මම තවමත් ඉගෙනගන්නවා!
ප්‍රවීණ අංග රචනා ශිල්පී රංගධර - වසන්ත විට්‌ටච්චි
"තියරිය" ටිකක් බර වැඩියි. ඒත් තියරිය ගැනත් යමක් දැනගන්න ඕන.... ඉතිං "තියරිය සරලව කියන" කතාබහට කිසිවකු හෝ සම්බන්ධ කරගැනීමේ වුවමනාව අපට තිබ්බා. අංගරචනය කියන විෂයය ගැන මතක් වුණේ එතකොට. "රචනා" ලිවීම කොහොම වෙතත් "අංගයක් රචනා" කරන එක එතරම්ම පහසු දෙයක් නොවෙයි. අතක් පයක් කැඩුණොත්, කැඩුම් බිඳුම් වෛද්‍යවරයකුට ඒ අංගය කොහොමහරි "රචනා" කරලා දෙන්න පුළුවනි. ඒත් ඒක විෂයයක් විදියට නාට්‍යයට සිනමාවට බද්ධ වෙන්නේ කොහොමද?
මේ කාරණය ගැන "තියරිය සරව" කතාකරන්න වසන්ත විට්‌ටච්චි අපි සමඟ එකතු වුණේ මෙහෙමයි. විට්‌ටච්චි ගැන දිගු හැඳින්වීමක් කරන්න අවශ්‍ය නැහැ. ඒත් ඔහු මේ වෙනකොට සිනමාව - වේදිකා - නාට්‍යය - රූපවාහිනිය ත්‍රිත්වයේම සම්මාන ගණනාවක් හිමිකර ගත්ත ප්‍රවීණයෙක් බව අමතක කරන්නට හොඳ නැහැ. අදාළ විෂයයෙහි ඒ වගේ දස්‌කමක් කරපු එකම කෙනාත් වසන්ත විට්‌ටච්චි බවයි අපේ හැඟීම.
ඔබ මේ ක්‍ෂේත්‍රය තෝරාගත්තේ කුමන පසුබිමක සිටද කියන කාරණය අපි මුලින්ම දැනගන්න කැමැතියි.
මම ඉගෙනගත්තේ වැල්ලම්පිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ. පාසල් යන වියේ සිටම රසවින්දනය ගැන මට පොඩි ඉවක් තිබුණා. චිත්‍රපටයක් බැලුවත් ඒක ගැන තව කෙනෙක් එක්‌ක බුද්ධිමය සංවාදයක යෙදීමේ උවමනාව මට තිබුණා. අපි කිහිපදෙනෙක් ඒකට එකතු වුණා. 1975 දී මම සෝවියට් සංස්‌කෘතික මධ්‍යස්‌ථානයට බැඳෙන්නේ රුසියානු භාෂා ඩිප්ලෝමාවක් හදාරන්න. ඒ මගේ හීනය රුසියාවට ගිහින් ඉගෙනගන්න එක නිසා. මට ඇත්තෙන්ම මොස්‌කව්වල නාට්‍ය හා රංග කලාව හැදෑරීමේ අවස්‌ථාවත් හිමිවුණා. නමුත් ඒ අවස්‌ථාව මගෙන් ගිලිහුණා. මම ඒ යුගයේම මගේ මිතුරකුගේ "රත්තෝ" කියන නාට්‍යයට සම්බන්ධ වුණා. ඒත් මේ ගැන විධිමත්ව හැදෑරීමේ වුවමනාව නිසා මම ලයනල් වෙන්ට්‌ඩ් රංග ශිල්ප ශාලිකාවට බැඳුණා. ධම්ම ජාගොඩ, මහැදුරු එදිරිවීර, සරත්චන්ද්‍ර ප්‍රවීණයන් යටතේ මම නාට්‍ය හැදෑරුවා. හැදෑරීමේ වුවමනාව මට තදින්ම තිබුණා. ඒ වකවානුවේම මට රංජිත් වික්‍රමසිංහ කියන අංග රචනා ශිල්පියා මුණගැහෙනවා. මේ 80 දශකයේ විතර.... රංජිත් මගේ මුල්ම ගුරුවරයා.... ඔහු ඔහුගේත් ගුරුවරයා වන ශේෂා පලිහක්‌කාර මට මුණගස්‌සනවා. ඒක තමයි මට ලැබිච්ච ලොකුම තෑග්ග. ශේෂා පලිහක්‌කාර ඇදුරුතුමන් යටතේ මම සිනමා අංග රචනයට යොමුවෙනවා. ඒක තමයි මගේ ගමනේ ආරම්භය.
අංගරචනා ශිල්පියකු හැටියට ඔබට "වේදිකාව" ගැන ඇත්තේ මොන වගේ අදහසක්‌ද?
"වේදිකාවට" ගොඩවෙලා කරන හැම දේම "වේදිකා නාට්‍ය" නොවන බව මුලින්ම කියන්න ඕන. බොහෝම ග්‍රාම්‍ය දේවල් පවා වේදිකාවට පටවපු පමණින් ඒවා වේදිකා නාට්‍ය වෙන්නේ නැහැ. නාට්‍යයක් බලනකොට අපිට "රසය" දැනෙනවා. එය ස්‌මරණය කරමින් අප රස විඳිනවා.
අන්තර්ගතය වේදිකාව මත චිත්‍රණය කරන විදිය, චරිත සමබරතාවය, කතාව හෝ චරිත විහිදී යන විදිය කොයිතරම් මිහිරිද - රසයක් දනවනවාද? හැබැයි වේදිකාවේ හතර කොන නොදැන ඉලඇට ඇදෙන දෙබස් ටිකක් වේදිකාවට ගොඩ බාපු පමණින් එය නාට්‍යයක් වෙන්නේ නැහැ. වේදිකාවටත් වඩා "රඟමඩල" කියන වචනය මම භාවිත කරන්න කැමැතිsයි. "රඟමඩලේ" කුමන හෝ තැනක් භාවිත කළ යුත්තේ අර්ථාන්විත යමක් සඳහා පමණයි.
මේ තරම් අපූරු වේදිකාවට "අංගරචනය" සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කළොත්.....
අංග රචනය කියන මේ විෂයය අතීතයේදී වේශ නිරූපණය යනුවෙන් හඳුන්වපු අවස්‌ථාත් තිබුණා. වේෂ නිරූපණයට හිසේ සිට දෙපතුළ දක්‌වා කරන්නා වූ සියලු වෙනස්‌කම් ඇතුළත්. ඇඳුම් ආයිත්තම් - ආභරණ මේ සියලු දේ ඊට අයත්. අංග රචනය ඊට වඩා පුළුල් අර්ථයක් දෙනවා. අපේ මුහුණෙහි ඇතිවන ඉරියව් සුවිශේෂී ලෙස මතුකොට දැක්‌වීම ඉන් හැඟවෙනවා. "ඉරියව්" තමයි අපි අංග හැටියට හඳුන්වන්නේ. එහෙම නම් මුහුණෙහි ඉරියව් ප්‍රේක්‍ෂකයාට ප්‍රක්‌ෂේපණය කිරීම සඳහා රචනා කිරීම අංග රචනය ලෙස හැඳින්වීමට හැකියි. මම හිතන්නේ වේදිකාවේදී තමයි මෙය වඩාත් හොඳින් කළ යුතුවන්නේ, මොකද සිනමාවේ හෝ රූප රාමුවේ දකින සමීප රූපයකට වඩා එය වඩාත් ආකර්ෂණය හා සෞන්දර්යාත්මක විය යුතුයි. ඈත වේදිකාවේ රංගනයේ යෙදෙන අයගේ සියලු ඉරියව් වේදිකාවේ කෙළවරට පෙනෙන්න නම් වේදිකාව තුළ අංගරචනය කොතරම් ප්‍රබල විය යුතුද කියන එක ගැන වෙනත් විග්‍රහයක් අවශ්‍ය වන්නේ නැහැ.
ඒත් තමන් වේෂ නිරූපණය හා අංග රචනය පටලවා ගන්න අවස්‌ථා තිබෙනවා...
ඔව්... මම අර මුලින් කිව්වා වගේ වෙස් ගැන්වීමට කිහිපදෙනකුගේ සහභාගිත්වයක් තිබිය හැකියි. සම්පූර්ණ ඇඳුම් ආයිත්තම්වලින් රංගන ශිල්පියකු වෙස් ගැන්වීම හා අංගරචනය අතර වෙනස පැහැදිලි කරගත යුතුයි.
අංග රචනය එතරම් ප්‍රබල විෂයයක් වුණෙත් එය අපේ රටේ බොහෝ විට හුදු සායම් තැවරීමට පමණක් සීමා වන බවයි කියෑවෙන්නේ.
ඇත්තටම එතැනදී මේ වචන භාවිතයේ වරදක් තියෙනවා. අපි කතාවට කියන්නේ මේක්‌අප් (ඵ්නැමච) කියල නේ. මනාලියන්ට ඇන්දවීම, මෝස්‌තර නිරූපණය සහ සාමාන්‍ය ජන ජීවිතයේ සමහරු එළියට බහිනකොට වුණත් පොඩි මේක්‌අප් එකක් දාගන්නවා. දැන් ඒවාත් අංග රචනය හැටියටයි අර්ථ ගන්වන්න යන්නේ. අපි ඒක වේදිකාවේ අංගරචනය හැටියට ගත්තොත්. සරල අංග රචනය, චරිතාංග අංග රචනය, මායාකාරී අංගරචනය ආදී විවිධ කොටස්‌වලින් කතා කරනවා. සරල අංග රචනය හා චරිතාංග අංගරචනය කියන එක ඒ වචනවලින්ම අර්ථ ගැන්වෙනවා. මායාකාරී අංග රචනය, විශේෂ අංග රචනා ගණයට අයත් වෙනවා. ඒ කියන්නේ මනඃකල්පිත හෝ මේ භූමිය මත නොහිටපු චරිතයක් වෙන්න පුළුවන්.... ඒ වගේ සංකීර්ණ ක්‍රියාදාමයක් ඇත්තටම "සායම් ආලේප කිරීම" හැටියට පමණක් අර්ථ දැක්‌වීම වැරදියි. මේ සියල්ලටම ඇඳුම් නිර්මාණය - ආලෝකකරණය ආදී විෂයය පථයනුත් එකට බද්ධ වෙනවා.
එය යම් පමණකට පැහැදිලි කරන්න පුළුවන්ද?
ඇඳුම් නිර්මාණයට ගැළපෙන පරිදි අංගරචනය සිදුවිය යුතුයි කියන කාරණේ ගත්තොත් වර්ණ ගැළපීම ඉතාම ප්‍රශස්‌ත විය යුතුයි. නැතිනම් ඇඳුමේ වර්ණය එකක් හෝ අංගරචනයේදී යොදාගන්න වර්ණ භාවිතයන් වෙනස් වුණොත් ඒ වෑයමෙන් ඵලක් නැතුව යනවා. එහෙම නැතිනම් අපි පැතලි ආලෝක තත්ත්වයක් යටතේ අංග රචනය නිසියාකාරව සිදුනොවී තිබුණොත් "ඉරියව්" හරි හැටි පෙනෙන්නේ නැතිව යනවා.
ක්‍ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට හෝ ක්‍ෂේත්‍රයන්ට පිවිස මෙය "හදාරන" අයට ඔබට කියන්නට යමක් තිබෙනවද?
ඇත්තෙන්ම ඔව්.... අර ඔබ කිව්වා වගේ හැදෑරීම තරම් වටින දෙයක් නැහැ. නමුත් අවාසනාවකට වගේ අද වෙනකොට හදාරනවාට වඩා ඉතාම ඉක්‌මණින් ක්‍ෂේත්‍රයේ ඉහළට යන්න උත්සාහ දැරීමක් තියෙනවා. කිසිවෙකුත් සහාය ශිල්පියකු ලෙස කටයුතු කරන්න කැමැත්තක් දක්‌වන වගක් පේන්න නැහැ. හැමෝගෙම එකපාර "ප්‍රධාන ශිල්පියා" බවට පත්වෙන්නයි සූදානම. විෂය පිළිබඳව හැදෑරීමක් නැතුව එක්‌වරම එහෙම සිතීමත් ප්‍රධාන ශිල්පියා වීමත් ඔවුනට බොහෝ දේ අහිමි කරනවා. බාගෙට දැනගෙන ප්‍රධාන ශිල්පියා වුණොත් කෙනෙකුට හදාරන්න තරම් කාලයක් නැති වෙන්නත් පුළුවන්. දැන් මගෙත් එක්‌ක සහාය ශිල්පියෙක් හැටියට වැඩ කරන "උපුල් මහානාම" වසර විස්‌සක් පමණ මා සමඟ වැඩ කරනවා. ඔහු ප්‍රධාන ශිල්පියකු හැටියටත් නිර්මාණවලට සහභාගි වෙනවා.
ඒත් මා සමඟ වැඩකරන එක ඔහු නවත්වලා නැහැ. මොකද ඔහුට හැදෑරීමක් අවශ්‍ය නිසා. මම හිතන්නේ නවකයන් මෙවැනි දේ පූර්වාදර්ශ කරගත යුතුයි. මොකද මමත් තවම ඉගෙනගන්නවා.
උදේශ සංජීව ගමගේ
ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
Copy Rights - Divayina
0 comments:
Post a Comment