----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

මගේ ලේන්සුව හතරට ඉරලා රසිකයන්ට බෙදලා දුන්නා

Thursday, July 19, 2012


මගේ ලේන්සුව හතරට ඉරලා රසිකයන්ට බෙදලා දුන්නා

ආචාර්ය වික්ටර් රත්නායක ‘ස’ ප්‍රසංගයේ මතක මැදින්
ආචාර්ය වික්ටර් රත්නායක නම් වූ ඔහු සිංහල ගීත ක්ෂේත්‍රය කිසියම් වෙනසකට ලක්කළ ප්‍රවීණ සංගීතවේදියෙකි. පෙර අපර දෙදිග සංගීත මූලාශ්‍ර ඇසුරු කරගනිමින් හෙළයට ආවේණික වූ සංගීත ආරක් බිහි කිරීමට මුල්වූ ඔහු සිංහල ගීත ක්ෂේත්‍රයට දායාද කළ මියුරු ගීත සංඛ්‍යාව සිය ගණනකි. 1973 වසරේ ඇරඹි වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගය මෙරට පමණක් නොව ලොව රටවල් විශාල සංඛ්‍යාවක ඉතා සාර්ථකව වේදිකාගත විය.
“ස” ප්‍රසංගයට වසර 39 ක් සපිරෙන ජූලි 20 වැනිදා එම ප්‍රසංගයට සමුදීමට වික්ටර් රත්නායක සැරසේ. වික්ටර් රත්නායකයන් සමඟ අප රසඳුන වෙනුවෙන් සංවාදයකට එක්වූයේ “ස” ප්‍රසංගය පිළිබඳවත් ඔහුගේ අතීත සංගීත දිවිය පිළිබඳවත් තොරතුරු දැන ගැනීමේ අරමුණෙනි.
”ස” ප්‍රසංගයේ ආරම්භය සිදු වුණේ කොහොමද?
ඒ; 1973 අවුරුද්ද. ඒ දවස්වල ඒක පුද්ගල ප්‍රසංගයක් තිබුණේ නෑ. පණ්ඩිත් අමරදේවයන් සහ විශාරද නන්දා මාලිනිය එක්ව ඉදිරිපත් කළ “ශ්‍රවණ ආරාධනා” ප්‍රසංගය ඒ දිනවල ඉතාම සාර්ථකව දිවයින පුරාම වේදිකාගත වුණා. ඒ කාලයේ මගේ ළඟින්ම සිටි මිතුරන් තමයි, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, මහාචාර්ය සුනිල් ආරියරත්න, බණ්ඩාර කේ. විජේතුංග, ආර්.ආර්. සමරකෝන්, හරිශ්චන්ද්‍ර වීරසිංහ, චින්තන ජයසේන වැනි අය. දිනපතාම නොවුණත් සතියකට දින දෙකක් හෝ තුනක් අපි කට්ටිය එකට හමුවුණා. එහෙම හමුවුණු දිනවල අපි අලුත් ගීත නිර්මාණය කළා, විවිධ මාතෘකා පිළිබඳව කතා කළා. දවසක් ඒ වගේ අපි කට්ටිය හමුවුණු වෙලාවක ඔවුන් මට කිව්ව “වික්ටර් ඔයාට පුළුවන්නෙ ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න කියල.
ඒ වනවිට කවුරුවත් ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වා තිබුණේ නෑ. ඒ දිනවල මගේ ගීත ඉතාම ජනපි‍්‍රයයි. ඒ වන විට මම විවිධ ශෛලියේ, විවිධ මාතෘකා යටතේ ගීත ගයල තිබුණා; බුදුගුණ ගීත, මව්ගුණ ගීත, පිය ගුණ ගීත, ප්‍රේම ගීත, දේශාභිමානී ගීත වැනි විවිධ මාතෘකා ඔස්සේ රචනා වුණු ගීත මම ගයල තිබුණා. ඒ නිසයි මගේ හිතවතුන් යෝජනා කළේ ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න.
ඉන්පසුව මේ ප්‍රසංගයට විවිධ නම් යෝජනා වුණා. සප්ත ස්වරයේ ඕනෑම ස්වරයක් මත “ශ්‍රැති ස්වරය වන ස ස්වරය පිහිටුවිය හැකි” නිසාත්, “සප්ත ස්වරයේ මුල් අකුර ස නිසාත් මෙම ප්‍රසංගය “ස” ප්‍රසංගය ලෙස හැඳින්වීම සුදුසු බව යෝජනා කළේ මා මිත්‍ර චින්තන ජයසේන. ඒ විදියටයි මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය “ස” ප්‍රසංගය බවට පත්වුණේ. මුල්ම “ස” ප්‍රසංගය පැවැත්වුණේ 1973 ජූලි මස 20 වැනිදා ලුම්බිණි රඟහලේදී.
”ස” ප්‍රසංගය දිගින් දිගටම පවත්වන විට ඔබ අවිවේකී වන්නට ඇති නේද?
ඇත්තෙන්ම ඔව්. රටේ සෑම ප්‍රදේශයකින් ම “ස” ප්‍රසංගයට ඉල්ලුමක් ඇති වුණා. රසික රසිකාවියන් සිය ගණනින් “ස” ප්‍රසංගය වටා රොක්වෙන්න පටන් ගත්තා. සතියට දින කීපයක්ම “ස” රටේ විවිධ ස්ථානවල වේදිකා ගත වුණා. ඒ නිසා “ස” ප්‍රසංගයට සම්බන්ධ සියලුම දෙනා අතිශය කාර්ය බහුල වුණා. මම “ස” ප්‍රසංගයටම යොමුවෙලා ඉන්න විට මගෙ දරුවන්ගෙ සියලුම කටයුතුත් ගෙදර දොරේ වැඩ කටයුතුත් බලා කියාගෙන මගේ වැඩවලටත් උපරිම විදියට මගේ බිරිඳ චිත්‍රා උදව් වුණා. ඇය මගේ පසුපස නොසිටින්නට “ස” ප්‍රසංගයට මෙපමණ දුරක් එන්න ලැබෙන්නෙ නෑ. ඇය මා පසුපස සිටි යෝධ සෙවණැල්ලයි.
”ස” ප්‍රසංගය පවත්වන විට ඔබට රසික ප්‍රතිචාර උපරිම විදියට ලැබෙන්න ඇති...?
”ස” ඇරඹුණු දා ඉඳලම රට තුළදි පමණක් නොවේ, විදෙස් රටවලදි පවා පුදුම විදියේ රසික ප්‍රතිචාර ලැබුණා. “ස” අපි ආරම්භ කළේ ප්‍රසංග සිය ගණනක් පවත්වන අදහසින් නෙමෙයි. මෙපමණ කාලයක් “ස” පැවැත්වූවේ ප්‍රසංගය නැවැත්විය නොහැකි වූ නිසයි. “ස” සමඟ රට වටා යන විට සමහර පළාත්වලදි මගේ ලේන්සුව හතරට ඉරල සිහිවටන ලෙස රසික රසිකාවියන්ට දෙන්න සිදු වුණා. ඒ දවස්වල මගේ කොණ්ඩය ගොඩක් තිබුණා. ඇතැම් ප්‍රසංග අවසන් වෙලා සමරු පොත්
අත්සන් කරන විට මට දැනිල තියෙනව මගේ කෙස් වලින් අදිනව. ඒ විදියට මගේ කෙස් ගසුත් සමරු ලෙස තබාගත් රසික රසිකාවියන් සිටියා. “ස” ප්‍රසංගය නිසා දහස් ගණනකගෙන් මට ලැබුණු ආදරය ගෞරවය අසීමිතයි. ඒක මතක් වන විට සිතට දැනෙන්නෙ හරිම සතුටක්.
”ස” ප්‍රසංගය පරම්පරා 3 ක් රස වින්දා නේද?
ඔව් “ස” ප්‍රසංගයට දැන් අවුරුදු 39 යි. මීට අවුරුදු 39 කට පෙර වැඩිහිටියන් ලෙස සිටි පිරිසත් තරුණ පිරිසත් “ස” ප්‍රසංගයේ ගීත රස විඳ තිබෙනවා. එදා තරුණ පිරිසගේ දරුවන් අද “ස” රස විඳිනවා. එතකොට පරම්පරා 3 ක් “ස” ප්‍රසංගයේ ගීත රස විඳිනවා. කිසියම් රටක කලා කරුවකුට හැකි නම් පරම්පරා 3 ක රසික පිරිස් සනසවන්න ඒක විශාල භාග්‍යයක්. එවැනි දෙයක් කරන්න ලැබීම ගැන අද මම සියුම් ආඩම්බරයෙන් බුක්ති විඳිනවා.
සිංහල සිනමාවට ඔබෙන් ලැබුණු දායකත්වය අඩුයි නේද?
අඩුයි කියන්න අමාරුයි. ඒ මොකද මම චිත්‍රපට ගීත 100 ක් පමණ ගයල තියෙනව. ඒ වගේ ම චිත්‍රපට 16 ක පමණ සංගීතය නිර්මාණය කරල තියෙනව. මාතර ආච්චි, හුලවාලි, තවලම, සරුංගලේ වැනි චිත්‍රපට ඒ අතරින් සුවිශේෂයි. නමුත් කියන්න කනගාටුයි ඒ චිත්‍රපටවල සංගීතය නිසි ඇගයීමකට ලක් නොවුණු බවයි මගේ හැඟීම. මගේ සිනමා සංගීතයෙන් සිංහල ගීත ක්ෂේත්‍රයට දායාද කළ සුවිශේෂී ශිල්පියෙක් තමයි සුනිල් එදිරිසිංහ. ඒ විදියට බලන විට සැලකිය යුතු මට්ටමකින් සිංහල සිනමාවේ සංගීතයට දායක වී තිබෙනවා.
මෑතදී ඇරඹුණු රියැලිටි වැඩසටහන්වලට ඔබ විරුද්ධ ඇයි?
තරු බිහි කරන සංගීත වැඩසටහන්වලට මම එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. මෙලෙස තරු බිහි කිරීම ලාංකේය තාරුණ්‍යයේ කොඳු නාරටිය කඩා බිඳ දැමීමක් ලෙසයි මම දකින්නේ. අපි තාරුණ්‍ය පෙලඹිය යුත්තේ නිර්මාණාත්මක ලෝකය බිහි කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරගන්නා විදියටයි. එසේ නැතිව මීට අවුරුදු පනහකට හැටකට එහා ජනපි‍්‍රය ශිල්පීන් ගායනා කළ ගීත කළු මැද මැද කියන්න පුහුණු කළාට කලාවට සෙතක් වෙන්නේ නෑ.
එවිට තාරුණ්‍යයට තම අනන්‍යතාව ගොඩනඟාගන්න ලැබෙන්නේ නෑ. මම සංගීත ක්ෂේත්‍රයට එන විට අමරදේවයන්, සුනිල් ශාන්තයන්, සූර්ය සංකර් මොල්ලිගොඩ, එච්.ඩබ්ලිව්. රූපසිංහ වැනි ස්වතන්ත්‍ර ගීත ගායනා කළ හොඳ ශිල්පීන් පිරිසක් සිටියා. මමත් ඒ ශිල්පීන්ගේ ගීත ගායනා කර කර සිටියා නම් අද වික්ටර් රත්නායක කෙනෙක් නෑ. ඒ නිසා මම කවදත් අනුන්ගේ ගීතවලින් බැබළෙන ශිල්පීන් ශිල්පිනියන් අනුමත කරන්නේ නෑ. අනුන්ගේ ගීතවලින් කවුරු හරි බැබළෙනවා නම් ඔහු හෝ ඇය සැමදාම ආධුනිකයෙක්. එම පුද්ගලයා කවදාවත් ප්‍රවීණයෙක් වෙන්නේ නෑ.
ගාමිණී ෆොන්සේකා ‘ස’ ප්‍රසංගය නරඹමින්

ඔබ තාරුණ්‍ය සමඟ තරහද?
නැහැ කවදාවත්ම නැහැ. තාරුණ්‍ය තමයි රටක ජීවනාලිය. නමුත් තාරුණ්‍යයේ ඉඳගෙන, “කංසා බොන්ට හොඳා”, “තනමල්විල මල්” කියල ලියන, ගයන අයට මම දොස් කියනවා. ඒ මොකද මේ රටේ සදාචාරයක් තියෙන්න ඕනනෙ. ඒවා ගීත නෙමෙයි වාත. ඒ වගේම බඩ වියත රැකගන්න අනුන්ගේ ගීත ගයන අයටත් මම දොස් කියනවා. එහෙම නැතිව මම තාරුණ්‍ය එක්ක කවදාවත්ම තරහ නෑ.
”ස” ප්‍රසංගය නවත්වන්න සිතුවේ ඇයි?
කිසියම් ගායන ශිල්පියකුගේ ගීත රසික රසිකාවියන් අතර පවතින්නේ ඔහුගේ ගායන හැකියාව, පැහැදිලි උච්චාරණය, තනුවල ඇති අලංකාරවත් බව සහ ගීතයේ ඇති භාවමය ගුණය නිසයි. මේ ලක්ෂණ කා තුළ වුවත් සැමදා පවතින්නේ නෑ. එයයි මේ ලෝකයේ ස්වභාවය. “සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි” කියා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසයි. ඒ ධර්මතාව මටත් පොදුයි. ඒ අනිත්‍යතාව අපටත් එන බව දැන දැන තොල් පැටලි පැටලි වචන උච්චාරණය නිවැරදිව කළ නොහැකිව ගීත ගායනා කිරීම හරිද? රසික රසිකාවියන්ගේ සතුට පතා දෙන දේ රසිකයාට සතුට නොලැබෙන තත්ත්වයෙන් නොදීමට අප වග බලාගත යුතුයි. එසේ නොවුනහොත් සිදුවන්නේ ශිල්පියා කෙරෙහි රසිකයා අනුකම්පාවක් දැක්වීමයි. ශිල්පියකුට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව ගෞරවයයි. “ස” ප්‍රසංගයේ අවසානය සටහන් කරන්නේ ඒ ගෞරවය මා තබා ගත යුතු නිසයි.
මෙම 20 වැනිදා ප්‍රසංගයෙන් පසුව ඔබ සංගීත කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත් වෙනවාද?
එදින සිදුවන්නේ මගේ “ස” ප්‍රසංගයේ සමාප්තිය සටහන් කිරීමයි. “ස” ප්‍රසංගයෙන් සමුගැනීමයි. නමුත් ඉන් ඉදිරියටත් වික්ටර් රත්නායක කියන සංගීත ශිල්පියා තනු නිර්මාණය කරමින්, සංගීතය අධ්‍යක්‍ෂණය කරමින්, ගීත ගයමින් ගීත ක්ෂේත්‍රයේ ඉන්නවා. 20 වැනිදා සිදුවන්නේ “ස” ප්‍රසංගය නමැති බාරදූර කටයුත්තෙන් ඉවත් වීමයි.
ගායන ශිල්පියෙකු සංගීතවේදියෙකු ලෙස ඔබ මෙතෙක් දුර පැමිණි ගමන පිළිබඳව ඔබ තෘප්තිමත්ද?
අතිශයින්ම තෘප්තිමත්. ඒක ආත්මාර්ථකාමී හැඟීමක් නෙමෙයි. කිසියම් කලා ශිල්පියකු තමා නිරතවී සිටින ක්ෂේත්‍රය පිළිබඳව හොඳින් හදාරා ඇත්නම්, ඒ දැනුම හැකියාව අන් අයටත් ප්‍රදානය කර ඇත්නම්, තම හැකියාවෙන් රසිකයා පිනවා ඇත්නම් එම ශිල්පියාට තෘප්තිමත් විය හැකියි. මොහිදීන් බෙග්, අමරදේව, නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, ජෝතිපාල, එඩ්වඩ් වැනි ශිල්පීන්ගේ සිට උරේෂා රවිහාරි වැනි මෑත යුගයේ ශිල්පිනියන් දක්වා මම මගේ නිර්මාණ දායාද කරල තියෙනව. මගේ නිර්මාණාත්මක හැකියාවෙන් මම විතරක් කීර්තිය ප්‍රසංසාව ලබාගෙන නෑ. මේ නිසා මම ඉතාම තෘප්තිමත් කලාකරුවෙක්.

0 comments:

Post a Comment