----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

අති විශිෂ්ට චරිතාංග නළු හේමසිරි ලියනගේ කියයි

Sunday, June 6, 2010

මෙරට විශිෂ්ට චරිතාංග නළුවන් අතලොස්ස අතරට ඔහුගේ නාමය එක් වූයේ බොහෝ කලකට පෙරාතුවය. ඒ සුවිශේෂ රංග ප්‍රතිභාවන් වේදිකාව, සිනමාව හා පුංචි තිරය ඔස්සේ අප නෙතු මානයට හසු වූ අවස්ථා ද බොහොමයකි.

එකී මාධ්‍යත්‍රවයෙහිම තමන්ට ලැබුණු ඕනෑම චරිතයකට මනා සාධාරණයක් ඉටු කරමින් තම රංගන ප්‍රාතිහාර්ය පෑ ඔහු නමින් හේමසිරි ලියනගේය.

බොහෝ කලකට පසු අප ඔහු මෙලෙස ‘සරසවිය’ පත් ඉරු අතරට කැඳවා ගතිමු.

ඔබේ රංගන දිවියේ තරමක නිහැඬියාවක් දකින්නට ලැබෙනවා. ඒ ඇයි?

ඇත්තටම දැන් වැඩිපුර කෙරන්නේ ඔය මෙගා ටෙලි නාට්‍යයනේ. අපි එක්ක වැඩ කරපු අධ්‍යක්ෂවරුන් දැන් වැඩියෙ නිර්මාණ කටයුතුවල යෙදෙන්නේ නැහැ. අද බහුල වශයෙන් හැදෙන්නේ් මෙගා ටෙලි නාට්‍යය. ඉතින් ඒවායේ චරිත ඇත්තෙත් නැහැ අපට රඟපාන්න. අපට කතා කරන්නෙත් නැහැ.

ඒ කියන්නේ මෙගාවලට කතා කළා නම් ඔබ යනවද?

මට එහෙම ගිහින් වැඩ කරන්න බැහැ. මොකද ඒගොල්ලන්ගේ විදිය මට නම් ගැළපෙන්නේ නැහැ. මගේ විදියත් ඒ ගොල්ලන්ට ගැළපෙන්නේ නැතිව ඇති. ඉතින් ඕවයේ වැඩ කරන්න ගියොත් ගැටුම් ඇති වෙනවා මිසක් යහපතක් වෙන්නේ නැහැ. ඕවට කිට්ටු ටෙලි නාට්‍යය කීපයක රඟපාලා මම හිත නරක් කරගෙන ගෙදර ඇවිත් තියෙන්නේ. වැඩ කරන්න බෑ.

ඇයි ‘මෙගා’ නාට්‍යයවලට සම්බන්ධ වෙන්න ඔබ මේ තරම් අකැමැති?

මට දැනගන්න ලැබිලා තියෙන විදිහට ඒවයේ ස්ක්‍රිප්ට් එක පවා නළු නිළියන්ට කියන්නේ් ටෙලිෆෝන් එකෙන්ලු. ඉතින් එහෙම මට නම් අමාරුයි රඟපාන්න. අපේ වයස නිසාද මන්ද ටිකක් හොයලා, බලලා කරන්න හිතෙනවා. අනෙක් එක හොඳට සීන් එකක් කරනවා නම්නේ අපිත් සතුටු වෙන්නේ. අපිට සල්ලි ලැබෙන එක විතරක් නෙවේ.

යමක් හොඳට කරන්න පුළුවන්ද කියලයි මම බලන්නේ. එතන තමයි අපට ඉතිරි වෙන්නේ. එවෙලේ ගත්ත සල්ලිය වටිනවා තමයි. ඒත් එතනින් එහාට යමක් ඉතුරු වෙනවානේ යමක් හරියට කළොත්. එතකොට කාගෙ හරි මතයක් ඇති වෙනවනේ මේ මිනිස්සු හරියට වැඩ කරනවා කියලා. අනෙක් අතට අපට හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවානේ.

රංගනය කියන්නේ එහෙම නිරන්තරයෙන් අධ්‍යයනය කළ යුතු කලාවක්?

ඇත්තෙන්ම හරි විදිහට නිර්මාණයකට දායක වෙද්දී අපට කොයි තරම් අත්දැකීම් ලැබෙනවාද? අර මෙගා ටෙලි නාට්‍යවලදී අපට දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. අධ්‍යක්ෂවරුන්ටත් ඒක බලපානවා. අනෙක් අය ඉගෙන ගන්නෙත් නැහැ. එක තැන තියලා ඩයලොග් ටික ගහන එකනේ් කරන්නේ.

තිර පිටපතක් කියන එක නළුවකුට, නිළියකට අවශ්‍යමද?

ඕනෑ. ඇත්තටම ඕනෑ. දැන් මම දැකලා තියෙනවා ලෝකයේ විශිෂ්ට අධ්‍යක්ෂවරු කියලා තියෙනවා ‘අපි නළුවාට ස්ක්‍රිප්ට් එක පෙන්නන්නේ නැහැ. දර්ශන තලයට ආපුවම අපි එතන ඉඳලා කරගෙන යනවා කියලා’. චිත්‍රපටවල එහෙම ස්වභාවයක් තියෙනවා.

ඒත් මේ ටෙලි නාට්‍යය, වේදිකා නාට්‍යයවල වගේම චිත්‍රපටවලටත් පිටපතක් අවශ්‍යයි කියලයි මම විශ්වාස කරන්නේ. නැත්නම් අපි මොකක් රඟපාන්න ද යන්නේ.

දැන් ඩයලොග් කියන එක නෙවේනේ සැබෑ රංගනය කියන්නේ. මම ඉස්සර ඉඳන්ම ක්‍රියා කරපු විදිහෙන් වගේම පොත පත කියවලත් මම ඒවා තහවුරු කරගෙන තියෙනවා. පිටපත කියන්නේ අපි මොනවා හරි ඔළුවේ තියාගෙන යනවා. ඒකනේ අපි රඟපාන්නේ. රඟපානවයි කියවන්නේ ඇඳුම ඇඳගෙන ඩයලොග් ටික කියන එක නෙවෙයි.

රංගනය ගැන ඔය තරම් සරලව හිතන අයත් ඉන්නවද?

නැතුව ඕනෑ තරම්. එනවා, යනවා, රණ්ඩු වෙනවා, පෙම් කරනවා, ඔරු පදිනවා, කෑම කනවා, පෙම්වතියගේ ඔළුව ඉඹිනවා. සමහරු හිතනවා ඒ ටික රඟපෑම කියලා. මේවා නැතත් රඟපාන්න පුළුවන්. කියෙව්වාම අපි චරිතයක් අරගෙන යනවා. ඒ චරිතය ලිහලා හැඩ වැඩ දාලා පින්තූරවලට ඉදිරිපත් කිරීම තමයි මට තියෙන ආශ්වාදය නම් නළුවෙක් විදිහට. දෙබස් කීම නෙවෙයි. දෙබසට උචිත ඇඳුම ඇඳගෙන ඒ ටික කිරීම දෙවැනි තුන්වැනි කාරණා.

ඒක ඕනෑ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්?

ඇත්තටම පුළුවන්. දැන් මගේ මතයක් තියෙනවා මේ ටෙලි නාට්‍යවලට, චිත්‍රපටවලට නළුවෝ ඕනෑ නෑ. ඒක ලෝකෙම ඔප්පු වෙලා තියෙනවා. අපිට ඇස් ඉදිරිපිට පේනවා නළුවෝ නැතිවත් ඒ මාධ්‍යය ගෙනියතැකි. දැන් හුඟක් චිත්‍රපටවල ඉන්නේ නළුවෝ නෙවෙයිනේ.

එහෙනම් කවුද?

රඟපාන කට්ටියක් ඉන්නවා. ඒ අය වැඩේ කරගෙන යනවා.

නමුත් ඔවුන් වෘත්තීය නළුවෝ නෙවෙයි?

වෘත්තීය මට්ටමක් තියෙනවා. අපි ඔවුන්ට වෘත්තීය නළුවෝ කියමු. වෘත්තීය නළුවෝ කියන්නේ නළු වෘත්තිය දන්න අය. කැමරා එකට ෆේස් කරන්න, ඩිරෙක්ටර් කියන දේ කරන්න මේ ඒක නළු වෘත්තියනේ. නළුකම කියන්නේ වෙන එකක්. ඒක ඉගෙන ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඇතුළෙන් එන එකක්. දැන් හුඟක් අය කියනවනේ් මේ අපට රංගනය හදාරන්න රංග පාසලක් නැහැ කියලා.

ඒකෙදි කියන්නේ රඟපෑමට අදාල අර සෙල්ලම් වැඩ ටික තියෙනවනේ. ඒක ඉගෙන ගැනීමට තැනක් නැහැ කියලයි. අපට ප්‍රශ්නෙ තියෙන්නේ. දැන් මියුසික් උගන්නතැකි ඕනෑ තැනක. රඟපෑමත් ඒ විදිහට උගන්නනවානේ. කෝ නළුවෝ? සංගීතය ඉගෙන ගත්තට කෝ සංගීතඥයෝ? නළුවෝ, සංගීතඥයෝ, ගායකයෝ එහෙම බිහිවෙන්නේ නැහැ.

සැබෑ කලාකරුවාට මේ වෘත්තීය හැදෑරීම නොවැදගත් බවද ඔබ කියන්නේ?

වෘත්තීය උගන්වන්න පුළුවන්. දැන් සංගීතයේ රාග ටික උගන්නතෑකි. වොයිස් එක හදතෑකි. ඒත් ගායකයෙක් හදන්න බෑ. ඔහු හැදෙන්න ඕනෑ. චිත්‍ර ශිල්පියාත් එහෙමයි.

අපට සායම් කලවං කරන හැටි, පින්සල අල්ලන හැටි, මේ කැන්වස් එකක් හදා ගන්න හැටි, ඉතිහාසය වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒත් ආ(ර්)ටිස්ව හැදෙන්න ඕනෑ. නළුකමක් එහෙමයි. දැන් ෂාරුක් ඛානුත් නළුවෙක් නේ. ලෝකෙම පිළිගත්ත නළුවෙක් නේ. එහෙත් ඔහු නළුවා නෙවෙයි, නළු වෘත්තිකයා මම කියන්නේ.

කවුද එතකොට ඔබ කියන නළුවා? විශේෂයෙන්ම ෂාරුක්ව ඔබ උදාහරණයට ගත්තේ හින්දි සිනමාවෙන්?

හුඟක් හින්දි චිත්‍රපට මම අද බලන්නේ නැහැ. බලන්නෙම නැත්තේ මට ඇති වෙලා. හින්දි චිත්‍රපට එකක් බැලුවත් එකයි, සීයක් බැලුවත් එකයි. ෂාරුක් ඛාන්ගේ එකක් බැලුවත් එකයි, දහයක් බැලුවත් එකයි. හොලිවුඩ්වලත් එහෙමයි. කොලිවුඩ්වලත් එහෙමයි. ඉතින් ඒ අතරතුර නළුවා කියලා මම හඳුන්වන්නේත් ශාස්ත්‍රඥයෝ කියලා තියෙන්නෙත් ‘ඇක්ටින් ඊස් ඕල්වේස් කැරැක්ටර් ඇක්ටින්’ කියලයි.

නමුත් ඔබ උදාහරණයකට ගත්ත ෂාරුක් ඛාන් අද ලෝකයේම සුපිරි නළුවෙක්?

ෂාරුක් ඛාන්ට ඔහොම කතා කළා කියලා මට බැනලා ටෙලිෆෝන් කෝල්්ස් එයි. ඔහුට රසිකයෝ කොච්චර ආදරේද, කොච්චර භක්තිමත්ද? ලෝකෙම පිළිගත්ත ඒ වගේ් කෙනෙක් ගැන කතා කරන්නේ් කොහොමද මේ මම වගේ මිනිහෙක් කියලා. නමුත් මම මේ ශාස්ත්‍රයේ ඉඳන් කතා කරන කොට ඒගොල්ලෝ වෘත්තීය නළුවෝ. ඩ්‍රයිවර්ස්ලාත් දෙජාතියක් ඉන්නවනේ. දැන් ඔය වෘත්තීය නළුවා හරියට එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් වගේ.

එන්ජින් ඩ්‍රයිවර්ට යුනිෆෝම් එකක් තියෙනවා. වෘත්තියක් දීලා තියෙනවා. කෝච්චියක් දීලා තියෙනවා. ඒ කෝච්චිය රේල් පාර උඩ තියලා දීලා තියෙන්නේ. ඉතින් එයාට ටයිම් එකක් දීලා තියෙනවා. ස්පීඩ් එකක් දීලා තියෙනවා. නවත්තන තැන් දීලා තියෙනවා. හදිසියක් වුණොත් මැදදි බ්‍රේක් එකක් ගහන්නවත් බැහැනේ. ගැහුවොත් අප්සෙට් යනවා. ඉතින් චිත්‍රපටවල රඟපෑමත් ඒ වගේ.

කොහොමද ඒ?

ඇයි වෘත්තියක් තියෙනවා. යුනිෆෝම් එකක් තියනවා. ඒකට වැටුපක් ඛ්ම්බ වෙනවා. රේල් පාර උඩ තියලා තියනවා. මේක ස්ටාට් කරගෙන දීපු කාල සටහනට අනුව වැඩ කරන්නයි තියෙන්නේ.

ඔහොම ගිහින් බැහැලා ගෙදර යනවා. දැන් අනෙක් ඩ්‍රයිවින් වැඩේ අපි හිතමු සාමාන්‍යය වාහනයක් එළවනවා කියලා. දැන් ඉතින් එයා තෙල් බලලා, බ්‍රේක් බලාගෙන, වතුර දාලා ගල් මුල් අස්සෙන් පාර හොයා ගෙන, ඕනෑ තැන ගියර් මාරු කරගෙන අවශ්‍ය තැනට යන්න ඕනෑ. ඒක තමයි මම කියන්නේ රඟපෑම කියලා. එයාට නිර්මාණයක් තියෙනවා. නමුත් කෝච්චි එළවීමේදී එහෙම නිර්මාණයක් නැහැ. ටයිම් ටේබල් එකට වැඩ.

කිසිවකු ඔබට කීවොත් ‘නළුකම’ මේ විදිහට බෙදා වෙන් කරන එක සාධාරණ නැහැ කියලා?

ප්‍රංශයේ ජොවාට් කියලා සුප්‍රකට නළුවෙක් හිටියා. ඔහු කොටස් දෙකකට බෙදා වෙන් කරලයි නළුවන් හැඳින්වූවේ. එක් කෙනෙක් ඇක්ටර්. අනෙක් කෙනා කොමඩියන්.

එයා හඳුන්වන්නේ අද ඔය ඉන්න ප්‍රවීණ නළුවා මේ ඇක්ටර්ගේ පරපුරෙන් ආපු නළුවා. ඒ ඇක්ටර් හැදුණේ ට්‍ර‍්‍රැජඩි නළුවාගෙන්. ට්‍රැජඩි නළුවා කියන්නේ එක්තරා වෘත්තියකට පුහුණු වෙච්ච නළුවෙක්. එයාගේ රඟපෑමේ සීමාවක් තියනවා. සමහර චරිත විතරයි රඟපාන්නේ. එයා රඟපෑමේදී භාවිතා කරන්නේ එයාගේ සිරුර. පෞරුෂය.

එතකොට කොමඩියන් කියන්නේ?

ඔහු ඕනෑම චරිතයක් රඟපෑ හැකි නළුවෙක්. එයාගේ පෞරුෂය නෙවෙයි එයා භාවිතා කරන්නේ. එයා චරිතයක් ඇතුළට ගිහිල්ලා ඒ චරිතය රඟපාන්නේ. දැන් අපේ සිනමාවේ ජෝ අබේවික්‍රමයන්ට තිබුණේ ඒ ලක්ෂණ. එයා කෙමඩියන් ඇක්ටර් කෙනෙක්. ඒ කියන්නේ විහිළුකාරයෙක් කියන එක නෙවෙයි.

එයාට පුළුවන් ඕනෑම චරිතයක් රඟපාන්න. ඉස්සර කොමඩි ඇක්ටර් කියන්නේ සාමාන්‍ය ජීවිත රඟපාන නළුවාට. ට්‍රැප්ඩි ඇක්ටර් කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ගති ලක්ෂණ ඉක්මවා ගිය වීර චරිත නිරූපණය කරන නළුවාට. දැන් ෂාරුක් ඛාන්ට කියන්න ඔය නටන චරිතවලට අමතරව වෙනස් චරිතයක් කරන්න කියලා.

මම ඔහු අවතක්සේරුවට ලක් කරනවා නෙවෙයි. තියෙන වෙනස. මේ දෙවිදිහටම රඟපාන්න පුළුවන් නළුවෝ ලෝකේ හිටියා.

එතකොට ලංකාවේ නැද්ද?

හිටියා. ඉන්නවා. නමුත් සමහර නළුවෝ ගල් වෙලා ඉන්නේ. ඊට එහාට යන්නම බැහැ.

ඔබ ජෝ අබේවික්‍රමයන් හැඳින් වූයේ මම හිතන්නේ විශිෂ්ට චරිතාංග නළුවෙක් විදිහට. එතකොට අපේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ගැන ඔබේ නිර්වචනය කොයි වගේද කියලා දැනගන්න කැමැතියි?

මම ජෝ අයියගේ තලයේ නෙවෙයි තියන්නේ ගාමිණී ෆොන්සේකාව. ඔහුටත් රංගනයේ යා හැකි දුරක් තිබුණා. මම හිතන්නේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ ගාමිණීට ඇළුම් කළේ ඔහුගේ පෞරුෂයට. හැබැයි දැන් නිධානය, සරුංගලේ වගේ චිත්‍රපටවල ඔහුගේ සුවිශේෂ රංගනයනුත් අපි දැක්කා. නමුත් ජෝ අයියගේ තලයේ නෙමෙයි මම ගාමිණීව තියන්නේ.

ගෝරිං මුදලාලි ලෙස ජෝ අබේවික්‍රමත්, වික්‍රම රන්දෙණිය ලෙස ගාමිණී ෆොන්සේකාත් ‘වැලිකතර’ චිත්‍රපටයේ විශිෂ්ට රංගනයක නියැළුණා.

මේ රංගනයන් ඔබ දකින්නේ කොයි විදිහටද?

දෙන්නම හොඳට කරනවා. මොකද ගාමිණීගේ පෞරුෂයට ඒ චරිතය ගැළපුණා. දැන් මෙන්න විකට නළුවෙක් විදිහට හිටපු ජෝ ගෝරිං මුදලාලි විදිහට වෙනත් චරිතයක් රඟපෑවා. රඟපෑම කියන්නේ අන්න ඒකයි. එක්කෙනෙක් පෞරුෂය අලෙවි කරනවා. අනෙක් කෙනා අලෙවි කරන්නේ් නිර්මාණ ශක්තිය. දැන් ඒ පෞරුෂය විකුණන තැන නෙවෙයි මම ඉන්නේ.

එක දිගට ඔබ රංගන කාර්යයේ නොයෙදුණත් සුවිශේෂ චිත්‍රපටයකට හා ටෙලි නාට්‍යයකට මෑතකදී රංගනයෙන් දායක වුණා?

ඔව්. සුමිත් රෝහණ තිත්තවැල්ලගේ ‘ස්තූතියි නැවත එන්න’ චිත්‍රපටයේ මම රඟපෑවා. ඒක මම ඉතාමත් කැමැත්තෙන් රඟපෑ හරි අපූරු චරිතක්. ඒ වගේම සුදත් රෝහණගේ ‘ස්වයංජාත’ ටෙලි නාට්‍යයටත් මම රංගනයෙන් දායක වුණා. ඒකේ මම රඟපාන්නේ තොටියකුගේ චරිතයක්.

ඔබ වේදිකාවෙන් උපන් කෙනෙක්. නැවතත් වේදිකාව දෙසට හැරෙන්න අදහස් කර තියෙන බව ආරංචියි?

සෞම්‍යගේ ඉල්ලීමක් නිසයි එහෙම වෙන්න වුණේ. මම මුල් වරට 1968 දී නිර්මාණය කළ ‘සුදු ඇතා ආවට පස්සේ’ වේදිකා නාට්‍යය නැවත රඟ දක්වන්නට සූදානම් වෙනවා. ඒක ඒ කාලේ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබූ වේදිකා නාට්‍යයක්.

0 comments:

Post a Comment