----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අබේ නැති අඩුව කාටවත් පුරවන්න බෑ

Monday, March 7, 2011

අබේ නැති අඩුව කාටවත් පුරවන්න බෑ

- නිරංජලා සරෝජිනී

පේ‍්‍රමකීර්ති ද අල්විස් ප්‍රවීණ ගීත රචකයා ගේ අභාවය සිදුවී විසි වසරක් සපිරීම නිමිත්තෙන් සහ මීට වසරකට පෙර වියෝ වූ ප්‍රවීණ ගායක කලාකරු අබේවර්ධන බාලසූරිය ගේ 66 වන ජන්ම දින සැමැරුම වෙනුවෙන් ‘අප ගැයූ ප්‍රේම් ගේ ගී’ සංයුක්ත තැටිය දොරට වැඩීම මේ මස 9 වැනිදා සවස 6.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සිදු කෙරේ. ඒ නිමිති කොටගෙන අබේවර්ධන බාලසූරිය ගේ ප්‍රිය බිරිඳ ප්‍රවීණ ගායිකා නිරංජලා සරෝජිනී සමඟ යෙදුණු පිළිසඳරක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.

ඇත්තටම’ ‘අප ගැයූ පේ‍්‍රම් ගේ ගී’ CD තැටිය එළිදක්වන්න හිටියේ දැනට වසරකට පෙරාතුවයි. මේ CD තැටියේ වැඩ කටයුතු හැම දේම අබේ මිය යන්න පෙරාතුව නිම කරලා තිබුණේ. CD එක එළිදක්වන්න ඔන්න මෙන්න කියල තියෙද්දී තමයි අබේ අසනීප වුණේ. එදා එයාගෙ හිතේ තිබුණු අරමුණ තමයි මම ඉදිරිපත්වෙලා මේ විදිහට ඉටු කරන්නේ.

මේ CD එකේ එන හැම සින්දුවක් ම ප්‍රේමකීර්තිම අප දෙන්න වෙනුවෙන් අපිටම ලියපු ගීත. ඔහු අපිට ලියපු ගීත අතුරින් ජනප්‍රිය වුණු ගීත 20 ක් තමයි මෙහි ඇතුළත් වෙන්නේ. අබේගේ හිතේ තිබුණු මේ අදහස මේ විදිහට ප්‍රසංගයක් පවත්වල මට ඉෂ්ට කරන්න ලැබීම ගැන මට සතුටුයි.

අබේ ගෙ ජීවිතේ පුරාම තිබුණ දෙයක් තමයි සැලසුම් සහගත බව. ඒක එයාගෙ මම දැකපු විශේෂ ලක්ෂණයක්. ඕනම දෙයකට එයා හරිම පිළිවෙළයි. මගෙ ජීවිතේ හැම දේම මම ඉගෙන ගත්තෙ එයාගෙන්. මං අබේ එක්ක විවාහ වෙද්දී මට වයස අවුරුදු 26 යි.

මං ඊට වැඩි කාලයක් අබේ එක්ක ජීවත් වුණා. අවුරුදු 29 ක් විතර. ඒ කාලය තුළ මට හැම දෙයක් ගැන ම පවුල් ජීවිතේ වුණත් කලා ක්ෂේත්‍රයේ වුණත් හැම දේම ගැන හොඳ අවබෝධයක් ඔහු ලබා දුන්නා. එයා මට ජීවිතේ කියල දුන්න විදිහට ඉදිරි කාලය ගෙවා දමන්න මට ශක්තිය තියෙනවා.

2008 දී තමයි අබේට ස්නායු දුර්වලතාවයක් තියෙනවා කියල අපි දැනගත්තේ. එයා කතා කරන කොට පොඩි ගොත ගැසීමක් ආවා. කටහඬ වෙනස් වෙන්න පටන් ගත්තා. එතකොට තමයි අපි වෛද්‍ය පරීක්ෂණවලට යොමු වුණේ. ඒ වෛද්‍ය පරීක්ෂණවලින් කිව්වේ අබේගෙ ඇඟ ඇතුළෙ ස්නායු දුර්වලවීමක් තිබෙනවා කියලයි. මේකට කියන්නේ ‘මෝටර් නියුරෝන් ඩිසීස්’ කියලයි.

ඒක හොඳ කරන්න බැහැ කියලා වෛද්‍යවරු මට කිව්වා. මේ තත්ත්වය ලක්ෂ පහළොවකින් අයෙකුට හැදෙන දෙයක්. ඇත්තටම අබේ මේ ගැන දැනගෙන හිටියෙ නැහැ. එයා හැම වෙලාවෙම හිතුවෙ එයාට හොඳවෙයි කියලා. මමත් එයාට මේ කිසිදෙයක් දැන ගන්න ඇරියෙ නැහැ. මම ඉතින් මේ හැම දෙයක් ම දැන දැනත් තනියම විඳ දරා ගත්තා. එයාට කරන්න ඕන ඇප උපස්ථාන හැම දෙයක් ම කළා. ඇත්තටම මම අදටත් සතුටු වෙන්නෙ මම එයාව හොඳින් බලාගත්තා කියන එක ගැන හිතලා.

එයාගෙ අඩුව ජීවිතේ කියාගන්න බැරි තරම් දෙයක්. මොන දේ කරන්න ගියත් මට එයාව මතක් වෙනවා. අබේ නැති අඩුව මේ ලෝකෙ කාටවත් පුරවන්න බැහැ. මේ ගේ පුරාම මට පේන්නෙ එයාව. දැනෙන්නෙ එයාගෙ සුවඳ. තනියම කල්පනා කරන වෙලාවට මට මතක් වෙන්නේ අපි දෙන්න සතුටින් හිටිය කාලේ නෙමෙයි. ඇත්තටම මට මතක් වෙන්නෙ අබේ අසනීපෙන්, දුකෙන් හිටපු ඒවා. හිතට වාවගන්න හරි අමාරුයි.

ඒත් හිත හදාගෙන ඉන්න උත්සාහ කරනවා. වෙන මොනවා කරන්නද? ආයෙත් කවදාවත් මම සින්දු කියන එකක් නැහැ. සංගීත ක්ෂේත්‍රය කියන්නේ අපි දෙන්නම එකට ආපු ගමනක්. අබේ නොහිටින්න නිරංජලා සරෝජිනී කියලා කෙනෙක් සංගීත ක්ෂේත්‍රයේ නැති තරම්. මගේ නම රටේ හොඳ තැනකට ගෙන ආවේ අබේගෙ උදව් උපකාර ඇතිව. දැන් ඉතින් මට සින්දු කියන්න ශක්තියක් නැහැ.

මගේ හඬත් ගිලිහිලා වගේ. අබේ අසනීපෙන් ඉන්න කාලෙ එයා හරියට දුක් වුණා. එයාට ආයෙ සින්දු කියන්න බැරිවෙයි කියලා. එයාගෙ සින්දුවක් යනකොට එයා හරියට දුක් වුණා. “මට ආයෙ මෙහෙම කියන්න පුළුවන් වෙයි ද?” කියලා. එයා මගෙන් අහනවා “අපි බලමු කො. ඔයාගෙ උගුරෙ අමාරුව හරියයි” කියලා මම ඒ අහන හැම වෙලාවෙම කියනවා.

මම පුළුවන් තරම් එයාගෙ හිත හැදුවා. අපි දෙන්නම උත්සවවලට, සංගීත සංදර්ශනවලට ගියේ එකට. එහෙම එකට ගිහිල්ලා එකට සින්දු කියලා දැන් තනියම ඒවාට යන්න මට ශක්තියක් නැහැ. මගේ දෙපය වාරු නැහැ. අබේගෙ නම රැකගෙන එයා වෙනුවෙන් පින්දහම් කරගෙන එයාගෙ හිතේ තිබුණු බලාපොරොත්තු ඉෂ්ඨ කරගෙන ජීවිතේට මුහුණ දෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ.

අබේ හිතුවෙ නැහැ එයා නැතිවෙයි කියලා. ඒත් අන්තිම දවස් දෙකේ එයාට තේරුණා පොඩ්ඩක් විතර ජීවිතේ අවදානම් කියලා. එයාට ජීවත් වෙන්න බැරිව යයි කියලා.

එයා මට කොළේක ලියල දුන්නා ‘මගේ අවසන් මොහොතෙ මගේ ළඟ ඉන්න” කියලා. එයා ඇදේ ඉන්න මොහොතේත් මම හාමුදුරුවො වඩම්මවලා පිරිත් කියලා එයා ඉදිරිපිට දීම අටපිරිකර පූජා කළා. මොනවා කරන්නද එයා රෑ එකොළහකුත් ගාණට මාව දාලා ගියා.

වෙලාවකට හිතෙනවා අපි දෙන්නට දරුවෙක්වත් හිටියා නම් කියලා. මේ වේදනාව ඒකෙන් හරි අඩුවෙන්න තිබුණා. නමුත් අපිට දරුවන් නැහැයි කියලා අපි දෙන්න දුක් වුණේ නැහැ.

ඒක අපි දෙන්න විද දරා ගත්තේ අපිට දෙවියන් දුන්නු විදිහ කියල හිත හදාගෙනයි. අපි දෙන්න අපි දෙන්නට හුඟාක් ආදරෙන් හිටියා. හැම විටම එකටම තමයි ගමන් බිමන් ගියේ. ඒක තමයි මට දැන් දරා ගන්න අමාරු. මම හැමදාම දෙවියන් බුදුන් ඉදිරියේ ප්‍රාර්ථනා කරන්නේ අබේ හොඳ තැනක ඉපදිලා උපදින හැම ආත්මයකදීම එයා මටම ලැබෙන්න, මගේ ම වෙන්න කියලයි.

ගුවන් විදුලිය
ලංකාව
89/02/05

හිතාදර අබේ,

ලියන්න කිසිම අමුතු දෙයක් නැහැ. ඒ නිසා පසුගිය මාසය පුරාම ලිපියක් ලියන්න අතපසු වුණා. උඹ ගැනත් තොරතුරු මං මෙහේ නංගිගෙන් අහගන්නවා. මට බොරලු ගොඩයත් කිව්වා විස්තර. අරූගෙ (අල්විසාගෙ) තොරතුරු තමයි ඇහෙන්නෙ නැත්තේ.

ඌ හොඳින් කීකරුව ඉන්නවද? ඕකාට කියහන් ජර්මනියෙ තියෙනවලු “කෙස් හිටවීමේ” ක්‍රමයක් (තරහයයි ද දන්නෙ නැහැ) මචං උඹ ගියාට පස්සෙ මං රූපවාහිනියට ගියෙ දෙතුන් වරයි පී.හෙට්ටිආරච්චි මහත්තයාගේ සහ ටයි මහත්තයාගේ වැඩ දෙකකට කමෙන්ට්‍රි කරන්න.

රූපවාහිනියට යනකොට මතක් වෙනව නිතරම උඹෙ දැවැන්ත රූපය ඒ ගොඩනැඟිල්ල අතරෙ. මට තදින්ම හිතවත්ව හිටියෙත් උඹ විතරයි. ඒ නිසා ඒ අඩුව තදින්ම දැනෙනව.

උඹ එදා එනකොට දුන්න සල්ලි කාර් එකටම දුන්නා. ඒවායින් තමයි ඉතුරු බඩු අරගෙන කාර් එක Complete කරගත්තේ. ඒකටත් උඹට පින් සිද්ධ වෙනවා විතරක් නෙමෙයි ජාති ජාතිත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

මං නංගිගෙන් ගෙදරදොර තොරතුරු අහල බලනව. උඹට ආරංචි ඇතිනෙ වික්ටර් දාගත්තු ලෙඩේ. මං අනන්තවත් කිව්වා බීපං, කමක් නැහැ - ඔය විදිහට දිගටම පැය විසිහතරෙම බොන්න එපා කියලා.

ඌ මාව ගණන් ගත්තෙ නැහැ. අපි පොඩි මිනිස්සු නිසා වෙන්න ඇති. මට ඌ ගැන හරිම දුකයි. ආරංචිය අහපු වෙලාවේ මගෙ ඇස්දෙකට කඳුළුත් ආවා.

මං උඹට වගේම ඌටත් හරිම ආදරෙයි. ළෙන්ගතුයි. ඒත් ඌ දන්නෙ නැහැ අපි ඌ ගැන දක්වන සෙනෙහස ළෙන්ගතුකම කොච්චර ද කියල. උඹත් ඒ දවස්වල කට කැඩෙනකං කොච්චර කිව්වද? දැන්නම් සනීපයි. දෙවියන්ගෙ පිහිටෙන් සනීප වෙන්න කියල මං හිත යටින් නිතරම කියනවා.

ඉතිං මචං කොහොම ද? ඔය පළාතේ තොරතුරු? ආවාම අහගන්න බැරියැ. අරූව (අල්විසා) පරිස්සමින් බලාගනින්. ජර්මන්කාරයො ඕකගෙ තට්ටෙ පලයි.

උඹේ කටහඬ නං ඇහෙනව මචං... නිතරම උඹේ සින්දුවලින්. එතකොට ළඟ ඉන්නව වාගෙ දැනෙනව. ඒත් හැබැහින් නෙමෙයිනෙ. උඹටයි මටයි විශේෂ වෙච්චි ලෝකේ.

වෙනත් වැඩිමනක් තොරතුරක් නැහැ මචං වික්ටර් අසනීප වෙච්චි එක හැරුණහම. මේ වාගෙ වේලාවක උඹ හිටිය නං දුවල පැනල ඌට කීයක් හරි අතමිටට හම්බ කරලා දෙනවා නේද කියලා මට හිතුණා.

උඹ ඒ අතින් පින්වන්තයා. උඹට ජාති ජාතිත් හරි යන්න ඕන. මේ ආත්මෙ උඹට ලැබෙන්නෙ ගිය ආත්මේ මේ විධියට කරපු පින් කියලයි මං හිතන්නෙ. තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

උඹට නිරෝගී සුවයත් – උඹ අත තියන සෑම කටයුත්තක්මත් සාර්ථක වේවායි කියල මං දෙවියන්ගෙන් යදිනව.

මං අනුරාධපුරෙයි, මාතරයි, මහනුවරයි මාරු කරල හිටිය අවුරුදු 2 1/2ක් විතර. ඒ කාලෙට අම්ම තාත්තටවත් ලියුමක් ලිව්වේ නැහැ ගෙදරටවත්. මේ අවුරුදු ගණනකටම මගේ අතින් ලියවෙන ලියුම.

ඒ උඹට නිසා. උඹ කෙරෙහි තියෙන ඇල්මට ළැදියාව හා ගෞරවයට. එහෙනං මචං මං නවතින්නං - උඹට නැවත නැවත තුන්රුවන් සරණ පතනවා. මං ඉතාම ළෙන්ගැති

-ප්‍රේම්

(1989 වසරේදී අබේවර්ධන බාලසූරිය රූපවාහිනී ශිෂ්‍යත්වයක් ලැබ ජර්මනියේ බර්ලින් නුවර සිටියදී ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ ලිපියක කොටසක්)


Copy Rights - Silumina

0 comments:

Post a Comment