----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

‘නළුවෙක් නෙමෙයි ඕයි, මේ අපේ සභාපතිතුමා’

Sunday, May 13, 2012

50 ස්වර්ණ ජයන්තිය අබිමුව

‘නළුවෙක් නෙමෙයි ඕයි, මේ අපේ සභාපතිතුමා’

සරසවිය පුවත්පතේ ගෙවුණු අතීතය පිළිබඳ එහි එදා වැජඹුණු ජ්‍යෙෂ්ඨයන් පවසන තොරතුරු ගොනු වූ ලිපි මාලාවේ සරසවිය පුවත්පතේ හිටපු ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාර පිළිබඳ ලියන ලද ලිපියේ අවසන් කොටස අද පල වේ.
පසු කලෙක විල්සන් හෑගොඩ මහත්තයා මට දී තිබුණ රොලි කෝඩ් කැමරාව දිනක් ඔහුගේ පුත් ලාල් හෑගොඩ එය නැවත ඕනෑම මිළකට මිල දී ගන්නට පවා සැරසිණ. එහෙත් ඒ වෙන කොට එය මා ළඟ තිබුණේ නැත. එය මෙතරම් කෞතුක වස්තුවක් බවට පත් වනු ඇතැයි මම විශ්වාස කළේ නැත.

මා විවාහ වුණේ 1977 ඔක්තෝබර් 27 වැනිදාය. මගේ බිරිය වූ පියසීලි සමඟය. අපි දෙන්නාගේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා හා ජනකාන්ත නළු විජය කුමාරතුංගයි.
මගේ ජීවිතයේ සදා අනුස්මරණීය චිත්‍රපට ඡායාරූප පෙළක් තමයි වැලිකතරේ ගෝරිං මුදලාලි, නිධානයේ විලී අබේනායක, පරසතු මල් බොනී මහත්තයා, සරුංගලේ නඩරාජා.
මේ චරිත කැමරාවේ සටහන් වුණේ හරි අපූරුවටයි. චිත්‍රපටයක් රූ ගැන්වෙන දර්ශන තලයට ගොස් අප චිත්‍රපටය හැදෙන හැටි ඡායාරූප ගත කළා. ජීවරාණි කුරුකුලසූරිය, රුක්මණී දේවි, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, මාලිනී ෆොන්සේකා, අනුලා කරුණාතිලක, ශාන්ති ලේඛා, අයිරාංගනී සේරසිංහ, දෙනවක හාමිනේ, තලතා ගුණසේකර, ගර්ලි ගුණවර්ධන, ගාමිණී ෆොන්සේකා, එඩී ජයමාන්න, ටෝනි රණසිංහ, ආනන්ද ජයරත්න, හර්බට් එම්. සෙනෙවිරත්න, ජෝ අබේවික්‍රම, ස්ටැන්ලි පෙරේරා, රවීන්ද්‍ර රන්දෙනිය, සිරිල් වික්‍රමගේ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, රොබින් ප්‍රනාන්දු, ඩග්ලස් රණසිංහ, ලෙස්ටර් ජේම්ස් පීරිස්, ඩී. බී. නිහාල්සිංහ, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, විමලදාස පෙරේරා, තිස්ස ලියනසූරිය, යසපාලිත නානායක්කාර, ලෙනින් මොරායස්, ටයිටස් තොටවත්ත, සුමිත්‍රා පීරිස්, මහාචාර්ය සුනිල් ආරියරත්න, ධර්මසේන පතිරාජ, විජය ධර්ම ශ්‍රී, සුගතපාල සෙනරත් යාපා, අපි හැමෝම ආත්මීය බැඳීමකින්, සහෝදරත්වයෙන් එදා කටයුතු කළෙමු. ඇන්ජ
ලීන් ගුණතිලක, ලතා වල්පොල, සුජාතා අත්තනායක, එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා, එම්. එස්. ප්‍රනාන්දු,
ප්‍රියා සූරියසේන වැනි ගායක ගායිකාවන් වගේම මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ජේ. බී. දිසානායක, අගමැති ඩඩ්ලි සේනානායක පවා මට ඡායාරූප ගන්න අවස්ථාව ලැබුණා සරසවිය නිසා. එක්තරා අවධියක මම චිත්‍රපට අධ්‍යක්ෂණයටත් පිවිසෙන්න උත්සාහ කළෙමි.
ඒ සඳහා මට 35 ප්‍රමාණයේ කැමරාවක් ඩී. බී. නිහාල්සිංහ මහත්මයා නොමිලේම ලබා දුන්නේය. රාජා ටී. බස්නායක ලියූ කතාවක් අනුව සුදු මොනරු නමින් චිත්‍රපටයක් කරන්න මම උත්සාහ කළේය. එහි විජය, ජානකී කුරුකුලසූරිය රඟපෑමට නියමිත විය.
සරසවිය පත්තරයේ වැඩ කරන කාලයේ මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධීන් කීපයක්ම සිද්ධ විය. මම ලේක්හවුස් එකට ආපු අලුත විමලසිරි පෙරේරා මහත්තයා කර්තෘ ලෙස ඉන්න අවධියේ සරසවිය සම්මාන උළෙලක් පැවැත් වුණා. විමලසිරි පෙරේරා මට කතා කරලා කිව්වා උළෙල හොඳට කවර් කරන්න ඕනේ.
එන කිසිම කෙනෙක් මඟ ඇරෙන්න බෑ. හොඳ පින්තූර ටිකක් ඕනෙ යනුවෙන් වගකීම මට බාර දුන්නා. ඒ වෙන කොට මට නළු නිළියන් ගැන ඒ තරම් අවබෝධයක් තිබුණෙත් නැත. ඒ අය හඳුන ගෙන තිබුණේත් නැත. එහෙත් උත්සවයට ඇවිත් හිටිය කවුරුවත් මඟ ඇරෙන්නේ නැතිව ආවරණය කිරීමට මම සමත් වුණෙමි. වැඩි හරියක් නළුවෝ ෆුල් සූට් එක ඇඳලා සිටියා.
මම පහුවදා නළු නිළියන් වෙන් කොට විමලසිරි පෙරේරා මහත්තයාට බාර දුනිමි. ඒ වෙන කොට මා ලේක්හවුස් සභාපතිතුමා කවුද කියලා අසා තිබුණාට දැකලා තිබුණේ නැත. මා එවකට සභාපතිව සිටි රංජිත් විජයවර්ධන මහත්තයාව ද නළුවෙක් ලෙස සිතාගෙන ඡායාරූප ගතකොට එම ගොඩට දමා තිබිණි. විමලසිරි පෙරේරා මහත්තයා මට කතා කොට ඇසුවා ‘බන්දු මේ කවුද යනුවෙන්.’ මගේ පිළිතුර වුණේ ‘නම දන්නේ නෑ, නළුවෙක් කියලා.’ ‘නළුවෙක් නෙමෙයි ඕයි, මේ අපේ සභාපතිතුමා.’
වරක් කුරුණෑගල නළු නිළි ක්‍රිකට් මැච් එකක් තිබුණි. එය අවසන් වූයේ රාත්‍රියේයි. මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග, සිරිල් වික්‍රමගේ මම ඇතුළු කණ්ඩායමක් වාහනෙන් කොළඹ එද්දී අපේ වාහනයට මඟ අවහිර කොට කට්ටියක් ගල් ගැසුවා. වාහනය නවත්තලා විජය කුමාරතුංග වාහනයෙන් බැස ගත්තේය. ගල් පාරවල් ද නැවතිණ.
ගල් ගහපු කිසිවකුත් නැත. විජය පාර හරහා තිබුණ කොටය අහකට දමා නැවත කොළඹ පැමිණියා. තුෂාරා චිත්‍රපටය රූගත කරද්දී මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග විවාහ වෙන දර්ශනයක් විය. මම ඒ මොහොත ඇත්තම විවාහ මංගල්‍යයක් සේ රූපගත කළෙමි. පෝරුවේ චාරිත්‍ර, මුදු මාරු කිරීම්, කරමාල බැඳීම මේ හැම දෙයක්ම විවාහ මංගල්‍යය සේ ඡායාරූප ගත කළෙමි.
මේ විජය – මාලිනී ආදර සම්බන්ධය ගැන කට කතා පැතිරුණ යුගයයි. මා මේ පින්තූර ටික සරසවියට ගෙනා විට එදා අර්නස්ට් වඩුගේ මහත්තයා විජය – මාලිනී විවාහ වෙයි යනුවෙන් හෙඩිමක් දාලා පිටුවක් පුරා පින්තූර පළ කළේය. මේ පින්තූර ටික දුටු කවුරුත් හිතුවේ ඇත්තටම විජය – මාලිනී විවාහ වෙලා යනුවෙනි. මේ සිද්ධිය සරසවියේ පළ වුණාට පස්සේ රටේ විශාල ආන්දෝලනයක් ඇති විය.
රුක්මණී දේවියගේ අවමගුල පැවැති දවසෙත් එදා මීගමුවේ මහ පල්ලියට ඇවිත් හිටිය සෙනඟ කන්දරාව මම කවදාවත් එයට පෙර දැකලා තිබුණේ නැත. හැම කෙනාටම අවශ්‍ය වුණේ රුක්මණී දේවියගේ මුහුණ දැක ගන්නටය. කවුරුත් පොර කෑවේ මුහුණ ආවරණය කරල තිබුණ ලේස් රෙද්දෙන් ඇගේ මුහුණ දැකගන්නටය. මම පල්ලිය ළඟ තිබුණ තාප්පයකට ගොඩ වුණා පින්තූර ගන්න.
එතකොට මම දැක්කේ රුක්මණී දේවිගේ මිනී පෙට්ටිය ඔසවාගෙන එනවා නොවෙයි. මිනිස්සුන්ගේ ඇඟිලි උඩ එය පාවෙන ආකාරයයි. රොලි කෝඩ් කැමරාවෙන් පටන්ගෙන ඩිජිටල් 3 ච්කැමරාවෙන් වැඩ කරන කාලයත් දක්වා මම ආපු ගමන් මඟ ගැන සිහිපත් වෙන කොට මගේ හිතට දැනෙන්නේ පුදුම සතුටක්. මට අද හැට පැන්නත් මගේ පින්තූර ගැනීමේ ජවය තවම අඩු වෙලා නැත.
එදා අපේ සිනමා අඹර දික් විජය කළ සිනමා සක්විතිලා, ජනකාන්ත නළුවන්, නිළියන්, නිළි රැජිනලා, අසහාය ගායකයෝ, ගීත කෝකිලාවියෝ, මේ හැම කෙනෙක්ටම මම හැරෙන්නටත්, බලන්නටත්, සිනා සෙන්නටත්, හිට ගන්නටත්, ඉඳ ගන්නටත් කිව්වා. ඒ හැම කෙනෙක්ම මගේ අණ අකුරට පිළිපැද්දේ කිසිදු තරහකින් නොවෙයි. සමහර විට මා පැවසූ දේ ඒ අය නොකළා නම් බන්දු එස්. කොඩිකාර කියන ඡායාරූප ශිල්පියා බිහි නොවෙන්නට ඉඩ තිබුණි. සරසවිය පුවත්පත නොවන්නට බන්දු කේ. සමරරත්න, බන්දු එස්. කොඩිකාර නොවෙන්න තිබුණි. කීර්ති ප්‍රශංසා ලැබ මා ආ මේ ගමනට මට විශාල ශක්තියක් වූ සරසවිය පුවත්පත චිරාත් කාලයක් කලා ක්ෂේත්‍රයේ උන්නතියට වැජඹේවායි මම ප්‍රාර්ථනය කරමි.

0 comments:

Post a Comment