----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

අපේ ලෝකය සැහැල්ලුයි

Thursday, July 5, 2012

Sarsaviya

අපේ ලෝකය සැහැල්ලුයි

නාමෙල් - මාලිනී වීරමුණි පුංචි තියටර් මැද පුංචි නිවසක
නගරය බෙහෙවින් කලබලකාරීය. එකිනෙකා පරයමින් ඉදිරියට ඇදෙන්නට වෙර දරන වාහන එක් පසෙකින් නෙත ගැටේ. ඒ බොරැල්ලේ සිට රාජගිරිය දෙසටය. බොරැල්ල නගරය දෙසට දිවෙන අනෙක් මං තීරුවේ දක්නට ලැබෙන්නේ වාහන තදබදයකි. ඒ කලබලකාරී පරිසරය දෙස වඩාත් උස් තැනක සිට මම නිසොල්මනේ බලා හිඳීමි.
දඟකාර සුළං රොදක් කොහෙදෝ සිට පාව විත් ගත දැවටේ. සරතැස නිවාලන්නට එය මහගු අත්වැලකි. කූල් ඩ්‍රින්ක් එකක් . . . නැතිනම් ටී එකක්. ඕනෑනම් කිතුල් හකුරුත් එක්ක කහට එකක් බොන්නත් පුළුවන්.
ඒ හඬ එක්වරම මගේ කල්පනා ලෝකය විසුරුවා දමයි. මට පමණක් නොව ඔබටද හොඳින් හුරු පුරුදු ඒ හඬ මාලිනී වීරමුණිගේය. නැතිනම් මේ දිනවල ‘දූවරු’ ටෙලි නාට්‍යයෙන් ඔබට වඩාත්ම සමීප ග්‍රේස්ගේය.
‘කිතුල් හකුරුත් එක්ක කහට’
මම වහා පිළිතුරු දුනිමි.
මා මේ සිටින්නේ ‘නාමෙල් - මාලිනී – පුංචි තියටර් හි තෙවන මහලේ පිහිටි ඔවුන්ගේ සොඳුරු කැදැල්ලේ ආලින්දයට යාබද බැල්කනියේය. සැබැවින්ම මේ සැඳෑ යාමය වෙන්ව ඇත්තේ ඔවුන් දෙපළ හා වඩාත් ළෙන්ගතු කතාබහකටය.
උණු කහට බඳුනත්, ඉස්තරම්ම කිතුල් හකුරු කැබැල්ලත් ගතට එක කරන්නේ ප්‍රබෝධයකි.
කිතුල් හකුරු ඇඟට හොඳ ෙඖෂධයක් . . . නාමෙල් වීරමුණි එසේ පවසමින් ආලින්දයේ අසුනකට බර දෙන්නේ මුව පුරා ඇඳුණු සිනහවක් සමඟය.
ඔන්න අපි පුංචි තියටර් එකේ චිත්‍රපට පෙන්වන්නත් තීරණය කළා. ඒ අනුව මේ රටේ පළමුවැනි ඩ්. ච්. සිනමාහල විදිහට මේ රඟහල ඉතිහාසයට එකතු වෙනවා. රොහාන් වැලිවිටගේ ‘ෆයින් විෂන්’ ආයතනය මගින් තමයි මේ කාර්ය සිදු කෙරෙන්නේ. ලංකාවේ සිනමාහල් කිහිපයකම ඩ්. ච්. තාක්ෂණයට ගැළපෙන විදිහට දැන් සකස් කරමින් පවතිනවා. පුංචි තියටර් එකෙන් තමයි ඒ චිත්‍රපට බෙදා හරින්නේ.
නාමෙල් සිය රඟහල මගින් දැනටමත් දියත් කර තිබෙන නව සැලසුම පිළිබඳ අපට තතු හෙළි කළේ එලෙසිනි. නාමෙල් හා සිනමාව අතර ඇත්තේ සිව් දශකයකටත් වඩා දිගු ඉතිහාසයකි. 1970 වසරේ තිරගත වූ ‘වෙස් ගත්තෝ’ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි ඔහු ‘හාර ලස්සේ’, ‘සදහටම ඔබ මගේ’, ‘වල්මත් වූවෝ’ ඇතුළු චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක විය. එසේ වුවත් ඔහු වඩාත් ප්‍රකට වුයේ නාට්‍යවේදියකු ලෙසිනි. කැලිෆෝනියා නෝර්ත් රිජිඩ් විශ්ව විද්‍යාලයේ නාට්‍යය කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියකට ද ඔහු හිමිකම් කියයි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘රත්තරන්’ වේදිකා නාට්‍යයේ තමයි මුලින්ම මම රඟපෑවේ. ඒ 1958 වසරේ. එතකොට මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. සරච්චන්ද්‍රයන් තමයි මගේ නාට්‍යය කලා ලෝකයේ ගුරුවරයා. මගේ මුල්ම නාට්‍යය නිෂ්පාදනය ‘ගොළු බිරිඳ’යි. ඊට පස්සේ මම ‘වංශක්කාරයෝ’, ‘නැට්ටුක්කාරී’ නාට්‍යය නිෂ්පාදනය කළා. ඒවා ප්‍රේක්ෂකයෝ අතර ගොඩක් ජනප්‍රිය වුණා. ‘බස් නැවතුම’ හා ‘මාධ්‍යවේදියකුගේ අසිපත’ කියා මෑතකදී මම තවත් නාට්‍යය දෙකක් නිර්මාණය කළා. විශේෂයෙන්ම ‘මාධ්‍යවේදියකුගේ අසිපත’ හරහා මම කතා කළේ 1989 වගේ කාලෙක අපේ රටේ පැවැති භීෂනකාරී යුගය ගැන. අපේ රටේ දේශපාලනඥයකු, සත්‍යය කතා කරන මාධ්‍යවේදිනියක මර්දනය කරන්න පාතාල නායකයකු පාවිච්චි කරන හැටියි මේ නාට්‍යයෙන් කියෙැවෙන්නේ. මෙහි දර්ශන වාර 16 ක් අපි වේදිකා ගත කළා. ඉදිරියේදීත් රඟ දක්වන්නට සූදානමින් ඉන්නවා.
තමන් නිර්මාණය කරන නාට්‍යය වේදිකා ගත කිරීම සඳහා තමන්ගේම නාට්‍යාගාරයක් හිමි මෙරට එකම නාට්‍යකරුවා නාමෙල් වීරමුණි පමණක්ම විය යුතුය. එනමුදු ඔහු නීතිඥ වෘත්තියෙන් හා වෙනත් කලා කටයුතුවලින් ඉපයූ ධනය යොදවා මෙම රඟහල ඉදි කරනු ලැබුවේ එවැනි පටු පරමාර්ථයක් මුදුන්
පමුණුවා ගැනීමට නොව, පොදුවේ මෙරට නාට්‍යය කලාවේ උන්නතිය වෙනුවෙනි.
පුංචි තියටර් හරහා විශේෂ කාර්යභාරයන් රැසක් සිදු කෙරනවා. නාට්‍යය වැඩමුළු, නැටුම් පංති, සාහිත්‍ය සම්මන්ත්‍රණ, මාධ්‍යය සාකච්ඡා, පැදුරු පාටි වගේ නොයෙක් කටයුතුª මෙතන සංවිධානය කෙරෙනවා. මේ තියටර් එක ආරම්භ කිරීමේ මූලික අරමුණ නාට්‍යය කලාව තරුණ පරපුර අතරට ගෙන යාමයි. නාට්‍යය නිෂ්පාදනය, රචනය, රංගනය පිළිබඳ වගේම තවත් නොයෙකුත් විෂයය ක්ෂේත්‍රයන්වල නිපුණයන් බිහි කිරීමට තෝතැන්නක් අප නිර්මාණය කළා. අප බලාපොරොත්තු වූ ආකාරයටම එය ඉෂ්ට වුණේ නැහැ. නමුත් යම් ප්‍රමාණයකින් හෝ සිදු වෙනවා. ඒක වැදගත්.
ඔබ මෙහි චිත්‍රපට පෙන්වන්න තීරණය කළේ නාට්‍යය බලන්නට නරඹන්නන් නොඑන නිසාද?
බොහෝ නාට්‍යය නිෂ්පාදකවරුන් බලාපොරොත්තු වෙන්නේ නාට්‍යය දර්ශනයක් සඳහා හය, හත් සීයක පිරිසක් රැස් කරවා ගන්න. පුංචි තියටර් එකේ ආසන සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ කියා ඔවුන් ලුම්බිණි නැතිනම් ජෝන් ද සිල්වා වගේ රඟහලක මේක පෙන්වනවා. නමුත් සෙනඟ පනහක්වත් එන්නේ නෑ. අනෙක මෙතනට වැඩිපුර එන්නේ ඔය නාට්‍යය ශාලා දෙකටම යන අය නෙවේ. ලයනල් වෙන්ට්ඩ් එකට යන පිරිස. ඔවුන්බොහෝ දෙනෙක් මධ්‍යම පාන්තිකයෝ.
අපට නාට්‍ය රසිකයෝ ඉන්නවා. ඔවුන් වෙනුවෙන් හා නාට්‍යය ශිල්පීන් වෙනුවෙන් අපේ රඟහලේ දෙවැනි මහල සම්පූර්ණයෙන්ම පර්යේෂණාත්මක නාට්‍යාගාරයක් බවට පත් කරන්න අප තීරණය කළා.
ඒ නාට්‍යාගාරයේ කොපමණ පිරිසකට ඉඩකඩ වෙන් වෙනවාද?
අඩුම තරමේ දෙසීයකට විතර. එතනදි ස්ථිර වේදිකාවක් නෑ. අපට රවුම් තියටර් එකක් විදිහටත්, නැතිනම් ප්‍රොසිනියම් තියටර් එකක් විදිහටත් මේක භාවිත කරන්නට පුළුවන්. බොහොම සමීපව, කිට්ටුවෙන් ඉඳගෙන රසිකයාට මේ සොඳුරු අත්දැකීම විඳගන්නටයි අප මේ වගේ නාට්‍යාගාරයක් නිර්මාණය කළේ.
වර්තමානයේ තරුණ නාට්‍යකරුවන් වඩාත් උනන්දුවක් දක්වන්නේ තත්කාලීන සමාජ, දේශපාලන අර්බුද තමන්ගේ නාට්‍යය නිර්මාණ ඔස්සේ සංවාදයට බඳුන් කරන්න. මේ ප්‍රවණාතව ගැන කතා කළොත්?
ඒකයි වෙන්න අවශ්‍යය. හැබැයි ඒකත් එක්තරා රැල්ලකට විතරක් සීමා වෙලා. විශේෂයෙන්ම පවතින දේශපාලන ක්‍රමයට හා සාමාජීය තත්වයන්ට සිනාසීමක් තමයි ඔවුන් කරන්නේ. ඒ කියන්නේ ඔවුන් මූලික කර ගන්නේ හාස්‍යය. නමුත් මේ ගැන ගැඹුරින් සාකච්ඡා කරලා කොහොමද මේකට පිළියම යොදන්නේ කියා ඔවුන් සිතන්නේ නැහැ. තේරුමක් නැති හාස්‍යයත් කාටවත් වැඩක් නැහැ.
හාස්‍ය තුළින් ගැඹුරු සමාජ යථාර්ථයක් මතු කළ හැකි බවයි ඔබ කියන්නේ?
ඔව් . . . විශේෂයෙන්ම නාට්‍ය කලාව හරහා. ග්‍රීක නාට්‍යය බැලුවාම සම්පූර්ණයෙන්ම දේශපාලනිකයි. එතකොට ශේක්ස්පියර්ගේ, බ්‍රෙෂ්ට්ගේ නාට්‍යය බැලුවාම සම්පූර්ණයෙන්ම දේශපාලනිකයි. සමාජීයයි. මූලික වශයෙන්ම ඒ වගේ දෙයක් අපේ රටේ කළේ සරච්චන්ද්‍රයන් හා හෙන්රි ජයසේනයි. ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන මේක වෙනස් අයුරින් කළා. නමුත් මේ සමාජ, දේශපාලන ප්‍රශ්න බොහෝම ව්‍යක්තව තමන්ගේ කෘතිවලට ආරෝපණය කළේ සරච්චන්ද්‍රයන්. එතුමන්ගේ ‘මනමේ’ නාටකයේ තිබෙන්නේ සමාජ තල දෙකක ගැටුමක්. වැද්දා වෙන සමාජයක, රජු තවත් සමාජයක. මේ දෙගොල්ලම ප්‍රබලයෝ.
සරච්චන්ද්‍රයන් විදග්ධ නාට්‍යය කලාව තුළින් ඒ කළ දේ හරියටම තේරුම් ගත්තේ මේ රටේ බුද්ධිමත් ප්‍රේක්ෂකයා. නමුත් ආර්. ආර්. සමරකෝන්
‘කැළණි පාලම’ වගේ නාට්‍යයක් හරහා මතු කළ දේශපාලන යථාර්ථය පොදු ප්‍රේක්ෂකයාගේ මොලේට වගේම පපුවටත් දැනුණා . . .?
ඔව්, සමරකෝනුත් වෙනස් ආකාරයකින් දේශපාලනය ගැන කතා කරපු පුද්ගලයෙක්. සාමාජීය වශයෙන්. ඔහුගේ ‘දූවිලි’ වුණත්’ එහෙමයි. ඒ වගේම සයිමන් නවගත්තේගමගේ ‘සුභ සහ යස’, සෝමලතා සුබසිංහගේ ‘විකෘති’ වගේ නාට්‍යයත් මා හුඟක් අගය කරනවා. ධර්මසිිරි බණ්ඩාරනායක වගේ නාට්‍යකරුවකුත් අපට අමතක කරන්නට බැහැ. ඔහු ශිල්පීය අතින් අන්තිම ඉහළටම ගිය කෙනෙක්.
එතකොට නව පරපුරේ ඔබේ ඇගැයීමට ලක් වෙන නාට්‍යකරුවන් නැහැ?
අලුත් පරපුරේ රාජිත දිසානායක, ඉන්දික ෆර්ඩිනැන්ඩු, බුද්ධික දමයන්ත වගේ නාට්‍යය ශිල්පීන්ට මා කැමැතියි. ඔවුන්ගේ ඇතැම් නිර්මාණ මා අගය නොකරනවා නෙවෙයි.
වේදිකාව, සිනමාව අභිබවමින් අද වඩාත් ජනප්‍රියත්වයක් හිමි කර ගෙන තිබෙන්නේ ටෙලි නාට්‍යය. එය ප්‍රබල මාධ්‍යයක්. සිනමාවෙන්, වේදිකාවෙන් කළ හැකි මෙහෙවර ටෙලි නාට්‍යය මගින් සිදු කරන්නට බැරිද?
කරන්න පුළුවන්. ඒත් කරන්නේ නැහැනේ.
නාමෙල් එසේ කියමින් මාලිනී දෙස බැලුවේ ඇයට ද අප සංවාදයට එක් වන මෙන් නිහඬ ආරාධනාවක් කරමිනි. සැබැවින්ම මාලිනී වීරමුණි නාමය වඩාත් ප්‍රචලිත වූයේ මෙරට ටෙලි නාට්‍යය කලාව හරහා යැයි පැවසීම සත්‍යයකි.
එහෙම කරන්න බැරි හේතුව මම හිතන්නේ ඒ වගේ දේවල්වලට අනුග්‍රාහකයන් නැහැ. අනෙක දැන් මිනිස්සු මහන්සි වෙලා ගෙදර ඇවිත් ටෙලිවිෂන් එක ඉස්සරහ වාඩි වුණාට පස්සේ ඒ ගොල්ලන්ට මහ විශාල ප්‍රශ්න ඕනෑ නැහැ. ඒ මිනිස්සුන්ට ඕනෑ සරල වින්දනයක්. එයාලා යථාර්ථය ගැනයි, ගැඹුරු දර්ශනයකුයි බලාපොරොත්තු වෙන්නේ නැහැ.
පේ‍්‍රක්ෂකයෝ හැමෝම එහෙමද?


මම හිතන්නේ අපි ගත්තොත් 90% ක්ම ඔය නාමෙල් කියපු උසස් නිර්මාණ බලන්න කැමැති නැහැ.
ඇත්තද?
මා එසේ විමසුවේ නාමෙල් දෙස බලමිනි.
අද ටෙලිවිෂන් එකේ වැඩිපුර තියෙන්නේ මේ ලෝකේ කොහෙවත් නැති විදිහේ ආදරයක්. අද අපි දකින්නේ එස්. එම්. එස්. ලව් එකක්. කමක් නැහැ අද සමාජේ වෙනසත් එක්ක එහෙම නොවීත් බැහැ. ඒත් සැබෑ ආදරය ඊට වඩා බොහොම ගැඹුරුයි. සංවේදියි.
මාලිනී අක්කා ඒ කතාව අනුමත කරනවාද?
බොහෝ නාළිකාවල තියෙන්නේ අද්භූත දේවල්, විඳින්න බැරි දේවල්. හැම ටෙලි නාට්‍යකම කොල්ලෙක්, කෙල්ලෙක් ඉන්නවා. අම්මලා, තාත්තලා කැමැති නැහැ. ඒක දැන් යල් පැනපු, ඒකාකාරී දෙයක්. නළු, නිළියො වෙනස්. හැබැයි තේමාව යල් පැනපු එකක්. අපට ඊට වඩා සංවේදී හදවතට දැනෙන ටෙලි නාට්‍යය කරන්න බැරි ඇයි. ඒකට හේතුව අද ටෙලිවිෂන් එකේ හොඳ රචකයෝ නැහැ.
අඩ සිය වසක් යනු මිනිසත් ජීවිතයක් අනුව ගතහොත් දිගු කලෙකි. අඹු - සැමි යුවළකට සිය කුටුම්භ දිවියේ සතුටෙන්, සෙනෙහසින් එවැනි කාලයක් අත්වැල් බැඳ ලංව හිඳින්නට හැකි වේ නම් එය පූර්ව භවයක සිදු කළ මහා පුණ්‍යකර්මයක හේතුªඵලයකැයි මට සිතේ. නාමෙල් මාලිනී යුවළ ද එවන් පුණ්‍යවන්තයන්ය. එළඹෙන දෙසැම්බර් 13 වැනි දිනට ඔවුන් යුග දිවියේ පනස් වසර සමරති.
නාමෙල් අයියට දැන් වයස?
මගේ බිරිඳ නම් වයස කියන්න එපා කියලයි තියෙන්නේ. කමක් නෑ, දැන් මට අවුරුදු හැත්තෑ හතක්.
එයින් වසර පනහක්ම ගෙවුණේ ඇය සමඟ?
ඔව් . . . ඒකත් ජීවිතයේ ලොකු ජයග්‍රහණයක්. මේ කාලය පුරාම අපි දුක, සැප බෙදා ගෙන ජීවත් වුණා. අපි අතරේ රණ්ඩු, සරුවල් – හැල හැප්පීම් නැතිවා නෙවෙයි. ඒවා නැත්තේ කොහෙද? හැබැයි ඒ ප්‍රශ්න අපි නිරාකරණය කර ගන්නවා එවෙලේම. ඒකට තියෙනවා හොඳ පිලියමක්.
මොකක්ද . . .?
මට කේන්ති ගියාම එයා කට වහ ගන්නවා. එයාට කේන්ති ගියාම මම කට වහ ගන්නවා. එච්චරයි. හැබැයි මම මාලිනීගේ අදහස්වලට කවදත් ගරු කළා. ඉදිරියටත් එහෙමයි.
මගෙ මූණ බැලුවම නපුරු පාටයි. මට කරන්න දෙයක් නෑ දෙවියනේ. ඒ් මම උපන් හැටිනේ. නාමෙල් දිහා බලපුවාම එයා හරි අහිංසක පාටයි. ඒ්ත් ඇත්තටම ඒකේ අනෙක් පැත්ත. එයා සැරයි, මම අහිංසකයි. අනෙක නාමෙල් එයාට හිතුණ දේ කරනවා. මට කියන්නේවත්, මගෙන් අහන්නේවත් නෑ. දැනුත් ඔන්න උඩ තට්ටුවේ බාස්ලා ගෙනල්ලා මොකක්ද හුටපටයක් . හැමෝම දැනගත්තට පස්සේ තමයි එයා කරන දේ මම දැන ගන්නේ. ඇත්තටම අනේ කලා පිස්සුව තමයි හැමදාම එයාට තිබුණේ. ඒ පිස්සුව මගේ ඔළුවට දැම්මෙත් එයාමනේ. නෝක්කාඩු ස්වරූපයක් කතාවෙහි ගැබ්ව තිබුණ ද ඇගේ වත පුරා දිස් වන්නේ ආදරණිය බැල්මකි. ඒ බැල්ම තුළ ඔවුන් ගේ ජීවිතයේ බොහෝ දෑ සටහන්ව ඇතැයි මට සිතේ.
ජීවිතය ගැන තෘප්තිමත්ද?
එය කිසි විටෙකත් ඔවුනගෙන් ඇසිය යුතු පැනයක් නොවේ. නමුදු ජීවිතයේ සැදෑ සමය ගත කරමින් හිඳිනා මේ දෙන්නා - දෙමහල්ලන්ගේ ලෝකය කිසියම් හුදෙකලාවකින් වෙලී ඇතිද?
ජීවිතයේ ගොඩක් දේ අපට ලැබුණා. අපි, අපිව බලාගෙන ඉන්නවා. අපේ ලෝකය හරිම විවෘතයි. ඒ නිසාම අපි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.
දරු මල්ලෝ ළඟ නැති එක කනගාටුවක් නෙවේද?
අපට පුත්තු දෙන්නයි. එක දුවයි. ඒ හැමෝම විවාහ වෙලා විදෙස් රටවල ජීවත් වෙන්නේ. සතියකට දෙපාරක්වත් අපි දුරකතනයෙන් කතා කරනවා. අවුරුද්දකට වතාවක් එයාලා මෙහෙ එනවා. නැතිනම් අපි එහෙ යනවා එයාලා බලන්න.
එයාලගේ වගතුගත් අපට කියන්නකෝ?
නාමෙල්ගේ කතාවට මඳක් බාධා කිරීම සාධාරණ යැයි මට හැඟේ. ඒ හැමෝම වෘත්තිකයෝ. හැබැයි අපි ඒ ගොල්ලන්ගෙන් යැපෙන්නේ නැහැ. පුංචි කාලේ ඉඳන්ම දුවට ඕනෑ වුණේ ඩොක්ටර් කෙනෙක් වෙන්න. එයා ශ්ලෂ්නා වීරමුණි. ඈ නවසීලන්තයේ වෛද්‍යවරියක් විදිහට කටයුතු කරනවා. ලොකු පුතා හේෂාන්, අමෙරිකාවේ බොස්ටන්වල වෙබ් ඩිසයිනර් කෙනෙක්. පොඩි පුතා තරිඳු එයත් පදිංචි නවසීලන්තයේ. නිව්සීලන්ඩ් නේවි එකේ නිලධාරියෙක් විදිහට ඔහු සේවය කරනවා.
නාමෙල් - මාලිනී කැදැල්ලෙන් සමු ගන්නා මොහොතේ මට සිතුණේ එක් දෙයක් පමණි. ඒ ‘ජීවිතයකට තවත් මොනවාද. . .?’ කියාය.


0 comments:

Post a Comment