----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පැණි වළලු

Thursday, July 19, 2012


 මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක
මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක විවිධ කාලවකවානුවල විවිධ හේතු මත නිරන්තර කතාබහට ලක්වෙන පාඨක විචාරක උභය පාර්ශ්වයේ ම අවධානය දිනාගත් ජනප්‍රිය ගණයේ මහාචාර්යවරයෙකි. හේ පසුගිය දා තීරු ලිපි සංග්‍රහයක් ජනගත කළේ ය. ඒ ගොඩගේ පොත් මැදුරෙන් ප්‍රකාශයට පත් කළ ‘පැණි වළලු’ නම් කෘතියයි. තීරු ලිපියේ සමාජ වගකීමත්, මහාචාර්යවරයකු වශයෙන් ඔහුගේ පැවැත්මත්, රූපවාහිනියේ ඔහු ඉටු කළ භූ®මිකාවත් පිළිබඳ කළ සංලාපයෙක සංක්ෂිප්තයයි මේ.
තීරු ලිපිය පුවත්පතක ප්‍රධානතම අංගයක්. එය ප්‍රබල සමාජ වගකීමක් ඉටුකරන ලිපියක්?
සමස්ත පුවත්පතම සමාජ වගකීමක් දරනවා. තීරු ලිපිය පමණක් නොවෙයි, පුවත්පත තොරතුරු සම්පාදනය කිරීම, විනෝදාස්වාදය සැපයීම, සමාජානුයෝගය, අධ්‍යාපනය ආදී කුමන අරමුණ අරභයා ගත්තත් යම්කිසි ආකාරයකින් සමාජය අරභයා ඉෂ්ට කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. මේ කාර්යභාරය තීරු ලිපිය කියන පෞද්ගලික රචනාවටත් අදාළයි. තීරු ලිපි ලියන්නේ බොහෝ දුරට ආරාධිත ලේඛකයන් නිසා ඔවුන්ගේ පෞද්ගලික මතිමතාන්තර ඊට ඇතුළත් වෙනවා. එහෙම වුණත් සාමාජීය රාමුවෙන් නිදහස් වෙන්න තීරු ලිපි රචකයාටත් බැහැ.
ඔබ පවසන්නේ තීරු ලිපිය පෞද්ගලික රචනාවක් කියාද?
තීරු ලිපිය කියන්නේ ජනමාධ්‍යවේදයේ තිබෙන පෞද්ගලික ප්‍රකාශනයක්. විශේෂයෙන් පුවත්පත්වල තියෙන අනෙකුත් විශේෂාංග, ප්‍රවෘත්ති වාර්තා ආදියෙන් තීරු ලිපිය වෙනස් වෙනවා. රචකයාගේ පෞද්ගලික මතිමතාන්දර පමණක් නොවේ, රචනා ශෛලියේ, ඉදිරිපත් කිරීමේ විලාසයේ පවා ආවේණික ලක්ෂණ තිබෙනවා. ඒ නිසා තීරු ලිපිය පෞද්ගලික ප්‍රකාශනයක්.
පෞද්ගලික ප්‍රකාශනය යන්නෙන් ඔබ අදහස් කරන්නේ, අර්ථ දක්වා ගන්නේ කුමක්ද?
කිසියම් අදහසක්, සංසිද්ධියක් දේශපාලනිකව දරන මතයක්, එසේත් නැතිනම් යම්කිසි කරුණක් සම්බන්ධයෙන් ලේඛකයා දරන මතය තමයි පෞද්ගලික ප්‍රකාශනය වශයෙන් මම හඳුනාගන්නේ. සමහරවිට ඒ මතය පොදු මතය විය නොහැකියි. ඒ පෞද්ගලික ප්‍රකාශනය පාඨකයා පිළිගැනීම හා නොගැනීම වෙනම ම කාරණයක්. එය සෘජු ව පුවත්පතේ අනෙක් අංග හා බැඳී නැහැ.
තීරු ලිපිය එක්තරා අන්දමකට පෞද්ගලික ලියවිල්ලක්. එහෙත් එය අවසන් වශයෙන් පොදු අරමුණකට ඉලක්ක කළ යුතු නොවේද?
මතයක් වශයෙන් එසේ කිව හැකියි. තීරු ලිපිය අපි හිතමු දේශපාලන අරමුණකට ලියැවෙන්නක් කියලා. එතකොට ඒක ඒ තීරු ලිපි රචකයාගේ අදහස මිසක් හැමෝගෙම අදහස නොවෙයි. හැබැයි ඒක ලියන්නේ පොදු දෙයක් ගැන.
මේ සියලු තීරු ලිපි අතරේ පැණි වළලු ස්ථානගත වන්නේ කවර අරමුණක් වෙනුවෙන් ද?
පැණි වළලු කියන්නේ ජීවිතය දෙස නැවත හැරී බැලීමක්. බොහෝ තීරු ලිපිවල ජීවිතය නැහැ. ජීවිතයේ ගැඹුර විදහාපාන, ජීවිතය ගැන සිතා බලන තීරු ලිපි ලංකාවේ බිහිවන්නේ නැහැ. පැණි වළලු තීරු ලිපියෙන් මම කළේ මේ අඩුව පුරවන්නයි.
ඔබ එසේ කිව්වත් අහුපෑවත, සිත්තර සිත්තම්, සර්පයාගේ කොලම, සහෘද සටහන් එක්තරා විදියකට ජීවිතය පිළිබඳ නැවත හැරී බලන තීරු ලිපි. එවැනි තීරු ලිපි වත්මන ලියැවෙනවා.
පුවත්පතකට ඕනෑම දෙයක් ඇතුළු වෙන්න පුළුවනි. පුවත්පත් පාඨකයා කියන්නේ සාමාන්‍ය ජනතාව. පුවත්පත් බස සරලයි. පුවත්පත් කියවන සියලු දෙනා දාර්ශනික අදහස් කියවන්නේ නැහැ. මම තීරු ලිපියක් ලියන්නේ හැමදෙනාටම පොදුවේ දැනෙන්න, විඳින්න පුළුවන් වෙන්න. ඒක මගේ ඉලක්කය. මට අවශ්‍යයයි පුවත්පතේ සමස්ත පාඨකයා. මට තිබුණා මගේ පාඨක සංඛ්‍යාව සීමිත කරගන්න එක විෂයය පථයක් ගැන විතරක් ලියන්න. මට ඕන වුණේ ඒක නොවෙයි. පොදු සමාජ වින්දනයක් ලබාදෙන්නයි.
ඔබේ පැණි වළලු කියැ වූ පාඨකයෙක් ලෙස මට බොහෝ අවස්ථාවන්හි මෙසේ සිතී තිබෙනවා. ඔබේ පෞද්ගලික සිතිවිලි හා ඔබට සිදු වූ දේ කියැවීමෙන් මට ලැබුණේ කතා රසයක් පමණක් ද කියා.
ඕනෑම ලේඛකයෙක් තමන්ගේ පෞද්ගලික අත්දැකීම් තමයි නිර්මාණයකට යොදන්නේ. නවකතාවක් ලියුවත්, කෙටිකතාවක් ලියුවත් මේක පොදුයි. එය තමන් දුටු දෙයක් හෝ, ඇසූ දෙයක් විය හැකියි. ඒ පෞද්ගලික අත්දැකීම් කොයිතරම් පාඨකයාට සමීප කරන්න පුළුවන්ද කියන එක මතයි ලේඛකයාගේ හැකියාව තීරණය වෙන්නේ. තීරු ලිපි රචකයකුට රාමුවක් නැහැ. තීරු ලිපිය කියන්නේ නිදහස් ලියවිල්ලක්. එහි ඕනෑම දෙයක් අඩංගු විය හැකියි.
ලෝකය වෙනස් කරන්නේ වෙනස් විදියට හිතන අය සහ වෙනස් ව ක්‍රියාකරන අය නිසයි. එහෙත් ඒ වෙනස අර්ථවත් නොවුණොත් එය සාමාජීය බිඳවැටීමක් වෙනවා.
වෙනස්වීම හැර වෙන දෙයක් නැහැ. ඒක යථාර්ථයක්. ඕනෑම ආගමක් එය පිළිගන්නවා. වෙනස්වීමට අකමැති වුණත් වෙනස්වීම වළක්වන්න බැහැ. වෙනස්වීම දර්ශනයක් හැටියට පිළිගන්නවා නම් ඊළඟ ගැටලුව ඒ වෙනස්වීමට අර්ථවත් ව මුහුණ දෙන්නේ කෙසේද කියන එක. වෙනස්වීම අපට ඕන විදියට හදාගන්න බැහැ.
ජීවිතය පිළිබඳ දැක්මක් මේ ලිපි පෙළ ඇතුළේ තියෙනවා කියලා මම හිතනවා. ඒක පාඨකයාගේ මනසේ වෙනසක් ඇති කළ බවත් මම දන්නවා. ජීවිතය අවසානයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ කියන ශුන්‍ය හැඟීම මම මේ ලිපි මඟින් ගොඩනැඟුවා. බුදුදහමේ කියන්නෙත් ඒකයි. මේ සංසාරය ඇතුළේ මිනිසා අතරමං වෙලා නේද කියන හැඟීම මේ මඟින් මම මතු කළා.
ඔබ එය අවබෝධයෙන් ද කළේ?
ඔව්. එය මගේ පුද්ගලික ආත්ම ප්‍රකාශනයක්. නැවත හැරී බැලුවහම ජීවිතයේ යම්කිසි ශුන්‍ය බවක් තිබෙන බවක් හැඟෙනවා. තමන්ගේ මනස ඇතුළට ගියාම ඒක දැනෙන්න පටන් ගන්නවා. ඒ මට දැනුණු හිස් ගතියට හේතු මම මේ තීරුවල ලිව්වා. ජීවිතාර්ථයෙන් ඔබ්බට ගිය දර්ශනයක් මම මගේ අත්දැකීම් අනුව මේ ලිපිවල අන්තර්ගත කළා. අපි දියුණු ද, පොහොසත් ද? පොහොසත්කම කියන්නේ මොකක්ද වගේ දේවල්. කොහොමද මේවා තීරණය කරන්නේ. එක්කෙනකුට පොහොසත් දේ අනෙක් කෙනාට දුප්පත් වෙන්න පුළුවන්.
ඉතිහාසයේ අපට මතක හිටින තීරු ලිපි තියෙනවා. වගතුග, සීයාගේ කොලම, මයුරපාද, බාසුරු වගේ. මානිගෙ තීරුව, විමලගෙ කොලම වත්මනේ මිනිසුන් අතර ජනප්‍රියයි. මේවා බොහෝ විට සමාජ ප්‍රශ්න, ගැටලු මුල් කරගෙන ලියැවුණු තීරු ලිපි. මේ තීරු ලිපි මඟින් ඉටුවුණු සහ ඉටුවන සමාජ මෙහෙවර ‘පැණි වළලු’ මඟින් ඉටුවෙනවද?
මම හිතනවා ඉටුවෙනවා කියලා. ඒක තීරණය වෙන්නේ මිනිස්සු කොයිතරම් මේ තීරුව වැලඳ ගන්නවාද කියන කාරණය මත. උපහාසාත්මක ඉදිරිපත් කිරීමකින් සමාජ වගකීමක් ඉටුවෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අපට පාඨකයන්ට සමීප වීමේ ක්‍රම ගණනාවක් තිබෙනවා. මගේ ක්‍රමය එකක් පමණයි. හැඟුම්බර හා සංවේදී බවින් දෙයක් ඉදිරිපත් කිරීම හුඟාක් සාර්ථකයි.
ඔබ මේ පවසන්නේ වත්මන් පාඨකයා සරල, සිල්ලර කියැවීමක නියුතු පිරිසක් බවද?
මම හිතන්නේ විදග්ධ වුණත්, සරල වුණත් සන්නිවේදකයකුගේ කාර්ය තමයි තමන්ට අදාළ බලපෑම ග්‍රාහකයාට එල්ල කිරීමට හැකියාවක් තිබීම. මම මේකෙ ලියලා තියෙන ‘අම්මා’ කියන ලිපිය කියවපු අවිදග්ධ මිනිස්සු වගේම විදග්ධ මිනිස්සුත් ඇඬුවා. ඒ තමයි සන්නිවේදකයාගේ හැකියාව. හදවතට කිඳා බැහැලා ඒ සංවේදනාව ඇතිකරන්න පුළුවන් නම් මම දකින විදියට ඒක තමයි සමාජ වගකීම. සමාජ වගකීම කරන්න ඕනේ මෙහෙමයි කියලා කොහේවත් ලියලා නැහැනේ.
ඔබේ ‘පැණි වළලු’වල රසය මතු කරන්න ඔබ සංස්කෘතිය, හරපද්ධති, වටිනාකම් බාධාවක් කරගත්තේ නැහැ. ඒත් පැණි වළලු වුණත් වැඩියෙන් කන්න හොඳ නෑ වගේ මේ වටිනාකම් සියල්ල ප්‍රතික්ෂේප කිරීම සමාජයට කුමන බලපෑමක් එල්ල කරයිද?
පැණි වළලු සංකේතාත්මකයි. අපට පුළුවන්ද කිසිම දෙයක් කොටු කරන්න. වෙබ් අඩවි තහනම් කරන්න පුළුවන්. ඒත් ඒවා බලන එක නතර කරන්න පුළුවන්ද? අද සමාජය රාමු කරන්න බැහැ. සංස්කෘතිය වුණත් රාමු කරන්න බැහැ. විදුලි සංදේශ තාක්ෂණයේ දැවැන්ත පෙරළිය නිසා කොහොමත් කිසිම දෙයක් රාමු කරන්න බැහැ. මේ රාමුව නැති සමාජයේ අපි ජීවත් වෙන්නේ කොහොමද? ඒකට යම්කිසි උත්තේජනයක්, පිළිතුරක් තමයි මම මේ තීරුවෙන් ලබා දුන්නේ.
සුබසාධක මාධ්‍යයක් ලෙස එන රූපවාහිනිය ඔබ සභාපති ධූරය දැරූ කාලය ඇතුළත මුළුමනින් ම විනෝදාස්වාදය සහ පෙලඹවීම පමණක් ඇති කරන මාධ්‍යයක් බවට පත් කළා. එදා සංස්කෘතිය ප්‍රතික්ෂේප කිරීමේ ඵලවිපාකය නිසා අද පරපුරට විදග්ධ මාධ්‍ය භාවිතයක් අහිමි වීම සමාජ ඛේදවාචකයකට මුල පිරීමක් යැයි ඔබට සමාජයෙන් චෝදනා නැඟෙනවා.
මම හැම තිස්සෙම වෙනස් වෙන්න කැමති වෙනස් විදියට හිතන පුද්ගලයෙක්. මම විවෘත වුණේ ලෝකෙට. රාමුකරන තැනක නොවෙයි මම ඉන්නේ. රූපවාහිනිය ගැන වුණත් එහෙමයි. මට දැන් හැරිලා බලද්දි හිතෙනවා මට තව බොහෝ වෙනස්කම් කරන්න තිබුණා කියලා. මම ගිය වේගය මදි, ඊට වඩා වේගයෙන් මම යා යුතුව තිබුණා නේද කියලා දැන් මට හිතෙනවා. ඉන්දියාව කොච්චර දුර ගිහින්ද?
ඔබ සිතන්නේ ඒ ඔබ කළ වෙනස්කම් ඊටත් වඩා මහා පරිමාණයෙන් කළා නම් හොඳයි කියාද? නැත්නම් දෙගිඩියාවක්ද?
කිසිම දෙගිඩියාවක් නෑ. මම ගිය වේගය මදි කියලා හැඟීමක් මට තියෙන්නේ. ගන්න උදාහරණයක් විදියට ඉන්දියාව. රාමු කරපු නැති සමාජයක ඒ සමාජයට ඔරොත්තු දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මට ගැටුමක් තියෙනවා.
හැබැයි ඔබ කියන සුබසාධක කතාව වෙන එකක්. ලෝකේ මහජන සේවා විකාශ කියලා එකක් තියෙනවා. ලංකාවේ රූපවාහිනිය මහජන සේවා විකාශයක් නොවෙයි. රූපවාහිනිය මුදල් හම්බ කරන්න ඕන. අපේ ගුවන් කාලය අපි විකුණන්න ඕන. ගුවන් කාලය විකුණන කෙනෙක්ගෙන් කොහොමද සංස්කෘතිය රකී කියලා බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අර මහජන සේවා කියන එක වෙනයි. එහෙදි කාටවත් කොන්ද නමන්න ඕන නැහැ. ලංකාවේ තියෙන්නේ වාණිජ විකාශ. මම සභාපති වුණාම මම මේ ව්‍යාපාරයෙන් ලාබ අරන් පෙන්වන්න ඕන.
ඉතින් මම වෙළෙඳ පොළට බැස්සා. මහජන සේවා විකාශයක් පවත්වාගෙන යන්න ඉස්පිරිතාල දහයකට වියදම් කරන්න ඕන මුදල් වියදම් කරන්න ඕන. එහෙම පුළුවන් වුණා නම් අපිට තිබුණා අපේ නැටුම් පෙන්නන්න. විදග්ධ ගීත කලාවක් හදන්න.
මහාචාර්යවරයෙක් විදියට ඔබේ භූමිකාව රාමුගත නැහැ. පුද්ගලයෙක් රැකියාවක් ඇතුළත රාමුගත විය යුතු යැයි මම සිතන්නෙත් නැහැ. එහෙත් සිංහල මහාචාර්යවරයෙක් ලෙස ඔබ රාමුව බිඳින්නේ ශක්තිමත් හේතු සාධක නොමැති ව හුදෙක් බිඳීමේ අරමුණින් පමණකැයි මට හැඟෙනවා.
මම රාමුව බින්දෙ නැහැ. හැබැයි මම රාමුවෙන් එළියට පැන්නා. එළියට ඒම නිසා මම නිදහස් මිනිසෙක්. උදාහරණයක් විදියට ජනප්‍රිය සංස්කෘතියේ ඉන්න ඔක්කොම මිනිස්සු මේ රාමුවෙන් පැනපු අය. ගුණදාස අමරසේකර ඒ කාලේ රාමුව පැනපු කෙනෙක්. සිරි ගුනසිංහත් ඒ වගේ. දැන් ඒ වගේ අය නැහැ. ජනප්‍රිය සංස්කෘතිය ඇතුළට මහාචාර්යවරු ආවම මොකක්ද තියෙන වැරැද්ද? තරුණ පරම්පරාව ඉන්නේ එතැන. මහාචාර්යවරයකුට ගිහින් එතැන ස්ථානගත වෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.
ඔබ පර්යේෂණ කරන්නේ විශ්වවිද්‍යාල විදාර්ථීන්ගේ ලිංගිකත්වය ගැන. එහෙමත් නැත්නම් ඔවුන් අතර ජනප්‍රිය ම පොත මොකක්ද වගේ කාරණා ගැන. මහාචාර්යවරයෙක් විදියට ඔබේ පර්යේෂණ ගැටලු ගැන සමාජයට විමතියක් තිබෙනවා.
මම දිගින් දිගටම ඉටු කරන්නේ සන්නිවේදන භූමිකාවක්. මම කළ පර්යේෂණ ගැන සමාජයේ විශාල කතිකාවක් ඇතිවුණා. පර්යේෂණ කියන්නේ බොහෝ දුරට ප්‍රතිඵලය විද්‍යාගාරයේ තැන්පත් කරන විදියේ ඒවානේ. මම ගියා එතැනින් ඔබ්බට. සමාජයට අදාළ පර්යේෂණ කළාම ඒවට පුළුල් ප්‍රචාරයක් ලැබෙනවා.
ඔබ කළේ සමාජ විද්‍යා පර්යේෂණ. එය පැහැදිලියි. නමුත් ඒවායෙන් සමාජයට ඇති ඵලය ගැනයි ගැටලුව.
මම කළේ කාලීන වශයෙන් වැදගත් පර්යේෂණ. ඒ කාලයට ගැළපෙන පර්යේෂණ කළාම මාධ්‍ය මඟින් ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදෙනවා.
ප්‍රසිද්ධියයි, පර්යේෂණ ප්‍රතිඵලයයි අතර පවතින සබඳතාව කුමක්ද?
අද විශ්වවිද්‍යාල පර්යේෂණ සමාජගත වන්නේ බොහෝම අඩුවෙන්. වී ගොවිතැන ගැන හෝ ආසනික් ප්‍රශ්නය ගත්තත් එහෙමයි. කාලීන නිසා ඒවාටත් ප්‍රචාරයක් ලැබුණා.
ඔබ නිරත වන්නේ සාම්ප්‍රදායික මහාචාර්යවරයාගේ භුªමිකාවේ නොවෙයි?
මගේ භූමිකාවේ කොහොමත් කකුල් දෙක දෙපැත්තේ තියෙන ගතියක් තියෙනවා. මහාචාර්යකම වගේම මම දේශපාලනෙත් කරනවා. මගේ කොහොමත් අසම්මත ගතියක් තියෙනවා.
’පැණි වළලු’ ජනගත වූ දිනයේ මහාචාර්ය ජේ.බී.දිසානායකයන් ඔබට ආරාධනයක් කළා, විදග්ධ ලේඛනයට අවතීර්ණ වෙන්න කියලා. ඒ ගැන මොකද හිතන්නේ?
ඒක තියෙන්නේ මගේ හීනත් එක්ක. මහාචාර්යතුමා එහෙම කිව්වට පැණි වළලු විකිණිලා ඉවර වෙන්න ගියේ දවස් තුනයි. ඊළඟට මේක ටෙලි නාට්‍යයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මම මේ යන්නේ වෙන කොහේද පාරක. ඒ අතරතුරේ මම දේශපාලනෙත් කරනවා. අනිත් කාරණේ මම මේ කරන්නේ මම අකමැතිම රස්සාව. මම උගන්වන්න කැමැති නැහැ. මම කැමති අභියෝග තියෙන රස්සාවකට. මහාචාර්යතුමා කියපු දේ ගැන මට හීනයක් තියෙනවා.

1 comments:

Anaconda said...

මේකත් බලන්න

http://anacondavit.blogspot.com/2012/07/blog-post_27.html

Post a Comment