මහා කලා නිර්මාණ ජනප්‍රිය රැල්ලට යට වෙන්නේ නැහැ
නිශ්ශංක දිද්දෙනිය
නිශ්ශංක දිද්දෙනිය, වේදිකා නාට්‍ය කලාව හා සැබැදුණු නාමයකි. අඩසියවසකට
ආසන්න කාලයක් දිවයිනේ නාට්‍ය කලා කේෂ්ත්‍රයේ නියුතු කලාකරුවකු වශයෙන් ලැබූ
අත්දැකීම් හා කරන ලද පර්යේෂණ ආශ්‍රයෙන් සුවිශේෂි කටයුත්තක ඔහු නිරතව සිටී.
මේ ඒ පිළිබඳ ඔහු සමඟ කළ සාකච්ඡාවකි.
l මේ දිනවල ඔබ ලහි ලහියේ සුදානම්වන අලුත් කටයුත්ත කුමක්ද?
කාලයක් තිස්සේ අපේ රටේ ජනප්‍රියව තිබූ නාඩගම්, නූර්ති, ටීටර් ගීත සංරක්ෂණය කර
නව පරපුරට ඒවා හඳුන්වාදීම පිළිබඳව වසර ගණනාවක් තිස්සේ මගේ හිතේ අදහසක්
තිබුණා. එය මල්ඵල ගැනීමක් ලෙස මේ මස 23 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයීය
ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන නූපුර රඟ අභිඥාන මංගල්‍යය හැඳින්විය හැකියි.
l නූපුර රඟ අභිඥාන මංගල්‍යයෙහි අන්තර්ගතය කෙබඳුද?
මෙහිදී සුවිශේෂී කාර්යයන් කිහිපයක් සිදුකෙරෙනවා. ප්‍රධානම අංගය ලෙස මම
“සුරඟ පුවත” නමින් වාර්තා රංගයක් ඉදිරිපත් කරනවා. එහි පිටපත රචනා කළේ සුගත්
වටගෙදර විසින්. රංග වින්‍යාසයෙන් ප්‍රවීණ රංගවේදී රවිබන්දු විද්‍යාපතින්,
සහය අධ්‍යක්ෂණයෙන් ජයලත් මනෝරත්නත්, ගීත නිර්මාණයෙන් කොළඹ
විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහානාම වික්‍රමසිංහයන් මේ නිර්මාණය
සඳහා සහාය වෙනවා.
ඒ වගේම පැරණි නාඩගම්, නූර්ති හා ටීටර් ගීත 32 ක් ඇතුළත් කර නිර්මාණය කෙරුණු සුසර
ගී 1 හා 2 ගීත තැටි එළි දැක්වීමත් සිදු කරනවා. පසුගිය කාලයේ මම ‘පුරාතන නාඩගමේ
අද්‍යතන ස්වරූපය’ නමින් අදාළ විෂය බද්ධ වූ පර්යේෂණ ග්‍රන්ථයක් රචනා කළා. එය
දොරට වැඩීමත් මෙදිනම සිදු කෙරෙනවා.
ඒ වගේම කලා ක්ෂේත්‍රයට අනුපමය සේවයක් සිදුකළ ප්‍රවීණ රංගවේදී වසන්ත කුමාර
ශිල්පියාට උපහාර පිදීමකුත් සිදුවෙනවා. ඊට අමතරව මේ සමස්ත ක්‍රියාවලි හා
සබැඳුණු මගේ වෙබ් අඩවියකුත් මෙදින විවෘත කරනවා. මෙවැනි වැඩසටහන් කිහිපයක්
මෙදින පැවැත්වෙනවා.
l එදිනට ඔබ ඉදිරිපත් කිරීමට නියමිත සියලුම අංගයන් සාම්ප්‍රදායික නාඩගම්,
නූර්ති ආශ්‍රය කොටගත් ඒවා නේද?
සංයුක්ත තැටි පිළිබඳ කතා කළොත් එහි ගීත 32 ඇතුළත් වෙනවා. ඒ සියල්ලම ඉයුජින්,
බැලසන්ත, දහම් සොඬ, ජොහානා වැනි නාඩගම් හා රාමායනය, සිරිසඟබෝ, පද්මාවතී,
ධර්මාශෝක , ශ්‍රී වික්‍රම, ජුලා හෙවත් කපටි බෑනා යන නූර්තිවල අන්තර්ගත ගීතයි.
‘පුරාතන නාඩගමේ අද්‍යතන ස්වරූපය’ කෘතිය රචනා කළේ මගේ රංගන ජීවිතේ දීර්ඝ කාලීන
අත්දැකීම් හා මගේ පශ්චාත් උපාධියේ විෂය මාතෘකා ආශ්‍රයෙන් සිංහබාහු නාට්‍යයේ
සිංහබාහු චරිතය අවුරුදු 26 රඟපෑමෙන් ලබාගත් ආශ්‍රයෙන්. මම ලැබූ අත්දැකීම්
මෙම කෘතියේ එක් පරිච්ඡේදයක ඇතුළත් වෙනවා. එය නම් කර තිබෙන්නේ සවිසි වසරක
සිංහබාහු රංගානුභූතිය හා සබැඳි මගේ කතාව නමින්. ඊට අමතරව “නාඩගම් සංගීතයේ
තාල රූප රටා” නමින් තවත් පරිච්ඡේදයක් සහ මගේ කලා ජීවිතේ තොරතුරු ආශ්‍රයෙන්
රචිත පරිච්ඡේදයකුත් මෙහි අන්තර්ගත වෙනවා.
l නාඩගම් නූර්ති, ටීටර් ගී සංරක්ෂණයට හා නව පරපුරට හඳුන්වාදීමට ඔබ
පෙළඹවූයේ කවර කරුණු කාරණා ද?
මෙවැනි කටයුත්තක් කළ යුතුයි යන අදහස 90 දශකයේ සිට මගේ සිතේ තිබුණා. ඒ කාලේ මම
ගුරු අභ්‍යාස විද්‍යාල, විද්‍යාපීඨ සහ පාසල්වල වැඩමුළු සහ දේශන පැවැත්වූවා.
එහිදී මට හිතුනා අපෙන් පසුව මේ ඥානය අලුත් පරම්පරාවට ගෙනයන්න කිසියම්
වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව. අපේ සංස්කෘතිය හා බැඳුණු මේ මහා කලා නිර්මාණ
වත්මන් ජනප්‍රිය රැල්ලට හසුවෙලා. නැතිවී යන්න දෙන්න බැහැ. එනිසා ගීත, අත්දැකීම්
හා නාට්‍ය අනුසාරයෙන් ආස්වාදනීය අන්දමට නව පරපුර වෙත ගෙනයාමේ අරමුණින්
තමයි මෙවැනි ප්‍රසංගයක් සංවිධානය කළේ.
මෙහිදී ප්‍රවීණ රංගවේදියෙකුට උපහාර පිදීමක් සිදු කෙරෙන බව ඔබ සඳහන් කළා. ඒ
කටයුත්ත පිළිබඳ කතා කළොත්?
නුපුරා රග අභිඥාන මංගල්‍යයේදී දේ්ශීය නාට්‍ය කලාව වෙනුවෙන් සුවිශේෂී
මෙහෙවරක් සිදු කළ ප්‍රවීණ රංගවේදී වසන්ත කුමාරයන්ට උපහාර පිදීමට අපි
බලාපොරොත්තු වෙනවා. මේ වන විට 90 වැනි වියේ පසුවන ඔහුගෙන් දේශීය නාට්‍ය කලාවට
ඉටු වූ සේවය බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම අමතක වෙලා ගිහින්. දේශීය නාට්‍ය කලාවේ
සුවිශේෂී සන්ධිස්ථානයන් සනිටුහන් කළ මනමේ සහ සිංහබාහු නාට්‍යයන්හි නර්තන
නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කළේ වසන්ත කුමාරයන්.
ඔහු උඩරට නර්තන කලාව මැනවින්
හදාරා පසුව භාරතයේදී ලෝ ප්‍රකට කථකලි වැනි නර්තනයන් ප්‍රගුණ කළ දක්ෂයෙක්. අපේ
නාට්‍ය කලාවටම ආවේණික ආකාරයට නර්තන නිර්මාණයන් සිදු කළ නිසා මනමේ සිංහබාහු
වැනි නාට්‍යයන්හි නර්තනයන් ප්‍රේක්ෂකයන්ට අදටත් මතකයි. ඒ නිසා නාට්‍ය කලාවට
සිදු කළ මහා මෙහෙවර අගය කිරීමක් වශයෙන් තමයි වසන්ත කුමාර මහතාට මේ උපහාර පිදීම
සිදු කරන්නේ.
මෙවැනි විශාල කටයුත්තක් සංවිධානය කිරීමේදී ඔබට ලැබුණු අනුග්‍රාහක
දායකත්වය කෙබඳුද?
මුලින් මම අදහස් කළේ සංයුක්ත තැටි එළිදැක්වීමට පමණයි. නමුත් මට විශාල
පිරිසකගේ අනුග්‍රහය ලැබුණු නිසා මේ කටයුත්ත පුළුල් කරන්න මට හැකි වුණා. මෙම
ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය
විද්‍යාර්ථීන්ගේ සංගමය, නෝර්වේජියානු තානාපති කාර්යාලය හා ජයලත් මනෝරත්න
රංග මණ්ඩපය යන සංවිධානවල සහයෝගයෙන්.
ඊට අමතරව මා අධ්‍යාපනය ලැබූ
පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයත් ඊට දායක වෙනවා. ඒ
වගේම සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජිත ගුණරත්න
මහතා සහ රංජිත් පතිරණ මහතාගේත් විශේෂ සහයෝගය ලැබෙනවා.
මෙහි පූර්ව පුහුණුවීම් කටයුතු සිදු කිරීමට ස්ථානයක් නොමැතිව සිටියදී
පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙනේ ධර්ම ශාලාවේ එම පුහුණුවීම් කටයුතු සිදු
කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදුන් මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේත් කෘතවේදීව
සිහිපත් කරනවා.
චතුරිකා ගමගේ
0 comments:
Post a Comment