----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

විජය කුවේණි කිසිම දවසක රූපවාහිනියෙන් පෙන්වන්නේ නෑ

Sunday, May 20, 2012

විජය කුවේණි කිසිම දවසක රූපවාහිනියෙන් පෙන්වන්නේ නෑ

සුගත් සමරකෝන්
1976 වසරේ ඔහු හා හා පුරා රචනා කරමින් රඟපෑ ‘අමල් බිසෝ’ නාට්‍යයට රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේ දී සම්මාන සහතික පත්‍ර හතරක් හිමිවිය. ඉන්පසු ‘දේශපාලුවා’, ‘වීර පුරන් අප්පු’, ‘කොමාන්ඩෝ දියසේන’, ‘උතුරේ රාහුල හිමි’, ‘සාගරයක් මැද්දේ’, ‘රාජා හෝ මාහෝ ‘සහ ‘අන්ධ සුන්දරී’ යන වේදිකා නාට්‍ය ඔස්සේ එදවස සමාජය තුළ දේශපාලනිකව යම්
කම්පනයක් ඇති කළේය. එසේම 1982 දී ‘අධිෂ්ඨාන’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් OCIC  සම්මානයද, 1992 දී ‘වියරු මිනිසා’ හි රංගනය සඳහා සරසවිය සම්මානයද හිමි කරගත් සුගත් සමරකෝන් නම් වන ඔහු ‘විජය කුවේණි’ ඓතිහාසික චිත්‍රපටය නිර්මාණය කරමින් මේ දිනවල වඩාත් කතා බහට ලක්වන චරිතය බවට පත්ව සිටී.
‘විජය – කුවේණි’ වැනි කතා තේමාවක් තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවද?
මේ වන විට අපේ රට භෞතික ලෙස ශීඝ්‍ර දියුණුවක් ලබමින් සිටිනවා. නමුත් බටහිර ජාතීන් නිතරම අපට සලකන්නේ අපි තුන්වැනි ලෝකයා ලෙස කොන් කරමින්. එය අතීතයේත් එහෙමයි වර්තාමනයේත් එහෙමයි. නමුත් එහෙම කියන බටහිර රටවල් ආර්ථික වශයෙන් දියුණු වුණාට අපි ඓතිහාසික වශයෙන් ඉතාමත් ඉහළ ඉන්න මානව කොට්ඨාසයක්.
මගේ කාර්යය හෙළයෙක් ලෙස මේ ඓතිහාසික වටිනාකම මතක් කර දීමයි. අපව යටපත් කරල දාන්න හදන අපව පල්ලෙහාට ඇදල දාන්න පාවිච්චි කරපු උපක්‍රම තේරුම් කරල දීමට තමයි මේ තුළින් උත්සාහ ගත්තෙ. තවත් විදිහකින් කිව්වොත් රටේ ජාතික අභිවෘද්ධිය සඳහා නැවත පොඩි හෝ උත්තේජනයක් ලබා දීමයි.

ඒ ගැන තවත් ටිකක් පැහැදිලි කළොත්
කුවේණිය මරා දන්නෙ විජය නෙමෙයි. කුවේණිය මරා දාන්නෙ තමන්ගේ වර්ගයා විසින් මයි. නමුත් ඒ පිටුපස්සෙ ඉන්නේ විදේශිකයින්. අද දේශපාලනයත් එහෙමයි. මේ පුංචි පාඩම ‘විජය කුවේණි’ චිත්‍රපටය තුළ තිබෙනවා.

ඔබ මෙය හඳුන්වන්නේ ‘මහා වංසය නොකී අපේ වංශයේ මහ රැජනකගේ කතාව‘ ලෙසයි. මෙය ඉතිහාසය වෙනස් කිරීමක් නොවෙයිද?
විජය කුවේණි පුරා වෘත්තයට අනුව මහා වංසයේ ක්‍රිස්තු පූර්ව 543 සිදුවීම තමයි මම මේ චිත්‍රපටයට පාදක කර ගන්නෙ.
හැබැයි මම තව පැත්තක් මේ තුළින් සාකච්ඡා කරනවා. මම බෞද්ධයෙක්. ඒ නිසා මට අයිතියක් තියෙනවා සැකයක් ඇතිවිට විමසන්න. බුදු හිමියන් අපට ඒ අයිතිය දී තිබෙනවා.
ඒ අනුව තමයි මම මහාවංස කතු හිමියන්ට පුංචි අභියෝගයක් කරන්නෙ. මහාවංසය කියන ඉතිහාසය කතාවේ ඉන්න කුවේණිය නෙමෙයි චිත්‍රපටයෙ ඉන්නෙ. අද්භූත දේවල්, මැවිලි වැනිදේ මම විශ්වාස කරන්නෙ නෑ. ලෝකයේ මැජික් කියන දේ තිබෙන බව ඇත්ත. ඒත් මහා පොළොවේ පය ගහල ඇස්වලට පෙනෙන දේ ගැන හිතල මම මේ කතාව පෙළගස්වනවා. එයින් මම මතුකරන්න උත්සාහ කරනවා මනුෂ්‍යයා කියන සත්වයාට හැමදාටම පොදු වූ හැඟීම් තිබෙන බව. අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිස්සු අරගෙන එන ඊර්ෂ්‍යාව, යටත් විජිත බව, ලිංගිකත්වය, කුලවාදය, ජාතිවාදය, ආගම්වාදය ඉදිරියටත් මේ විදිහට ම පවතින බව.
මිනිස්සු එදා එකිනෙකා මරාගත්තා. වර්තමානයේ මිනිස්සු කයින් දියුණුවෙලා කියල කියනවා. නමුත් අද එදාටත් වඩා දරුණු විදිහට මිනිස්සු එකිනෙකා මරා ගන්නවා. ඇයි මේ තත්ත්වයට මිනිසුන් පත්වන්නේ කියන එක මේ තුළින් මම කතා කරනවා.
මට අවධාරණය කරන්න ඕන දෙය සතුරන් අතින් නෙමෙයි අපට විනාශය සිද්ධ වෙන්නෙ. ස්වදේශිකයින්ම තමයි එකිනෙකා බේදවෙලා තියෙන්නෙ. මේ තත්ත්වය නිර්මාණ කරන්නෙ බටහිර ජාතීන්. මේ ටික වටහා ගන්නේ නැතුව මොනදේ කළත් වැඩක් නෑ.

විජය කුවේණි නිර්මාණය වන්නේ වර්තමානයේ ‘අබා’ මෙන්ම ‘මහින්දාගමනය’ වැනි ඓතිහාසික කතා සිනමාවට නැගුණු සමයක. මෙයත් ඒ රැල්ලේ නිර්මාණයක් ද?
තිර රචනය සහ රංගනය පිළිබඳ පාඨමාලා හැදෑරීම සඳහා මම 2004 දී එංගලන්තයට යනවා. එහිදී තමයි මම මේ පිටපත ලියන්නෙ. ඒ මීට අවුරුදු 10 කට කලින්. එහෙත් ඒ පිටපතින් චිත්‍රපටයක් නිර්මාණය කිරීම පමා වුණා. ඒකට හේතු වුණේ මම ශ්‍රී ලංකාවට ඒමට ප්‍රමාද වීමත්, දැවැන්ත මුදලක් යෙදවීමට නිෂ්පාදකවරයකු සොයා ගන්නට අපහසු වීමත් යන කරුණු.
යම් හෙයකින් මෙය මීට වසර 10 කට පෙර නිර්මාණය වුණා නම් මෙය ඔබ කියන ඓතිහාසික චිත්‍රපට රැල්ලේ ආරම්භය වනු ඇති බව මගේ විශ්වාසයයි.

මෙවැනි දැවැන්ත නිර්මාණයක් කිරීමේදී අධ්‍යක්‍ෂවරයා ලෙස ඔබට පැමිණි අභියෝග මොනවාද?
මුළු චිත්‍රපටයම මට අභියෝගයක් වුණා. චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී නිෂ්පාදකවරයා නැතිනම් මුදල් වියදම් කරන පුද්ගලයා තිර රචනයට හෝ අධ්‍යක්‍ෂණයට ඇඟිලි ගහන්න ආවොත් එය අවුලක් බවට පත්වනවා.
නමුත් මේ චිත්‍රපටයේ නිෂ්පාදක ගයාන් රණධීර මහතා අධ්‍යක්‍ෂවරයා ලෙස මට අවශ්‍ය නිදහස ලබා දුන්නා. ඒ අතින් මම හරිම වාසනාවන්තයි. නළු නිළියන් තෝරා ගැනීමේ සිට අවශ්‍ය ඕනෑම දෙයකට මට උපරිම නිදහස තිබුණා. ඒ නිසා මගේ හිතේ මැවී තිබුණු චරිතවලට ගැළපෙන නළු නිළියන් අවශ්‍ය කරන ශිල්පීන් මම තෝරා ගත්තා. ඊට අමතරව ඔහු නවාතැන්, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ප්‍රවාහන පහසුකම් පිළිබඳව පෞද්ගලිකවම සොයා බලමින් පුදුමාකාර සහයෝගයක් ලබා දුන්නා. ඒ ඔහු ඉතිහාසයට ආදරය කරන නිසා.
ඇත්තෙන්ම මේ චිත්‍රපටයෙන් ඔබ කියන යථාර්ථය මොකක්ද?
කුවේණිය තමයි පුරුෂාධිපත්‍යයෙන් බැටකාල දරුවන් සමඟ මහ මඟට වැටුණු පළමු ආසියාවේ කාන්තාව.
මෙය අදත් වෙයි. හෙටත් වෙයි. එය ශෝචනීයයි. නමුත් එය තමයි යථාර්ථය. මෙය තේරුම් ගන්න චිත්‍රපටය නරඹා නැති අය අනිවාර්යෙන් ම චිත්‍රපටය බලන්න කියලා ඉල්ලනවා.
ඒ සමඟම තව විශේෂ දෙයක් කිව යුතුයි. මේ චිත්‍රපටයට අපට රාජ්‍ය ආයතන හෝ පෞද්ගලික ආයතනයන්ගෙන් අනුග්‍රහයක් නෑ.
මෙය තනිකරම දුවන්නේ කටකතා මත. ඒ කියන්නෙ අපට තිබෙන ශක්තිය තමයි මෙය නරඹන ප්‍රේක්‍ෂකයින් අසල්වැසි අයට චිත්‍රපටය හොඳයි කියලා කියන විට දවසින් දවස පිරිස වැඩිවෙනවා.
‘විජය කුවේණි’ චිත්‍රපටය කවදාවත් රූපවාහිනී නාලිකාවක ප්‍රදර්ශනය කරන්නේ නෑ.
ඔබේ මීළඟ නිර්මාණය ගැන ඉඟියක් දී තිබෙනවා.
මම මීළඟට මීටත් එහා ගිය දැවැන්ත නිර්මාණ 2 ක් ම සඳහා සූදානමින් ඉන්නවා. ඒ ‘මහා රාවණා’ සහ ‘කුවේණිගේ දරුවෝ’. මහා රාවණා රජතුමා මීට වසර 8,000 කට පමණ පෙර ඉතිහාසයට සම්බන්ධ චරිතයක්. ඉන්දියාවේ වාල්මිකී මහා රාවණ චරිතයට හානියක් කරල තියෙන්නෙ.
මේ නිසා මම මහා රාවණා චරිතයට අදාළ සත්‍ය තොරතුරු ගවේෂණය කරල තිර පිටපත සකස් කර තිබෙනවා. මෙය නිෂ්පාදනය කිරීමටත් ගයාන් රණධීර සූදානමින් ඉන්නවා. බොහෝ විට මේ වසර අගදී එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
‘කුවේණිගේ දරුවෝ’ චිත්‍රපටයට අදාළව තිර පිටපතක් මේ වනකොට ලියා අවසන්. මීට වසර 543 කට පෙර කුවේණිගේ දරුවන් වූ දිසාලා සහ ජීවහත්ත දෙදෙනා කැලේට පැන යනවා. එතැන් සිට ඒ පරම්පරාව වසර 2500 තිස්සේ වැදි පරපුර දක්වා විකාශනය වීම තමයි මේ චිත්‍රපටයෙන් කතා කෙරෙන්නේ. මේ නිර්මාණ දෙක ඉක්මනින් ම ප්‍රේක්‍ෂකයන් හමුවට ගෙන ඒම මගේ බලාපොරොත්තුවයි.

2 comments:

Anonymous said...

RUPAVAHINIYE PENWANNA EPA APATA BALANNA ONETH NEHE API KOHEDIWATH BALANNETH NEHE.

Anonymous said...

Roopawaahiniye pennanna one naha. wadikal nogihin Torrent walin baaganna puluwan.

Post a Comment