----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘ස’ප්‍රසංගයේ රස කතා

Thursday, July 19, 2012


‘ස’ප්‍රසංගයේ රස කතා

තල් රා ටිකක්...
අධික ජනප්‍රසාදයක් දිනා ගත් ‘ස’ ප්‍රසංගය එතෙක් සිංහල ගී ප්‍රසංගයක පහස නොලැබූ යාපනයේ සුප්‍රකට වීරසිංහම් ශාලාවේ දී ද පැවැත්වීම සඳහා වරම් ලැබිණ. ශිල්පීන් ඒ සඳහා පිටත් වූයේ ඊට පෙර දින රාත්‍රියේ ය. මධ්‍යම රාත්‍රිය ඉකුත් වන තෙක් සිනා කතාවෙන් පිරුණු බස් රථය කෙමෙන් නිහඬ වූයේ එකා දෙන්නා නින්දට වැටුණු බැවිනි. මද වේලාවකින් රියැදුරු සහ රථයේ සහායකයා හැරෙන්නට බස් රථයේ සිටි සෙසු සියල්ලෝ ම තද නින්දක ගිලී සිටියෝ ය.
ඔවුන් යළිත් ඇහැරෙන්නට පටන් ගත්තේ වටින් ගොඩින් එළිය වැටෙන්නට හෝරාවකට පමණ පෙර ය. බසයේ ජනෙල් පියන් අතරින් එළිය බැලූ ශිල්පීන් හට අඳුරේ වුව ද කෙමෙන් කෙමෙන් වෙනස් වන පරිසරය දර්ශනය විය. බැලූ බැලූ අත පෙනෙන, තමන්ට නුහුරු නුපුරුදු තල් ගස් දැකීමෙන් අමුතු ප්‍රබෝධයක් ලද ශිල්පීන් රථයේ රියැදුරු හට කථා කොට රථය නවත්වා ගත්තේ වඩාත් හොඳින් පරිසරය විඳ ගැනීමේ අපේක්ෂාවෙනි. කඳු ගැටයක මුදුනේදී බස් රථය නැවැත්විණ.
මඳ අඳුරේම බසයෙන් බැසගත් සංගීත ශිල්පීහු අවට සිරි නරඹන්නට වූහ. හීන් සිසිලසක් දැනී දෑත් පොරවා ගෙන වටපිට බැලූ එක් සංගීත ශිල්පියකු හට පාරේ මඳක් ඉදිරියෙන් හිසේ තලප්පාවක් දවටා ගත් කිසිවකු වාඩි වී සිටිනවා පෙනුණි. යාපනයේ වැසියකු දැකීමෙන් හිතට නැඟුණු අදහසක් ද ඇතිව ඔහු වෙත ගිය සංගීත ශිල්පියා තමාට පිටුපා වාඩි වී සිටි තැනැත්තා දෙස බලා උගුර පාදා මෙසේ ඇසීය.
“ලොකු උන්නැහේ, අපිට බැරිවෙයි ද මෙහෙන් හොඳ තල් රා ටිකක් හොයා ගන්ඩ? ඔහේ මෙහෙ කෙනෙක් නිසා ඒ ගැන තොරතුරු දන්නවා ඇතිනෙ.”
වාඩි වී සිටි තැනැත්තා නැගිට්ටේ තලප්පාව ගලවා අතට ගනිමිනි. හේ සංගීත ශිල්පියා දෙස බලා සාවඥ සිනාවක් මුවඟට නංවා ගත්තේ ය.
“ඇයි මහත්තයා... මම මහත්තයලා ආපු මේ බස් එකේ ඩ්‍රැයිවර්නෙ.” එසේ කියූ රියැදුරා බස් රථය වෙත ගොස් රියැදුරු අසුනට ගොඩ වුණේ ය.
ලාභයි වට්ටක්කා
ඒ වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගය අම්පාරේ හාඩි ටෙක්නිකල් ආයතන ශාලාවේ පැවැත්වූ දිනයයි. ඊට පෙර දින රැයේ කොළඹින් පිටත් වූ ශිල්පීන් රැගත් බස් රථය අම්පාරට ළඟා වූයේ ප්‍රසංගය දින හිමිදිරියේ ය.
උදේ ආහාරයෙන් පසු අම්පාර නගරයේ ඇවිදින්නට ගිය සංගීත ශිල්පීන් හට නගර මධ්‍යයේ පොළක් දකින්නට ලැබුණි. එක් සංගීත ශිල්පියකු ගේ වැඩි අවධානය යොමු වූයේ පොළේ එක් කෙළවරෙක අහස උසට ගොඩ ගැසූ වට්ටක්කා තොගයක් අලෙවි කරමින් සිටි වෙළෙන්දෙකු වෙත ය. ඔහු එම වෙළෙන්දා වෙත ගොස් වට්ටක්කා ගෙඩියක මිල විමසීය. ලොකු වට්ටක්කා ගෙඩියක මිල රුපියල් පහකි. සංගීත ශිල්පියා හට එය අදහාගත නොහැකි විය. තමා පදිංචි කොළොන්නාවේ හන්දියේ වට්ටක්කා ගෙඩියක මිල රුපියල් සියයකට ආසන්න බව සිහිකළ හෙතෙම දෙවරක් නොසිතා වට්ටක්කා ගෙඩි දෙකක් ම මිලදී ගත්තේ ය. ඉතා අසීරුවෙන් ඒවා බස් රථය වෙත ගෙනැවිත් එහි මුල්ලක තැන්පත් කළේ ය.
සාර්ථක ප්‍රසංග වාර දෙකකින් පසු රාත්‍රි ආහාරය ද නිමවී අම්පාරෙන් පිටත් වූ බස් රථය කොළඹට ළඟාවෙද්දී පසු දිනට එළි වී තිබුණි. සාමාන්‍යයෙන් ශිල්පීන් නිවෙස්වලට ඇරලවන්නේ රාත්‍රියේදී බස් රථය කොළඹට ළඟා වුවහොත් පමණි. ඒ අනුව ශිල්පීන් එදින පිටකොටුවෙන් බැස යා යුතු විය. බස් රථය පිටකොටුවේ නවත්වද්දී අප සංගීත ශිල්පියාට තරු පෙනුණේ තමා හට එතැන් සිට කොළොන්නාව දක්වා තම සංගීත භාණ්ඩය, ඇඳුම් බෑගය සහ වට්ටක්කා ගෙඩි දෙක ගෙන යා යුතුව ඇති බව සිහිපත් වීමෙනි. ඔහු කළ යුතු අන් පිළියමක් නොදැක ටැක්සියක් නවතා තම ආම්පන්න සියල්ල ද එහි පටවා ගෙන තම නිවෙස බලා පිටත් විය.
ඔහු කොළොන්නාවේ තම නිවෙස අසලදී ටැක්සියෙන් බැස, තම ආම්පන්න සියල්ල ද බිමට බා, ටැක්සි ගාස්තුව ලෙස රුපියල් දෙසීයක් ද ගෙවා නිවෙසට පිය මැන්නේ තමාට ම සිතින් සාප කර ගනිමිනි. අප සංගීත ශිල්පියා හට වට්ටක්කා ගෙඩි දෙක සඳහා රුපියල් එකසිය අනූ පහක් වැය වී තිබිණ.
Silumina

0 comments:

Post a Comment