘අත්තිකාමල්’ නිෂ්පාදනය කළේ තාත්වික සම්ප්‍රදාය අනුවයි. රංගනයේදී වුණත් මම ප්‍රමුඛත්වය දුන්නේ චරිතය පිළිබඳවයි. ඊට ගැලපෙන අයුරින් රංගනය සකස් කර ගැනීමට මම උනන්දු වුණා.
* ඔබ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරමින් චිත්‍රපට කිහිපයක් නිර්මාණය කළා නේද ?
‘මාතර ආච්චි’ මම අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටයයි. ඉන්පසුව ‘රජගෙදර පරෙවියෝ’, ‘ශ්‍රී මදාරා’ ‘සතර දිගන්තය’, ‘අධිෂ්ඨාන’, ‘වදුල’ යන චිත්‍රපට නිර්මාණය කළා.
* එහිදී ඔබ නවකයන් සම්බන්ධ කර ගැනීමට උනන්දු වුණේ ඇයි ?
මට තරුණයෙක් හැටියට ඉදිරියට යන්න ලැබුණේ බොහෝ දුෂ්කරතා මැද. ඒ නිසා මා ලැබූ එම අමිහිරි අත්දැකීම අනෙක් අයට උදා නොවිය යුතුය යන්න මම තරයේ විශ්වාස කළා. ඒ නිසා මම තරුණයන් සොයාගෙන ගොස් ඔවුන්ගේ හැකියාවන් මතුකර ගැනීමට උදව් කළා. වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ, හේමපාල පෙරේරා වැනි දක්ෂ සංගීතඥයන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසුණේ එහි ප්‍රතිඵලයක් හැටියටයි’ මිල්ටන් මල්ලවආරච්චි, වෝල්ටර් ප්‍රනාන්දු, මර්වින් පෙරේරා, සුනිල් එදිරිසිංහ, චිත්‍රපට ගායකයන් බවට පත්වුණේ මා නිර්මාණය කළ චිත්‍රපට හරහා ඊට අමතරව විජය නන්දසිරි, ක්වින්ටස් වීරකෝන්, සරත් ගුණරත්න, ආනන්ද අතුකෝරල, අනුර වරාගොඩ වැනි විශාල පිරිසක් රංගන ශිල්පීන් ලෙස සිනමාවට කැඳවාගෙන එන්නටත් මම මුල් වුණා.
* මුල් අවදියේදී භික්ෂු චරිත නිරූපණය කිරීම මතභේදයට තුඩුදුන් සිදුවීමක් වූ නිසා ඔබටත් එවැනි අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවුණාද ?
ලාංකීය සිනමාවේ මුල් අවදියේදී භික්ෂු චරිත නිරූපණය කිරීමක් දක්නට ලැබුණේ නැහැ. ‘සරදියෙල්’ චිත්‍රපටයේ තමයි මුල් වරට භික්ෂු චරිතයක් ඇතුළත් වුණේ. විකට ශිල්පියෙක් හැටියට කටයුතු කළ ඩී.ආර්. නානායක්කාර ‘දෙවියනි ඔබ කොහිද’ චිත්‍රපටයේ භික්ෂුවක් හැටියට රඟපෑම නිසා ගිහියන් එවැනි චරිත නිරූපණය කිරීම ගැන සංවාදයක් මතුවුණා. නමුත් මට එවැනි අත්දැකීමකට මුහුණපෑමට සිදුවූයේ නැහැ.
* නිරූපණය සඳහා භික්ෂු චරිත වැඩිවශයෙන් ලැබෙන්නට ‘කොටිවලිගය’ චිත්‍රපටයේ කළ රංගනය හේතුවුණාද?
ගාමිණී ෆොන්සේකා මහතා අධ්‍යක්ෂණය කළ ‘කොටිවලිගය’ චිත්‍රපටයේ මට නිරූපණය කිරීමට ලැබුණේ තත්ත්පර 90ක දර්ශනයකට විතරයි. නමුත් එම චරිතයට සරසවිය චිත්‍රපට උළෙලේ සම්මානයක් ලැබුණා. එය කතාබහට ලක්වූ සිදුවීමක් වුණා. මුලින්ම භික්ෂුවකගේ චරිතයක් රඟපෑවේ ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටය වෙනුවෙන්. මේ වන විට මම භික්ෂු චරිත දොළහක් රඟපා තිබෙනවා.
* කලාකරුවෙක් වශයෙන් ඔබේ අරමුණ කුමක්ද ?
තෘප්තිය හා මිනිස්සු ආනන්දයෙන් ප්‍රඥාව කරාගෙන යායුතුය යන අරමුණ කලාකරුවෙක් වශයෙන් මා තුළ තිබෙනවා. ජනප්‍රියභාවය හෝ මුදල් ඉපයීම කලාවේ අරමුණු අතර කැඳවා ගතයුතුයැයි මම සිතන්නේ නැහැ.
0 comments:
Post a Comment