----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

කලාකරුවන්ගේ පවුල් අවුල් කියන්නේ ලොකු බොරුවක්

Thursday, July 19, 2012


කලාකරුවන්ගේ පවුල් අවුල් කියන්නේ ලොකු බොරුවක්
2012 ජූලි මස 15 15:16:50 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

දුවට මවක මිස යැයි කියූව ද දියණියක් වඩාත් සමීප පියෙකුට බව බොහෝ දෙනා පවසන දෙයකි. ඒ දියණිය දීගෙක යන දින රත්තරං දුවේ මගේ රත්තරං දුවේ ඔබයි දිවිය අර්ථවත් කළේ.... කියා පිය සෙනෙහස දෝරේ ගලන අවස්ථාවක් තවත් නැති තරමටම පියෙකුගේ සෙනෙහස ගලා යයි. කදුළු නොහෙලා හැඟීම්බරව ඔහු එදෙස බලාසිටී, මේ පියාණන්ද දැන් ඒ අවස්ථාව ස්පර්ශ කිරීමට සූදානම් වන මොහොතකි.
දුව දීගෙක යනදා තාත්තා ලියූ සෙනෙහසේ ලිපිය....
අපට ඔහු ශ‍්‍රියන්ත මෙන්ඩිස් නම් වූ ප‍්‍රවීන සහ ප‍්‍රකට රංග ශිල්පියාණන් වුවද නිපුණි පේ‍්‍රක්ෂා දියනියට ඇය සදාදරණීය පියාණන්ය. ඒ සෙනෙහස ඇය උපන්දා සිටම අත්විඳි දෙයකි. ශ‍්‍රියන්තගේ ලොකු දියණිය හෙවත් ඔහු ආමන්ත‍්‍රනය කරන විදියට ලොකුපුතා දීගෙක යාමට සූදානම් වන්නේ මෙම 20 වැනිදාය. මේ දියණිය උපන්දා මේ පියා අපූරු කවක් ඇය වෙනුවෙන් ලිවීය. අද ඇය වෙනුවෙන් ඔහු ලියන්නේ ලිපියකි. තම ලොකු දුව දීගෙක යන මොහොතේ ශ‍්‍රියන්ත මෙන්ඩිස් නමැති ඒ පියාණන් ලියූ ලිපියේ හැඩ ගලා යන්නේ මෙලෙසිනි.
ගල්කිස්ස, කලාපුරයේ
අම්මත්, මමත් තනාගත්
සුන්දර කැදැල්ලේ
සඳළු තලාවේ සිට
සදාදරණීය ලොකු පුතා වෙත ලියමි,
ලොකු පුතේ අම්මාගෙත් මගෙත් ජීවන තක්සලාව වුණේ වේදිකාවයි. අපි දෙන්නාම මුණගැහුණේ වේදිකාවෙදි. එතැනට අපි ආවේ මල් මාවතක් ඔස්සේ නොවෙයි. අතිශයින් දුෂ්කර මාර්ගයක. අම්මා මට හමු වූ දින සිට මම රංග කාර්යයට වෙන කැපවීමේ තරමටම අවංකවම ඇයට පේ‍්‍රම කරන්න පටන් ගත්තා. සතයක්වත් නැතිව කොළඹ ආපු ඒ ගමනට අපි පේ‍්‍රමය බාධාවක් කර ගත්තෙ නැහැ. මට සදාදරණීය කුසුම් වූ ඔයාලගෙ අම්මා පුදුම ධෛර්යවන්ත කාන්තාවක්. අපි ටිකෙන් ටික අපේ ලෝකය තනන්න පටන් ගත්තා. ඔන්න ඔය අතරෙදි තමයි 1987 ජූලි 20 වැනිදා උඹ උපන්නේ. ඒ වන විට මෙරට වේදිකාවේ පේ‍්‍රක්ෂකාගාරය අපට තනාදුන් ගෞරවය ඉමහත්. ඒ නිසාම ඒ පේ‍්‍රක්ෂකාගාරයට ගෞරවනීය වූ හේතුවෙන් අපි උඹට නම දැම්මේ නිපුණි පේ‍්‍රක්ෂා ලෙසයි. වැඩිමහල් දියණිය ලෙස උඹ පවුලට ගෙන දුන්නේ ලොකු හයියක්. ඒ හයියට හිටපු උඹ දැන් සූදානම් වන්නෙ නුඹගෙ කැදැල්ල තනන්නයි. ජීවිතයේ ස්වභාවය එය නිසා කවදත් ස්වභාවධර්මයට ගරු කළ අප දෙන්නා ඊට මුහුණ දෙන්නෙ ලොකු ආත්ම ශක්තියකින්. ඔයාගෙ අම්මා හෙවත් මගේ කුසුම් සහ මම බොහෝ දෙනා දකින්නෙ තවමත් තරුණ විදියටයි. අපි දෙන්නගෙ හිත හොඳකම ඒකට ප‍්‍රධාන හේතුව වෙන්න ඇති. ඒ තාරුණ්‍යයේ ස්වරූපය රැක ගන්න අපට අපේ හෘද සාක්ෂිය වැදගත් වුණා. අපි දෙන්නා ලෝකය දෙස බැලූවේ බොහොම ආදරයෙන්, ගෞරවයෙන්. ඒ වගේම ජීවිතය දිහා බැලූවේ ධනාත්මකව. අපි දෙන්නම ලෝකයට සැබෑ ලෙසම ආදරය කළා. උඹ වගේම නංගි තාරුකී අමායාටත් අපි  ඉගෙන්නුවේ ඒ දහමයි. නුඹල දෙන්නා එය අවංකවම ස්පර්ශ කර ඇති බව මට දැනෙනවා. හැෙඟනවා.
එදා නංගි උපදින මොහොතේ මම ලංකා පොළවේ හිටියෙ නැහැ. විදේශ සංචාරයකට යමින් ගුවන් යානයේ සිටියෙ. මායාවක් නොවූ තාරකාව යන අරුත දනවන්නයි නංගීට තාරුකී අමායා කියලා නම දැම්මේ. උඹ වගේම නංගිත් දැනටමත් විවාහයට තීන්දු වෙලා හමාරයි.
දන්නවද ලොකු පුතේ? අම්මටයි මටයි හැමදාම හවසට ඇතිවෙන ප‍්‍රශ්නය? ඒ උඹලා දෙන්නා විවාහ වෙලා ගියාම අපි තනිවෙනවා නේද? කියන සිතිවිල්ලට එහා ගිය මොකක්දෝ පුදුම සිතිවිල්ලක්. කොහොම වුනත්, පියෙකුට මේ මොහොත වචනයට පෙරළිය නොහැකියි. නුඹ දීගෙට යන මේ දින එළැඹෙන විට මොකක්දෝ  අමුතු හැඟීම් පෙළක් හිතේ ඉපදිලා. නුඹ උපන්දා, මල්වර වූදා, මේ හැගීම මට ඇතිවුණා. අපේ කැදැල්ලෙන් ඈත්වෙලා නුඹලාගෙ කැදැල්ල තැනිය යුතු තමයි. ඒත් මේ වෙලාවේ මහාචාර්ය කාලෝ රචිත ගීය මට සිහි ගන්වනවා.
පියඹලා ගොසින් තනපු
කූඩුවත් අරන්
නැවත එන්න සුදු දුවේ
මගෙ හිත ඒ විදියට මුමුණනවා පුතේ. මං දන්නවා අමන්ද පුතා නොහොත්  ඔයාගෙ ආදරණීය සැමියා ඔයාව ආදරයෙන් බලා ගනීවි. එකත් අතකට දැන් අපේ පවුල තවත් ලොකු වෙලා. අමන්ද පුතා වගේම තාරුකී ගිවිස සිටින පුතාත් දැන් අපට අපේම දරුවෝ.  ඉංජිනේරුවකු ලෙස අමන්ද පුතා එංගලන්තයේ රැකියාව කරන බව ඇත්ත. නුඹත් එහි ගොසින් වැඩිදුර හදාරා විලාසිතා නිර්මාණ ශිල්පිණියක ලෙස සේවය කළ බවත් ඇත්ත. දැන් විවාහයෙන් පසුව නුඹලා ආර්ථිකය ගොඩනගා ගන්න ස්ථාවර වෙන්න එංගලන්තයට යන බවත් ඇත්ත.
ඒත් ලොකු පුතේ මතකනෙ මම හැමදාම කිව්ව දේ? මේ රටෙන් ඉගෙන ගෙන මේ රටට සේවය කරන්න. මට විශ්වාසයි ඔයා  එය කරන බව. ඊයේ මගේ ආදරණීය කුසුම්ට පෙම්වතා වූ මම ඊළගට නුඹලා නිසා තාත්තා වුණා. ඊළඟට සීයා කෙනෙක් වේවි. ජීවිතේ හරි පුදුමයි. ඒ පුදුම ජීවිතේ අම්මයි මායි අරුත්බර කළා කියලා හිතෙනවා. දුප්පත් අපි දෙන්නා රළු පරළු ගමනක් එමින් මහ ලොකු අත්දැකීම් සම්භාරයක් එකතු කර ගත්තා. ඒ සුන්දර මතකය තිත්ත කුසලාන අමෘතය වගෙයි අපි පානය කළේ. අපට ජීවිතයේ බොහෝ දේ දුන්නු වේදිකාව මම හඳුන්වන්නෙ ”පේ‍්‍රමණීය දැව පලස” කියලයි. ලොකු පුතේ ඒ පේ‍්‍රමණීය දැව පලසේ සිට ආදරයෙන් හමු වූ අම්මයි මායි උඹලට ගෞරවය  ඇතිවන විදියට ජීවත් වුනා වගේම එකිනෙකාට අපිරිමිතව ගරුකර ගත්තා.
මේ නිසාම කලාකරුවන් බොහොමයකගෙ පවුල් අවුල් කියන දේ මිත්‍යාවක් කරන්න අපට පුළුවන්වුනා. බිරිඳ සැමියාට ශක්තියක් වගේම සැමියාත් බිරිඳට ශක්තියක් වුණා. අපට විශ්වාසයි නුඹත් ජීවිතය ඒ ලෙසින් ගත කරාවී. නුඹටත් අමන්ද පුතාටත් මට දෙන්න තියෙන ලොකුම දේ ඒ අපිරිමිත වූ මනුස්සකමයි. රත්තරං දුවේ මම නවතින්නම්.
මේ සදාදරණීය තාත්තා
ශ‍්‍රියන්ත මෙන්ඩිස්.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

0 comments:

Post a Comment