දේවතාවන් දැක ගම්මුන් විමතියට
ඒ පුවත ලැබෙද්දී මා සිටියේ තිසා වැව් කණ්ඩිය මතය. මම එහි සත්‍ය අසත්‍යතාවය විමසා බැලීිම සඳහා ඊට යාබදව ඇති වෙස්සගිරිය විහාරය වෙත කඩිමුඩියේ දිව ගියෙමි. ආරංචියට අනුව වෙස්සගිරියේ ගල්තලාව අවට දේවතාවන් සැරිසරනු ගම්වාසීන් කිහිප දෙනෙකු දැක තිබේ. උන්වහන්සේලා අතර බහිරවයන් දෙදෙනෙකු ද හිඳ ඇත.
එහෙත් එතනට ගිය මට හමු වූයේ ගල්තලාව මත එරමිණියා ගොතා දෙනෙත් පියාගෙන සිටිනා තරුණයන් සිවු දෙනෙකි. ස්වල්ප මොහොතක් ගත වූ තැන ඔවුන් නැගිට පර්වතයේ එහා පැත්තට ගියේ ඒ මුහුණවල් මට හඳුනා ගැනීමට වෙලාවක් නොතබමිනි.
ටික වෙලාවක් උන් ස්ථානයේම ගත කළ මම ද ඒ සිවු දෙනා කවුරුන්දැයි සොයා බලනු රිසියෙන් ඒ පෙදෙසට ගියෙමි.
පුදුමයකි. එවිට ඔවුන් මගේ නෙතට හසු වූයේ වෙනත් වේශයකිනි. දෙදෙනෙකු දිවසළු පැළඳය. අනෙක් උන් බහිරව ස්වරූපයක් ගත්හ.

මේ ඉන්නේ නාරද, තිස්ස, සංඛ සහ පද්ම. නාරද සහ තිස්ස දේව වංශයේ. සංඛ සහ පද්ම බහිරවයන්. ඒගොල්ලෝ මෙහෙම වෙස් ගැන්වූයේ භව අරණට. භව අරණ තමයි මගේ අලුත්ම ටෙලි නාට්‍යය.
එම දර්ශනය අවසන් වූ පසු සිවු දෙනාගේ අංග රචනා ඉවත් කරන ලදී. උද්දික ප්‍රේමරත්න, ප්‍රභාත් වීරසිංහ, සුගත් අප්පුහාමි සහ සුරංග රණසිංහ දේවතා සහ බහිරව වෙස් ගෙන සිටියෝය. සුගතට ඉතින් අමුතුවෙන් අඳින්න දෙයක් නැහැනේ. හැබෑ ස්වරූපයෙන් හිටියත් රියල් බහිරවයනේ.
මුවට තිරිංග නැති ප්‍රභාත් පවසන්නේ සුගත් අප්පුහාමිව ඇවිස්සීමේ අරමුණිනි.
අපි දෙවියන්ගේ අනවශ්‍ය කතාවට කේන්ති ගන්න බහිරවයෝ නෙවෙයි. අපි හරි ශාන්ත බහිරවයෝ. ප්‍රභාත් කිවු දේ ගණනකටවත් නොගත් සුගත් එතැනින් එහාට ගියේ එහෙම කියමිනි.

කවුදෝ එසේ කියනු ඇසී මම ද සියල්ල නෙත් යොමා සිටි දෙස බැලුණේ ඉබේටමය.
සන්සුන් ලීලාවෙන් කාශ්‍යප රජ පැමිණෙයි. කාශ්‍යප රජු ලෙස වෙස් මාරු කරගෙන සිටිනුයේ බිමල් ජයකොඩිය.
භව අරණ අමුතුම අන්දමේ ටෙලි සිතුවමකි. වර්තමානය සහ අනාගතය ඔස්සේ දිවෙන මෙහිදී ඉතිහාසගත චරිත රැසක් හමුවීම විශේෂත්වයකි.
බිමල් එතැනට පැමිණීමත් සමඟ ගමේ කටකාර පුංචි එකෙකු බිමල් හා දොඩමලු වී ප්‍රභාත් වීරසිංහ ළඟට දිව ආවේය.
අංකල් අලුත් නළුවකු නේද?
ඔව් ඔව්.
ප්‍රභාත් කීවේ බොරුවකි.
මට හිතුණා අංකල් දෙබස් කියන විදිහට අලුත් එක්කෙනෙක් වෙන්න ඇති කියලා.
එවර ප්‍රභාත්ගේ මුහුණ දුම්රියකට හසු වූ රුපියලේ කාසියක් මෙන් විය.

බිමල් දෙසට අත දිගු කොට බිමල් හා ප්‍රභාත් අතර ඇති මිතුªදම ගැන නොදත් දරුවා ඇසීය.
නෑ පුතේ, කවුද ඒ?
අයියෝ එයා පබළු නාට්‍යයේ එහෙම හිටියා. ඉන්නකෝ මං එයාව ඔයාට හඳුන්වලා දෙන්නම්.
එවර මට ද සිනහ පහළ වූයේ ඉබේටමය.
අපිට මේ සීන් එකට අනුරතීව ඕනෑ වෙනවා. අනුරති රෙඩිද? නිමල් කාවදෝ හොයයි. අනුරති ද දේවතාවියකි. ඒ චරිතය නිරූපණයට සූදානමින් සිටින්නේ දුලානි අනුරාධාය. ඇය ද දැන් දර්ශන තලයේය. නිමල් ඇන්තනී ද පසෙකින් සිටියේය.
හරි අපි රිහසල් එකත් බලමුද? අධ්‍යක්ෂවරයා එසේ කියූනමුදු යම් කිසි අඩුවක් එතැන ඇත.

සංඛ අගිය අතක් නැත.
සංඛ චුත වුණාද දන්නේ නැහැ බහිරව ලෝකයට කතා කරල බලමුද? අපි නිතරම විහිලු කරන හින්දා තරහ වුණාද දන්නේ නැහැ.
සියල්ලෝම දනි පනිගා සංඛ හෙවත් සුගත් අප්පුහාමිව සොයයි.
ඒ කලබලය අවසන් වන්නට මත්තෙන් නිදි ගැට කඩමින් සංඛ දර්ශන තලයට ආවේය.
කොහෙද බං හිටියේ?
මං කාර් එකට වෙලා හොඳ නින්දක් දැම්මා.
සුගත් වචන ඇමිණුවේය.
![]() |
අධ්‍යක්ෂ නිමල් ජයවීර
|
අධ්‍යක්ෂ නිමල්ගේ වදන් පෙළට ගෙනාවේ සිනහවකි.
දේව ඇඳුම පිටින් උද්ධික, දුලානි සහ ප්‍රභාත් සිටිනා ඡායාරූපයක් අප ඡායාරූප ශිල්පී අමිත් ගත්තේ බොහොම අපහසුවෙනි. ඒ දේව සිනහව මුවට නැගෙන තුරු දුලානි අනුරාධා ඔහු ගත් ඡායාරූප සියල්ල මකා දැමීම නිසාය. කෙසේ නමුත් දේව සිනහව ඉගෙන ගත්තේ කොහෙන්ද යන වග කවුරුන් හෝ ඇසූ පැනයට ඇය නිරුත්තර විය.
දර්ශන රූ ගැන්වෙද්දී භව අරණේ පිරිසගෙන් සමුගෙන අප කොළඹ බලා පිටත් වන්නට වාහනයට නැංගමු.
නිමල් ඇන්තනී ද අප සමඟ එන බව කීව ද ඔහු පෙනෙන්න නැත. ඔහුව සෙවූ අපට දැකගන්නට ලැබුණේ පිරිසට ආහාර බෙදන තැනට වී පරිප්පුත් සමඟ පාන් භාගයක් ගිල දමන අන්දමය.
පොඩි බඩගින්නක් ආවා මල්ලී . .. . යං මං එන්නම්’
ඔහුගේ දෙවන රාත්‍රී ආහාරය ගැනීම අවසන් වූයේ හෝරා භාගයක් ද අප වෙත කවමිනි.
භව අරණහි සෙසු නළු නිළියන්:
මල්ශානි පෙරේරා, ලොයිඩ් ගුණවර්ධන.
ඇන්ටනී කුරේ, නෙතලි නානායක්කාර, නිල්මිණි බුවනෙක, රොහාන් රණතුංග, බර්ටි නිහාල් සුසිරිපාල, සෙනෙවිරත්න කුමාරසිංහ, කුසුම් මල්දෙනිය, හෙලානි ශිරන්ති, රූපා පතිරණ, සුරංග රණසිංහ
0 comments:
Post a Comment