----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පෙම්වතා ඉන්නෙ පිටරට

Tuesday, July 24, 2012


ගයත්‍රි රාජපක්ෂ
තුෂාරි තම ප්‍රේමය පිදුවේ ප්‍රවීන්ටය. එහෙත් හදිසියේම ප්‍රවීන්ගේ ආදරයට සමුදෙන්නට තුෂාරිට සිදුවෙයි. පසුව තුෂාරිට සිදුවන්නේ ගයාන් සමඟ විවාහ වන්නටය. ඉන්පසුව තුෂාරිට කරදර රැසකට මුහුණ පෑමට සිදුවෙයි. මේ කතා පුවත දිගහැරෙන්නේ සතියේ දිනවල රාත්‍රි 9.00ට ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘සඳට අහස ආදරෙයි’ ටෙලි නාට්‍යයෙහිය.
මෙම ටෙලිනාට්‍යයේ තුෂාරිගේ චරිතය නිරූපණය කරන සුන්දර යුවතිය ගයාත්‍රි රාජපක්ෂය.
ගයාත්‍රි ‘සඳට අහස ආදරෙයි’ ටෙලිනාට්‍යයේ තුෂාරිගේ චරිතයට ඔබට හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති..?
ඇත්තනේම ඔව්. තුෂාරිගේ චරිතයට සමාජයේ ගොඩක් දෙනෙක් ආදරය කරනවා. මඟතොටේදී හමුවන ගොඩක් දෙනෙක් මගේ රංගනය ගැන ආදරයෙන් කතාකරනවා. ගොඩක් දෙනෙක් “තුෂාරිට මොකද වෙන්නෙ” කියලත් අහනව. ඒ ප්‍රතිචාර ගැන මට හරිම සතුටුයි. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.
තුෂාරිගේ චරිතය මෙතරම් ජනප්‍රිය වෙයි කියල හිතුවද?
තුෂාරිට මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියල නොසිතුවත් පිටපත කියවන විට මේ චරිතය සහ මේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැලඳගනියි කියන විශ්වාසය මට තිබුණා. එහි ගෞරවය හිමිවෙන්න ඕන ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ අනුර මාධව ජයසේකර මහතාට.
තුෂාරිගේ චරිතය ගයත්‍රිගේ චරිතයට සමානද?
තුෂාරි කියන්නෙ ගමක ඉන්න අහිංසක යුවතියක්. ඇයගේ ඇතැම් ගතිගුණ මගේ ගතිගුණවලට සමානයි. තුෂාරිගේ ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. තුෂාරි මුහුණ දෙන දේවල්වලටට මුහුණ දෙන්න මට නම් බැහැ.
”සඳට අහස ආදරෙයි’ ටෙලිනාට්‍ය රූපගත කිරීම් කළ කාලය සුන්දරයිද?
මේ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් කළේ සුන්දර හන්තාන ප්‍රදේශයේ. ඒ කාලය හරිම සුන්දරයි. මෙහි රේල්පාරේ සිදුවන රූපගත කිරීම් කීපයක් තිබුණා. ඒ ඇතැම් සිදුවීම් රූපගත කළ ආකාරය මතක් වන විට දැනුත් බය හිතෙනවා. නමුත් අපි සියලුම දෙනා ඉතාම සතුටින් තමයි රූපගත කිරීම්වලට සහභාගි වුණේ. මීට දින කීපයකට ඉස්සර තමයි මේ ටෙලි නාට්‍යයේ සම්පූර්ණ රූපගත කිරීම් අවසන් වුණේ.
මේ දවස්වල ඔබ මොකද කරන්නෙ?
සිරස නාළිකාව නිපදවන ‘යශෝධරා’ ටෙලිනාට්‍යයේත්, චන්ද්‍රරත්න මාපිටිගමගේ අලුත්ම ටෙලිනාට්‍යයේත්, පියල් යටවරගේ අලුත්ම ටෙලි නාට්‍යයේත් රූපගත කිරීම්වලට මේ දිනවල සහභාගි වෙනවා.
ඔබ රඟපාන්න ආශාවෙන් සිටි කෙනෙක්ද?
නැහැ. මගෙ හිතේ කොතනකවත් රඟපාන්න අදහසක් තිබුණේ නැහැ. මම පාසල් ගියෙ ශාන්ත මරියා, වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය කියන පාසල්වලට. පාසල් යන කාලයේ මම රංගන කටයුතුවලට සම්බන්ධ නොවුණත් සාමාන්‍ය පෙළ දක්වා මම නර්තනය විෂයක් ලෙස හැදෑරුවා. උසස් පෙළට මම කළේ ගණිතය විෂයයන්. මට මුලින්ම ආරාධනයක් ලැබුණේ රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්න. එය කළාට පසුව වෙළෙඳ දැන්වීම් කීපයකටම සහභාගි වෙන්න මට හැකිවුණා.
එතකොට ඔබ රංගනයට පිවිසියේ...?
මම මුලින්ම රඟපෑවේ ‘වසූදා’ ටෙලි නාට්‍යයේ. ඉන්පසුව ටෙලිනාට්‍ය කීපයකම රඟපෑමේ අවස්ථාව මට හිමිවුණා. හැබැයි ඒ උප ප්‍රධාන චරිත. ප්‍රධාන චරිතයක් කරන්න මට මුලින් අවස්ථාව ලැබුණේ ‘සඳට අහස ආදරෙයි’ ටෙලිනාට්‍යයේ. මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට මට ආරාධනා කළාම මට ලොකු සතුටක් දැනුණා.
චිත්‍රපටවලට ඔබට ආරාධනයක් ලැබී නැතිද?
ලැබුණා. ඉන් එකක් විදෙස් රටක රූපගත කිරීම් කරන එකක්. ඒ නිසා ඒ ආරාධනය මම බාරගත්තේ නෑ. නමුත් චිත්‍රපටයක මට කළ හැකි හොඳ චරිතයක් ලැබුණොත් මම සතුටින් බාරගන්නවා.
ඔබේ පවුලේ තොරතුරුත් සඳහන් කරමු..?
මගෙ තාත්ත පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා. අම්මා ගෘහණියක්. මට ඉන්නෙ නංගි කෙනෙක් විතරයි.
සුන්දර යුවතියක් වන ඔබට පෙම්වතෙක් නොඉන්න බැහැනෙ?
ඔව් ඉන්නවා. ඔහු රැකියාව කරන්නේ විදෙස් රටක.
ඔබගේ විවාහය ළඟදී සිදුවේවිද?
ගොඩක් වෙලාවට ලබන අවුරුද්දේ අපේ විවාහය සිදුවේවි.
විවාහයෙන් පසුවත් ඔබ දිගටම රඟපානවද?
මම රඟපාන්න ආසයි. මම හිතනව රඟපාන්න මට කිසියම් හැකියාවක් තියෙනව කියල. ඒ නිසා මට පුළුවන් තරම් කාලයක් රඟපෑමේ යෙදී ඉන්නව. මගේ පෙම්වතාගෙන් මගේ රඟපෑම් කටයුතුවලට බාධාවක් නෑ. එයාට මා පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනව. සමහර වෙලාවට මගේ රඟපෑම් ගැන ඔහු හොඳ නරක පෙන්වා දෙනව. ඒ නිසා මම දිගටම රංගනයේ යෙදී ඉන්නව.

0 comments:

Post a Comment