----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැටුණා...

Monday, May 28, 2012

සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැටුණා...
2012 මැයි මස 23 19:33:12 | ලංකාදීප
බොහෝ දෙනා ඔහු අමතන්නේ දිගා නමිනි. ඒ දිගා වෙන කවුරුවත් නොව නිශ්ශංක දිද්දෙණියයි. ශ්‍රී ලාංකීය රංග වේදිකාවේ සිංහබාහු ලෙස තවත් විදියකින් ඔහු නම් කළ හැකිය. මනමේ, පේමතෝ ජායතී  සෝකෝ, සිංහබාහු ඇතුළු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බොහෝ නාට්‍යවල රඟමින්, ගයමින් හෙළ වේදිකාව පෝෂණය කළ ඔහු තවත් බොහෝ නාට්‍යකරුවන්ගේ නිර්මාණවලට දායක වී ඇත. ඒ අතරින් සිංහබාහු යන නම ඔහුට ලැබී ඇත්තේ විසිහත් වසරක් පුරාවට එහි සිංහබාහු රංග භූමිකාවට දායක වූ නිසාය. ඒ දිගා හෙවත් සිංහබාහු අප වේදිකාවට ලැබුණු තෙදවත් රංගවේදියකු වන්නේ රැඟුමින් පමණක් පෝෂණය නොවූ ඔහු ගැයුම-වැයුම මෙන්ම වේදිකාවට අවැසි සියලූ ප‍්‍රකාශනයන්ගෙන් දක්‍ෂ අපූරු රංගවේදියකු වන නිසාය. මේ තෙදවන් දිගා සිය කලා ජීවිතයේ විශේෂිත මොහොතකට සැරසෙන මොහොතක ඒ ගැන සහ රංග වේදිකාවේ ශේෂ වූ මතකයන් ගැන හාරා ඇවිස්සීමට අපි පසුගිය දිනෙක දිගාගේ නිවෙසට ගියෙමු.
ගල්කිස්ස කලාපුරය හෙවත් කලාකරුවන්ගේ තෝතැන්නේ නිවෙසක දිගා බිරිඳ පුතු - දියණිය, ලේලිය, මුනුබුරා වෙසෙති. පුතු සහ දියණිය දෙදෙනාම උපාධිධාරීහූ වෙති. පුතු වෛද්‍යවරියක හා විවාහව සිටී. ඔවුන් දෙදෙනාටම කලා හැකියාවන් තිබුණද, තවමත් එහි ඵල නෙලාගෙන නැත. පවුලේ ඒ හැඳින්වීම සමග දිගාට තම අතීතය සිහිපත් කරන්නට අපි ඇරයුම් කළෙමු.
හෙන්රි නිශ්ශංක දිද්දෙනිය මගේ සම්පූර්ණ නමයි. ගම රත්නපුරේ පනාවැන්න. අපි ගොවි පවුලක්. අම්මා තාත්තාට කුඹුරු තිබුණා. පවුලේ අක්කලා තුනයි, අයියලා තුනයි. ඊළඟට මම. බාලයා නංගි කුඩා කාලයේ ඉඳලාම ඇහුනේ ගොයම් කවි, පැල් කවි, ගමේ ඒ සුන්දරත්වය සොඳුරු සිත්තමක් වගෙයි. ඒ සියල්ල තදින්ම හිතට වැදුණා. අම්මා කියූ කවි පසුකලෙක මකුලොලූව මහතා යටතේ ඉගෙන ගනිද්දී මට මතක් වුණා.
රන්දෑකැති ගෙන නිති සැරසෙනවා.
රත්රන් පටි ඉන වට දිලිසෙනවා
රිවිදුටු පිනිබිඳු ලෙස පහවෙනවා
දුම්බර කෙතේ අපි ගොයම් කපනවා
දිගා, සොඳුරු අතීතය ආවර්ජනය කළේ ඒ කවි ගැයුම සමගිනි. පසුකලෙක ඒ ගැයුම වේදිකාව රසවත් කළේ කොහොමද? අධ්‍යාපනයේ පිය සටහන් සමග දිගාගෙන් ඒ ගැන විමසීමූ.
ඉස්සෙල්ලාම ගියේ පනාවැන්න බෞද්ධ පාසලට. පසුව එය ධම්මාරාම පාසල ලෙස නම වෙනස් වුණා. පසුව පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට යන්න ලැබුණා. ගමේ පරිසරය වගේ නෙවෙයි ඒ පරිසරය හරි වෙනස්. සපත්තු දාලා පුරුද්දක් තිබුණෙත් නැහැ. දියපට්ට ඇවිත් කකුල් රිදෙන්න ගත්තා. පාසලේදී නැටුම් ඉගෙන ගත්තා. ඒත් විශේෂ අරමුණක් තිබුණේ නැහැ. නාට්‍ය සහ කලා අංශයේ වැඩ වලට නිරන්තරයෙන් සම්බන්ධ වුණා. එක්වතාවක ජන ගී අංශයෙන් සබරගමුව පළාතේ පළවැනියා වුණා. මේ විදියට විවිධ අංශ වලින් සම්මාන පවා ලැබුවා. ඒකට විශේෂම හේතුව වුණේ අපට සිංහල ඉගැන්වූ ගුරුතුමා සරච්චන්ද්‍ර ශූරීන්ගේ ගෝලයකු වීමයි. කරුණාරත්න බණ්ඩාර. එවකට මනමේ නාට්‍යයේ ප‍්‍රධාන චරිතය රඟපෑ බෙන් සිරිමාන්න සර් එක්ක ඉගෙන ගෙන තිබෙන්නේ. අපේ පංතිභාර ගුරුතුමිය වුණේ සීතා අරුන්තවනාදන් කියන ගුරුතුමියයි. මගේ කලා හැකියාව අගයා මහාචාර්යතුමා ගැන මට බොහෝ දේ කියා තිබුණා. මම සරසවියට යන්නත් පෙර මහාචාර්යතුමාගේ ගෝලයෝ දෙන්නෙක් යටතේ ඉගෙන ගැනීම වාසනාවක්. 1967 ඔක්තෝම්බර් 4 වැනිදා පේරාදෙණිය සරසවියට මම ලියාපදිංචි වුණා. ඒ වන විටත් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයක රඟපාන්න ඇත්නම් කියන සිතිවිල්ල තමයි තිබුණේ. සරසවියෙ කලාගාරය ඉදිරිපිටදී ප‍්‍රථම වරට එතුමා දැකගැනීමට ලැබුණා.
ඒ කාලයේ අද වගේ නෙවෙයි. වෙසක් සමයට සරසවියේ සිටින ගීත ගැයීමට හැකියාව ඇති අයට භක්ති ගීත පුරුදු කරවා බකට් දල්වා ගෙන සරසවි භූමියේ ඇවිදිනවා. එය ඉතාමත්ම සුන්දර දසුනක්. ඒ භාග්‍යය මටත් ලැබුණේ ගායනා හැකියාව නිසයි. නමුත් මුල් වතාවට එතුමා හඳුනා ගත්තේ පේමතෝ ජායතෝ සෝකෝ නාට්‍යය සඳහා ගායනා හැකියාව ඇති අය තෝරා ගැනීම කළ අවස්ථාවේදියි. එතුමා බොහෝ විට එතුමාගේ නාට්‍යය වලට තෝරා ගත්තෙ ඒ හැකියාව තියෙන අයයි. සරසවියෙන් පසුව රජයේ රැකියාවක් කරන අතරේ නාට්‍යවල රඟපාන්න පටන් ගත්තා.

”සිංහබාහු” වුණේ කොහොමද?
ඒකත් හරි අපූරු සිදුවීමක්. 1956 මනමේ කරලා තියෙන්නේ. එවිට මම පාසල් සිසුවෙක්. 1961 වර්ෂයේ සිංහබාහු ගැන අපේ ගමේ සිටි පළමු උපාධිධාරියා වන ඞී.ඞී. ජේ විජේසුන්දර ඊළඟට මම, එදා සිංහබාහු නාට්‍යයේ අත්වැල් ගායනාවකට සිටියේ ඔහුයි. එවකට මුල්ම වතාවට සිංහබාහු ලෙස රඟපාලා තියෙන්නේ චාලි ජයවර්ධන. එතුමා පරිපාලන විභාගය සමත්ව ඈත පළාතකට යාමට සිදුවීම නිසා සරච්චන්ද්‍ර සූරීන් සිංහබාහු චරිතයේ සිංදු ටික බලාගන්න කියලා මට කිව්වා. මුල්ම සිංහයා චරිතය රඟපෑ මාක් ඇන්ටනී ප‍්‍රනාන්දුත් නීති අධ්‍යාපනය සඳහා විදෙස් ගත වෙන්නට පෙර සිංදු ටික මට ඉගෙන ගන්න කීවා. එතකොට සිංහබාහු-සිංහයා චරිත දෙකටම පුරප්පාඩු තිබුණා. පසුව මම සිංහබාහු ලෙසත්, සමන් බොකළවෙල සිංහයා ලෙසත් නව නිෂ්පාදනයට එක්වුණා. එතැන් සිිට ”සිංහබාහු” චරිතයේ වසර 2ක් විතර දිගටම රඟපෑවා. මා එක්ක මුල්ම සිංහ සීවලී වුණේ සිරිමා හෙට්ටිආරච්චි. පසුව ජයන්ති මනෝරත්න. (ජයලත් මනෝරත්නගේ බිරිඳ) කිසාගෝතමී සරච්චන්ද්‍ර, පුෂ්පා මේලනී, ප‍්‍රදීපා ධර්මදාස, යසෝදරා සරච්චන්ද්‍ර මේ විදියට පස් හය දෙනෙක් එක්ක රඟපෑවා.

රඟපෑමට ගොස් මුහුණ දුන් මතකයේ රැඳි අවස්ථා ගැනත් සිහිපත් කළොත්?
සිදුවීම් නම් බොහොමයි. එදා සිංහයාට රඟපෑ සමන් බොකළවෙල ඉතා දක්‍ෂ ශිල්පියෙක්. නමුත් සමහරවිට ඔහු ප‍්‍රමාදවෙලා තමයි රංග ශාලාවට ආවේ. වරක් සිංහබාහු දර්ශනයක් සඳහා අපි ගාල්ලට ගියා. නාට්‍යයට පෙර රැුල්ල පාගන්න කට්ටිය වැල්ලට ගියාම සමන්ගේ කකුලෙ බෙලි කටුවත් ඇනිල අධික ලෙස ලේ ගැලූවා. පසුව අපි ඔහුට ප‍්‍රථමාධාර දුන්නා. එයා ඉතා වේදනාකාරීව හිටියේ. ඒත් එය නොදැනෙන්න රඟපෑවා. දර්ශන දෙක ඉවර වුණාම කකුල කොට්ට ගෙඩියක් වගේ. අපි වහාම එයා රෝහලට රැගෙන ගියා.
තවත් දවසක කුරුණෑගලදී වේදිකාවේ ලෑල්ලක් කඩාගෙන සිංහයා වැටුණා. නමුත් ඔහු උපක‍්‍රමශීලීව තම රංගනය කරගෙන ගියා.
තවත් දවසක රංජිත් ධර්මකීර්තිගේ මෝදර මෝල නාට්‍යයේ රඟපාන්න පොළොන්නරු ගියා. විදුලි එළියට පුංචි-පුංචි කෘමි සතුන් වටවෙනවා. මම වේදිකාවේ රඟපාන විට සතෙක් උගුරේ හිරවුණා. නීල් අලස් සහ මම සංවාදශීලීව දෙබස් කියමින් හිටියේ. එකපාරටම මගේ හඬ නැතිව ගියා. ආයේ ජීවිතේට පියවි හඬ එන එකක් නෑ කියලා මට හිතුණා. නමුත් නීල් අලස් එය ඇෙඟව්වේ නැහැ.මහ තිරය වහලා මට ප‍්‍රථමාධාර කළා. ටික වේලාවකින් මගේ කටහඬ හරි ගියා.
ගජමන් පුවත නාට්‍යයේ රඟපෑවේ ඇළපාත මුදලිගේ චරිතයයි. එදා පේරාදෙණිය එළිමහන් රංගපීඨයේ තිබූ දර්ශනය නරඹන්න හාර-පන්දහසක් විතර ඇවිල්ලා හිටියා. එය හරි අපූරු සිදුවීමක්. වේදිකාවේ දකුණු කෙළවරේ සිට ගජමන් නෝනා ලෙස රඟපෑ රන්මලී ගුණසේකර අතර පේ‍්‍රම කවි සංවාදයක් යන අතරේ ඉදිරිපස ළමයි කට්ටියක් ඉදිරියේ හිටපු බල්ලෙක් මා දිහා බලා සිටිනවා. එය දුටු නරඹන්නන් වෙතින් ලොකු හිනාවක් ආවා. මේක අවදානය බිඳීමට හේතුවක්. නමුත් ලයිට්  ඕෆ් කරනවත් එක්කම අනුකම්පා විරහිත පහරක් බල්ලාට එල්ල වුණා. පසුව නැවත නාට්‍යය රඟ දැක්වුණා.
මෙලෙසින් දිගාගේ දීර්ඝ වූ රංග චාරිකාවේ මතකයේ රැඳි ශේෂ වූ සිදුවීම් නම් බොහෝය.
ඒ සියල්ල දීර්ඝව සනිටුහන් කළ නොහැකිවූවද ඔහු ඒ සියල්ල පොතකින් ප‍්‍රකාශ කරාවි. දැන් ඇත්තේ ඔහු මේ කරන්නට යන දේ ගැන සඳහන් කිරීමටය. වේදිකාවේ දශක පහක සෞන්දර්යාත්මක චාරිකාවට සමීපව දිගා ආ ගමන කෙතරම් අර්ථවත්ද යන්න මේ ප‍්‍රසංගය කදිම ප‍්‍රකාශනයකි. එළැඹෙන 25 වැනිදා සවස 7ට කොළඹ බිෂොප් විද්‍යාලීයය
ශ‍්‍රවාණාගාරයේදී පැවැත්වන මෙම සෞන්දර්යාත්මක මොහොත ඔහු නම් කර ඇත්තේ ”නූපුරා රඟ අභිඥාන මංගල්‍යය” නමිනි. පැරණි සාම්ප‍්‍රදායික ගීත 30ක් පමණ තෝරාගෙන ඊට අඩංගු චරිත වත්මන් රංග භූමියට ගෙන්වා කරන ගේය කවි රංගනයක්ද, ඔහු රඟපෑ නාට්‍යවල භූමිකා කීපයක්ද තවත් සෞන්දර්යාත්මක ඉසව් කීපයක්ද ඇතුළත් වේවි. නර්තනයේ රංගනයේ ගායනයේ සැබෑ ප‍්‍රකාශනය මැන බැලීමට මෙය අපූරු මොහොතක් වේවි. මේ ප‍්‍රාසාංගික ඉසව්ව සඳහා අනුග‍්‍රහය දැක්වූ නෝර්වෙජියාන් තානාපති කාර්යාල සහ ශ්‍රී ලංකා නෝර්වේ තානාපතිනිය ප‍්‍රධාන අමුත්තා ලෙසත් අපේ සංස්කෘතික ඇමති ප‍්‍රමුඛ සම්භාවනීය අමුත්තන් සමග මේ මොහොතට එක්වේවි. දිගා ගැන වූ ග‍්‍රන්ථයක්ද දොරට වඞීවි. මේ සියල්ල වෙනුවෙන් බරපැන දැරූ සොඳුරුතම මිනිසකු ගැනද සඳහන් කළ යුතුමය. වෛදයවරයකු වන ඔහු සැබෑවටම කලාවට ආදරය කරන මිනිසෙකි. දිගා වැනි සොඳුරු අර්තාන්විත කලාකරුවෙකුට දැක්වූ, ඒ ගෞරවය අගය කළ යුතුමය.
සටහන සහ ඡායාරූප -  සඳුන් ගමගේ
දිද්දෙණියගේ රංගන බිඳක්

0 comments:

Post a Comment