----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

වික්ටර් අයියගේ තීරණයට හිස නමන්න වෙනවා

Thursday, July 19, 2012


වික්ටර් අයියගේ තීරණයට හිස නමන්න වෙනවා

කුලරත්න ආරියවංශ
මම උසස් පෙළ පන්තියේ ඉගෙනගන්න ශිෂ්‍යයෙකුව සිටි කාලයේදී තමයි මුලින්ම වික්ටර් අයියගේ ගීතවලට ආකර්ෂණය වුණේ. අපි කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ කලා උලෙළක් සංවිධානය කළා. ඒ කලා උලෙළට ගීත ගායනා කරන්න ආරාධනා කරන්න වික්ටර් අයියව මුණගැහෙන්න ගියා. එතකොට වික්ටර් අයියා කොළඹ ආවම ඉන්නේ සේන වීරසේකර මහත්මයාගේ ගෙදර. එතැනදි තමයි ඉස්සරලම වික්ටර් අයිය මට මුණගැහෙන්නේ. එදා ඔහු අපේ ආරාධනාව පිළිඅරගෙන කිසිදු මුදලක් ගන්නෙත් නැතුව ඔහුගේ වියදමින්ම කලා උළෙලට ඇවිත් ගීත කියලා ගියා.
ඒ පළවැනි හමුවීමෙන් පස්සෙ මම ගීත රචකයෙක් විදියට අබේවර්ධන බාලසුරිය සමඟ සමීපව කටයුතු කරන කාලේ මට නැවතත් වික්ටර් අයියව මුණගැහෙනවා. එතකොට වික්ටර් අයියා ‘ස’ ප්‍රසංගය පටන් අරගෙන. ඒ කාලේ මම රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර වැන්නන්ගේ මිතුරු සමාගමයට වැටිලා මමත් ‘ස’ ප්‍රසංගයට සම්බන්ධ වෙනවා.
ඊට පස්සෙ තමයි මට වික්ටර් අයියට ගීත ලියන්න අවස්ථාව ලැබෙන්නේ. වික්ටර් අයියගේ ඇසුර මගේ රසවින්දනය දියුණු කර ගැනීමට වගේම ඔහුට ගීත රචනා කිරීමෙන් ගීත රචකයෙක් විදියට ඉදිරියට පැමිණෙන්නටත් ලොකු පිටුබලයක් වුණා.
ඒ කාලේ ‘ස’ ප්‍රසංගයත් එක්ක මමත් රට වටේ ගියා. ‘ස’ ප්‍රසංගයේ අත්වැල් ගායනයට එක්ව සිටි ආනන්ද වීරසිංහ ඒ කාලේ මහියංගණේ ඉස්කෝලෙක වැඩ කළේ. බොහෝ අවස්ථා තිබුණා ඔහුට ‘ස’ ප්‍රසංගයට පැමිණෙන්නට නොහැකි වුණු. එවැනි අවස්ථාවල ‘ස’ ප්‍රසංගයේ අත්වැල් ගායනයට මමත් එක්වුණා.
ඒ කාලේ ‘ස’ ප්‍රසංගයේ නිවේදන කටයුතු කළේ ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ.විජේතුංග, කේ.ඩී.කේ.ධර්මවර්ධන වැන්නන්. ඉතාම කාර්ය බහුල ජීවිත ගත කළ මේ අයත් එක්ක හැම සති අන්තයකම ලංකාවේ කොහේ හරි ‘ස’ ප්‍රසංගය කරන එක අතිශය අමාරු කටයුත්තක් වුණා. සමහර දවසට මේ කාටවත් නිවේදන කටයුතු සඳහා පැමිණෙන්නට නොහැකි වුණා.
එවැනි අවස්ථාවක දවසක් මට වික්ටර් අයියා කිව්වා ‘ඉතින් කුලේට පුළුවන්නේ නිවේදන කටයුතු කරන්න’ කියලා. ඒ වගේ ‘ස’ ප්‍රසංග ගණනාවක මම නිවේදන කටයුතුත් කළා. ‘ස’ත් සමඟ ගත කළ ඒ අතීත ජීවිතය ඉතාම සුන්දර මතකයක්.
වික්ටර් අයියා ගායකයෙක් වශයෙන් ගත්තම හරිම පරමාදර්ශි පුද්ගලයෙක්. ඔහුගේ හඬ පෞරුෂය, රසික ගෞරවයට කැළලක් නොවන අයුරින් හැසිරුණු හැටි දිහා බැලුවාම ඔහු හරිම පිවිතුරු චරිතයක් කියලා මට හිතෙනවා. ගායකයෙක් වශයෙන් ගත්තත්, පුද්ගලයකු වශයෙන් ගත්තත් ඔහුගේ පැවැත්ම අපට හරිම ආඩම්බරයක් රැගෙන එනවා. එවැනි කෙනෙක් සමඟ සමීප ඇසුරක් ගොඩනඟා ගන්නට අපිත් එක පැත්තකින් වාසනාවන්ත වෙලා තිබෙනවා.
’ස’ ප්‍රසංගය නවත්වනවාය කියන එක, එක පැත්තකින් මට විශාල කනගාටුවක්. නමුත් මේකට වෙන විකල්පයකුත් නෑ. මේක තමයි වික්ටර් අයියාගේ පෞරුෂයේ හැටි. මේ තීරණයට අපිට හිස නමන්න වෙනවා.

නොමියෙන ගායන පෞරුෂයක්

බුද්ධදාස ගලප්පත්ති
එක්දහස් නවසිය හැටේ දශකයේ හිරිමල් යෞවනයේ සිටි අපේ පරම්පරාව වික්ටර් රත්නායක ගේ මධුර ස්වරයට ලොබ බැන්දේ ආදරය කළේ කොයි විදියට ද ජීවිතයේ සැඳෑ සමයේ පසුවන අද දවසේ ද අපි ඔහුගේ හඬට ලොබ බැඳ සිටිනවා.
ඔහුගේ මධුර ගායනාවට බැඳි ආදරය අත් නොහැර සිටිනවා. කෙතරම් දිගු කාලයක් ගෙවුණත්, යෞවනයේ දී පෙම් බැඳි යුවතියක් අහිමි වුවත් ඇගේ ආදරය පිළිබඳ මිහිරි මතකයෙන්, සැමරුමින් අත්මිදිය නොහැකි ලෙසම වික්ටර්ගේ පේ‍්‍රමාන්විත මධුර ස්වරයෙන් ගැයුණු ගීතාවලියේ බහුතරයකින් ඈත්වන්නට අපට සිත් දෙන්නේ නැහැ. දිනෙන් දින අපි ඒ ගී මිහිරට ළං වෙනවා.
අතීත සුවඳින් හද පුරවා ගන්නවා. වික්ටර් ගැයූ ගී දැන් අයිති ඔහුට නෙමෙයි. ඒවා දැන් රසික ප්‍රජාව සතු අගනා වස්තූන්. ඔහුට ‘ස’ ප්‍රසංගය අත්හිටුවන්නට හෝ නැවැත්වීමට අයිතිය තිබුණත් එතෙර මෙතෙර සුවහසක් රසික ජනයා අත් පත් කොටගෙන ඇති ඔහුගේ ගායන මාධූර්යය උදුරා ගැනීමට අයිතියක් නැහැ.
වික්ටර් රත්නායක යනු නොමියෙන ගායන පෞරුෂයයි.

‘ස’ ප්‍රසංගය හතළිස් වසරක් පැවතීම වික්ටර්ගේ පරම විජයග්‍රහණයක්

ප්‍රේම් දිසානායක
ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත හා ආචාර්ය පණ්ඩිත් අමරදේව යන සංගීතඥයන් හෙළි පෙහෙළි කළ මෙරට සිංහල ජන සංගීත ගමන් මඟේ දිශානතිය වෙනත් මානයකට යොමු කළ පොදු ජන සංගීතඥයා වික්ටර් රත්නායකයි.
එදා මෙදා තුර වික්ටර් රත්නායකයන් මෙරට සංගීත ක්ෂේත්‍රයට ගායනයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන් හා තනු නිර්මාණයෙන් කළ මෙහෙවර අද්විතීයයි. වික්ටර් ගේ ‘ස’ ප්‍රසංගය 70 දශකයේ පටන් අද දක්වා වසර 40ක් පුරා දර්ශන වාර 1500කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීමට හැකි වීමෙන්ම මෙම කරුණ සනාථ වෙනවා. එවැනි සාර්ථක මංසලකුණු සටහන් කළ ඒක පුද්ගල ප්‍රසංගයක් ලංකාවේ මෙතෙක් පැවැත්වී නැහැ. දශක හතරක් පුරා ෂක්ටර් අසීමිත රසික ජන ප්‍රසාදයක් මැද මෙම ප්‍රසංගය අති සාර්ථකව පවත්වාගෙන ඒමේ සුවිශේෂත්වය නම් සුමියුරු ගායනය, මධුර සංගීතය සහ ප්‍රසංග පෞරුෂයෙන් පමණක් ‘ස’ ප්‍රසංගය සුවිශේෂිත වීමයි.
අද වෙනත් සංගීත ප්‍රසංග පවත්වාගෙන යාම සඳහා බාහිරින් එල්ලා ඇති ආරිච්චි බෝරිච්චි අලංකරණවලින් තොරව ‘ස’ හතළිස් වසරක් අඛණ්ඩව පැවැත්වීම වික්ටර්ගේ සංගීත හා ගායන කෞශල්‍යයේ පරම විජයග්‍රහණයක් බවට විවාදයක් නැහැ.
වික්ටර් ‘ස’ සමාප්තිය සනිටුහන් කරන්නට ස්වයං තීරණයකට එළඹෙන්නේ වර්තමාන ප්‍රසංග කලාවේ පවතින මෙවන් විපරීත විලම්බීත මැද ‘ස’ ප්‍රසංගය විජයග්‍රාහී මට්ටමක පවතිද්දීයි. ගායන පෞරුෂයෙන් හා ප්‍රාසාංගික හැඩරුවින් පොහොසත්ව සිටිද්දීත් සමුගැනීමේ තීන්දුවකට එළඹෙන්නට වික්ටර් ගත් අභීත තීන්දුව ඔහුගේ නිවැරැදි සංගීත ඥානයේ සහ නිහතමානීත්වයේ සංකේතයක් බව පැහැදිලියි.

‘ස’ ප්‍රසංගය ආධුනිකයන්ට අභ්‍යාසයක්

ගීතනාත් කුඩලිගම
වික්ටර් රත්නායකයන්ගේ ඇසුරට පත්වන ඕනෑම ගීත රචකයකුට මධුර මනෝහර තනුවක් නිර්මාණය වන ආකාරයේ පද වැලක් ගොතන්නේ කෙසේ දැයි යන අභ්‍යාසය නිතැතින්ම ලබා ගැනීමට හැකිවෙනවා. සර්පිනාවේ සරපුවරු මත ඇඟිලි තුඩු එහෙම මෙහෙ යවමින් ඔහු තමන්ගේ හදවතේ ඇති මාධුර්ය ගුණය ඇඟිලි තුඩු අගින් සර්පිනාවට කවමින් රසවත් තනුවක් නිර්මාණය කරන්නේ අතිශය චමත්කාරයක් මවමින්.
බොහෝ කාලයක් තිස්සේ ඔහු සමඟ නිර්මාණකරණයේ යෙදෙමින් මා ලද ඒ අභ්‍යාසය එසේ කැටිකර දැක්වීමට පුළුවන්. සමහර විට සර්පිනාව ඉදිරියේ හිඳිමින් ඔහු ගොතන අපූර්ව ගී තනුවට උචිත පදමාලාවක් යෙදීමේ විරල අභ්‍යාසය මම ඔහු නිසා ලබා තියෙනවා. පදමාලාව කලින් ලබාගෙන තනුවක් නිර්මාණය කරන අයුරු දැක ඇතිවා වගේම කලින් තනුවක් නිර්මාණය කිරීමෙන් අනතුරුවද ඊට පදවැලක් ගෙතීමේ අභ්‍යාසයද මා ඔහු නිසා ලබා තියෙනවා.
වික්ටර් අයියා (මා ඔහු අමතන ආකාරය) හා බැඳුණු මේ දිගු ඇසුරේ අග්‍ර ඵලය ඔහු වැනි ගාන්ධර්වයකුගේ චරිතාපදානය සංගෘහිත කිරීමේ අවස්ථාව මට හිමි වීමය. ඔහු වෙනුවෙන් ගීත සියයක් රචනා කළාටත් වඩා එය මහත් භාග්‍යයක් කොට මා සිතනවා. මගේ සාහිත්‍ය ජීවිතයේ එය මා ලැබූ ජයග්‍රහණයක්. එය කෙතරම් සාර්ථක ව්‍යායාමයක් වීද යත් 2003 වර්ෂයෙන් පටන් ගෙන 2011 වන විට එහි තුන්වන මුද්‍රණය කරා යෑම තරම් තෘප්තියක් රචකයකුට තවත් තියෙනවද?
මට හිතෙන්නෙ ‘ස’ ප්‍රසංගය සංගීතය පුරුදු පුහුණු වන ආධුනිකයන්ට අභ්‍යාස ආයතනයක් වගේ. ‘ස’ ප්‍රසංගයෙන් ඔහුගේ සමු ගැනීම මට දැනෙන්නෙ ඒ අභ්‍යාස ආයතනය හදිසියේ වසා දැම්මා වගේ හැඟීමක්.

0 comments:

Post a Comment