තිළිණ කඳුළු
“මැඩම්, ටිකකට අපේ පැත්තට ඇවිත් යනවද? අද කතා කරන්න ලැබුණෙත් නැහැ.”නව අවුරුදු උදාවෙන් පසු රාජකාරි කටයුතු සඳහා ගිය මුල් දිනයේ ප්‍රාථමික අංශයේ දෙමළ මාධ්‍ය සම්බන්ධව භාරව සිටින සකුන්තලා මහත්මියගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ.
මම ටිකකින් ප්‍රාථමික අංශය වෙත ගියෙමි. සුබපැතුම් හා කතා බහෙන් මද වේලාවක් ගත විණ.
“මෙන්න මැඩම්ට අපෙන් පොඩි තෑග්ගක්.”
අනපේක්ෂිත ලෙස මා අතට පාර්සලයක් දිගු කරමින් කළමනාකරණ සහකාර තනූජා මහත්මිය පැවසුවා ය. පාර්සලයේ උඩ නව වසරට සුබ පැතුම් සමඟ සකුන්තලාගේත්, තනූජාගේත් කළමනාකරණ සහකාර කපිලගෙත් නම් සටහන්වී තිබිණ.
“බොහොම ස්තුතියි තෑග්ගට. ඒත් මම ඔයාලගෙන් තෑගි ගන්න කැමැති නැහැ. හිතවත්කමයි, හොඳ හිතයි තිබුණ ම හොඳටම ඇති.” මම ත්‍යාගය නැවත මේසය මත තබමින් කීවෙමි.
“ඒ වුණාට මැඩම් අපට ආදරෙයිනේ. ඒ නිසා මේ සුළු තෑග්ග ගන්න ඕන.”
සකුන්තලාගේ වදන් හමුවේ මට නැවත කිසිවක් කීම නොහැකි විය.
මම ඔවුන් ඉදිරියේදීම ත්‍යාගය විවෘත කළෙමි. එහි වූයේ සාරියකි.
“ඔයාලට නිසා මට මුකුත් කියන්න බැහැ. නමුත් ඉස්කෝලේදි නම් මම මෙහෙම තෑගි දීපු ළමයින්ට දොස් කියලා තියෙනවා.” මම ඔවුන්ට ස්තුති කර එය බාර ගතිමි.
“මැඩම් කැමති නම් ඇඳගෙන එන්න. නැත්නම් උතුම් තෑග්ගක් කියලා හිතලා කැමති කෙනෙකුට දෙන්න” තනූජා පැවසුවා ය.
“නෑ... නෑ... මම අනිවාර්යයෙන් ම මේක ඇඳගෙන ඇවිත් ඔයාලට පෙන්වන්නම්.”
ඒ පොරොන්දුවත් සම ම මගේ සිත ගුරු දිවියේ එක්තරා සිදුවීමක් වෙත යොමු වීය.
ඒ මා පළමු පත්වීම ලද, ආර්ථික අපහසුතා රැසක් මැද ඉගෙනුම ලැබූ දරුවන්ගේ කුඩා පාසලය... දෙමාපිය ආදරය, සෙනෙහස නොමැතිව දුෂ්කර දිවියක් ගෙවූ බොහෝ සෙයින් කලහකාරී හැසිරීම් රටාවකට හුරු වූ දරුවෝ මට බෙහෙවින් ආදරය කළහ. පාසල ආරම්භවීමට පෙරත්, නිදහස් කාල පරිච්ඡේදයකදීත්, විවේක කාලයේදීත් ඔවුහු මා වෙත පැමිණ බොහෝ දේ පවසමින් මා අසලම ගැවසීමට ප්‍රිය කළහ.
ඇතැම් විටක එය මා හට වදයක්, කරදරයක් වුණ ද මම කරමින් සිටින කාර්යයෙන් බැහැර ව ඔවුන්ගේ වදන්වලට සවන් දීමට පුරුදුව සිටියෙමි.
දිනක් මා වෙත පැමිණි කුඩා දැරියක් ලොකු පාර්සලයක් මා වෙත දිගු කරමින් මෙසේ පැවසුවා ය.
“ටීචර්, අපේ අම්මා රට ඉඳලා ආවා. මම අම්මට කිව්වා ටීචර්ට සාරියක් ගේන්න කියලා. අම්මා මේක දුන්නා. ටීචර් මේ සාරිය අවුරුද්දෙන් පස්සේ එනකොට ඇඳගෙන එන්න.”
“කවුද, ඔයාට මේවා ගේන්න කිව්වෙ? ආයිත් ගිහින් අම්මටම දෙන්න ටීචර් ගත්තෙ නැහැ කියලා.” මම තරමක් තදින් පැවසීමි.
දැරියගේ දෙනෙත් තෙත්වනු මම දිටිමි. ඇය පාර්සලය දිගු කරගත් වනම මා දෙස බලා සිටියා ය.
මා කලබල වූවා වැඩියයි මට සිතිණ. මම දැරියගේ අත වූ පාර්සලය රැගෙන
“අම්මට ස්තුති කරා කියන්නැයි” යි පැවසීමි.
ඇය දී තිබුණේ සාරියකි. එය මා සාමාන්‍යයෙන් තෝරා ගන්නා වර්ණවලට වඩා තද පැහැයෙන් යුක්තය.
මම එම සාරිය නොඅඳින්නට තීරණය කළෙමි.
“ටීචර්, අවුරුද්දෙන් පස්සේ ඉස්කෝලේ පටන් ගන්න දවසට මේ සාරිය ඇඳගෙන එන්න” දැරිය සතුටින් තෙපළා ය.
නමුත් නව වාරයේ පාසල පටන් ගත් දිනයේ මා හැඳගෙන ගියේ ම’විසින් මිලට ගන්නා ලද සාරියකි. පෙර කී දැරිය මා එනතෙක් මග බලා සිටිනු මම දිටිමි. මම ඇය නුදුටු සේ ඉදිරියට ගියෙමි.
“ටීචර්, ඇයි මම දීපු සාරිය ඇඳගෙන ආවේ නැත්තේ? මම ආසාවෙන් බලාගෙන හිටියා.” ඇය මා අත අල්ලා ගනිමින් පැවසුවා ය.
මම කිසිවක් නොපවසා ඇය හා සිනාසුණෙමි.
“ටීචර්, ඒ සාරියට කැමැති නැද්ද?” මම අම්මගෙන් වෙන සාරියක් ඉල්ලගෙන එන්නද?”
“එපා... එපා... මම ලබන සතියේ ඇඳගෙන එන්නම්” මම ඇයට පොරොන්දු වීමි.
මා ඒ සාරිය ඇඳගෙන ගිය දිනයේ දැරිය සිටියේ මහත් උද්දාමයෙනි. ඇය වරින් වර මා සිටින ස්ථාන වෙත පැමිණ බලා සිට නැවත ගියා ය.
“ටීචර්, අපේ අම්මා ආයෙත් රට ගියා. ටීචර් තමයි දැන් මගේ අම්මා. මම ටීචර්ට ආදරෙයි.”
අද එම දැරිය යොවුන් කාන්තාවකි. නමුත් මහේෂිකා දියණිය, ඔබගේ වදන් ම’සිතෙහි තවමත් රාව ප්‍රතිරාව දේ.
0 comments:
Post a Comment