----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

විචාරය ඇරඹිය යුත්තේ වින්දනයෙන්

Thursday, July 5, 2012



විචාරය ඇරඹිය යුත්තේ වින්දනයෙන්
මහාචාර්ය විමල් දිසානායක

සංවාදය - සුලෝචන වික්‍රමසිංහ

ඉතා අවිවේකී මොහොතක හදිසියේ හමුවූ මහාචාර්ය විමල් දිසානායක සිය නවතම කෘතිය වන "නිහඬ නිම්වළල්ල" අරබයාද වෙනත් සාහිත්‍ය කරුණු අරබයාද පළකරන ලද අදහස්‌ කීපයක කෙටි සාරාංශයන් පහත පළවේ.

ඔබගේ නවතම කෘතිය "නිහඬ නිම්වළල්ල" ලෙස නම් කෙරේ ඇයි?"

නිම්වළල්ල යන සිංහල වචනය Horizon කියන ඉංගී්‍රසි වචනයේ පරිවර්තනයක්‌. මෙම පදය සාහිත්‍ය තුළ දාර්ශනික සංකල්පයක්‌ ලෙස යොදාගන්නවා. මෙහි මූලික අර්ථය නම් කිසියම් ශාස්‌ත්‍රීය සාකච්ඡාවක්‌ සිදුවිය යුත්තේ පැහැදිලි සීමා ඇතුළත බවයි. මෙම ශාස්‌ත්‍රීය සීමාවක්‌ හඳුන්වා දීම සඳහා නිම් වළල්ල යන පදය භාවිතා කෙරෙනවා. මේ ග්‍රන්ථයේ අරමුණ සාහිත්‍යයත් ඉතිහාසයත් අතර පවත්නා සම්බන්ධය විග්‍රහ කිරීම. අප බොහෝ විට ඉතිහාසය සලකන්නේ සාහිත්‍යය කෘතියක පසුබිම හැටියටයි. එහෙත් නවීන සාහිත්‍යවේදීන් පෙන්වා දෙන්නේ ඉතිහාසය සාහිත්‍ය කෘතියක පසුබිම නොවෙයි. එහි අර්ථයේම වැදගත් කොටසක්‌ බවයි. මේ කරුණ සනාථ කිරීමට මා මේ ග්‍රන්ථයේ ඇතුළත් ලිපි සියල්ලෙන්ම උත්සාහ දරා තිබෙනවා.

ඔබ ඉතිහාසය යන්නෙන් හඳුන්වන්නේ දේශපාලන ඉතිහාසය පමණක්‌ද?

කොහෙත්ම නැහැ. මේ සංකල්පය ඉතා පුළුල් එකක්‌. දේශපාලන ඉතිහාසය එක්‌ අංශයක්‌ පමණයි. මේ හැරුණු විට සංස්‌කෘතික, බුද්ධිමය ඉතිහාසයද වැදගත් තැනක්‌ ගන්නවා. මෙම ලිපි සංග්‍රහයෙන් මා ඒ පිළිබඳ සාකච්ඡා කොට තිබෙනවා. මෙම ලිපි සංග්‍රහයෙන් ඉතිහාසය යන සංකල්පයෙහි සංකීර්ණ ස්‌වභාවයත් එය සාහිත්‍යයට බලපාන ආකාරයත් පෙන්නුම් කිරීමට මා උත්සාහගත්තා.

එය තවදුරටත්a පැහැදිලි කළොත්?

ඉතිහාසය පිළිබඳ සාම්ප්‍රදායික මතය නම් එය අපක්‌ෂපාතී වූත් මධ්‍යස්‌ථ වූත් විස්‌තර කථනයක්‌ බවයි. වෙනත් වචනවලින් පවසද තොත් අප පොළොන්නරු යුගය පිළිබඳ කරුණු විමසීමේදී ඉතා මධ්‍යස්‌ථ ලෙස ඒ යුගයේ පැවැති ආර්ථික, සාමාජික, සංස්‌කෘතික ලක්‍ෂණ පෙන්නුම් කරනවා. මෙහි කිසියම් සත්‍යයක්‌ ඇති බව පිළිගත යුතුයි. එහෙත් වර්තමාන ඉතිහාසවේදීන් කියා සිටින්නේ ඉතිහාසය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මධ්‍යස්‌ථ විස්‌තර කථනයක්‌ නොවන බවයි. මීට ප්‍රධාන හේතු 2 ක්‌ ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ඉන් පළමුවැන්න තමයි, අප බොහෝ විට ඉතිහාසය සම්පාදනය කරන්නෙ භාෂාව මගින් වීම. භාෂාව මාර්ගයෙන් අතීතය නිරූපණය කිරීමේදී අනිවායයෙන්ම ලේඛකයාගේ පුද්ගලත්වයෙන් කොටසක්‌ ඊට ඇතුළු වෙනවා. එම නිසා ඉතිහාසයකින් අපේක්‌ෂිත මධ්‍යස්‌ථ භාවයට හානියක්‌ පැමිණෙනවා.

දෙවැන්න තමයි කිසියම් යුගයක්‌ පිළිබඳ ඉතිහාසයක්‌ රචනා වීමේදී ඒ යුගය හා සම්බන්ධ හැම සිදුවීමක්‌ම ඊට ඇතුල් කරන්න බැහැ. ඇතැම් සිදුවීම් ඇතුල් කිරීමටත් ඇතැම් සිදුවීම් බැහැර කිරීමටත් සිදුවෙනවා. මෙම තෝරා ගැනීමේදී අනිවාර්යයෙන්ම පුද්ගල ආත්මීය ලක්‌ෂණ හා වින්දනය ඊට ඇතුල් වෙනවා. මේ හේතුව නිසා නවීන ඉතිහාසවේදීන් ප්‍රකාශ කරන්නේ ඉතිහාසය මධ්‍යස්‌ථ විස්‌තර කථනයකට වඩා පුද්ගල ආඛ්‍යාන ස්‌වරූපයක්‌ ගන්නා බවයි.

ඔබ එසේ ප්‍රකාශ කළත් අප රටේ බොහෝ විචාරකයන් හා ප්‍රබන්ධ කතාකරුවන් ඉතිහාසය සාකච්ඡා කරනුයේ දේශපාලන දෘෂ්ඨිකෝණයකින්.

සාහිත්‍යයත් ඉතිහාසයත් අතර ඇතැමුන් තුළ මිථ්‍යා විශ්වාසයක්‌ තියෙනවා. එනම් සාහිත්‍ය හුදෙක්‌ සමාජ යථාර්ථවාදී ලක්‌ෂණයන්ට සීමා විය යුතුයි කියල. මෙය දුර්මතයක්‌. ඊට හේතුව විවිධ වර්ගයේ සාහිත්‍ය කෘතිවල විවිධ ස්‌වරූපයෙන් ඉතිහාසය ප්‍රවිශ්ඨ වෙනව. උදාහරණයක්‌ ලෙස ගතහොත් ගාර්සියා මාකේස්‌ ගේ ඇතැම් කෘති අද්භූත කාල්පනික ආඛ්‍යාන රටාවක්‌ අනුගමනය කරනවා. නමුත් ඒ අතරම ඒවායේ ඉතිහාසයේ ක්‍රියාකාරීත්වය මැනවින් නිරූපණය වී තිබෙනවා. එම නිසා සාහිත්‍යයත් ඉතිහාසයත් අතර සම්බන්ධය හුදෙක්‌ යථාර්ථවාදී කෘතිවලට පමණක්‌ සීමා කරන්න බැහැ.

අප හැමවිටම වාගේ සාහිත්‍ය සම්බන්ධව නිර්ණායක ගොඩනගා ගැනීමට උත්සාහ ගන්නේ බටහිර රටවල් ඇසුරින්. පෙරදිගින් එවැනි උදාහරණ හෝ නිර්ණායක සොයා ගැනීමට නොහැකිද?

අපේ රටේ සාහිත්‍ය විචාරයෙහි තිබෙන ප්‍රබල දුර්වලතාවයක්‌ නම් අප හැමවිටම නිදර්ශන, ප්‍රවණතා, නිර්ණායක යනාදිය බටහිර සාහිත්‍යයෙන් පමණක්‌ ලබාගැනීම. බටහිර රටවල විශිෂ්ට සාහිත්‍ය කෘති නිර්මාණය වී ඇති බව සත්‍යයක්‌. එහෙත් ඒ අතරම ඉන්දියාව, ජපානය වැනි ආසියාතික රටවලත් ලතින් ඇමරිකානු හා අප්‍රිකාවෙන් උසස්‌ නිර්මාණ බිහිවන බව අමතක කළ යුතු නැහැ. අපේ සාහිත්‍ය සාකච්ඡාවලදී විචාරයන්වලදී මේ රටවල නිපදවන උසස්‌ කෘති පිළිබඳවද සාකච්ඡා විය යුතුයි. උදාහරණයක්‌ වශයෙන් ජපානයේ සිටින ජනප්‍රිය ලේඛකයෙක්‌ වන හරුකි මුරකමි සලකා බලන්න පුළුවන්. අමුතු ආකාරයේ පරිකල්පන ශක්‌තියක්‌ උපයෝගී කරගනිමින් යථාර්ථවාදී හා අද්භූතවාදී සම්ප්‍රදායක්‌ එක්‌ තැන් කරමින් ඔහු බිහිකොට ඇති සාහිත්‍ය කෘති අපගේ විමර්ශනයට ලක්‌විය යුතුයි.

"ඉතිහාසය" පද්‍ය සාහිත්‍යයටත් බලපවත්වනවාද?

ඉතිහාසයේ බලපෑම පද්‍ය සාහිත්‍යයේත් පැහැදිලි ලෙස දක්‌නට ලැබෙනව. එය නවකතා සාහිත්‍යය තරම් ප්‍රබල ලෙස මතු නොවුණත් පද්‍ය සාහිත්‍යයේද එය වලංගු සාධකයක්‌. වෙනත් වචනවලින් පවසතොත් කවියකුගේ නිර්මාණ ශක්‌තියත් ඓතිහාසික විඥනයත් අතර ඇති සමබන්ධය සාහිත්‍ය විචාරයේදී අපගේ පරීක්‌ෂණයට ලක්‌විය යුතුයි. එපමණක්‌ නොවේ. සිනමාවටත් එය වලංගු කරුණක්‌. සිනමා ව්‍යාකරණයේ එක්‌ මූලික ලක්‌ෂණයක්‌ නම් සමෝදානයයි. (පදබඒටැ) මෙහි අර්ථය එකිනෙකට වෙනස්‌ සංකල්ප රූප දෙකක්‌ සංඝටනය කොට නව අර්ථයක්‌ මතු කිරීමට උත්සාහ කිරීමයි. මෙය චිත්‍රපට කලාවේ මුල් අවධියේ පටන් දක්‌නට ලැබෙන ලක්‌ෂණයක්‌. ඉතිහාසය හා සාහිත්‍යය අතරද දක්‌නට ලැබෙනුයේ මෙවැනි සම්බන්ධතාවක්‌.

සාහිත්‍යය හා ඉතිහාසය අතර ඇති සම්බන්ධතාව තුළ ජන සාහිත්‍යය, මිථ්‍යා කතාවලට හිමිවන ස්‌ථානය කුමක්‌ද?

ජන සාහිත්‍ය හා මිථ්‍යා කතා සාහිත්‍ය හා ඉතිහාසය අතර ඇති සම්බන්ධතාව ශක්‌තිමත් කිරීමක්‌. ලතින් ඇමරිකානු රටවල බිහිවූ මායා යථාර්ථවාදය නමැති ආඛ්‍යාන සම්ප්‍රදාය ගොඩනැගීමේදී ඒ රටවල පාරම්පරික ජන සාහිත්‍යය මිථ්‍යා කතා යනාදිය එම රටවල ලේඛකයන්ට දැඩි බලපෑමක්‌ කළා. ඒ ඇසුරින් ඔවුන් විශාල ආභාෂයක්‌ ලැබුවා. නොබෙල් ත්‍යාගය දිනාගත් ගාර්සියා මාකේස්‌ වරක්‌ ප්‍රකාශ කළා තමාගේ නවකතාවල ආඛ්‍යාන රීතිය සකස්‌ කිරීමට සම්පූර්ණයෙන්ම බලපෑවේ සිය මිත්තනිය කුඩා කල කියූ ගැමි කතා හා සුරංගනා කතා බව. එමෙන්ම ඔහුගේ නිර්මාණ තුළ තවත් විශේෂ ලක්‌ෂණයක්‌ තියෙනව. ඔහු යථාර්ථවාදය ඉක්‌මවා අද්භූතවාදී ලක්‌ෂණ යොදා ගන්නවා. ඒ සඳහා ඔහු එක්‌ උපක්‍රමයක්‌ යොදා ගන්නවා. එනම් භාෂාවේ රූපක වාක්‍යාර්ථ බවට පත්කිරීමයි. උදාහරණයක්‌ වශයෙන් "ප්‍රවෘත්තිය ගලා යයි" යන්න රූපකයක්‌ වුවත් ගාර්සියා මාකේස්‌ "ප්‍රවෘත්තිය ගලා යයි" යන රූපණය ව්‍යර්ථයෙන් ගෙන "ප්‍රවෘත්තිය" පොළොව දිගේ, දොරවල් යටින්, ගලායන අයුරු භෞතික පදනමක පිහිටා නිරූපණය කරනවා. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් අද්භූත ස්‌වරූපය ආරෝපණය වෙනව.

අද අපේ සාහිත්‍යය විචාරය ගැන ඔබගේ අදහස කුමක්‌ද?

අද මෙරට සාහිත්‍ය විචාර කලාවේ දක්‌නට ලැබෙන එක්‌ දුර්වලතාවක්‌ නම් නිර්මාණාත්මක සාහිත්‍ය කෘතිය ආරම්භක ස්‌ථානය කරගනු වෙනුවට කිසියම් සාහිත්‍ය සංකල්පයක්‌ ආරම්භක ස්‌ථානය ලෙස ගෙන එය සාහිත්‍ය නිර්මාණය මත ආරෝපණය කිරීමයි. මෙයින් සිදුවන්නේ නිර්මාණයටත් විචාරයටත් හානියක්‌. සාහිත්‍ය විචාරය ඇරඹිය යුත්තේ කිසියම් සාහිත්‍ය නිර්මාණයක්‌ කියවා පළමුව තමා ලබන වින්දනය තුළින්. එම වින්දනය විග්‍රහ කිරීමේදී විවිධාකාරයේ සංකල්ප උපයෝගී කරගන්න පුළුවන්. මෙහිදී අවධාරණය කළ යුතු තවත් කරුණක්‌ වනුයේ බොහෝ විට අපේ රටේ විචාරකයන් මේ විවිධ සාහිත්‍ය විචාර සංකල්ප ගැඹුරු ලෙස අධ්‍යයනය නොකොට කනින් කොනින් අසා සිංහල පාඨකයාට ඉදිරිපත් කිරීමෙන් මහත් හානියක්‌ වන බවයි.

අද සිංහල ලේඛක පරම්පරාව ගැන ඔබේ අදහස කුමක්‌ද?

හොඳට ලියන අය ඉන්නව. එහෙත් ඒ අයට නිසි මාර්ගෝපදේශයක්‌ නැහැ. තමන්ට කැමති කැමැති විදියට සාහිත්‍ය කෘති නිර්මාණය කරනවා. ලේඛකයාට ලිවීමේදී තමන්ට කැමති ලෙස ලිවීමේ නිදහසක්‌ තිබිය යුතුයි. එහෙත් අවසානයේදී එම කෘතිය අපූර්වත්වයෙන් තොර වේ නම්, අවම වශයෙන් කියවීමට පවා බැරිනම් එවැනි කෘතිවලින් වැඩක්‌ නැහැ. මෙහිදීද විචාරයේ අවශ්‍යතාව පැනනගිනවා. පුවත් පත්, විශ්වවිද්‍යාල හරහා මෙය නියම මගට ගත හැකි වුවත් එවැනි කිසි තැනකින් එවැනි නිර්ණායක ගොඩ නැගෙන්නෙ නැහැ. විවිධ සංකල්ප, මිනුම් දඬු පිළිබඳ හරවත් ලෙස කෙරෙන සාකච්ඡා වෙනුවට කෙරෙනුයේ පාඨකයා බිය කරන සංවාද. අපට නරක කෘතියකින් හොඳ කෘතිය තෝරා ගැනීමට හැකි වුවත් හොඳ කෘතියකින් විශිෂ්ට කෘතිය තෝරාගන්න බැහැ.

0 comments:

Post a Comment