----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ධම්ම ජාගොඩ දේශපාලන ටෙලි නාට්‍යකරුවා

Wednesday, March 30, 2011

“රටේ, සුදත්, අධිකාරී මෙහෙට එන්න “ මම පිටුපස හැරී බැලුවෙමි. අප රැඳී සිටි ශාලාවේ දොර ඇර “ ධම්ම “ ජාගොඩ මහතා අප දෙස නෙත් යොමාගෙන සිටියේය. මා මේ සඳහන් කළේ මීට වසර 28කට පෙර එනම් 1983 ඔක්තොම්බර් මාසයේ දවසක සිදුවූ සිදුවීමකි. පුහුණු වන නිෂ්පාදන සහකරුවන් වශයෙන් මා සමග 28 දෙනෙකු ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට බඳවා ගන්නා ලදී. අපව රාජකාරී කටයුතු සඳහා එක් එක් අංශයන් වෙත යොමු කිරීමට පෙර අපි සැවොම රූපවාහිනි පුහුණුවීම් ශාලාවෙහි රැස්ව සිටියෙමු. ඒ අවස්ථාවේදි ධම්ම ජාගොඩ මහතා පැමිණ අප අතර සිටි දයාරත්න රටගෙදර, සුදත් සේනාරත්න සහ විමලරත්න අධිකාරිව ඉහත සඳහන් කළ අයුරින් කැදවාගෙන ගියේය.

පසුව ඔවුහු ජාගොඩ මහතා අංශ ප්‍රධානීව සිටි නාට්‍ය අංශයට පුහුණු වන නිෂ්පාදක සහකරුවන් වශයෙන් අනුයුක්ත වූහ. මා නාට්‍ය අංශයට අනුයුක්ත වීමට පෙරමග බලා සිටියත් එය සැබෑ නොවුනේ මා ධම්ම ජාගොඩ මහතාගේ ගෝලයකු නොවුණු බැවිනි. ධම්ම ජාගොඩ මහතා මෙලොව හැර ගොස් අවුරුදු කිහිපයකට පසුව මා නාට්‍ය අංශයට අනුයුක්ත වුවත් ජාගොඩ මහතාගේ ප්‍රධානත්වය යටතේ නාට්‍ය අංශයේ සේවය කරන්නට මා හට ඉඩ ප්‍රස්ථාවක් නොලැබුණි. එසේ සිදුවීම පිළිබඳව මම දැන් සතුටු වන්නෙමි. ඒ මන්දයත් ධම්ම ජාගොඩ මහතා සමග ගුරුගෝල සම්බන්ධතාවයට එහා ඉක්ම ගිය සම්බන්ධතාවයක් සහෝදරකමක්, ඔහු සහ මා අතර ගොඩනැගුණු බැවිනි.

ලයනල් වෙන්ඩ්ට් ශිල්ප ශාලිකාවේදී ධම්ම ජාගොඩ මහතාගේ ගෝලයන් වූ පරාක්‍රම නිරිඇල්ල, තිලක් ගුණවර්ධන සහ ඔහු හා සමකාලික නාට්‍යකරුවන් වු නාට්‍ය අංශයේම එකල සේවය කළ බන්දුල විතානගේ, ලුෂන් බුලත්සිංහල ධම්ම ජාගොඩයන් ඇසුරු කළේ ගුරුගෝල සම්බන්ධතාවයක් පෙරදැරිවය. ඒ ඔහු නාට්‍ය අංශයේ ප්‍රධානියා වූ නිසා වෙනි. ටයිටස් තොටවත්තයන් ප්‍රධානත්වය දැරූ හඬ කැවීම් අංශයට අනුයුක්තව මා එකල සේවය කළත් විවේකයක් ලද සෑම අවස්ථාවකදීම මා වාඩිවී සිටියේ ජාගොඩ මහතාගේ මේසය ඉදිරියේය. ඔහු පිළිබඳව ගෞරව සම්ප්‍රයුක්ත වු සබැඳීයාවක් ගොඩනගා ගැනීමට මූලික පදනම වූයේ ඔහුත් මාත් දැරූ එකම දේශපාලන ආස්ථානයයි.

මා ධම්ම ජාගොඩ මහතා ඒ වන විට හඳුනාගෙන සිටියේ දක්‍ෂ නාට්‍ය කරුවෙකු ලෙසත් යෝධ නාට්‍ය පරපුරක් ගොඩනැගීමට සක්‍රීය වශයෙන් දායක වූ කලාකරුවෙකු ලෙසත් පමණි. සජිවීව රූපකායෙන් ඔහු දැක නොතිබුණත් ඔහුගේ හඬ ඇසීමට මම පුරුදු පුහුණු වී සිටියෙමි. අසූව දශකයේ මුල් භාගයේදී පමණ ගුවන් විදුලි අධ්‍යාපන සේවයෙන් “ රූපණ “ නමින් වැඩසටහන් මාලාවක් නිෂ්පාදනය වීම විකාශය විය. තිලක් ජයරත්න මහතා නිෂ්පාදනය කළ මෙම වැඩසටහන් මාලාවෙන් තත්කාලීනව නිර්මාණය වූ කලාකෘති පිළිබඳ විමසා බැලීමක් මුඛ්‍ය වශයෙන් සිදුවිණි. මෙ වැඩසටහන් මාලාව මෙහෙයවූයේ ධම්ම ජාගොඩ මහතා විසිනි.

වැඩසටහන් මාලාව සඳහා නිරන්තරනේම සහභාගී වූයේ කලාකෘති දෙස මාක්ස්වාදී දෘෂ්ටි කෝණයකින් බැලූ විද්වතුන් පිරිසකි. මහාචාර්ය සුචරිත ගම්ලත්, ධර්මසේන පතිරාජ, ජිනදාස දනන්සූරිය ඒ අතුරින් ප්‍රධාන වූහ. සෞන්දර්යවාදි දෘෂ්ටියකින් කලාකෘති විමර්ශනයට ලක් කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, කේ. ජයතිලක, ගුණදාස අමරසේකර වැනි වියත්හුද රූපණ වැඩසටහන් මාලාව සඳහා වරින්වර සහභාගී වූහ. තරුණවියේ පසුවූ අප විවිධ දෘෂ්ටින් , මතවාදයන් පිළිබඳව අධ්‍යයනය කිරීමට පෙළඹවූ සාර්ථක වැඩසටහන් මාලාවක් වූ රූපණ වැඩසටහන් මාලාව මෙහෙයවීම සඳහා ධම්ම ජාගොඩ මහතා සුදුස්සෙකු වූයේ ද දේශපාලන, කලාව සහ දර්ශනය පිළිබඳව ඔහු සතුව තිබූ මහා දැනුම් සමභාරය හේතුවෙනි.

ඔහු එකල මාක්ස්වාදය තරුණ කැල වෙත රැගෙන යාමට සක්‍රීය දායකත්වයක් සැපයු විප්ලවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයෙකු විය. කීර්ති බාලසූරිය, මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය පියසිලී විජේගුණසිංහ, විජේ ඩයස්, ආනන්ද වක්කුඹුර වැනි කම්කරු මාවතේ සහෝදරයන් සමඟ රතු ලංකාවක් බිහි කිරීම සඳහා ධම්ම ජාගොඩ මහතා ක්‍රියාශීලී විය. රූපවාහිනි සංස්ථාවේහි නාට්‍ය අංශයේ මුල් පුටුවට පැමිණෙන විටත් ඔහු දැඩි වාමාංශික මතධරියෙක් විය. රූපවාහිනි සංස්ථාවේ පළමු සභාපති වූ එම්. ජේ. පෙරේරා මහතාට ධම්ම ජාගොඩ මහතාගේ දේශපාලන ආස්ථානය ප්‍රශ්නයක් නොවීය.

වරෙක ඔහු ගේ රූපවාහිනි පත්වීම පිළිබඳව එවකට අගමැතිව සිටි ආර්. ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. රහස්් පොලිසිය යොදවා ඔහු ගිය ගමන් බිමන්, කරණ කියන දෑ පිළිබඳ වාර්තාවක් එකට සිටි පාලක පන්තිය විසින් නිරන්තරව ලබාගන්නා ලදි. වඩාත් නරක අතට හැරුණේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වූ පසුවය. ධම්ම ජාගොඩ මහතාගේ දේශපාලන මතවාදය ඔහු විසින් නිර්මාණය කරන ලද කලාකෘතිවලින් දෘෂ්‍යාමාන වේ. වේදිකාවේදී ඔහු විසින් නිර්මාණය කරන්නට යෙදුණු “ වෙස් මුහුණු” , “ සකල ජන “ වැනි නාට්‍ය නිර්මාණයන් වලින් ඔහුගේ දේශපාලනය ප්‍රකාශයට පත් වුවත් ඒ ජනතාව අතර ප්‍රක්ෂේපණය කරන ලද ප්‍රබල අවස්ථාව වන්නේ ඔහු රූපවාහිනිය වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු මාලානාකය වූ “ පළිගුමැණිකේ “ ටෙලිනාට්‍යය තුළිනි.

දේශපාලන ටෙලි නාට්‍ය කලාවකට මුල පිරූ
‘පළිගු මැණිකේ’ ටෙලි නාට්‍යය

ධම්ම ජාගොඩ ‘පළිගු මැණිකේ’ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින්...

1977 බලයට පත් වූ එජාප රජය එතෙක් සමාජයේ ක්‍රමිකව ගලාගෙන ආ සංස්කෘතික හර පද්ධතීන් උඩු යටිකුරු කිරීම සඳහා සවිඥානකව හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අන්තර්ගත ධනේශ්වර රාජ්‍ය ක්‍රමය “පට් පට් ගාලා ගමට එන්නේ කෙසේද” යන්න පිළිබඳව ධම්ම ජාගොඩ මහතා ස්වකීය ටෙලිනා්‍ය මාර්ගයෙන් ප්‍රති නිර්මාණය කළේය. සාම්ප්‍රදායිකව ගමේ තිබෙන්නා වූ මහා සම්ප්‍රදායෙන් නිර්මිත කලාව ධනේශ්වර ක්‍රමය මගින් කුඩු පට්ටම් කරන අයුරු අති සංවේදී අයුරින් පළිඟු මැණිකේ ටෙලි නාට්‍ය මගින් කලාත්මකව තෝරා බේරා දුන්නේය.

ඔහුගේ මෙම දේශපාලන දර්ශනය ජනතාව අතරට ගෙනයෑම සඳහා සෝමවීර සේනානායක මහතාගේ ලිවීමේ හැකියාව තියුණු ආයුධයක් සේ යොදා ගත්තේය. සෝමවීර සේනානායක නම් තිරනාටක රචකයා පසුකලෙකදි රචනා කරන ලද තිරනාටකවලින් විවෘත ආර්ථිකයෙන් ගලාගෙන ආ සංස්කෘතික හර පද්ධතීන් සමාජගත කිරීමේ අභිප්‍රායක යෙදුනත් ධම්ම ජාගොඩ මහතා ඉදිරියේ දී ඔහුගේ දේශපාලනයට අවනත කලාකරුවෙක් විය. මෙයට දියහැකි හොඳම උදාහරණය නම් පළිගුමැණිකේ ටෙලිනාට්‍යයේ තිරනාටක රචක සෝමවීර සේනානායක සහ දූ දරුවෝ ටෙලිනාට්‍යයේ තිරනාටක රවක සෝමවීර සේනානායකයන් අතර පවත්නා වූ දෘෂ්ටිමය පරස්පරයයි.

ධර්මසේන පතිරාජයන් පළමු දේශපාලන සිනමාකරු වශයෙනුත් ධම්ම ජාගොඩයන් පළමු දේශපාලන ටෙලිනාට්‍යකරුවා වශයෙනුත් ඉතිහාසයේ සනිටුන් වනු ඇත. තම පෞද්ගලික ජීවිතය පාදක කර ගනිමින් ධම්ම ජාගොඩ මහතා නි්මාණය කරන ලද “ මිහිකතගේ දරුවෝ “ ටෙලි නාට්‍යය මඟින් මධ්‍යම පාන්තික කලාකරුවෙකු තම ජීවිතය ජය ගැනීමට පොරබදින අයුරු සංවේදී අයුරින් ප්‍රේක්‍ෂක ජනතාවට ප්‍රක්ෂේපණය කළේය. “පළිගු මැණිකේ” ටෙලි නාට්‍යය සහ මිහිකතගේ දරුවෝ ටෙලි නාට්‍යය යන ටෙලි නාට්‍ය ද්විත්වය නවත වරක් වර්තමාන ප්‍රේක්‍ෂක ජනතාවට ගෙන එන මෙන් ජාතික රූපවාහිනියට වසර විසි නවයක් සපිරෙන මෙම කාල පරිච්ඡේදයේදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. එය ධම්ම ජාගොඩ මහතා වෙනුවෙන් කරනු ලබන අති පුජනීය කර්තව්‍යයක් වනු නොඅනුමානයි.

මා ධම්ම ජාගොඩ මහතාගේ ගෝලයකු නොවූ බැවින් ඔහු මා ඉදිරියේ සැමවිට විවෘත පුද්ගලයෙක් විය. ඔහු රාජකාරි ජීවිතයේදීත් පෞද්ගලික ජීවිතයේදීත් හදවතින් හඬන අවස්ථාවලදී මම ඔහු සමඟ සිටියෙමි. සැමදා ඔහු රාජකාරියට එන තෙක් මග බලා සිටිමේ පුරුද්දක් මා සතු විය. ඔහු ද විවේකයක් ලැබුණු මොහොතකදී මා රාජකාරි කරන ලද හඬකැවීම් අංශයට දුරකතන ඇමතුමක් දී රාජකාරි කටයුතු කිසිවක් නැත්නම් මට ඔහුගේ අංශයට එන ලෙසට ප්‍රකාශ කිරීමට තරම් ඔහු අව්‍යාජ වූයේය. ඔහුගේ ප්‍රතාපවත් පෞරුෂත්වය ඉදිරියේදී මා කුදු මිනිසෙකු වුවත් අප අතර පැවති සහෝදරත්වය ඔහු සැමවිට අපේක්‍ෂා කළේය. විවිධ නාට්‍ය කෘති නැරඹීමට පැමිණෙන ලෙසට ඔහු කරන ආරාධනාවන් පිළිගෙන ඒවා නැරඹීමට සවස් කාලයේදී යන බොහෝ අවස්ථාවන්හිදි ඔහු ගියේ මා සමගය.

නාට්‍යයක් නරඹන්නට යමුද කියා විමසමින් මා සමග ලයනල් වෙන්ඩ්ට් රඟහලට ගිය ඔහු මට අසුන් ගන්නා ලෙස පවසමින් වසා තිබූ ප්‍රධාන තිරය මෑත්කරමින් වේදිකාවට ගොඩවී නොපෙනී ගියේය. එදා වේදිකාගත වන නාට්‍යයේ නම වත් මම දැන නොසිටියෙමි. පැය භාගයක් පමණ මා අසුන්ගෙන සිටියත් ජාගොඩ මහතා එන බවක් නොපෙනිනි. මම අසුනෙන් නැගිට ගොස් තිරය මෑත්කර වේදිකාව මතට බයෙන් බයෙන් ගොඩවුණෙමි. ආශ්චර්යයකි. ජාගොඩ මහතා වේදිකාවේ ලාලිත්‍යයට පය තබමින් එයට සරිලන ගායනාවක් කරමින් චරිතයක් පුරුදු පුහුණු වෙමින් සිටියේය. එදා රඟ දැක්වූයේ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ “ මනමේ “ නාට්‍යයයි . ඔහු එහි වැදි රජු ලෙස රඟපෑවේය. ඔහුගේ ගායන විලාශයත්, රංගන ප්‍රතිභාවත් දෙස මම ඉහවහා ගිය සතුටකින් යුතුව බලා සිටියෙමි.

ධම්ම ජාගොඩ මහතා ශිෂ්‍යත්වයක් ලැබ භාරතයේ කරන ලද සංචාරයෙන් පසුව රූපවාහිනියට පැමිණි පළමු දිනයේදීම මට ඔහුව රූපවාහනි පුස්තකාලයේදී හමුවිය. ඔහු භාරතයේ දී ඍෂිවරයන් බැහැදැක ඍග්වේදයන් ගැන කරුණු කාරණා අධ්‍යනය කළ බවත් ඒ ගැන මා සමඟ කතා බහ කළ යුතු බවත් පැවසීය. ඔහු භෞතිකවාදී ඉවුරෙන් විඥානවාදි ඉවුරට ගොඩවී තිබුණේය. මම හැකි ඉක්මණින් ඔහු මුණ ගැසෙන බව පවසමින් සුදත් දේවපි‍්‍රයගේ “අඹ යහළුවෝ” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා සහායවීමට මීරිගම බලා පිටත් වූයෙමි. එහෙත් අවාසනාවට මීරිගම දර්ශන තලයට ගොඩ වූ හැටියේ ම මාගේ සවන් වැකුණේ ධම්ම ජාගොඩ මහතාගේ අභාවය පිළිබඳවයි.

වසර 47කට පමණ කෙටි කාලයක් ජීවත් වෙමින් වසර 87කින් නිමා කළ යුතු වැඩ කොටසක් සාර්ථකව නිම කළ ධම්ම ජාගොඩ මහතාගේ නිසල දේහය තැන්පත් කර තිබුණි. ඔහුගෙන් අසා දැන ගන්නට බලා සිටි ඉන්දියානු දර්ශනයේ වේද පාඨයන් හද තුළ රදවාගෙන ඔහු නික්ම ගොස් ය. මිය යන විට රූපවාහිනී සංස්ථාවේ රාජකාරී කටයුතු කිරීම ඔහුට නීරස වී තිබුණි. නැවත වරක් ලයනල් වෙන්ටඩ් රංගන ශාලාවට ගොස් නවක තරුණ පරපුරක් නාට්‍ය කරණය සඳහා සූදානම් කිරීමටත් මහගම සේකරයන්ගේ “ප්‍රබුද්ධ” කාව්‍ය සංග්‍රහය අනුසාරයෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමටත් ඔහුට අවශ්‍ය වී තිබුණි. ඔහු ප්‍රබුද්ධ චරිතය රගපෑමට පුන පුනා බලා සිටියේ ය.

බුදු වීමට තනිවම නොව දෙනෝ දාහක් සෙනෙග එක්ක බුදු වෙන්නට ඔහුට අවශ්‍ය විය. එහෙත් නැවත පුනර්ජීවනය නොලබන ධම්ම කෙනෙකු ලෙසින් ඔහු නික්ම ගියේ ය.

0 comments:

Post a Comment