----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘ස’ මතක සැමරුමක්...

Thursday, July 19, 2012


‘ස’ මතක සැමරුමක්...

‘ස’ ප්‍රසංගය යනු, සිංහල සංගීතයේ වසන්ත කාලයයි. එහි මිහිරි අනුරාවයයි; සොඳුරු පිළිබිඹුවයි. ගොගොල්ගේ ‘හිම කබායෙන්’, රුසියානු ලේඛක පරපුරක් බිහිවූවාක් මෙන් වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගයෙන් ද, ගායක පරපුරක් පමණක් නොව ගේය පද රචක සමූහයක් ද බිහිවුණි.
වසන්ත කාලය ගෙවී ගොසිනි.
ගිම්හානය උදාවී ඇත.
’මම මහලු වයසේ - බැරිය මියු ගායනා පෙර සේ’ යැයි සිතීමෙන් දෝ, වියපත් වික්ටර් රත්නායකයයෝ ‘ස’ ප්‍රසංගය නිමා කරනා බැව් සිය රසික ජනයාට නිවේදනය කළහ.
මෙය අතීතාවර්ජනයකට සුදුසු, හැඟීම්බර මොහොතකි.
70 දශකයේ මුල් භාගයේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් ශාලාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණි. එවකට නක්කාවත්ත මහා විද්‍යලයේ සංගීත ආචාර්යවරයාව සිටි වික්ටර් රත්නායකයන්ද, ඊට සහභාගි වීමට නියමිතව තිබුණි. ඔහුගේ මුල්ම ගීත වූ ‘මයුරාසන’, ‘සෝක සැනසුම්’ හා ‘සිහිල් සුළං රැල්ලේ’ එකල රසිකයන් අතර මහත් ජනපි‍්‍රයත්වයක් දිනාගෙන තිබූ අතර ගුවන් විදුලියෙන් ද නිතර ප්‍රචාරය කෙරුණි.
එදා, අන්තෝනි රඟහල් වේදිකාවට රත්නායක ගායකයා පිවිසෙද්දි ප්‍රෙක්ෂකාගාරයෙන් කසු කුසු නැඟුණි. සිහින් සිරුරැති මේ තරුණ ගායකයා සුදු කලිසමක් හැඳ, ඊට උඩින් සුදු කමිසයක් හැඳ සිටියේය. ඔහුගේ චාම් බව දුටු රසිකයින්ට, “අනේ අර තරම් ලස්සන සින්දු කියන්නෙ මේ මිනිහා’දැයි සිතුණා විය හැකිය.
ඉතා රසාලිප්තව, ගීත තුනක් ගැයු වික්ටර් රත්නායක වේදිකාවෙන් බැස ගියේය.
වික්ටර් රත්නායකයන් තාරුණ්‍යයේ රූප ශ්‍රීයෙන් බැබළෙන්නට වූයේ, ‘ස’ ප්‍රසංගයේ ‘මැදිවියේ’ දී යැයි මට සිතේ. දකින මුල් දසුනින් ම ඔහු ගාන්ධර්වයෙකු බව ඕනෑම කෙනෙකුට සිතාගත හැකි විය. සමහරු ඔහු අනුකරණය කරන්නටද වූහ.
’ස’ ප්‍රසංගය ඇරැඹුණු අවධියේ මහනුවර සිට කොළඹ බලා ගමන් කරන සවස දුම්රියේ වික්ටර් රත්නායක සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහ ද ගමන් කරනු මට දක්නට ලැබුණි. ඔහු සමඟ වචනයක් කතා කිරීමට මහත් ආශාවක් ඇති වූයෙන් අතරමඟදි මම අසුනින් නැගිටියෙමි.
වික්ටර් සහ සතිස්, දුම්රිය භෝජනාගාරයේ පැත්තක බීර බඳුන් දෙකක් තොලගාමින් සිටියහ. (එකල දුරගමන් දුම්රියවල බීර විකිණීමට තිබුණි)
සතිස්ගේ සොහොයුරියක මහනුවර නගරයේ පාසලක සේවය කරන බවත් මහනුවර පැවැත්වෙන ‘ස’ ප්‍රසංගයක සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම සඳහා නුවර ආ බවත් වික්ටර් රත්නායක පැවසුවේ, සුපුරුදු නිහතමානී සිනාව දෙතොලග රඳවාගෙනය.
එදා එසේ සංවිධානය කළ ‘ස’ ප්‍රසංගයට පසුව දිනයක් ලබා ගැනීම සඳහා සංවිධායකයෝ “පොර කෑහ”! ‘ස’ ප්‍රසංගයක් නැති දිනයක් කැලැන්ඩරයේ නැති තරම් විය!
රසිකයෝ ඔහුට ගරු කළහ. රසිකාවියෝ ඔහුට පෙම් කළහ. සෙනගින් පිරී, ඉතිරි, සිරවී ගිය ශාලාවල පවා කැස්සකින්වත් බාධා නොකර, වික්ටර් ගී අසන්නට ඔවුහු සැදී පැහැදී සිටියහ. ‘ස’ ප්‍රසංගයේදි ගීතයෙන් ගීතයට නොමසුරුව අත්පොළසන් දුන්හ. සැබැවින්ම එය අසිරිමත් ප්‍රසංගයකි. අන් කිසිවෙකුටවත් ඒ තලයට ළඟාවිය නොහැකි විය.
’ස’ ප්‍රසංගය බලන්නට ලැබෙන හැම වතාවක ම, සියලු වැඩ පසෙකලා ඉන් ප්‍රයෝජන ගැනීම අප සිරිත විය. තමන් ‘ස’ නැරඹූ වාර ගණන කීම එකල රසිකයිනට ආඩම්බරයට කාරණයක් ද විය.
අන්තෝනි රඟහලේ ම පැවති ‘ස’ දර්ශනයකදි, එක්වරම ශබ්ද පරිපාලනයට බාධා සිදුවිණි. වේදිකාවේ හඬ ශාලාවට නෑසී ගියේය. තිරය වැසුණි. ශ්‍රාවකයන් සන්සුන්ව ම සිටියහ.
එදා ශබ්ද පාලනය බාරව පැමිණ සිටියේ ගුවන් විදුලි සංස්ථාවෙහිද එම රැකියාවම කළ ප්‍රවීණ රංගන ශිල්පි යූ. ආරියවිමල්ය. ආරි දහදිය මුගුරු හෙළා ගෙන, ශබ්දපාලන යන්ත්‍රය පණ ගැන්වීමට උත්සාහ කළේය. එහෙත් ඉන් පලක් නොවීය.
වික්ටර් එතැනට පැමිණියේය.
”ආරි – මට වොයිස් මයික් එක විතරක් හදල දෙන්න.”
ඔහුගේ හඬ සැළුණි. ඉන් මොහොතකට පසු ශබ්ද පාලනයෙන් තොරවම ප්‍රසංගය යළි ඇරැඹුණි. සංගීතය ඇසුණේ යාන්තමිනි. වික්ටර් රත්නායකයන්ගේ මධුර හඬ පමණක් රසික දන පිනවමින් ශාලාවේ ගලා ගියේය.
වෙනදාටත් වඩා හඬින් අත්පොළසන් නැඟුණි.
වික්ටර්ගේ හඬම සංගීතයක් නම් වෙනත් සංගීතයක් කුමටද?
’ස’ ප්‍රසංගය නතර කළ හැකිද? එය සදා කාලයට ම රසික සිත් තුළ නිනද වන, සජීවී, සදාසර්ණී ප්‍රසංගයකි.


Silumina

0 comments:

Post a Comment