----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

විදර්ශන ප්‍රේමසිරිලාගේ නොනිදන අවදිය

Thursday, July 5, 2012

'අර මිහිරි සීනු නාදය' කියවූයෙමි

චින්තක රණසිංහ

නොනිදන අවධිය

ටෝල්ස්‌ටෝයි, දොස්‌තයෙවුස්‌කි, සාත්‍ර වැනි උසස්‌ නිර්මාණකරුවන්ගේ උසස්‌ බවට එක්‌ හේතුවක්‌ වන්නේ තමා පය ගසාගෙන සිටින තමාගේ ආධ්‍යාත්මික, භෞතික ලෝකය අවංකව, නිර්භයව හා තීක්‌ෂණ ආකාරයෙන් විවේචනයට ලක්‌ කිරීමයි. මේ කෙටිකතාවෙන් අමරකීර්ති කරන්නේ ද එබඳු ආත්මීය ආභ්‍යන්තරික තීක්‌ෂණ විවේචනයයි. එම විවේචනය උචිත කලාත්මක සංයමයකින් සිදු කිරීමට හෙතෙම සමත් වේ. ලාංකේය සරසවි පද්ධතියේ ගුරු සිසු දෙප්‍රජාව මතු නොව අලස මධ්‍යම පාන්තික මානසිකත්වය ද මෙහි දී කර්කශ ලෙස විමර්ශනයට ලක්‌වේ. ඉන්ද්‍රජාලික, මනෝජාල හෝ කුමන අද්භූතයක්‌ වේවා භාවිත කළ යුත්තේ අප අවට ගලායන ජීවිතය විනිවිදීමට මිස එහි යථාව මායාවෙන් වසා දැමීමට නොවේ. අමරකීර්ති ආවේගශීලී විවේචකයකු වන නමුත් සංයමශීලී නිර්මාපකයකු ලෙස මෙම ප්‍රශ්නයට මුහුණ දේ.

'නොනිදන අවධිය' එනම් කතාවේ නමම ප්‍රධාන වශයෙන් ද්විත්ව අර්ථ ලබාදේ. එක්‌ අර්ථයක්‌ නම් කතාව ලියා ගුරුවරයාට බාරදෙන විදර්ශන ප්‍රේමසිරි ගේ 'නිදා නොගැනීමේ කාලය හෙවත් සිකියුරිටි කාලයයි'. අනෙක නම් කතාවේ තේමාව ඇසුරින් මතුකරගත හැකි පේරාදෙණියේ ස්‌වර්ණමය යුගය සහ වර්තමාන අවධිය පිළිබඳ සන්සන්දනාත්මක තත්ත්වයයි. ඒ අනුව මේ පසුකරන්නේ නොනිදා අවධියෙන් පසුකළ යුතු සංකීර්ණ අවධියයි. ස්‌වර්ණමය යුගය ලෙස පසුවී ඇත්තේ අනාගත අලස යුගයකට පදනම දමන්නා වූ කාලයකි. දැන් ඇත්තේ නොනිදා අවධිව සිට එළඹෙන සිහි බුද්ධියෙන් විවේචනයේ නිරත වීමයි. ඒ නිසා එක්‌ අතකින් මෙය විදර්ශන ප්‍රේමසිරිලාගේ නොනිදන අවදියයි. විදර්ශනලා හන්තානයේ මහාචාර්යවරුන්ට පවා හේතු සහිතව අභියෝග කරන්නේ මේ යුගයේය.

අතිශය පටු වූ ලෝකයක ගුරුන් හා සිසුහු කල් ගෙවති. ඒ ලෝකයේ සීමා ඔවුන් විසින් පනවා ගනිමින් දිගු කාලීනව නඩත්තු කෙරේ. සටහන් දීම, ප්‍රශ්නෝත්තර ක්‍රමයේ විභාග, පොත් නොකියවීම හා නොගැඹුරු දේ පමණක්‌ ඉගෙනීම, බාහිර උපාධි වෙළෙ¹ම මෙසේ නඩත්තු කරන අලස අධම ක්‍රමයේ සංරචකයෝ ය. විදර්ශන ප්‍රේමසිරි වීරයකු වන්නේ මෙම ඒකාකාරී නීචත්වය පවතින ආචාරධර්ම උල්ලංඝනය කරමින් හෝ විනාශ කර දැමීම තුළය. එය එක්‌ අතකින් වෙනත් මාදිලියක විකල්ප ආචාරධර්ම රාමුවකට පණ දීමකි. රාත්‍රියේ කථිකාචාර්යවරුන්ගේ නිවෙස්‌වලට ඇතුල්වන විදර්ශන හොරකම් නොකරයි. ඒවායේ ඇති ද්‍රව්‍යමය ක්‍රියා පටිපාටිය අවුල් කරයි. ලුණු සීනිවලට මුසු කරයි. කිරිපිටි පාන්පිටි එකට දමයි. ඔරලෝසුවල වෙලාව වෙනස්‌කරයි. එලාම් වෙනස්‌ කරයි. කොම්පියුටර්වලට 'පොල්බූරුවා' වැනි පාස්‌වර්ඩ් දමයි. ගෘහ භාණ්‌ඩ තැබූ ස්‌ථාන වෙනස්‌ කර පද්ධතියම වියවුලෙන් වියවුලට ඇද දමයි. හන්තාන කේන්ද්‍ර කොටගත් ගුරු සිසු ප්‍රජාවගේ මතු නොව බහුතර ශාස්‌ත්‍රපීඨ ප්‍රජාවගේ ජීවිත මෙම කතාවේ නිරූපිත චරිතයන්ගේ ජීවිතවලට අසමාන නොවේ. විවෘත සංවාදයක්‌ හෝ නව දැනුම නිර්මාණය කිරීම වෙනුවට ඒ තුළ ඇත්තේ ගුඩු පොල්ගෙඩි දැක්‌මකි. අලස වතකි. කතුවරයා විදර්ශන ලවා එක්‌ තැනක මෙසේ පවසයි.

"ඊළඟට මං වැඩේ දුන්නේ සෝමානන්දයට. ඌත් කරෝලකාරයා වගේම වැඩකට නැති එකෙක්‌. උගේ සංස්‌කෘතික ත්‍රිකෝණෙ තමයි, නිල නිවාසේ - ධර්මරාජෙ - අධ්‍යයන අංශෙ. ඔච්චර තමයි උගේ ලෝකෙ. අයිවර් ජෙනිංස්‌ලා මුන්ට ක්‌වාටර්ස්‌ හදලා දීලා අපිට හොස්‌ටල් හදලා දෙන්න ඇත්තේ ආචාර්යවරුයි ශිෂ්‍යයොයි හරි හරි ශාස්‌ත්‍රීය සංවාද කරයි කියලා වෙන්ට ඇති. ඒකට අපි උන් ක්‌වාටර්ස්‌වල බුදි. අපි හොස්‌ටල්වල බුදි. උනුත් කරන්නේ බොරු. අපිත් කරන්නේ බොරු.- අර මිහිරි සීනු නාදය 58 පිටුව

මේ කතාව කියවද්දී මට සිහි වුණේ මීට වසර කීපයකට පෙර ස්‌වදේශීය සේවයෙන් විකාශය වූ ගුවන්විදුලි නාට්‍යයකි. එහි කතා පුවත ශාස්‌ත්‍රීය පර්යේෂණවල නිරත නොවී වරප්‍රසාද විඳින මහාචාර්වරු සොය සොයා මරණ දඬුවම් පමුණුවන අයෙකු පිළිබඳවයි. විදර්ශනගේ මෙහෙයුම ද එම කතාව සිහි කරයි. එසේ ම සරසවියට එන අතළොස්‌සක්‌ හෝ බුද්ධිමය නැඹුරුවක්‌ සහිත ශිෂ්‍යයින් එහි පවතින බුද්ධි හීන රටාවෙන් ඉතාමත් ඉක්‌මනින් කලකිරෙන ආකාරය පෙන්වයි. ඔවුන් සිකියුරිටිකාරයින් වන්නේ මේ දුෂ්ඨ අධ්‍යාපන ක්‍රමය නිසා නොවේද යන්න මෙහිදී මැනවින් විදාරණය වේ.

අමරකීර්ති මෙහිදී ඉලක්‌ක දෙකක්‌ සාර්ථකව ජයගනී. එකක්‌ නම් හොඳ සාහිත්‍ය කෘතියක්‌ නිර්මාණය කිරීමයි. අනෙක නම් ආත්මීය අභ්‍යන්තරික විවේචනයක්‌ තමාද නියෝජනය කරන සරසවි ප්‍රජාව වෙත ගෙන ඒමය. මේ දෙකම අතිශය වැදගත් ය.

අලුත් ලෙච්චමී

පංති අනන්‍යතාව, ජාතික අනන්‍යතාව මෙන්ම සංස්‌කෘතික අනන්‍යතාව ද අතිශයින්ම සංකීර්ණ යුගයක්‌ පසුකරන ප්‍රජාවකට වැදගත් විය හැකි කතාවකි 'අලුත් ලෙච්චමී'. ජනතාවාදය යටතේ ඉතාමත්ම සරල ස්‌ථානයකට ඌණනය කළ මේ අනන්‍යතා කතුවරයා වෙනත් ප්‍රවේශයකින් ප්‍රතිනිර්මාණය කරන්නේ සමකාලීනත්වය නමැති සාධකය ඉහළින්ම තබා ගනිමිනි. අවසානයේ දී ලෙච්චමීගේ ඉරණම උපතේ සිට විකාශය වූ දරදඬු ඉරණමක්‌ බව හෙළිදරව් වන අතර ප්‍රභූ හා නිර්ප්‍රභූ ලෙස ජාතීන් දෙක අතර පවතින ගැටුම නිරූපණය වේ. එසේම මිනිසා විවිධ තත්ත්ව, භූමිකාවලට ආරෝපණය වීම සහ ඒවා තුළදී ඔහු හෝ ඇය ලබන අනන්‍යතා පිළිබඳ සාකච්ඡාවකට මේ කතාවෙන් පදනම වැටේ. මෙබඳු ප්‍රවේශ සහිත කෙටිකතා සිංහලයේ විරලය. ජස්‌ටින් පියරත්නගේ 'නූතන ගුඅර්නිකා' කෙටිකතා සංග්‍රහයේ එන 'ගැබ්ජියේ වැඩ කළ දෙමළ තරුණයා' පිළිබඳ කතාව අමරකීර්තිගේ කතාව සමඟ සමාන්තර තේමාවක්‌ ගන්නා ආකාරය නිරීක්‌ෂණය කළ හැකිය.



සුවඳ දුම් දැල

ලංකාවේ දේශපාලන නායකත්ව පොරය තුළ වර්තමානයේ වැඩෙන අර්බුදය පැරණි ප්‍රභූ - නිර්ප්‍රභූ අර්බුදයට පිටින් පවතින සුවිශේෂ අර්බුදයක්‌ ලෙස මේ කතාව තුළ සාකච්ඡාවට ලක්‌වේ. එහෙත්, ඒ සඳහා භාවිත කෙරෙන සංකේත ඇතැම් විට චරිත හා සිදුවීම් තීව්‍ර කරන්නේ ද, නැතහොත් ව්‍යාජ ඉන්ද්‍රජාලික සංකේතයක්‌ සේ මතුවන්නේ ද යන සැකය මට ඇතිවේ. නිදසුනක්‌ සේ විජිතගේ වෛරය සංකේතවත් කිරීමට යෙදූ 'නයා'ගේ සංකේතය නොතිබුණ ද මෙම කතාවේ විකාශයට හානියක්‌ නොවේ යෑයි යන මතය මම දරමි. අමරකීර්තිගේ කතා කලාවේ මුල සිටම පවතින එක්‌ අර්බුදයක්‌ ලෙස මෙම අධි ආරෝපිත සංකේත භාවිතය දැකිය හැකිය. අවශ්‍ය පමණට කතාව හැසිරවිය හැකි අවස්‌ථාවල පවා අනවශ්‍ය සංකේතවලට ඔහු ප්‍රියකරන විට මට සිහිපත් වන්නේ සයිමන් නවගත්තේගම ගේ ඇතැම් කතාය. මේ කතාවේ පවතින තේමාත්මක අගය හා සෞන්දර්යාත්මක අගය අතර පවතින පරස්‌පරය සාහිත්‍යමය කෘතියක්‌ ලෙස කතාව පහතට ඇද දමයි. ගල්බනිස්‌ සහ නෙක්‌ටෝ ආත්මීය ලෙස කතාවට ගැලපුනත් නයා නැතිව කතාව ගොඩනැඟීමට විශාල අවකාශයක්‌ තිබුණි.

කුඩා කල ලැබූ අපහාස, පරිහාස වැඩිහිටි වියේ දී මතුවීම ස්‌වභාවිකය. බරපතළ කාරණා පැවසීමට සංයමශීලීව වනිතාර්ථ මතුකළ හැකි සංකේත නිර්මාණය කිරීම සතුටකි. පහත වාක්‍ය කීපය එයට කදිම උදාහරණයකි.

'විජිත බණ්‌ඩාර බේකරියෙ නතර වුණා. ජිනදාස මාමා ගල්බනිස්‌ ඕනෑ තරම් කන්න දුන්නා. නෙක්‌ටෝත් දුන්නා. - අර මිහිරි සීනු නාදය 104

මනෝ විද්‍යාව, මනෝ විශ්ලේෂණය ටොන් ගණනින් වපුරන - එහෙත් එයින් සාහිත්‍යයට දැනෙන හරවත් කිසිවක්‌ නොවන මෙවන් යුගයක මේ කතාව දීර්ඝ වශයෙන් විවරණය කිරීමට මනෝ විද්‍යාව ගෙනඒමේ හැකියාව පවතී. එහෙත් ඒ මෝස්‌තරයක්‌ ලෙස නොව කතා නිර්මාණය තුළ මනෝ විද්‍යාව යොදාගත හැකි සේ නිර්මාණය කර ඇති පඨිතමය ශක්‌තිය නිසාය.


රතුවන් රත්නවල්ලි

පුරාණෝක්‌තියක්‌ පරිශීලනය කරමින් තීව්‍ර සාහිත්‍ය කෘතියක්‌ විය හැකි තරමේ නවීනෝක්‌තියක්‌ නිර්මාණය කිරීමට අමරකීර්ති දක්‌වන හැකියාව මෙම කතාවේ දී කැපී පෙනේ. පුරාණෝක්‌ති බහුභූත ලෙස භාවිත කරමින්, එය ව්‍යාජ මෝස්‌තරයක්‌ බවට පත්කරවන සාහිත්‍ය ප්‍රජාවක්‌ වෙසෙන සමාජයක මෙය අගය කළ යුතු තත්ත්වයකි. මේ කතාවේ දී ද අපට හමුවන්නේ 'නොනිදන අවධිය' කතාවේ එන ආචාර්ය ප්‍රජාවේම තවත් එක්‌ සාමාජිකයෙකි. එහෙත් කතාව තීව්‍ර වන්නේ 'අලුත් ලෙච්චමී' මෙන්ම මේ කතාවද ස්‌ත්‍රී දෘෂ්ඨියෙන් ප්‍රකාශ කළ නිසාය. ඒත් මේ කතාවේ හරය බුද්ධිමය පරපුරක්‌ ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටින මේ පිරිස කොයිතරම් අනුකම්පාවට ලක්‌විය යුතු අධම ගනයේ සමාජ සංස්‌කෘතික භාවිතයක්‌ සහිත මුග්ධ ප්‍රබෝධකයන් පිරිසක්‌ ද යන්නයි. මේ මුග්ධ ප්‍රබෝධකයන්ගේ උපවිඥනය තුළ එකකුත්, උඩු සිතේ තවත් දෙයකුත් ක්‍රියාත්මක වේ. මේ කතාව නිම වන්නේ එම යටි සිත උඩු සිතට පිවිසීමෙන් වන මාධ්‍ය විකාරයකිනි.

මෙහි එන චරිත සියල්ල අනුකම්පාවට ලක්‌විය යුතු හා අනුකම්පාවට ලක්‌විය හැකි ආකාරයෙන් නිරූපණය කර තිබීම සුවිශේෂ තත්ත්වයකි. විශේෂ චරිතයක්‌ ලෙස මාතලේ කච්ෙච්රියේ වැඩ කරන සුගත් සැලකිය හැකිය. ඔහු දක්‌ෂකම් ඇති, එහෙත් නිසි තැනට ඒමට නොහැකි වූ රටපුරා විසිරී සිටින විවිධ චරිතවල ගුණාංග මැනවින් සංකලනය කිරීමෙන් උපන් චරිතයකි. කතාව කියන්නිය ඔහු සමඟ ගොඩනඟා ගන්නා දුරකථන ඇසුර ෙ€දවාචකයක්‌ බවට පත්වූ ජීවිතවල ජීවන ලාලසාව ගැන ගැඹුරින් යමක්‌ පවසයි.

'එලූ පැදුර' මෙරට සරසවි ඇදුරන් එක්‌ව මාධ්‍ය මඟින් ගෙන යන මහ විගඩම් පිළිබඳ හොඳ සංකේතයකි. ශාස්‌ත්‍රීය යන පදයට අයත් නොවන ජනප්‍රිය ව්‍යාජ මලු ගණනින් පවසන ඔවුහු ඒවා ගැනම පී.එච්.ඩී. ලියා ආචාර්ය උපාධිද ලබති. දැනුම ගවේෂණය වෙනුවට විහිර් ගවේෂණය කරති. සද්ධර්මරත්නාවලිය, ජාතක පොත පෙරළා හුදු තොරතුරු පමණක්‌ එක්‌රැස්‌ කරති. පහත කොටස උපහාසය හෝ පරිහානිය වෙනුවට මෙරට විද්වතුන්ගේ සහ ඔවුන් ගෙන යන ව්‍යාජ විද්වත් ජීවිතයේ ෙ€දවාචකය හෙළිකරයි. අමරකීර්ති එය කියනාකාරයට මා තුළ හටගන්නේ පහන් සංවේගයකි.

'ඒකෙන් පස්‌සේ තමයි මානෙල් හිතන්න පටන් ගත්තේ ඇත්තටම රත්නෙ ප්‍රසිද්ධ වෙන්න ගත්තේ විවාහෙන් පස්‌සෙනෙ නේද කියලා. ඊට කලින් ලියලා තිබුණේ කවුරුවත් දන්නෙ නැති නිසÄස්‌ පොතක්‌ එයාලගේ තාත්තාම අච්චු ගහලා දීලා තිබුණේ - රස්‌සාවේ ස්‌ථරිර වෙන්ඩ සම්මුඛ පරීක්‌ෂණයට ගෙනියන්ඩ. බැඳිලා අවුරුදු තුන යනකොට තමයි එයාගේ පොතක්‌ කොළඹ ප්‍රකාශකයෙක්‌ භාරගත්තෙ. - අර මිහිරි සීනු නාදය 117 පිටුව

මේ කෙටිකතා සංග්‍රය ගැන ලිවීමට තවත් බොහෝ දේ ඇතත් දැනටමත් ලිපිය විශාල වශයෙන් දික්‌ වී ඇති නිසා මෙයින් නවතිමි. අමරකීර්තිගේ භාෂාව ගැන විශේෂයෙන් ඉදිරියේ දී ලිවීමට අදහස්‌ කරමි.



සමාලෝචනය

අමරකීර්ති මේ කතා සංග්‍රහයේ ගත් සියලුම උත්සාහයන් පශ්චාත් - යටත්විජිතවාදී ව්‍යාපෘතිය තුළ මෙරට මුහුණ දෙන අර්බුදයේ විවිධ ස්‌වරූප ඉස්‌මතු කිරීමට ගත් ප්‍රයත්න දැකිය හැකිය. Post Colonial Poetry in English hk fmd; wrUñka Rajeev S.patke, Alpert Wendt ගෙන් උපුටා ගන්නා පහත කොටස අමරකීර්තිගේ උත්සාහය හඳුනා ගැනීමට කදිම න්‍යායික ප්‍රවේශයක්‌ යෑයි සිතමින් මම නවතිමි.

‘For me, the post in post - colonial does not just mean after, it also means around,
through, our of, alongside, and against'

අවසානයි


0 comments:

Post a Comment