නාට්‍යවලටත් බද්දක් ඕනෑ
මට හැමදාම රාත්‍රියට සියලුම රූපවාහිනි නාලිකාවල මුහුණ දාගන්න වුවමනාවක් නැහැ. පසුගිය කාලයේ දී මට බොහෝ නිර්මාණයන්ට ආරාධනා ලැබුණා. නමුත් මට කරන්න දෙයක් තිබුණේ නැහැ. ආර්ථිකය ගොඩ නඟා ගැනීම සඳහා නිර්මාණ පසුපස හඹා යාම පමණක් ප්‍රමාණවත් නැහැ. රංගන ශිල්පියා ලෝකය හොඳින් වටහා ගන්නා චරිතයක් බවට පත්විය යුතුයි. හොඳ රංගන ශිල්පියෙක් බිහිවෙන්න වසර ගණනාවක් යන්නේ ඒකයි.
* පසුගිය කාලයේ දී ඔබගේ නිර්මාණ දායකත්වය ලැබුණේ කුමන ක්ෂේත්‍රයන්ට ද?
බ්‍රිතාන්‍ය කවුන්සිලය වෙනුවෙන්කළ “හොට්ස් ප්‍රිජ්” නාට්‍යයෙන් පසු මම නාට්‍යයක් කළේ නැහැ. නමුත් නිර්මාණ කිහිපයකට දේශීය සගයෙක් හැටියට සම්බන්ධව තිබෙනවා. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ හැට වන සංවත්සරය වෙනුවෙන් කළ ත්‍රෛභාෂා නිෂ්පාදනය මගේ දායකත්වය ලැබුණු එවැනි නිර්මාණයක්.
මම පසුගිය කාලයේ දී වැඩිපුරම කළේ වැඩමුළු පැවැත්වීම යි. අගනුවර පාසල් කිහිපයක වගේම ත්‍රිකුණාමලය වැනි දුර බැහැර ප්‍රදේශවලත් වැඩමුළු පැවැත් වුවා.
* ඔබ ගේ මංගල චිත්‍රපටය වූ ‘මල්වර අඩවිය’ අතරමඟ නැවතුණේ ඇයි?
චිත්‍රපට සංස්ථාව ආරම්භ කළ නවක සිනමාකරුවන්ට ණය පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළ යටතේ ජයන්ත චන්ද්‍රසිරි, ඉනෝකා සත්‍යාංගනී, ලින්ටන් සේමගේ, සත්‍යජිත් මාඉටිපේ වැනි නිර්මාණකරුවන් රැසකට සිනමාවට පිවිසීමට හැකි වුණා. මගේ චිත්‍රපටය නිෂ්පාදනය සඳහාත් අවස්ථාව උදා වූයේ එම වැඩපිළිවෙළ අනුවයි. සංස්ථාව 2002 න් පසු එම වැඩපිළිවෙළ නවතා දැමුවා. ඔවුන් ඒ වන විට මුදල් ගෙවා චිත්‍රපටයේ අයිතිය පවරා ගෙන තිබුණා. ඒ නිසා මට එය වෙනත් නිෂ්පාදකයන්ට ලබා දීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන් එය නිෂ්පාදනය කරන්නෙත් නැහැ. ඒ නිසා චිත්‍රපටයේ කටයුතු ඉදිරියට ගියේ නැහැ. නමුත් ණය පියවන්න කියලා ලියුම් නම් එවනවා. මම ඔවුන්ට කිව්වා චිත්‍රපටයේ අයිතිය නැවත මට දෙන්න මම ණය පියවන්නම් කියලා. දැන් අවුරුදු දහයක් ගියා මට කිසිම උත්තරයක් නැහැ. ඒ වගේ තත්ත්වයක් යටතේ සිනමාව ගැන කුමන කතා ද?
* සිනමාවට පිවිසෙන්න ඒ පිළිබඳ අධ්‍යයනයක් අවශ්‍ය ද?
අද චිත්‍රපට හැදෙන විදිහ අනුව මටත් එහෙම හිතෙනවා. නළු නිළියන් පෙළ ගැස්වීම පිළිබඳ ක්‍රමවේදයන් වේදිකාවෙ වගේම සිනමාවේත් තිබෙනවා. වෙනත් රටවල සිනමාකරුවෙක් වීමට තිබෙන ප්‍රබලම සුදුසුකම තමයි නාට්‍ය හා සිනමා පාසලක ඉගෙන ගෙන තිබීම. ඊට අමතරව ඔවුන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට පෙර අවම වශයෙන් නාට්‍යයක් හෝ කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කර තිබිය යුතුයි. ඩැනි ඩොයිල් ‘ස්ලම් ඩෝග් මිලියන්’ චිත්‍රපටය හැදුවේ දීර්ඝ කාලයක් වේදිකාවෙන් ආභාෂය ලැබීමෙන් පසුවයි. අපේ රටේ එවැනි දැවැන්ත නිෂ්පාදනයන්ට පිවිසෙන අධ්‍යක්‍ෂවරුන්ට මේ කොතැනකින් වත් ලබාගත් පරිචයක් නැහැ.
සිනමාව ගැන හදාරා කර්මාන්තයට පිවිසෙන්න හදන විට ආරම්භයේ දීම සියලු දේවල් අහිමි කර පැත්තකට කර තිබෙනවා. නමුත් කැමරාව තියන්නේ කොතැන කියලාවත් දන්නේ නැති සමහරු අද ජයට ම චිත්‍රපට කරනවා. මේක තමයි යථාර්ථය.
* ‘සර්කස් කාරයෝ’ හරහා ඔබ අපගේ අවධානය යොමු කරන්නේ කුමක් වෙතද?
නූතන මිනිසාගේ වෙනස්වීම ගැන කතා කිරීම මෙම නිර්මාණයේ අරමුණයි. වටපිටාවේ සිදුවන දේවල්වලට ඔවුන් මුහුණ දෙන ආකාරය එක්තරා සිද්ධියක් ආශ්‍රයෙන් හෙළිදරව් කෙරෙනවා.
* නාට්‍ය ඉදිරියට ගලාගෙන යන්නේ ප්‍රශ්න කිරීමක ස්වරූපයෙන්. එවැනි ආකෘතියක් තෝරා ගැනීමට හේතුව කුමක් ද?
නාට්‍යයේ කේන්ද්‍රිය සිදුවීම වන්නේ සර්කස් කණ්ඩායමකින් හමුවන බෝම්බයක් ගැන ඔවුන්ගෙන් කරන ප්‍රශ්න කිරීමක්. නිලධාරියා සර්කස්කරුවන් ගෙන් කරන ප්‍රශ්න කිරීම එක්තරා විදිහකින් ඉතිහාසය පුරාම මෙම පන්තිය අපෙන් කරන ප්‍රශ්න කිරීම සිහි ගන්වනවා. සංවාද ආකෘතියට යොදා ගැනීම නිසා ප්‍රශ්න කිරීම මඟින් ඔවුන් දැන ගැනීමට උත්සාහ කරන දෙයක් ගැන පූර්ව ඉඟියක් ලැබෙනවා. නමුත් අවසානයේ ඔවුන් හෙළිදරව් කරගන්නේ තමුන් බලාපොරොත්තු වන දෙය නොවෙයි. සත්‍ය යැයි අපි වටහා ගන්නා දෙය සාපේක්‍ෂයි. මෙම ස්වභාවය ගැන කියන්න වගේම ප්‍රශ්න කිරීමෙන් අනුන් වගේම තමනුත් හෙළිදරව් වෙන බව දක්වන්න වඩා ප්‍රබල සංවාද ආකෘතිය යි.
* නාට්‍ය කලාවට ශක්තිමත් පදනමක් ඇති කිරීමට විදෙස් අත්දැකීම් අනුව ඔබේ යෝජනා මොනවා ද?
නාට්‍ය කලාව තුළ නර්තනය, සාහිත්‍ය, චිත්‍ර කලාව, සංගීතය වැනි සෑම කලා මාධ්‍යයක්ම අනුෂාංගිකව පවතිනවා. ඒ නිසා නාට්‍ය රැකගත හැකි නම් අනෙකුත් කලාවන් ආරක්‍ෂාවේ යැයි මතයක් පවතිනවා. ජර්මනිය වැනි රටක භාණ්ඩ කිහිපයක් මත පනවන බද්ධ පෙරලා යෙදවෙන්නේ නාට්‍ය කලාවේ දියුණුව සඳහායි. අමෙරිකාවත් එවැනි ක්‍රමයක් පවත්වාගෙන යනවා.
මේක අපිට නුපුරුදු අදහසක් නෙමෙයි. ආරෝග්‍ය ශාලා ලොතරැයිය ආරම්භ කළ කාලයේ එහි ආදායම වෙන් වූයේ රෝහල් දියුණු කිරීම සඳහා යි. එවැනි ක්‍රමයක් නාට්‍ය කලාව වෙනුවෙන් ඇති කරන්න පුළුවන්. එහෙම නැත්නම් රට බීම සඳහා අය කරන බද්දෙන් සුළු ප්‍රතිශතයක් වේදිකාව නඟා සිටුවන්න වෙන් කළ හැකි නම් නාට්‍ය කලාව පමණක් නෙවෙයි සමස්ත කලාවම නඟා සිටුවන්න පුළුවන්.
නාට්‍ය පාසල් පවත්වාගෙන යාම තරුණ නාට්‍යකරුවන්ට නාට්‍ය නිෂ්පාදනය සඳහා උදව් කිරීම, අත්දැකීම් බහුල ශිල්පීන්ට ඔවුන්ගේ දැනුම බෙදා හදා ගත හැකි තැනක් ඇති කිරීම අලුත් රඟහලවල් ඉදිකිරීම වැනි කටයුතු සඳහා එවැනි අරමුදලකට ලැබෙන මුදල් යෙදවිය හැකියි. එපමණක් නෙවෙයි අසරණ වන කලාකරුවන්ට උදව් කිරීම වැනි වැඩ රාශියක් මෙවැනි වැඩපිළිවෙළක් මඟින් ඇති කළ හැකියි.
* අනාගත පැවැත්ම ගැන සලකන විට ගැටලු තිබෙන්නේ යටිතල පහසුකම් වර්ධනය නොවීමේ දිශාවේ පමණ ද?
ශක්තිමත් වැඩපිළිවෙළක් නොතිබීම නිසා නාට්‍ය කලාව හැදෑරීම සඳහා පැමිණෙන තරුණ ශිල්පීන් තවදුරටත් මේ මාධ්‍යයේ රැඳෙන්නේ නැහැ. ඔවුන් වෙළඳ ප්‍රචාරණය වැනි වෙනත් ක්ෂේත්‍රයන්ට යනවා. කලාවේ දිගටම එල්බගෙන සිටීම හා එහි පවතින අස්ථිරභාවය කලාකරුවන්ගේ ජීවිත වලට ඉමහත් බලපෑමක් කරනවා. එය අවාසනාවන්ත තත්ත්වයක්. මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙනව නම් දැවැන්ත නිර්මාණ කරන්න පුළුවන්.
අධ්‍යාපනයකින් තොරව කිසිවක් කරන්න බැහැ. මේ වන විට ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ පුහුණු අධ්‍යක්‍ෂවරු හා නළුවන්. නමුත් ලංකාවේ ඒකේ අනිත් පැත්ත. චරිතයක් නිර්මාණශීලිව ගොඩනඟන්නේ කොහොම ද කියලා ඉරි ගහලා පෙන්වන්න බැහැ. නමුත් දැන් වෙන්නේ නිර්මාණශීලිත්වය අහලකින් වත් ගියේ නැති අය නිර්මාණ කිරීමයි.
.
Dinamina
0 comments:
Post a Comment