----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

බූරුවා මහත්තයා සමග මනෝ යළිත්..

Saturday, March 12, 2011

බූරුවා මහත්තයා සමග මනෝ යළිත්..



වේදිකාවේ රැඳී සිටීම දුෂ්කර ක්‍රියාවක්‌. ඒ නිසාම නාට්‍යයක්‌ දෙකක්‌ හැදූ අය වේදිකාව අතහැර යති. වේදිකාවෙන් මුදලක්‌ හම්බකර ගත නොහැකි නිසා නළු නිළියෝද වේදිකාව හැර එක්‌කෝ මෙගා ටෙලි නාට්‍ය රඟති. නැතිනම් නිවේදන කටයුතු කරති.

අවුරුදු හතළිහක්‌ අඛණ්‌ඩව වේදිකාවේ රැඳී සිටිමින් දුක්‌ කඳුළු විඳ නාට්‍ය හතක්‌ නිර්මාණය කළ අයෙක්‌, තමාගේ නාට්‍යවල පමණක්‌ නොව මේ අවුරුදු හතළිහ පුරා අන් අයගේත් නාට්‍යවල රඟපෑ අයෙක්‌ සිටීනම් හේ ජයලත් මනෝරත්නය. මනෝරත්න සර්වකාලීන වටිනාකම් සහ ජීවිතය ගැන කියා දෙන නාට්‍යකරුවෙක්‌ බව විචාරකයෝ පවසති. දැන් ඔහු සිය අටවැනි නිර්මාණය සමග ප්‍රේක්‍ෂකයා හමුවට පැමිණීමට සූදානම්ව සිටී. මනෝ මෙවර වේදිකාවට ගොඩවන්නේ කතා කරන බූරුවෙකු සමගිනි. අසූවේ කණ්‌ඩායම සමග එක්‌ව "බූරුවා මහත්තයා" මෙම 11, 12 යන දිනවල සවස 6.45 ට ලුම්බිණි රඟහලේද ඊට පසුදා එනම් 13 වැනිදා සවස එල්ෆීන්ස්‌ටන් රඟහලේද ප්‍රේක්‍ෂකයා හමුවට පැමිණේ.

ප්‍රවීණ නාට්‍යවේදී රංගන ශිල්පී ජයලත් මනෝරත්න "බූරුවා මහත්තයා" පිළිබඳ "දිවයින ඉරිදා සංග්‍රහය" සමග සම්මුඛ සාකච්ඡාවක්‌ කළේය. මතු පෙළ ගැස්‌වෙන්නේ එකී සාකච්ඡාවේ සටහන්ය.

ඔබ මෙවර වේදිකාවට ගෙන එන්නේ නවකතාවක්‌ ඇසුරෙන් හැදූ නාට්‍යයක්‌... මෙයට අපට අලුත් අත්දැකීමක්‌"

මෑත කාලයේදී කිසිවෙකු නවකතාවක්‌ වේදිකාවට ගෙනැවිත් නැහැ. මා ඒ ගැන සොයා බැලුවා. මහාචාර්ය තිස්‌ස කාරියවසම් මහතාගෙනුත් විමසීමක්‌ කළා. අතීතයේදී ඩබ්ලිව්. ඒ. සිල්වා, ටී. බී. ඉලංගරත්න, ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා යන අයගේ නවකතා ඇසුරින් නාට්‍ය හැදිලා තියෙනවා. මම දැන් කරන අලුත් නිර්මාණය "බූරුවා මහත්තයා" ක්‍රිෂන් චන්දාර් නමැති උර්දු ලේඛකයාගේ "මිස්‌ටර් ඩොන්කීස්‌ ඔටෝ බයෝග්‍රපි" කෘතියේ සිංහල පරිවර්ථනය ඇසුරෙන් කළේ. එය ගුණතිලක මැටියගනේ නමැති ලේඛකයා විසින් සිංහලයට පරිවර්ථනය කළේ. "සද්ගුණවත් බූරුවා මහතාගේ ස්‌වයං ලිත චරිතාපදානය" නමින්. මේ නවකතාව කියවද්දී මට හිතුණා එය සාහිත්‍යයෙන් එහා මානයකට ගෙන යා යුතුයි කියා. නවකතා නොබලන අය ඉන්නවා නාට්‍ය බලන. ඉතින් මම මේ නව කතාවෙන් නාට්‍ය පිටපත රචනා කළා. මා කලින් කළ "ලෝකය තනියායක්‌" කළේත් මහගම සේකරයන්ගේ ප්‍රබන්ධ කාව්‍යක්‌ ඇසුරින්. නාට්‍ය කලාව සාහිත්‍යයෙන් තොර විය යුතුයි කියා සමහරු කියනවා. ඒත් සාහිත්‍යයෙන් තොර නාට්‍යයක්‌ තියෙන්න බැහැ කියන කරුණ මම විශ්වාස කරනවා. අපි ගුරුහරුකම් ලැබුවේ, හැදුනේ වැඩුනේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්, සුගතපාල ද සිල්වා, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන වැනි ජ්‍යෙෂ්ඨයන් යටතේ. ඒ වැඩ කරද්දී දැනුණා නාට්‍ය කලාවට සාහිත්‍යය අත්‍යවශ්‍ය බව එනිසා තමයි "ගුරු තරුවෙන්" පවා මා විමසුවේ සාහිත්‍යයෙන් තොර සමාජයක්‌ සාධනීයව පවතීද යන්න.

අපි නව කතාවකින් සාහිත්‍ය රසයක්‌ ලබනවා. ඒත් එය එතැනින් තවත් පුළුල් තැනකට ගෙන යා යුතුයි කියා හිතුණා. මේ නවකතාව කියවා බලන්න. එය කියවද්දී දෘශ්‍ය රූප මැවෙන ආකාරයටයි ලියා තිබෙන්නේ. ශූර පරිවර්තනයක්‌. මම හත් අට වතාවක්‌ කියවුවා.

කෙනෙකුට "බූරුවා" යෑයි ඇමතූ විට එතැනම විශාල අපහාසයක්‌ තියෙනවා. "බූරුවා මහත්තයා" ඊටත් වඩා ලොකු අපහාසයක්‌. ඇයි ඔබ මෙවර බූරුවෙක්‌ මගින් අපේ ප්‍රේක්‍ෂකයා අමතන්නේ. ඔබ මේ අපහාස කරන්නේ කාටද?

මේ නාට්‍යයේ පොඩි උත්ප්‍රාසයක්‌ තියෙනවා. ගැමි නාටකයේ කෝළම් සම්ප්‍රදාය අනුව සමාජයේ පහළ පීඩිත පැලැන්තිය ප්‍රභූ පැලැන්තිය උපහාසයට ලක්‌ කරනවා. මුදලි කෝළම, පොලිස්‌ කෝළම වැනි කෝළම් වලින් කියන්නේ මේ උසස්‌ පැළැන්තියේ සැබෑ තත්ත්වයයි. "බූරුවා මහත්තයා" කීවාම එතැනම නොගැලපීමක්‌ තියෙනවා. බූරුවාට මහත්තයා කියන වචනය එකතු වුණාම වෙනම අර්ථයක්‌ ගොඩනැඟෙන්නේ. මා මෙහිදී විමසනවා කකුල් දෙක බූරුවාටද, කකුල් හතර අපටද? කියා. "මම බූරුවාද ඔබ මහත්තයද" කියාත් විමසනවා.

මේ බූරුවා ගැන කෙටි විස්‌තරයක්‌ කළොත්...?

ඔව්.... මෙයා රෙදි අපුල්ලන්නෙක්‌ ළඟ වැඩකරන බූරුවෙක්‌. අදත් මේ වගේ අය ඉන්නවනේ... ඉතින් දවසක්‌ මේ අපුල්ලන්නාව කිඹුලෙක්‌ ඩැහැගෙන යනවා. මේ බූරුවා කෙළෙහිගුණ දන්නා කතා කරන්න පුළුවන් හොඳ බූරුවෙක්‌. ලියන්න කියවන්නත් පුළුවන්. යමක්‌ කමක්‌ ගැන දන්නා බූරුවෙක්‌. ඉතින් අපුල්ලන්නාව කිඹුලා කනවා. පවුලේ අය අසරණ වෙනවා. බූරුවා මේ පවුලේ අය වෙනුවෙන් රජයේ කාර්යාලවලට ගිහිං උදව් උපකාර ඉල්ලනවා. ඉතින් ඒ අවස්‌ථාවලදී බූරුවා මුහුණ පාන තත්ත්වයන් තමයි නාට්‍යයෙන් කියන්නේ. ඇත්තටම බුරුවා වන්නේ කවුද යන්න වටහාගන්න පුළුවන්. අද රජයේ කාර්යාලයකට ද්‍රවිඩ ජාතිකයෙක්‌ ගියාම ලැබෙන ප්‍රතිචාර, දුර බැහැර ගැමියෙක්‌ ගියාම දක්‌වන ප්‍රතිචාර සහ ටයි දමාගත් ඉංගී්‍රසියෙන් කතා කරන කෙනෙක්‌ ගියාම දක්‌වන ප්‍රතිචාර වෙනස්‌. අද අපි අපි අතරම තිබෙනවා හිනාවෙන්න හැකි බොහෝ දේ. මෙවැනි නාට්‍ය හඳුන්වන්නේ ට්‍රැජි කොමඩි ෙ€ද සුඛාන්ත (ඔර්dටහ ඤපැdහ) කියලා. හාස්‍ය රසය සමග යටි පෙළින් ෙ€දවාචකයක්‌ ගැනයි කියන්නේ.

අපේ සමාජයේ හරස්‌ කඩක්‌ ගත්තාම මේ තත්ත්වය දකින්න පුළුවන්. අද සමාජය විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්නවා. ඒත් යටින් ලොකු කඩා වැටීමක්‌ තිබෙනවා. ක්‍රිෂන් චන්දර්ට හමුවෙනවා නේරුව. නාට්‍යයේත් මේ චරිතය එනවා. නේරු සමග බූරුවා කතා කරනවා. තනි පුද්ගලයෙක්‌ හොඳින් පාලනය කරන රාජ්‍යයක්‌. ඔහුගේ පෞරුෂත්වය කවදාහරි නැති වුණාම රටට මොනවද වෙන්නේ... සමකාලීන ප්‍රශ්නත් "බූරුවා මහත්තයා" කතා කරනවා.

තලමල පිපිලා, අන්දරේලා, ගුරුතරුව, සඳගිර, කනේරුමල්, ලෝකය තනි යායක්‌ සහ සුදුරෙදි හොරු සමග බූරුවා මහත්තයා වෙනස්‌ වන්නේ කෙසේද?

මූලික වශයෙන් ආකෘතිමය ලෙස වෙනස්‌ වෙනවා. නව කතාවක දීර්ඝ පරාසය වේදිකාවට නඟන්න බැහැ. කෙටි කරනවා. පෙන්වන්න බැරි දේ අයින් කරනවා. ඒත් ඉවත්කරන කොටස්‌ පූරක හරහා ගීයකින් ඉදිරිපත් කරනවා. ආලෝකය සහ අඳුර මගින් "බූරුවා මහත්තයා" ජවනිකා ඉදිරියට ගෙන යනවා. අනෙක මාගේ හැම නාට්‍යයකම සමාජයේ මට දැනෙන දේ තමයි ප්‍රශ්න කළේ. ක්‍රිෂන් චන්දාර්ගේ නව කතාව හැත්තෑවේදී කී දේ අදටත් ගැලපෙනවා. මේ නාට්‍යයේ උත්ප්‍රාසයෙන් යුක්‌තයි. "කතා කරන බූරුවා" යන්නම හාස්‍යයක්‌ මම මෙහිදී සාහිත්‍ය බොහෝ වශයෙන් පාවිච්චි කළා. නර්තනයත් යොදා ගත්තා. පෙරදිගට හුරු නාට්‍ය ශෛලීන් ගොඩනඟද්දී මේවා ප්‍රයෝජනයට ගත යුතුයි. මෙහි දුරස්‌ථිකරණය, වර්ණ රංගය කියන ලක්‍ෂණ තිබෙනවා.

"බුරුවා මහත්තයා" අපට අපේ රටට ගලපා ගන්න පුළුවන්ද?

මං හිතන්නේ අමාරු නැහැ. මෙය ඉන්දියානු නවකතාවක්‌. ඉන්දියාව අපට කිට්‌ටු රටක්‌. ඒ කියන දේ අපටත් අදාළයි. බූරුවා කීවාම මැවෙන චිත්‍රය අපට ඈත නැහැ. මහත්තයා කියන වචනයේත් එක්‌තරා අර්ථයක්‌ තියෙනවා. අමන, මෝඩ, හැම දෙනාගේම පහරට ලක්‌වෙන, කිසිවක්‌ නොදන්නා සතෙක්‌ තමයි බූරුවා. බූරුවෙක්‌ ආයතනයකට ගිහිං වැඩක්‌ කර ගනිද්දී ඇතිවන සංවාදය සාමාන්‍ය කෙනෙකුට වඩා ආකර්ෂණීයයි.

ඔබ වසර හතළිහකට වඩා වැඩි කාලයක පටන් වේදිකාවේ රැඳී සිටිනවා. මේ කාලය තුළ වේදිකාවේ සිදුවූ වෙනස්‌කම් ඔබ දුටුවේ කිනම් ආකාරයටද?

ඔව්. පසුගිය වසර හතළිහ පුරාම මම අඛණ්‌ඩව වේදිකාවේ රැඳී සිටියා. එනිසා එකල සහ මෙකල වේදිකාව ගැන හොඳ අත්දැකීමක්‌ තියෙනවා. මේ කාලය තුළ එක එක රැළි, උස්‌ පහත්වීම් දකින්න ලැබෙනවා. ඒත් අද වේදිකාවේ විශාල ප්‍රබෝධයක්‌ දකින්න පුළුවන්. මේ ප්‍රබෝධය අපට දකින්න ලැබෙන්නේ පසුගිය දශක දෙක සමග සැලකු විටයි. හොඳ නාට්‍ය අද තැනතැන පුහුණු වෙනවා. රංග ශාලා, දින ගණන් වෙන්වෙලා. රසිකයෝ ශාලාවලට එනවා. මේකට හේතු කිහිපයක්‌ තියෙනවා. එකක්‌ තමයි යුද්ධයේ නිමාව. එදා තිබූ සීමාවන් තුළ ජනතාවගේ ජීවිතය හැඩ ගැසී තිබුණා. දැන් ඒ තත්ත්වය ලිහිල් වෙලා. දෙවැන්න තමයි රූපවාහිනිය ප්‍රසාංගික ලක්‍ෂණවලින්, නාට්‍යවලින් පහත වැටීම. එහි අතිශය ෙ€දනීය පරිහානියක්‌ දකින්න ලැබෙනවා. එනිසා ජනතාව රූපවාහිනිය අතහැරලා එළියට එනවා. අනෙක නාට්‍ය හා රංග කලාව ගැන පාසල් මට්‌ටමේ සිට එන ප්‍රබෝධය මේ ප්‍රබෝධය කොතරම් තිබුණත් නාට්‍යකරුවාගේ පැත්තෙන් කිසිම පහසුකමක්‌ නැහැ. අද නාට්‍යයක්‌ පුහුණුවෙන්න කොළඹ කිසිම තැනක්‌ නැහැ. අපි අවුරුදු හතළිහක්‌ නාට්‍ය පුහුණුවීම් කළේ අගුපිල්වල. පිට පළාත්වල නාට්‍ය ශාලා අතිශය දුෂ්කරයි. ශබ්දය ඇහෙන්නේ නැහැ. විදුලි ආලෝකය නෑ. වැසිකිළි පහසුකම් නැහැ. නාට්‍යයක්‌ පිට පළාතකට ගෙන යද්දී ප්‍රවාහන පහසුකම්වලට විශාල වියදමක්‌ යනවා. ඒ වගේම ශිල්පීන්ට වේදිකාවට වඩා අනෙක්‌ මාධ්‍යවලින් ආර්ථික වශයෙන් හොඳ මිලක්‌ ලැබෙනවා. ඒත් වේදිකා නාට්‍යයකින් ජීවත් විය හැකි මුදලක්‌ ගෙවන්න බැහැ. එනිසා ජ්‍යෙෂ්ඨයන් වේදිකාවේ රඳවා ගැනීම අමාරු දෙයක්‌.

නාට්‍ය සහ සෞන්දර්ය ලෝකය තුළදී ඔබ අනුගමනය කරන පරමාදර්ශී චරිතයක්‌ තිබෙනවාද?

අපට සරච්චන්ද්‍රයන් වෙන්න බැහැ. ඒත් එතුමාගේ ක්‍රියා මාර්ග අදත් අපි අනුගමනය කරන්න උත්සාහ කරනවා. ඊළඟට මම ඉතාම කැමැත්තක්‌ දක්‌වනවා දයානන්ද ගුණවර්ධනයන්ට, සරච්චන්ද්‍රයන් විදග්ධ තැනකත්, දයානන්ද ගුණවර්ධනයන් ජන සම්ප්‍රදායේත් හිටියා. මේ දෙකේම සංකලනයක්‌ අපට අවශ්‍යයි. ඈතින් පහන් කණුවක්‌ පෙනෙද්දී අපි ගමන් කරන්නේ එදෙසටයි. මේ අය අපට පහන් කණු වගේ.

සංවාද සටහන
අජිත් අලහකෝන්


Copy Rights - Divayina

0 comments:

Post a Comment