----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

අනේ අදත් ඔබ සිටියානම්

Monday, March 21, 2011

ජීවත්ව සිටියා නම් මේ 21 වැනිදාට ගාමිණී ෆොන්සේකාට අවුරුදු 75 කි. ඔහු උපන්නේ 1936 වසරේ මාර්තු 21 වැනිදා දෙහිවලදීය. ගාලු පාරේ අදටත් යන විට ඔහු උපන් හැදුණු වැඩුණු නිවහන වල් බිහිවෙමින් තිබෙනු පෙනෙයි. ඔහු රඟපෑ චිත්‍රපට අතරින් රැසක් මීට 28 වසරකට පෙර සහමුලින් විනාශ විය.

තව සමහරක් වරින් වර කතිර මැස්මවලින් යුතුව ටෙලිවිෂන තිරයේ දිග හැරෙයි. එහෙත් ඔහු තවමත් ජීවමානව සිටින වගක් හැඟෙයි. එවන් අය දුර්ලභය.

1936 නම් ඈත වකවානුව අපේ රටේ සිංහල චිත්‍රපට තනන්නට ඇතැමුන් විළි ලද සමයයි. ඔහු උපන්නේ් එහෙම වකවානුවකය. ඔහු පාසල් යන සමය වන විට මෙරට ප්‍රථම චිත්‍රපටය තිර ගත වෙයි.

දෙහිවල එවකට පැවැති පුෂ්පා ශාලාවේ කඩවුණු පොරොන්දුව නරඹන්නට ගිය ආකාරයත්, රුක්මණී දේවිය මුල් වරට දුටු අන්දමත් ඔහු මට කදිමට විස්තර කර දී තිබිණ. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී මුල් මරට මයුරි නාට්‍යයෙන් ඔහු කරළියට පිවිසෙයි. මේ නාට්‍යයේ ඔහු රඟපානුයේ කාන්තා චරිතයකි.

ඒ ඩී. එස්. ජයසේකර ගුරුතුමන්ගේ මඟ පෙන්වීම යටතේය. අරිසෙන් අහුබුදු වැනි හෙළ හවුලේ මහා නයුවන්ගේ ඇසුර සාන්ත තෝමසයේ ඔහු ලබන මහ දායාදයක් වෙයි. හිටි අඩියේ පාසල හැර යන ඔහු සිනමාවට පිවිසෙනුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ රේඛාව සමඟය. ඒ එහි සහාය ශිල්පියකු හැටියටය.

එහි එක් ජවනිකාවක පෙනී සිටීමෙන් පමණක් රංගනයට අවතීර්ණ වන ගාමිණී ඉන් අනතුරුව සිංහල සිනමාව පුරා නළුවකු, අධ්‍යක්ෂවරයකු යන නාමයන් ඉක්ම වූ දැවැන්ත යෝධයකු සේ නැගී සිටියේය. ඔහු පූර්වාදර්ශයක් කොට ගන්නට බොහෝ දෙනා කැමති වූ සේය.

මෙයින් වසර පහළොවකට පමණ පෙරාතුව මෙබඳුම එක් උපන් දිනයක චිරං ජයතු ගාමිණී (මට මතක හැටියට එහි මැය එයම විය ) යන මැයෙන් මම ලිපියක් ලීවෙමි. එය ලියැ වුණේ අන්වර්ථ නාමයකිනි. එහෙත් මේ අන්වර්ථ නාමය සොයා ගැන්මට ඔහු සමත්ව තිබිණ. එපමණක් නොව මගේ දුරකතන අංකය ද සොයා ගැන්මට ඔහු සමත්ව තිබිණි.

ඔහු මා අමතා කතා කළේ ඒ පිළිබඳව ස්තූ®තිය පළ කරන්නටය. එයට පෙර සරසවිය පුවත්පතේ කතුවරයාව සිටි ඒ. ඩී. රන්ජිත් කුමාර මහතානන්ට පින් සිදු වන්නට ගාමිණී ෆොන්සේකා නම් දැවැන්තයා හමු වන්නට මට වරම් ලැබිණ. එවක් පටන් ඔහු ජීවත්ව සිටියදී සෑම උපන් දිනයකටම ලිපියක් ලිවීම මම සිරිතක් කොට ගතිමි.

එබැවින් 75 වන උපන් දිනය වෙනුවෙන් ලිපියක් ලිවීම මම මගේ වගකීමක් කොට ගතිමි. වෙනත් ලිපියක් මෙන් නොව දින කිහිපයක්ම ඒ පිළිබඳව මා පේ වුණා යැයි පැවසුවොත් නිවැරැදිය. එහෙත් මෙවර මේ ලිපිය ලිය වුණේ වෙනදා මෙන් නොව හත් අට වරක්ම මුල පිරීමෙන් පසුවය.

මේ මහා පුරුෂයාණන් කෙරෙහි ලිපියක් ලිවීම මෙවර මට දුෂ්කර වූයේ ඇයි දැයි මම මගෙන්ම අසා ගන්නට කැමැත්තෙමි. ඔහුගේ අභාවයෙන් වසර 6 ක් ගෙවී ගොසිනි. එහෙත් ඔහු තවමත් සිනමා ක්ෂේත්‍රය ඇතුළත බල සම්පන්නය.

නිළි රැජණ මාලිනී ෆොන්සේකා කියන පරිද්දෙන් ගාමිණී ෆොන්සේකා පිළිබඳ කවර හෝ කටයුත්තකට තත්පරයක්වත් එහා මෙහා නොකර යන්නට තරම් ඇය තවමත් ප්‍රවේශම්ය. තත්පරයේ වටිනාකම හොඳින් දන්නා සිනමා සක්විති ගාමිණී, නිළි රැජනට සිය වෘත්තීය ජීවිතයේදී එය මනාව වටහා දී ඇත්තේය.

පසුගිය වකවානුව ඇතුළත ගාමිණී ෆොන්සේකා රඟපෑ චිත්‍රපට රාශියක් මෙරට ටෙලිවිෂන ඔස්සේ පට්ටා ගැසිණි. මේ චිත්‍රපට බොහොමයක් ඔස්සේ ගාමිණීගේ ප්‍රතිරූපය අංග විකල කෙරිණ. ගාමිණී යනු මෙරට සිනමාවේ ප්‍රතිරූපයක් පමණක් නොවේ. විලාසිතාවක් ද වූයේය. මෙහි ඊළඟ විලාසිතාව වූයේ විජය කුමාරතුංගයන්ය. එහෙත් එය එකම කාසියක දෙපැත්තක් නොව, දෙදෙනාටම අනන්‍ය වූ විලාසිතාවකි.

ඔහුගේ රංගනය මෙරට ප්‍රේක්ෂකයන් මුල් වරට දුටුවේ ‘දෛවයෝගය’ චිත්‍රපටය හරහාය. මේ චිත්‍රපට දකින එවකට සිටි සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ පවසන්නේ මානමූල, මුගලන් හා විදුරඟ යන කොටස් රඟපෑ නළුවන් වෙනුවට පඹයින් යොදා පසුබිමින් වචන කතා කර විය හැකිව තිබූූණි. එකම වෙනස චිත්‍රපටයේ වියදම අඩු වීම පමණි යනුවෙන් සඳහන් කරයි.

එහි මානමූල ලෙස රඟපෑවේ ගාමිණීය. එහෙත් මේ චිත්‍රපටය නැවත නරඹන්නෙකුට එකල සමකාලීන නළු නිළියන්ගේ විලාසයට වඩා ගාමිණී වෙනස් බැව් පෙනී යයි. එය ඔහු මනාව ගොඩ නඟනුයේ ඔහුගේ ඊළඟ චිත්‍රපටය වන සංදේශය හරහාය. සමස්ත දෛවයෝගය චිත්‍රපටයේම තිබූ දුර්වලකම්වල කොටසක් කර ගසන්නට ගාමිණීට සිදු වෙයි. එහෙත් ඔහු සංදේශය චිත්‍රපටයේ සිය චරිතය ඉස්මතු කර ගනී.

සංදේශය චිත්‍රපටය නැරඹූ හැම විටම (එය මා මුල් වරට නැරඹුවේ 1981 වසෙර්ය) ගාමිණීගේ රංගනය මා තුළ ඇති කළේ එක් පැනයකි. නළුවකුට තමන්ගේ චරිතය ගොඩ නැගීම සඳහා තිර නාටකය අභිබවා යා නොහැකි ද යන්නයි. ගාමිණී ෆොන්සේකා නම් මහා රංගවේදියාණන්ගෙන් ඒ සඳහා මට ඊළඟ පිළිතුර ලැබුණේ ගම්පෙරළිය සහ වැලිකතර නැරැඹීමෙනි. මේ චිත්‍රපට දෙකම ඔහු ගොඩ නගනුයේ ඔහුට තිර නාටකය ඇතුළත ලැබෙන සීමිත ඉඩකඩ උපයෝගී කර ගෙනය.

මේ රංගනය ඇතුළත විශිෂ්ට ගනයේ ආකර්ෂණයක් විය. එහි වෙන්ව දැකිය හැක්කේ ඔහු සිනමාවට අවතීර්ණ වන සමයේ මෙරට අරක් ගත් ඉන්දීය රංග විලාශයෙන් වෙන්ව ගිය නිසාම නොවේ. පසු කලක රංගනය පිළිබඳ එයින් බැහැරව බිහි වූ පරම්පරාව අභියස ද ඔහුගේ එකී ආකර්ශනීය රංගනය විද්‍යාමාන විය. එමෙන්ම එය කේන්ද්‍ර ගත වනුයේ සිනමා රංගනය නම් විෂය ක්ෂේත්‍රය ඔස්සේමය.

නිධානය, රන්මුතු දූව, ගැටවරයෝ, ධීවරයෝ, පරසතු මල්, චණ්ඩියා, ඔබ දුටු දා, රෑන ගිරව්, සූර චෞරයා, සූරයන්ගෙත් සූරයා, ආත්ම පූජා, ඔහොම හොඳ ද, හතර දෙනාම සූරයෝ, එදත් සූරයා අදත් සූරයා, සදහටම ඔබ මගේ, හොඳම වෙලාව, හොඳට හොඳයි, කස්තුරි සුවඳ, ආශා දෑසින්, නිල්ල සොයා, හිත හොඳ මිනිහෙක්, රත්තරන් අම්මා, ආවා සොයා ආදරේ, සූරයා සූරයාමයි, කවුද රජා, හුලවාලි, දෙවියනි ඔබ කොහිද, චණ්ඩි පුතා, සරුංගලේ, අමල් බිසෝ, උතුමාණනි, සාගරයක් මැද, යුගාන්තය, ආදී විවිධ වූ සිනමා කෘතීන්හී එදා ඔහු රඟපෑ චරිත විවිධාකාර විය.

මේ ඇතැම් චරිතයන් බිහි වූයේ දකුණු ඉන්දීය චිත්‍රපට කේන්ද්‍ර කොට ගෙනය. එහෙත් එහි හැව ඇර ඔහු එය මේ රටේ මස් ලේ ඇති මිනිසකු බවට පත් කරයි. ඒ හැම චරිතයකම ගාමිණී ෆොන්සේකා නම් රංගධරයා බිහි වේ.

ගම්පෙරළියේ නියාලු ජිනදාස ද, යුගාන්තයේ ප්‍රතාපවත් සවිමන් කබලානත් වූයේ ගාමිණීය. මේ චරිත කෙතරම් සමාජ ගතවීද? එය අද මෙන් එක රැයින් රූපවාහිනී හරහා බිහිවන තරු මෙන් නොවේ. ඊටත් වඩා යාවත්කාලීන ගුණයන්ගෙන් යුක්තය. එමෙන්ම එය රූප වාහිනී තිරය මත විඳ ගැනීමට අපහසු තරම් පුළුල් එකකි. ඔහු රඟපෑ

සිංහල චිත්‍රපට සංඛ්‍යාව 98 කි. කප්රුක හා මුහුදින් ගෙදරට වාර්තා චිත්‍රපට යුගළ එක් කළ විට එය 100 වෙයි. නෝබොඩි ඉස් පර්ෆෙට්, රැම්පේජ්, ද ක්‍රිස්ටල් බුක්, සීතා දේවි, ඉලය නීලා, නීල කඩලින් ඕරන්තිලයි වැනි චිත්‍රපට එක් කළ විට එම සංඛ්‍යාව තවත් ඉහළ යයි. මයි ෆෙයා ලේඩි, ජුලියස් සීසර් නාට්‍ය ද ඔහු රංගන ඉතිහාසයට එක් කළ යුතු වෙයි.

ඔහුගේ සිනමාකරණය සෙසු අත්දැකීම්වලින් බැහැරව යයි. පරසතු මල්, උතුමාණෙනි, මයුරිගේ කතාව, සාගරයක් මැද, බාඳුරා මල්, රෑ මනමාලි, සක්විති සුවය, කොටි වලිගය, නොමියන මිනිසුන්, අන්තිම රැය ඔහුගේ අධ්‍යක්ෂණයෙන් තැනුණ චිත්‍රපට වෙයි.

මේ හැරත් ඔහු රඟපෑ බොහෝ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සිටියේ නාමිකව පමණි. එකී ඇතැම් අධ්‍යක්ෂවරු තැනූ වෙනත් චිත්‍රපට ගාමිණී රඟපෑ චිත්‍රපටවලින් සෘජුවම වෙන් කොට ගත හැකි බව පිළිගත් සත්‍යයකි. ඔහු පරසතු මල් තනනුයේ 26 හැවිරිදි වියේදීය. ඔහු පරසතු මල්, උතුමාණනි, සාගරයක් මැද වැනි චිත්‍රපට නිර්මාණකරුවා යනු පෙර ගමන්කරුවකු බව ඉස්මතු කරවන්නකි. පරසතු මල් චිත්‍රපටය අධ්‍යක්ෂණය නොව, බොනී මහත්තයා ගේ චරිතය රඟපෑමට සූදානම් වීම අද පවා අභියෝගයකි. උතුමාණනි චිත්‍රපටයේ එන සමාජ ගැටළුව මෙරට ජනතාව පොදුවේ කතා කරන්නට ගත්තේ එයින් වසර ගණනකට පසුවය.

නිර්මාණකරුවකුගේ සාර්ථකත්වය පසුපස බොහෝ කරුණු ඇත්තේය. ඉන් වඩා වැදගත් වනුයේ ඇසූ පිරූ තැන් ඇති බවය. ඇතැම් මැදියම් රැයක් ගෙවන තුරාවට ඔහු හා සංවාදයේ යෙදුන මට ඔහු තෝරා ගන්නා විෂය පුරාවට එක් කළ දැනුම අප්‍රමාණ බැව් වැටහෙයි. මෙ අතර වාරයේ අලුතින් බිහිවන නවකතාකරුවකු පිළිබඳව, චිත්‍රපටයක් පිළිබඳව ද ඔහු කතා වෙයි. සරත් ධර්මසිරි නම් නවකතාකරුවා පිළිබඳව මා මුල් වරට ඇසුවේ ද ගාමිණී ෆොන්සේකාගෙන්මය.

සිනමා කර්මාන්තයේ නියැලි පිරිස වෙනුවෙන් ඔහු නැගී සිටියේ ද එකී කර්මාන්තයට පිවිසි මුල් දශකය ඇතුළතය. පළමු චිත්‍රපටයේ නිෂ්පාදන සහායකයකු වුව ද ඉන් දශකයක් ගත වන්නට මත්තෙන් ඔහු සිනමා කර්මාන්තයේ සෙස්සන් අභිබවා ගියේය. ඒ සඳහා කළ කැප වීම විශාල එකකි. එය වාසනාවට ළං වූ දෙයක් නොවේ.

ඔහු වාසනාව සොයා ගියේය. මෙකී යුගය ඇතුළත සමාජයෙහි ඉහළ ස්ථාවරයේ සැලකුණු සිනමා නළු නිළියන්ට, කාර්මික ශිල්පීන්ට චිත්‍රගාරවලින් ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. එයින් ඔවුන් මුදවා ගැනීම වෙනම අරගලයක් විය. ගැටවරයෝ චිත්‍රපටය තනන්නට යන නිෂ්පාදක ශේෂා පලිහක්කාරට චිත්‍රාගාර බලධාරීන්ගෙන් ලැබෙනුයේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. එයට එකම හේතුව ගාමිණී සෙසු ශිල්පීන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කිරීමය .

එහෙත් ඒ වන විට ගාමිණී යනු චිත්‍රගාරවලට අත්‍යවශ්‍ය සාධකයක් වූයේය. ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා වරක පැවසුවේ සූර චෞරයා රඟපාන්නට යන විට ලද අත්දැකීමකි. චිත්‍රපටයේ බොහෝ කාර්මික ශිල්පීන්ට, අතිරේක නළු නිළියන්ට ඇති නවාතැන් දුෂ්කරතා පිරි ඒවාය. ගාමිණී චිත්‍රපටයේ රඟපෑම ප්‍රතික්ෂේප කර කොළඹ එයි. ගාමිණී ගෙන් තොර චිත්‍රපටය ගැන සිතන්නට නිෂ්පාදකවරුනට බැරිය. අවසානයේ ගාමිණී යළි එනුයේ සෙස්සන්ගේ ප්‍රශ්න විසඳීමෙන් පසුවය.

එක් මිනිසකු ඇතුළත දහසක් හැකියාවන් වූයේය. බොහෝ දෙනා නොදන්නේ නමුදු ගාමිණී චිත්‍ර ශිල්පියකු වූයේය. සාර්ලිස් මාස්ටර් ගේ අවසාන ගෝලයා මෙන්ම ඔහුගේ පුත් සුසිල් ප්‍රේමරත්නගේ මුල්ම ගෝලයා වූයේ ද ගාමිණීය.

සහනය චිත්‍රපටයේ චිත්‍ර ශිල්පියකුගේ චරිතය නිරූපණය කර එහි චිත්‍ර නිර්මාණය වූයේ ද ගාමිණී අතින්මය. ඔහුගේ කවීත්වය වර්ධනය වූයේ පාසල් වියේදීමය. මිය යන පියෙකු මැයෙන් ගාමිණී එකල ලියූ කවි පංතියකින් උපුටා ගත් කවියක් මෙපරිද්දෙනි. මෙම කවි පංතිය එකල විද්‍යාලයයේ පැවැති තරඟයකින් හොඳම නිර්මාණය ලෙස තෑගි දිනුවේය.

මගෙ ආදරය කැටි කොට

වැඩු පුතා මගේ

පැරකුම් ගැමුණු. ගජබා නර

නිඳුන් වගේ

මිනිසතු වුණොත් රට ජාතිය

කරන අගේ

මා මිය නොගිය බව මට

ඒ තුළින් හැඟේ











මේ අවධියේ ගාමිණී තබ්ලාවත්, පියානෝ වාදනයත් උගත්තේය. පසු කලෙක බඹරිඳු බඹරිඳු, සැතපුම් දහසක්, සුදෝ මම ආදරෙයි, අහිමි වුනොත් නුඹ වැනි ගී ලියැ වුණේ ඒ පරිචය මතය. එපමණක් නොව ගාමිණී දස්කොන් චිත්‍රපටයට රුක්මණී දේවි සමඟ ද, ගී තැටියකට ක්‍රිස්ටි ලෙනාඩ් සමඟ ද ගී ගැයුවේය.

වරක එක්තරා නළුවකු ටෙලි නාට්‍යයක රූගත කිරීමකදී යෙදුණ දුෂ්කරතාවයන් පිළිබඳ හෙළිදරව්වක යෙදුණේය. ගාමිණී එය අසා සිටියේ විස්සෝපයෙනි.

‘තමුසෙලාට ඔහොම නොවෙන්ඩ මං මහන්සි වුණා. ඒත් තමුසෙලා ඒක විනාශ කර ගන්නවා.’

මේ අපූර්වතමයා පිළිබඳ බොහෝ දේ ලියැ වී ඇත. ලියන්නට තවත් බොහෝ දේ එමටය. කොහෙන්දෝ සමන් පිච්ච මල් සුවඳක් හතර අත හමා යයි.

‘යන ගමන් ඔය මල් වැලෙන් මලක් අරගෙන යන්න’

රාත්‍රිය නිමා වන්නට ආසන්න සමයේ ඔහුගේ නිිවසෙන් පිටව එන අප පසුපසින් එන ඔහු පවසන හඬ ඇසෙයි. එපමණකින් නොනවතින ඔහු එකී මල් වැලෙහි මල් නෙළා අප දෝතට තිළිණ කරන්නේය. ස්වභාව ධර්මයේ පරිදි මල් පර වුණත් සදාතනිකව සුවඳ අප හා රැඳෙන්නා සේය. ‘මා නැති කලෙක උන් සුවඳක් දැනුණා වේ.’

පරසතු මල් අවසාන ජවනිකාවේ ඇසෙයි.

මේ 75 වැනි උපන් දිනය දාත් එසේම නොවන්නේද?

0 comments:

Post a Comment