----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

නාන ඇඳුමට බැහැ කියා රටට කීර්තිය ගෙනා

Sunday, March 13, 2011

පුණ්‍යා හීන්දෙණිය

සරසවිය සම්මාන දිනූ ප්‍රථම නිළිය

සිනමාවේ සිංහල බෞද්ධ ගැමි කාන්තා ප්‍රතිරූපය

ආචාර්ය සරත් අමුණුගම කලකට ඉහත ලියූ එක්තරා ලිපියක ’ගම්පහ සිනමා කණ්ඩායමක්’ ගැන සඳහන් කර තිබිණි. ‘

ගම්පහ සිනමා කණ්ඩායම’ යනුවෙන් ඔහු අදහස් කළේ ගම්පහ හා ඒ අවට ප්‍රදේශයන්හි උපන් ගම්කාරයන් වූ සිනමා කලාකරුවන් පිිරිසකි. පී. කේ. ඩී. සෙනෙවිරත්න, ජෝන් අමරතුංග, එස්. ඒ. ජේම්ස්, මහගමසේකර, චිත්‍රා බාලසූරිය, ආරියවංශ වීරක්කොඩි මෙන්ම සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වූ අති දක්ෂ චරිතාංග නිළියක වන පුණ්‍යා හීන්දෙණිය ද එම ගම්පහ සිනමා කණ්ඩායම නියෝජනය කරන්නියකි.

පුණ්‍යාගේ ගම වූයේ මීරිගමය. මේ ගම්පහ සිනමා කණ්ඩායමෙන් සිංහල සිනමාවට මහානර්ඝ සේවාවක් ඉෂ්ට සිද්ධ වූ බව අප අවිවාදයෙන්ම පිළිගත යුත්තකි.

පුණ්‍යා උපන්නේ 1938 දීය. මූලික අධ්‍යාපනය ලැබුවේ මීරිගම මහා විද්‍යාලයෙනි. එකල එම විදුහලේ නැටුම් ආචාර්යවරයා වශයෙන් කටයුතු කළේ ප්‍රකට නැටුම් ශිල්පී පණීභාරතය. සිරිසේන විමලවීරගේ ‘අසෝකා’ චිත්‍රපටයේ නැටුම් ජවනිකාවක් ඉදිරිපත් කිරීමට වරක් පණීභාරතට ඇරියුම් ලැබිණි. ඔහු ඒ සඳහා පාසලේ කලාකාමී ශිෂ්‍යාවක වූ පුණ්‍යා ද සහභාගි කර ගත්තේය. ඒ අනුව පුණ්‍යා ‘අසෝකා’ චිත්‍රපටයේ සමූහ නැටුම් දෙකකට පෙනී සිටියාය. එකක් ගැමි නැටුමකි. අනික මනිපුරි නැටුමකි.

කෙසේ වෙතත් පුණ්‍යා ප්‍රධාන චරිතයක් රඟපාමින් සිනමාවට පිවිසියේ ‘දෙයියන්ගේ රටේ’ චිත්‍රපටයෙනි. එහි කැතරින් වූයේ ඇයය. එහි පුණ්‍යා, සේනාධීර කුරුප්පු සමඟ එක්ව ‘රැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි’ ගීතය ගැයූ ආකාරය එම චිත්‍රපටය නැරඹූ පැරැණි ප්‍රේක්ෂකයන්ගේ මතකයේ තවමත් රැඳී පවතිනු ඇතැයි සිතමි.

‘දෙයියන්ගේ රටේ’ චිත්‍රපටයේ රඟපෑම සඳහා පුණ්‍යාට රුපියල් එක්දහස් පන්සීයක මුදලක් ලැබිණි. ඉන් පසු ඇය ‘සුනීතා’, ‘ශ්‍රී 296’ යන චිත්‍රපට දෙකේ ද රඟපෑවාය. මෙම චිත්‍රපට දෙකම තම ජීවිතයෙන් අමතක කර දමන්ට තමා කැමැති බව පුණ්‍යා පසු කලෙක කියා සිටියාය.

‘ඒ වගේ චිත්‍රපටවල රඟපෑම මම මගේ් ජීවිතයේ කර ගත්තු ලොකුම මෝඩකමක්. මොකද මම ඒ අවස්ථාවේ රඟපෑම කියන්නේ් මොකක්ද කියලවත් දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම ‘දෙයියන්ගේ රටේ’ චිත්‍රපටයේත් මම පඹයෙක් වගේ හිටියා මිසක් රඟපෑම කියලා දෙයක් කළේ නැහැ.’

පුණ්‍යා වරක් එසේ කියා සිටියාය.

පුණ්‍යා ගම්පහ සිනමා කණ්ඩායමට මුල් වරට එක් වූයේ ‘කුරුලු බැද්ද’ චිත්‍රපටයෙනි. එය මීරිගම ජෝන් අමරතුංග ගේ නිපැයුමක් විය. තිර නාටකය ලීවේ හග්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නය. ‘කුරුලු බැද්දේ’ පුණ්‍යා රඟපෑවේ රන් මැණිකා නම් වූ ගැමි යුවතියකගේ චරිතයකි. එය ‘කැලෑහඳ’, ‘දෙයියන්ගේ රටේ’ වැනි ප්‍රබන්ධ කතාවල ආ ප්‍රධාන කතා නායිකාවගේ චරිතය බඳුම පැතලි චරිතයකි.

පුණ්‍යා ‘ගම්පෙරළිය’ට තෝරා ගැනුණේ ඇය ‘කුරුලු බැද්ද’ චිත්‍රපටය් රඟපානු දැකීමෙනි. මාර්ටින් වික්‍රමසිංහ ‘ගම්පෙරළිය’ නවකතාවේ මවා තිබූ නන්දාගේ චරිතය පුණ්‍යා විසින් ඉතාම විශිෂ්ට ආකාරයෙන් මූර්තිමත් කරන ලද්දීය. මේ චිත්‍රපටය නැරඹු කල්හී ‘මේ නම් නවකතාවේ එන නන්දාම තමයි’ වැනි හැඟීමක් සිනමා රසිකයන් තුළ ඇතිවනු වැළැක්විය නොහැකිය.

වරක් ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි මා සමඟ කියා සිටියේ පුණ්‍යා ‘ගම්පෙරළියේ’ කළ රඟපෑම සිංහල සිනමාවේ මෙතෙක් කිසිදු නිළියකට කළ නොහැකි ආකාරයේ අද්විතීය රඟපෑමක් බවයි. එය සපුරා සත්‍යයකි. ‘ගම්පෙරළියෙන්’ පසු පුණ්‍යා තවත් චිත්‍රපට කීපයක රඟපෑවද ‘ගම්පෙරළියේ’ රංගනය අභිබවා යන ආකාරයේ රංගනයක් ඇයගෙන් ඉදිරිපත් වූ ආකාරයක් නම් පෙනී නොයයි.

සිංහල බෞද්ධ ගැමි කුල කතගේ ආඪ්‍ය සම්පන්න වූ ප්‍රතිරූපය පුණ්‍යා විසින් ‘ගම්පෙරළියෙන්’ මතු කර දක්වන ලදී. මෙහි රඟපෑම උදෙසා ඇයට රුපියල් හයදාහක් ගෙවනු ලැබ ඇත. ‘ගම්පෙරළිය’ තිරගත වූ විට එහි කතුවර මාර්ටින් වික්‍රමසිංහ චිත්‍රපටය නරඹා ඒ ගැන ස්වකීය ප්‍රතිචාරය දක්වා සිටියේය. එහි එක් දර්ශනයක් කෙරෙහි ඔහුගේ දෝෂාරෝපණය එල්ල වී ඇත. ඒ නන්දා, පියල් විසින් ගෙන එනු ලැබූ මෝල්ටඩ් මිල්ක් කෝප්පය විසි කරද්දී අනුලා කී දෙයින් කෝපයට පත්ව හඬා වැටෙන අවස්ථාවය.

1964 පැවති ප්‍රථම ‘සරසවිය’ සම්මාන උළෙලේදී හොඳම නිළිය වූයේ පුණ්‍යා ය. ඒ ‘ගම්පෙරළියේ’ රඟපෑම් උදෙසාය. එසේම ‘ගම්පෙරළිය’ හා Qසිකුරු තරුව’ චිත්‍රපට දෙකේම රඟපෑම් සඳහා පුණ්‍යාට එක්සත් ලංකා රසික සංගම් සම්මාන උළෙලේ දී හොඳම නිළිය සම්මානය ලැබුණාය. ‘ගම්පෙරළිය’ නිසා පුණ්‍යාට මෙක්සිකෝවේ පැවති අන්තර් ජාතික චිත්‍රපට උළෙලටද සහභාගි වීමේ භාග්‍යය ලැබිණි. හෙන්රි ජයසේන හා සුමිත්‍රා පීරිස් සමඟ ඇය එම උළෙලට සහභාගි වූවාය. මෙම උළෙල නියෝජනය කළ චිත්‍රපටවල රඟපෑ ප්‍රධාන නිළියන්ට නාන ඇඳුමෙන් සැරසී ඡායාරූපයකට පෙනී සිටීමට සංවිධායකවරුන්ගෙන් ආරාධනා ලැබිණි. එහෙත් පුණ්‍යා එසෙ පෙනී සිටීම තරයේ ප්‍රතික්ෂේප කළාය. එහිදී ඇය ඉතාම සවිඥානාත්මකව සිංහල බෞද්ධ ගැමි කාන්තා ප්‍රතිරූපය ආරක්ෂා කර ගත්තාය.

එම සිද්ධිය පිළිබඳ හෙන්රි ජයසේන තමාගේ ‘නිම් නැති කතාවක්’ පොතේ මෙසේ සඳහන් කර ඇත.

‘අපේ දිනය ළංවත්ම, අප චිත්‍රපටයෙහි ප්‍රධාන නිළියගේ එනම් පුණ්‍යා හීන්දෙණියගේ ඡායාරූප ගැනීම සඳහා සෑම පුවත්පතකින්ම පාහේ ඡායාරූප ශිල්පීහු සහ වාර්තාකරුවෝ අප සොයා ආහ. ඔවුන් වැඩි දෙනෙකුට අවශ්‍ය වූයේ පුණ්‍යා නාන ඇඳුමින්, ඒ කියන්නේ බිකිනි ඇඳුමින් සැරසුණු ඡායාරූප ගැනීමටය. පුණ්‍යා එකහෙළාම ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළාය.

‘මට එසේ කළ නොහැකියි’ ඇය තරයේම කියා සිටියාය.

‘ඒ ඇයි?’ මවිතයට පත් වාර්තාකරුවෝ ඇසූහ.

‘එවැනි නිරුවත් ඇඳුමකින් පෙනී සිටීම මගේ රටේ සංස්කෘතියට හා සදාචාරයට එකඟ නෑ!’ ඇය යළිත් තරයේ කියා සිටියාය.

පසුදා පුවත්පත් සියල්ලම පාහේ පුණ්‍යාගේ ඡායාරූපවලින් පිරී තිබිණි.

‘ලංකාවේ නිළිය අඩ නිරුවත ප්‍රතික්ෂේප කරයි’

‘පුණ්‍යා හීන්දෙණිය බිකිනි ඇඳීමට බෑ කියයි’

‘කිසි දිනෙක මගේ රටට අවනම්බු වන විදියට මා හැසිරෙන්නේ නෑ!’

මෙවන් පොල් ගෙඩි සිරස්තල සමඟ පුණ්‍යා රෙද්දෙන් හැට්ටයෙන්, ඔසරියෙන්, සාරියෙන් සැරසුණු මනස්කාන්ත ඡායාරූප සෑම පුවත්පතකම පාහේ පළ විණි. ඇත්ත වශයෙන්ම ඇගේ් මෙම ප්‍රතිපත්තිය නිසා ඇය උළෙලට පැමිණි වෙන කිසිදු නිළියක් නොලත් ප්‍රචාරයක් ලද්දාය.

‘සිකුරු තරුව’ පුණ්‍යා රඟපෑ තවත් චිත්‍රපටකි. එයද ගම්පහ සිනමා කණ්ඩායමේ නිපැයුමක් විය. මෙහි පුණ්‍යා රඟපෑවේ අනුලා නමැති ගැමි තරුණියගේ් චරිතයකි.

‘පරසතු මල්’ ඇය ඊළඟට රඟපෑ චිත්‍රපටයයි. එයද ගම්පහ සිනමා කණ්ඩායමේ නිෂ්පාදනයකි. ‘පරසතු මල්’ මුල් තිර නාටකය ලියැ වී තිබුණේ පුණ්‍යා රඟපෑ කමලාගේ චරිතය කේන්ද්‍ර කර ගෙන බවක් අප අසා ඇත. (පී. ;ක්. ඩී. ඉනික්බිතිව ‘රන්සළු’ චිත්‍රපටයේ කතා පිටපත ලීවේද පුණ්‍යා සිහියේ තබාගෙනය). ‘පරසතු මල්’ පුණ්‍යාගේ රංගනය විශිෂ්ට වුවත් නෝනේගේ චරිතය රඟපෑ අනුලා කරුණාතිලක ද ඇයට නෙදෙවැනි ආකාරයෙන් චරිතාංග නිරූපණයේ යෙදෙන්නීය. 1968 පැවති එක්සත් ලංකා රසික සංගම් සම්මාන උළෙලේදී පුන්‍යා මෙහි රඟපෑම් සඳහා හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවාය.

‘චණ්ඩියා’ හා ‘සීතල වතුර’ යන චිත්‍රපටවල ප්‍රධාන චරිත සඳහා මුලින්ම තෝරාා ගැනුණේ පුණ්‍යා වුණත් ඇය යම් යම් හේතු මත ඒ චිත්‍රපටවල රඟපෑම ප්‍රතික්ෂේප කළාය. පුණ්‍යා කිසිදාක වාණිජ අරමුණු පෙරදැරි කරගෙන චිත්‍රපටවල රඟපෑ නිළියක නොවීම සුවිශේෂත්වයකි. කෙතරම් ආර්ථික අපහසුකම් මැද වුව ඇය මුදල් තකා රඟපෑමේ නොයෙදුණාය. ඒ සම්බන්ධයෙන් අපි අපේ ගෞරවය මේ විශිෂ්ට නිළියට පුද කළ යුතු වන්නෙමු.

‘රන්සළු’ පුණ්‍යා රඟපෑ තවත් සිනමා පටයකි. ඇය ප්‍රථම වතාවට ඉංග්‍රීසි කතා කරන නාගරික ප්‍රභූ පන්තියේ චරිතයකට ප්‍රවිෂ්ට වූයේ මේ චිත්‍රපටයෙනි. සුජාතා රත්නසූරිය එම චරිතයේ නම විය. 1968 පැවති ‘සරසවිය’ සම්මාන උළෙලේදී මෙහි රඟපෑම් සඳහා පුණ්‍යා හොඳම නිළිය සම්මානය ලැබුවාය.

මහාචාර්ය සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘රන්වන් කරල්’ අර්ධ වෘත්තාන්ත චිත්‍රපටයේ ද පුණ්‍යා රඟපෑවාය. 1968 දී වෛද්‍ය මෙල්රෝයි නානායක්කාර සමඟ විවාහ වූ පුණ්‍යා සිනමා රංගනයෙන් සමු ගත්තාය. පුණ්‍යා යළි අවුරුදු ගණනාවක ඇවෑමෙන් චිත්‍රපටයක රඟපෑවේ ‘ගම්පෙරළිය’ දෙවැනි කොටසේය. එනම් ‘කලියුගයේ’ය. එය ද ‘ගම්පෙරළියේ’ ආ නන්දාගේම මැදි වයසේ චරිතයයි. පුණ්‍යාගේ රඟපෑම් සියලු විචාරකයන් බුහුමනට ලක් කළත් ප්‍රවීණ සිනමා නළු ටෝනි රණසිංහ පමණක් එම රඟපෑම් විවේචනය කර ඇත. නියරක් දිගේ පොල් අත්තක් ඇදගෙන යෑම රඟපෑමක් නොවන බව ඔහු කියා තිබිණි.

එබඳු දර්ශනවලට බෙහෙවින් පෙනී සිටියේ පුණ්‍යා බැවින් ටෝනිගේ ඒ දෝෂාරෝපණය එල්ල වන්නේ පුණ්‍යාට යැයි සැකයෙන් තොරව සිතිය හැකිය.

ගමේ ගැහැනු පොල් අතු බිම දිගේ ඇදගෙන යනවා මිසක් උඩ තියාගෙන යන්නෙ නැහැනේ.’

පුණ්‍යා ඊට පිළිතුරු වශයෙන් පවසා තිබිණි.

2000 වසරේ පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී පුණ්‍යා ස්වර්ණ සිංහ සම්මානයෙන් පිදුම් ලද්දීය.

පුණ්‍යා එංගලන්තයේ ටෙලිවිෂන් ට්‍රේනිං සෙන්ටර්හී සිනමාව හා රූපවාහිනිය පිළිබඳ පාඨමාලාවක් හදාරා ඇත. ඇය වරක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වුවත් එය මෙතෙක් ඉටු වී නොමැත.

0 comments:

Post a Comment