----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

අනේ! බුදුනේ මේ අවනඩුවත් අසන්ට

Saturday, May 5, 2012

තුරු වදුලු අතරින් රන් තැටියක් වගේ දිලෙන වෙසක් සඳ ලස්සනයි. බුතව යාල මහ කැලෑවේ මඩවගුරක හරි හැටි කන්ඩ දෙයක් නැතිව මං ඉන්නවා. පහුගිය දවසක මං කතා කළ දේවල් ගැන ඔයගොල්ලො හරියට කතා කළා. කොටින්ම මගේ කතාව නැඟලා ගියා. ඒත් කිඹුල්ලු වන අපේ ආත්මය ජීවිතය දවසින් දවස බැහැලා යන බවයි මට දැනගන්ඩ තියෙන්නෙ. නිල්වලා ගඟේ හිටපු මාව මේ මඩ වගුරට ගෙනත් දැම්මට මට අපේ සනුහරේ කට්ටියේ කඳුළ සුසුම තවත් හොඳට තාමත් දැනෙනවා. ඒ දැනෙන්නේ සුළඟේ තරංග මඟින්.
වීථි, මාවත් දිගේ දන්සල් පවත්වන පන්සලක් පන්සලක් ගානේ මහා පින්කම් කරන මේ වෙසක් දවසෙ බෞද්ධ රටේ ඔබට මට කියන්න තියෙන්නෙ තවත් දුක්බර කතාවක් විතරයි. ඒත් මින් මත්තෙ මං කවදාවත් ඔයගොල්ලන්ට කතා කරන්නෙ නෑ. අපේ සනුහරේ අන්තිම එකා මියගියත් මං මේ මඩ වගුරේම මිය ඇදුණත් ආයිත් නම් කවදාවත් මං ඕගොල්ලන්ට කතා කරන්නෙ නෑ. ඒ නිසා මගේ මේ අවසන් ඇමතුම කන් ඇරලා අහගන්ඩ.
නිල්වලා ගඟේ මගේ සනුහරේ කට්ටිය දැන් ඉන්නේ පුදුමාකාර බයකින්. ඒ බය මගේ හුදෙකලා බයට වඩා බොහොම වෙනස්. පසුගිය 26 දා ඉඳන් 28 වැනිදා විතර වෙනකොට අපේ සනුහරේ 5 දෙනෙක් මැරිලා නිල්වලා ගඟේ පාවුණා. ඊටත් පස්සෙ තවත් දෙන්නෙක්. කොහොමද? මේ දේ වෙන්නෙ. සමහර උපාසක ඇත්තො “අනේ අපොයි!” කියද්දි තවත් සමහරෙක් “හොඳ වැඩේ” කියනවා.
බඩගින්න පිපාසය නිසා ඕගොල්ලන්ගේ ගම් කොලණියට ඇවිත් ගල්කටස් පාර කන, හක්කපටාස් වලින් හොඬවැල විනාශ කරගන්නා අලිහාමිලාට වගේම අපිත් අද බඩගින්න නිසාම මිය යනවා. මං මුලිනුත් කීවනෙ අපි මාංශභක්ෂක සත්තු කියලා. අපට නිල්වලා ගඟ විතරයි. ඕගොල්ලන්ට මුළු මාතර පුරවරයම තියෙනවා.
දැන් නිල්වලා ගඟේ කිඹුලුන් අල්ලන මෙහෙයුම ඉවරයි. දැන් ක්‍රියාත්මක කරන්නෙ කිඹුල්ලු මරන ක්‍රියාදාමය. මාලිම්බඩ හා තවත් ගඟ ඉවුරේ තැන් කීපයක ඉන්න බල්ලො ටිකටත් දැන් ඉතින් මරණ වරෙන්තු. උඹලා දන්නවද? ඒ මැරිච්ච අය අතර ගැබ්බර කිඹුලියක් ද හිටියා.
බල්ලගෙ ඇඟේ විස බෙහෙත් කවලා ඌට විස බෙහෙත් පොවලා කට්ටිය දැන් උන්ව ගඟට දානවා. බඩගින්නෙ ඉන්න අපේ අය මේ කිසි දෙයක් දන්නෙ නෑ. කුසගිනි දරාගන්ඩ බැරිව බල්ලව ගිලිනවා. මේ විදියට දැන් අපේ සනුහරේ හත්දෙනෙක් ඉවරයි.
මේවා අහස පොළොව නුහුලන අපරාධ. මං දන්නා හැටියට නියම බෞද්ධයො බඩගින්නෙ ඉන්න කෙනකු මරනවා තියා කෑම ගනිමින් ඉන්නා කෙනෙකුට බනින්නෙවත් නෑ. බුදුහාමුදුරුවො සම්බුද්ධත්වයට පත්වෙලා 2600 සපිරෙන පෝය නේද? මේක. කිඹුල්ලු ටික මරලා අවසානයේ ඔය කට්ටිය සොයන විමුක්තිය මොකක්ද?
අපි වෙනුවෙන් කතා කරන්නෙ ඒ පැත්තෙ පරිසර හිතකාමීන් කීපදෙනෙක් විතරයි. මාලිම්බඩ උතුර පරිසර හිතකාමීන්ගේ සංගමය එහෙම තැනක්. ඒත් ඒ අයටත් මේ තුට්ටු දෙකේ වැඩේ ගැන කටඅරින්න බැරිවෙලා. මොකද ලොකු ලොකු තානාන්තර තියෙන අය මේ වැඩේට අනුබල දෙනවා.
කිඹුල්ලු වුණත් අපටත් මිනිසුන්ට වගේම ආත්මාභිමානයක් තියෙනවා. දිගින් දිගටම විලාප නඟන්නට අපි කැමැති නෑ. වීරයො වගෙ මරණයට මුහුණ දෙනවා ඇරෙන්ඩ. හැබැයි අපි මැරුණට පස්සෙ ඕගොල්ලන්ගෙ බාල වැඩ නවත්තපල්ලා. නැත්නම් ගඟ අපවිත්‍ර වෙන එක වළක්වන්න බෑ. මගේ ආත්මගරුත්වය රැකගන්ඩ හිතලා මං එදා ටිකක් හැංගුවා. දැන් නම් ඒ ටිකත් කියන්ඩ කාලෙ ඇවිත්. මොනවා කරන්ඩද? ආයිත් මං කතාකරන්නෙ නෑනේ මියැදුණත්.
ගං ඉවුරේ තියෙන ගෙවල් සියල්ලේම අය ගඟට දැමූ අපද්‍රව්‍ය, මස්කටු, බිත්තර කටු විතරක් නොවේ තවත් බොහෝ අපිරිසුදු දේ අපි බඩගින්නට කෑවා. ඒකෙන් ගංපතුල පිරිසුදු වුණා. පතුලෙ අපද්‍රව්‍ය රැඳුණෙ නෑ. වතුර පල්වුණේ නෑ. පරිසර සමතුලිතතාව ඒකෙන් රැකුණා. අපි ටික මියගියාට පස්සෙ නිල්වලාව පල්වළක් වේවි. ඒ විතරක්ද? මං ඉස්සෙල්ල වතාවෙ කීවෙ නෑ ඕගොල්ලෙ ගඟ අයිනෙ එම්බාම් කරපු මිනීවල කොටස් අතුනුබහන්, බඩවැල් හා මස්වැදලි ගඟට හොරෙන් වීසි කළා. අපි ඒවත් කෑවා. ඒවා කනකොට තමයි මිනීමස්වල රසය අපට ආවෙ. වියළි දරදඬු ඇටකැබලි මෙහෙම නම් පණ ගහන මස් කොහොම වේවිද අපට හිතුණා. ඉතින්! අපිත් බඩගින්නට කඩා පැන්නා තමයි.
ඒත් ඒකට දඬුවම මේ විදියට අපේ වැඩිහිටියන්, තරුණයන්, ගැහැනුන් හා දරුපැටියන් මරා දැමීමද? නිල්වලා ගඟේ ගහගෙන පහළට ගිය අපේ කට්ටියගෙ මළසිරුරු හම ගහලා හම ගන්ඩ කට්ටියකුත් ඉන්නවලු. වස දීලා මරන නිසා මස් ටික මුදාහරිනවා. නැත්නම් ඒ මස් ටිකත් උඹලා බුදිනවා ඒකාන්තයි. එහෙම බැලුවාම කිඹුල්ලු වන අපට වඩා උඹලා තිරශ්චීනයි.
බරබ්බස් නිදහස් කරලා ජේසුස් ඇණගසන්න තීන්දුව දීලා අත සෝදාගත් පිලාත් රජ්ජුරුවන්ට වගේ උඹලාට පාපයෙන් නිදහස් වෙන්ඩ බෑ. මේක බුද්ධ රාජ්ජේ. බුදුන්ගේ තෙමඟුල සිහිකරන දවස.
ඔය ලොකු ලොකු ශීත කාමරවල කට්ටිය මේවා කටකතා කීවට ඒක දැන් කවුරුත් දන්නා රහසක්. වැඩියෙන්ම මේ රහස දන්නෙ ගඟේ ඉන්නා කිඹුල්ලුයි ගංඉවුරේ දඩාවතේ රැඳුණු බලුකුක්කොයි විතරයි.
මං මේ වෙසක් දවසේ නුඹලාට පොඩි බණකුත් කියන්නම්. පාපයක් සිද්ධවෙන්ට කාරණා පහක් සම්පූර්ණ වෙන්ඩ ඕනෑ. පර පණ නැසීම සම්පූර්ණ කරන්නෙ මෙහෙමයි. උඹලා අප කිඹුලන් බව දන්නවා. අපට පණ තිබෙන බවත් දන්නවා. අපි සත්ත්ව කොටසක් කියලත් දන්නවා. ඔන්න එක. ඊළඟට උඹලා අපව මරන්ඩ චේතනාවක් ඇතිකර ගන්නවා. ඒ චේතනාව ඇතිව තමයි අපේ 7ක් දැන් මැරුවෙ. එතකොට දෙවැන්නත් හරි. ඊළඟට සතා මරන උපක්‍රමයක් සකසා ගන්නවා. ඒකත් ඉතින් මං කිව්වානේ. ඔන්න තුන්වැන්නත් හරි. ඊළඟට ඒ උපක්‍රමයෙන් සතා මරනවා. දැන් හතරවැන්නත් හරි. ඊළඟට සතා මරපු එක ඉවසනවා. ඒක කමක් නෑ කියලා හිතනවා. ඔන්න! පස්වැන්න. දැන් කාරණා පහම මේ විදිහට සිද්ධ වෙලා ඉවරයි.
සමහර ඇත්තො මේවා මෙහෙම වෙන්නෙ නෑ කියලා බෑඟිරි ගහන්නෙ බොරුවට. ඒ තමයි අර 5 වැනි කාරණාව. ඒවා ඉවසන එක.
හැබැයි! දිට්ඨධම්ම වේදනීය කර්මය පස්සෙන් එනවා. ගොනා පසුපස එන කරත්ත රෝදය වගේම ඔබ පසුපසින් මේ දුක ලුහුබඳීවි.
නිල්වලා ගඟේ අපේ සනුහරේ ගෙනගිහින් දාන්ඩ තැනක් නෑ කියලා අපව මරා දාන්ඩ තීන්දු කරන එක වීරකමක් නොවෙයි. ඒක බියගුලුකමක්. අතීසාරෙට අමුඩ ගහන වැඩවලින් වැඩක් නෑ. නුඹලා එහෙම කළත් අපේ සනුහරේ වඳකරන්ටත් බෑ.
වෙසක් සඳ ලස්සනට අහසේ පායා එනවා. මගේ හිත සැහැල්ලු කරගන්ඩ මට හිතෙනවා. නුඹලා වවන දේ නුඹලාව කපාගනීවි.
මදුරුවන්ට මල් පැණි බොන්ට උගන්වන්ඩ බෑ. අපි කොහොමත් මාංශ භක්ෂකයො. අපි මෙච්චර කල් ජීවත්වුණු විදිහට මාළුවෙක් කාගෙන අහිංසක විදියට ආයිත් ජීවත්වෙන්ඩ අපට ඉඩදියල්ලා. මේ මාගේ අවසන් ලියමනයි. බුතව මහ කැලේ නිරාහාරව මැරුණත් අපේ සනුහරේ වෙනුවෙන් මේ වචන ටිකත් කීවෙ.

0 comments:

Post a Comment