----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

හෘදය සාක්‌ෂිය නාට්‍යගත කිරීම: අතුල පතිරණගේ "දොළහක්‌"

Thursday, May 24, 2012

හෘදය සාක්‌ෂිය නාට්‍යගත කිරීම: අතුල පතිරණගේ "දොළහක්‌"
 

ලියනගේ අමරකීර්ති

දොළහක්‌ නාට්‍යය ගැන කෙටි සටහනක්‌ ලියන්නට එය දෙවරක්‌වත් නැරඹිය යුතුය යන මගේ අපේක්‌ෂාව පේරාදෙණිය විශ්වවිද්‍යාල එළිමහන් රංග පීඨයේදී මැයි 21 වැනිදා ඉටු විය. පේරාදෙණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික සාහිත්‍ය උළෙලට අනුබද්ධව පැවැත්වෙන නාට්‍ය උත්සවය යනු විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය නායකයන් යනු මැරයන් හා නවකවධකාරයන් යෑයි දෛනිකව කෑගහන උසස්‌ අධ්‍යාපන ඇමතිවරයාට කදිම පිළිතුරකි. විශ්ව විද්‍යාලවල සිටින ඔහුගේ ඔත්තුකාරයන් හා බත් බැලයන් ඒවා ගැන වාර්තා කරන බවකුත් නොපෙනේ. ඒ පිළිතුර අර්ථවත් කරමින් එළිමහන් රංග පීඨය අතුරුසිදුරු නැති කරමින් ප්‍රේක්‌ෂකයන් ආකර්ෂණය කරන්නට දොළහක්‌ නාට්‍යයට හැකි විය. ධර්ම රාජ්‍යකියි කියන ලංකාවේ තිස්‌ වසක්‌ තරම් කාලයක්‌ රාජ්‍යය නම් ආයතනය විසින් පමණක්‌ එහි සිංහල-දෙමළ- මුස්‌ලිම් පුතුන්ට මරණ දණ්‌ඩනයෙන්ම ද`ඩුවම් දී ඇත. ද`ඩුවම් දීමෙන්ද ඒ දුන් ද`ඩුවම් උත්සවශ්‍රීයෙන් සැමරීමෙන්ද අපි කොතරම් නම් අහිංසාවාදීද හා බෞද්ධද යන්න දෛනිකව පෙන්වා දෙමින් සිටිමු. විශේෂයෙන්ම මේ දවස්‌වල සිංහල කතා කරන අපට අප දුන් ද`ඩුවම්වල යුක්‌තියුක්‌තභාවය ගැන සියයට සීයක්‌ විශ්වාසය. ඒ ගැන කිසිම සාධාරණ සැකයක්‌ අපට නැත.

මේ ස්‌ථිර විශ්වාසය සෑහෙන තරම් දුරට ප්‍රශ්න කරන්නට සිංහලෙන් නිෂ්පාදිත මේ ඇමරිකානු නාට්‍යයට පුළුවන.

දෙමළ සමාජයත් සෑහෙන කාලයක්‌ ක්‍රියා කර ඇත්තේ එසේය. නිදර්ශනයක්‌ ලෙස ඝාතනයෙන් තම සතුරන්ට ද`ඩුවම් දුන් එල්ටීටීඊයටත් තමන් ගත් ඝාතන තීරණවල නිරවද්‍යතාව ගැන සීයට සීයක්‌ විශ්වාස විය. ඒ ගැන දෙවැනි සිතා බැලීමක්‌ අවශ්‍ය නොවිණ. ආර්. ප්‍රේමදාස ඝාතනයේදී පමණක්‌ නොව නීලන් තිරුචෙල්වම් හා ලක්‌ෂ්මන් කදිරගාමර් වැනි ඉහළ පාන්තිකයන් ඝාතනයේදී සේම උමා මහේශ්වරන් වැනි බිම් මට්‌ටමේ ක්‍රියාකාරිකයන් ඝාතනයේදීද එල්ටීටීඊයට තම ඝාතන තීරණ නිශ්චිතය සැකයෙන් තොරය. අසූව දශකය අගදී ජවිපෙද තමන්ට -අයින් කරන්නට අවශ්‍ය අය සම්බන්ධයෙන් ගත් තීරණවල නිරවද්‍යතාව පිළිබඳ සැකයක්‌ තිබී නැත. කෙනෙකු මරාදමන්නට තීරණය කිරීමේදීවත් තමා ගැනම වන සැකයක්‌ නොපවතී නම් හා යළි සිතා බැලීමක්‌ සිදු නොවේ නම් අනික්‌ දණ්‌ඩන ක්‍රියා ගැන කතා කරන්නට වත් දෙයක්‌ නැත. දෙවරක්‌ නොසිතා මරා දැමීමත්, ඒ මරා දැමීම සාධාරණය කිරීමට ඓතිහාසික, සංස්‌කෘතික, දේශපාලනික යනාදී විවිධ වර්ගයේ හේතු සෙවීමත්, එසේ සොයමින් ඒ ඝාතන උත්කර්ෂණය කරමින් සැමරීමත් සිදු වේ නම් ඒ සමාජය පදනමින්ම අර්බුදයට ගිය සමාජයක්‌ ලෙස සැලකිය යුතුය.

දණ්‌ඩක රාජ්‍යයක වීරත්වය

අතුල පතිරණ විසින් අධ්‍යක්‌ෂණය කරන ලද දොළහක්‌ නාට්‍යය දණ්‌ඩක රාජ්‍යයක වීරත්වය සමරන කාලයක අපේ සාමූහික හෘදය සාක්‌ෂිය අර්බුදයට යවයි. මෙම නාට්‍ය එය කරන්නේ ලංකාවේ දැකිය හැකි විශිෂ්ටතම චරිත රංගනයන් කීපයක්‌ම එකම වේදිකාවට ගෙන එමිනි.

පිරිමි දොළොස්‌ දෙනෙකු එක්‌ කාමරයක කතා කරමින් සිටින ආකාරය පැය දෙකක්‌

බලා සිටින්නට නම් ඒ නළුවන් දොළොස්‌ දෙනා විශිෂ්ට රංග ශිල්පීන්වීම අත්‍යවශ්‍ය වෙයි. දොළහක්‌ නාට්‍යය යනු ර`ගපෑම පිළිබඳ එවැනි පෙළහරකි. එය වඩාත් කැපී පෙනුණේ මා නැරඹූ එහි දෙවැනි දර්ශනය වූ පේරාදෙණි එළිමහන් රංග පීඨයේ දර්ශනයේදීය. කිසිම රංග පාසලක කිසිම පුහුණුවක්‌ හෝ නැතිව ඇතැම් සිංහල වේදිකා නළුවන් ර`ගපාන සැටි ගැන අපි කවුරුත් කාලෙක සිට පුදුම වෙමු. දොළහක්‌ නාට්‍යය යනු තවත් එලෙස පුදුම වන්නට ලැබෙන මිහිරි අවස්‌ථාවකි.

නාට්‍යයේ කලාත්මක පරිසමාප්තියට අයත් වන ඒ කාරණාවලට වඩා මෙම නාට්‍යය අද අපට වඩාත් වැදගත් වන්නේ මිනිසෙකු හෝ මිනිසුන් මරණයට කැප කරන්නට පෙර කෙතරම් නම් පරිස්‌සමට සිතිය යුතුද තර්ක කළ යුතුද යන්න පිළිබඳ මේ නාට්‍යයෙන් මතු කරන තේමාව නිසාය. අපි බොහෝ විට වරදටත් කලින් ද`ඩුවම දෙන ජාතියක්‌ වෙමු. සමාජයක සිටින බලගතුම ද`ඩුවම් දෙන්නා හෙවත් දණ්‌ඩක ආයතනය වන රාජ්‍යය යම් කෙනෙකුට ද`ඩුවමක්‌ දෙන්නට තීරණය කරන විට ඒ තීරණය නිශ්චිතය ඒකමානීය. එම රට ජනතාවත් රාජ්‍යය තරමටම රාජ්‍යය විසින් දෙන ද`ඩුවම්වල නිශ්චිත බව හා ඒකමානීය බව එලෙසම පිළිගත් විට හා ඒ දෘෂ්ටිවාද ගිලගත් විට ජීවිතවල අගය පිළිබඳ පුරවැසි කතිකාවක්‌ ගොඩ නොනැගේ. නියම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්‌ ක්‍රියාත්මක කළ හැක්‌කේ මරණීය දණ්‌ඩනය වැනි දරුණු ද`ඩුවම් පිළිබඳ ආයතනික තීරණවලින් දුරස්‌ථව ඒවා පිළිබඳ නැවත සිතන මතන පුරවැසි පිරිසක්‌ සිටින විටය. ලංකාවේ අපි බොහෝ විට එවැනි පුරවැසියෝ නොවෙමු. එසේ නැවත සිතන අය අපට පෙනෙන්නේ ෙද්‍රdaහීන් ලෙසය. එහෙත් සිතීම යනු පුරවැසියාට අයිති අනිවාර්ය කාර්යකි.

සමන් පුෂ්ප ලියනගේ විසින් ආකර්ෂණීය ලෙස පරිවර්තනය කරන ලද රෙනෝල්ඩ් රෝස්‌ගේ ටුවෙල් ඇන්ග්‍රි මෙන් නාට්‍යය ටෙලි නාට්‍යයක්‌, වේදිකා නාට්‍යයක්‌, හා සිනමා කෘතියක්‌ ලෙස කිහිප වරක්‌ විවිධ භාෂාවලින් යළි යළි නිෂ්පාදනය වෙමින් ලෝක පරිමාණ කලා කෘතියක්‌ බවට පත් වූවකි. එහි තේමාවෙහි එන විශ්වීය අදාළත්වය නිසා මෙම ඇමරිකන් නාට්‍යය අද වන විට අප කාටත් උරුමවූවකි. මෙම නාට්‍යයෙහි ශිල්පීන් කණ්‌ඩායම එය අපූරුවට අපේ කෘතියක්‌ බවට පත් කරයි.

සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිතයට ඇති වටිනාකම පිළිබඳ ගැඹුරු යළි සිතා බැලීමකට අකමැත්තෙන් වුවත් යොමුවන්නට ලංකාවේ අපටද සිදු වේ. එය පමාවන තරමට පාඩුව අපටමය.

නාට්‍යයේ ක්‍රියාදාමය මුළුමනින්ම සිද්ධවන්නේ ජූරි කාමරයකය. ප්‍රේක්‌ෂකයන් වන අප මෙම ජූරි කාමරය දෙස බලා සිටින්නේ උසාවිය පැත්තේ සිට නොව ජූරි කාමරයේ පිටු පස බිත්තිය ඔස්‌සේය. ඒනිසා නාට්‍ය ආරම්භ වන විටම වීදුරු දොරක ලියන ලද -ජූරි රූම් යන නාම පුවරුව සහිත දොර අපට දිස්‌ වන්නේ පිටු පසිනි. ජූරි සභිකයන් දොළොස්‌ දෙනා එකා පසුපස එකා ජූරි කාමරයට ඇතුල්වන්නේ ඒ දොරෙනි. එම මුල සිට අගට, කණපිටට ලියන ලද ජූරි රූම් යන්න, අපට ඉ`ගි කරන්නේ මේ උසාවියට වඩා වෙනස්‌ ආකාරයකට සිද්ධිය දෙස බලන තැනක්‌ යන්නද? මේ වූකලී මෙම නාට්‍ය ඇසුරින් සිඩ්නි ලූමෙට්‌ අධ්‍යක්‌ෂණය කරන ලද සිනමාපටයේ පවා නැති සංඥාර්ථවේදීමය ප්‍රකාශනයකි.

අවුරුදු දාසයක තරුණයෙකු සිය පියාට පිහියෙන් ඇණ මරා දැමුවේය යන චෝදනාවට ලක්‌ වෙයි. සියලු සාක්‌ෂි පෙළ ගැසී ඇත්තේ තරුණයා වැරදිකරු වන තැනටය. ජූරියේ දොළොස්‌ දෙනාටත් තිබෙන්නේ ඔහු වැරදිකරු කර ඉක්‌මනින් ගෙදර යාමටය. රාත්‍රි අටට පැවැත්වෙන බේස්‌ බෝල් තරගයකට ටිකට්‌ මිලට ගෙන ඇති එක්‌ ජූරි සාමාජිකයෙකුට තීරණය ඉක්‌මනින් ගැනීමට අවශ්‍ය වී තිබේ. එහෙත් සියල්ල අර්බුදයට යයි. එක්‌ ජූරි සාමාජිකයෙකුට ඒ තරුණයා වරදකරුද යන්න පිළිබඳ සාධාරණ සැකයක්‌ ඇත. ඒ නිසා පළමු ඡන්ද විමසීමේදී වැරදිකරුද නිවැරදිකරුද යන්නට ඡන්ද ලැබෙන්නේ එකොළහට එකක්‌ වශයෙනි. වැරදිකරු හෝ නිවැරදිකරු යන්නට ඒකමතික තීරණයක්‌ තිබිය යුතුය. එහෙත් ජූරි සභිකයන්ගෙන් එක්‌ කෙනෙකුට චූදිත තරුණයා වැරදිකරුද යන්න පිළිබඳ සාධාරණ සැකයක්‌ ඇත. තමාට සිද්ධිය ගැන කතා කරන්නට අවශ්‍ය යෑයි ඔහු කියයි. මේ කතා කිරීම සම්පූර්ණ සිද්ධිය ගැන යළි සිතා බැලීමක්‌ බවට පත් වෙයි. උසාවියේදී අදාළ පාර්ශ්වයන් විසින් ගොඩනගන ලද සත්‍යය එලෙසම බාර නොගෙන එය යළි පරීක්‌ෂා කිරීමක්‌ බවට පත් වෙයි. සංවාදය යනු වඩා හොඳ සත්‍යයක්‌ වෙත යන පාරය. සංවාදයන් අරඹන අයට ෙද්‍රdaහීන්, විජාතිකයන් යනාදී නම් පට බඳින්නෝ පවතින සත්‍යයේ ආරක්‌ෂකයෝ වෙති.



ඒ නිසා මෙම ජූරි කාමරයේ උණුසුම් විවාදයද විහිළුද ඇණුම් පදද ඇතැම් විට ඇති වන ගැටුම්ද මිනිස්‌ විඥානයේ වෙනස්‌වීම නම් නාටකීය සිදුවීම සිදු වන ආකාරය පිළිබඳ රූපකයක්‌ වැනිය. මුලින් මුලින් තමන්ට පහසු ආස්‌ථානවල සිට පහසුවෙන් තම අදහස්‌ ප්‍රකාශ කරන ජූරි සභිකයෝ ක්‍රමයෙන් විපරිණාමයකට පත් වෙති. අපගේ දෛනික පුරුද්ද අපට උගන්වා ඇති සත්‍යය විශ්වාස කිරීම ඉතා පහසුය. එය අපගෙන් කිසිම පරිත්‍යාගයක්‌ ඉල්ලා නොසිටියි. නිදර්ශනයක්‌ ලෙස බේස්‌ බෝල් තරගයට ටිකට්‌ මිලට ගෙන සිටින ජූරි සභිකයාට දැනට සත්‍යය යෑයි තහවුරු වී ඇති දේ විශ්වාස කිරීම ඉතා පහසුය. ඒ නිසා ඔහුට බේස්‌ බෝල් තරගයද නැරඹිය හැකිය. ඔහු කලින්ම ටිකට්‌ අරගෙන ඇත්තේ ක්‍රීඩා තරගයකටය. තරගයක්‌ වෙත කෙසේ වෙතත් සත්‍යය වෙත එලෙස කලින්ම ටිකට්‌ ගන්නට පුළුවන්කමක්‌ නැත. සත්‍යය යනු එසේ කලින් බුක්‌ කරන ලද එකක්‌ නොවේ. ඒ වූකලී අප විසින් නැවත නැවත යළි පරීක්‌ෂා කළ යුතු, යළි සකස්‌ කළ යුතු දෙයකි. සමාජ-දේශපාලනික සත්‍යයන් නම් කොහොමත් එසේය. සම්පත් ජයවීර අපූරුවට ර`ගපාන මේ බේස්‌ බෝල් ලෝලී ජූරි සභිකයා යනු තමන්ට පහසු ආස්‌ථානයන්හි සිට පවතින සත්‍යය විශ්වාස කරන පුරවැසියෙකුගේ ස්‌වභාවය පෙන්වන චරිතයකි. එහෙත් පුංචි පුංචි ප්‍රශ්න කිරීම් හා යළි සිතා බැලීම් මාලාවක්‌ නිසාද තවත් අය අලුත් සත්‍යයක්‌ විශ්වාස කරන්නට පටන් ගන්නා නිසාද ඔහුද සිය මුල් තීරණය වෙනස්‌ කරයි. චූදිතයා නිවැරදිකරු යෑයි ඔහුද කියයි.

වෙනත් පුද්ගලයෙකුගේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේදී අපට අප දැනට සිටින ආස්‌ථානයන්හි සිටම පමණක්‌ ඒ තීරණය ගත හැකිද? තවත් පුද්ගලයෙකුගේ ජීවිතය ආරක්‌ෂා කිරීම වූකලී අප දැනට විශ්වාස කරන සත්‍යයන් වෙනස්‌ කරගනිමින් කළ යුත්තක්‌ නොවේද? අප වෙනස්‌ නොවී යම් කෙනෙකුට මරණ දණ්‌ඩනය දෙන්නේ නම් ඒ මරණයෙන් කොටසක්‌ අපටද උරුම නොවන්නේද? මේ ජූරි සභිකයන්ගෙන් කෙනෙකුටද තමා හා විරසක පුතෙක්‌ සිටියි. ඔහු චූදිත තරුණයා දෙස බලන්නේ තමා සහ තම පුතා අතර සම්බන්ධය ඒ චූදිත තරුණයා හා ඔහුගේ පියා වෙතට ප්‍රක්‌ෂේපණය කරමිනි. ඒ නිසා ඔහුගේ ආත්මීයත්වයේ හෙවනැල්ලෙන් මේ නඩුවේ සියලු කතාව වැසී යයි. ඒ නිසා ඔහුට පෙනෙන්නේ ඔහුගේම හෙවනැල්ලෙන් අඳුරු වූ සත්‍යයකි. අවසන් වරට සිය තීරණය වෙනස්‌ කරගන්නේ මේ ජූරි සභිකයාය. තමාගේ හෙවනැල්ල සිද්ධිය වෙතින් ඉවතට ගත් විට අලුත් අන්තර්දෘෂ්ටියක එළියෙන් සිද්ධිය දකින්නට ඔහුට හැකියාව ලැබේ.



දොළහක්‌ නාට්‍යය සිංහල බසින් නිෂ්පාදිත නිසා මෙය සිංහල කතා කරන අපට විශේෂයෙන් අදාළ නාට්‍යයකි. ලංකාවේ සිදු වූ බොහෝ හිංසනයන් හා ඝාතනයන් අපට පහසු ආස්‌ථානවල සිට සාධාරණීකරණය කරන්නට අපි පුරුදු වී සිටිමු. මහ ජාතියද වන එවැනි පහසු ආස්‌ථාන අනෙක්‌ වඩා වැඩියෙන් තිබේ. අප ගොඩ නගන සත්‍යය මත අපේම හෙවනැල්ල වැටී තිබෙනු අපට නොපෙනේ. බොහෝ දෙනෙකුට අදාළ වන හෝ අන් කෙනෙකුගේ ජීවිත අයිතිය පිළිබඳ කාරණාවලදී අපට ආත්ම කේන්ද්‍රීයත්වයෙන් හැකිතරම් ඈත් විය නොහැකිද? අප අප වෙතින්ම විචාරාත්මක දුරස්‌ථභාවයක්‌ පවත්වා ගන්නේ කෙසේද? යම් සංස්‌කෘතියක පහළ වන සත්‍යය ඒ සංස්‌කෘතියට සාපේක්‌ෂය යෑයි යන සංස්‌කෘතික සාපේක්‌ෂතා මිනිස්‌ ඝාතනය සඳහා යොදා ගැනීම වළක්‌වන්නේ කෙසේද? ජීවත්වීමට මිනිසාට ඇති අයිතිය උත්තර-සංස්‌කෘතික අයිතියක්‌ ලෙස ඉහළට ඔසවා ආරක්‌ෂා කළ නොහැකිද? මේ වූකලී මේ නාට්‍යය ඇසුරින් ඇසිය හැකි ප්‍රශ්න වේ.

නිසි ප්‍රශ්න කිරීමෙන් හා සිතා බැලීමෙන් මිනිස්‌ විඥානය වෙනස්‌ වන ආකාරය පිළිබඳ සුබවාදී පණිවිඩය මෙම නාට්‍යයේ ප්‍රසාද ගුණයට අයත් දෙයකි. හෘදය සාක්‌ෂිය විසින් අසනු ලබන ප්‍රශ්න නිසා විඥානය වෙනස්‌ වන සැටි නාට්‍යගත කිරීමට මේ නාට්‍යයේ විශිෂ්ට නළුවන්ට හැකි වී තිබේ. ඒ නිසා මෙය අපේ සාමූහික හෘද සාක්‌ෂියට රිදෙන නාට්‍යයක්‌ වීම අත්‍යවශ්‍ය කාර්යයකි. මේ නාට්‍ය නිසා රිදී එය විදේශීය කුමන්ත්‍රණයක්‌ යෑයි චෝදනා කිරීම වුව සාධනීය ප්‍රතිචාරයකි


Divayina

0 comments:

Post a Comment