හෙන්රි ජයසේන යනු නවකථාකරුවෙකු, කවියෙකු, නාට්‍ය රචකයෙකු, පරිවර්තකයෙකු, නාට්‍ය නිෂ්පාදකයෙකු ආදී ලෙස නන්වෑදෑරුම් කුසලතා දක්වා ඇති අද්වතීය නාට්‍ය කරුවෙකි. කලා ලෝකයේ ඔහු සුවිශේෂී පරාසයක් නියෝජනය කරන්නේ අග්‍රගන්‍ය නාට්‍ය රචකයෙකු හා නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙසය. ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ට ගණයේ නාට්‍යවේදියෙකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙරට ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වූයේ හෙන්රිය.
1931 ජූලි 6වැනිදා ගම්පහ බ්‍රැන්ඩියමුල්ලේ උපත ලද හෙන්රි ජයසේනගේ මව නවගමුවගේ සිසිලියා පෙරේරාය. පියා බස්තියන් කෝරලගේ ඇල්බට් රුද්‍රිගෝ ජයසේන විය. ඔහු වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. නිවසේදී සිංහල, ඉංග්‍රීසි, හා ගණිතය අධ්‍යාපනය ලැබූ හෙන්රි, මුලින්ම පාසල් ගියේ ගම්පහ බ්‍රැන්ඩියමුල්ල රෝමානු කතෝලික පාසලටය. ගම්පහ ලොරෙන්ස් විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ඔහු උසස් අධ්‍යාපනය ලැබීය. නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදී, යූ.එස් පෙරේරා (සිරි අයියා) නිෂ්පාදනය කළ හරිස්චන්ද්‍ර නාට්‍යයේ රෝහණ කුමාරයාගේ චරිතය ඔහු නිරූපනය කළේය. එය ඔහුගේ වේදිකාවට තැබූ පළමු පියවර විය.
හෙන්රිගේ මුල්ම පත්වීම වූයේ තාවකාලික ලිපිකරුවෙකු ලෙස කොළඔ කොටුව රෙජිස්ට්‍රාර් කාර්යාලයයේ ලද පත්වීමයි. ඉන්පසු ඔහු පදියපැළැල්ල දෙහිපෙ ප්‍රාථමික විදුහලේ ඉංග්‍රීසි උප ගුරුවරයෙකු ලෙස ලද පත්වීම් ලැබීය. 1951 දියතලාව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට බැඳුනු ඔහු, දිගු කාලයක් සේවය කළේ එහිය. 1962 දී නාට්‍ය ශිල්පිනියක වන මානෙල් ජයසේන හා විවාහ වූ හෙන්රි, එක් දරු පියෙකි. සෞම්‍ය සුධාරක ජයසේන ඔහුගේ එකම පුතුය.
හෙන්රි, සිංහල වේදිකාව තුළ නොමැකෙන නමක් සනිටුහන් කළ නාට්‍ය රැසක් නිෂ්පාදනය කළේය. 1951 දී නිෂ්පාදනය කළ ජානකී ඔහුගේ පළමු නාට්‍යය විය. එය ඔහු එවකට සේවය කළ දෙහිපේ පදිය පැළැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරු මණ්ඩලය සමඟ කළ නාට්‍යයකි.
මීට අමතරව හෙන්රි ජයසේනගේ නාට්‍ය නිර්මාණ වන්නේ
(1) මනමාලයෝ - පරිවර්තන (1953)
(2) වැදගත්කම - පරිවර්තන(1954),
(3) ඇත්ත කුමක්ද? - පරිවර්තන (1955)
(4) පව්කාරයෝ -ස්වත්‍රන්ත්‍ර (1959)
(5) ජනේලය -ස්වත්‍රන්ත්‍ර (1962)
(6) කුවේණි -ස්වත්‍රන්ත්‍ර (1962)
(7) තවත් උදෑසනක් - ස්වත්‍රන්ත්‍ර (1946)
(8) මනරංජන වැඩවර්ජන - ස්වත්‍රන්ත්‍ර (1965)
(9) අහස් මාළිගා - පරිවර්තන(1966)
(10) හුණු වටයේ කථාව -පරිවර්තන (1967)
(11) අපට පුතේ මගක් නැතේ -ස්වත්‍රන්ත්‍ර(1968)
(12) දිරිය මව සහ ඇගේ දරුවෝ-පරිවර්තන (1972)
(13) මකරා - පරිවර්තන(1973)
(14) සරන සියොත් සේ පුතුනි හඹා යන -ස්වත්‍රන්ත්‍ර (1975)
(15) සිරිසඟබෝ - (ජෝන් ද සිල්වාගේ සිරිසඟබෝ නූර්ති පිටපත යළි නිශ්පාදනය )
(16) ජයතු ලංකා - 1983
1956 එදිරිවීර සරත්චන්ද්‍ර මනමේ නිෂ්පාදනය කිරීමත් සමඟ, ලාංකීය නාට්‍ය ක්ෂේත්‍රය තුළ එතෙක් පැවති නාට්‍ය සම්ප්‍රදාය කඩා වැටුනි. මනමේ ආභාශය ලබමින් ශෛලිගත ආකෘතියේ නාට්‍ය නිෂ්පාදනය වන්නට විය. මේ තුළින් නාට්‍ය කලාව මේ යුගයේ අර්බුදයකට පත්ව තිබුණි. නමුත් නිෂ්පාදන ශෛලිය අතින් මනමේ අනුකරණයට නොව ඊට පිටු පෑමට හෙන්රි ජයසේන උත්සාහ ගත්තේය. තමන්ගේ "කුවේණි" නාට්‍යය ශෛලිගත නාට්‍යයක් ලෙස හැඳින්වීමට මැළිවන ඔහු, 1961 නිර්මාණය කළ ' ජනේලය ' නම් නාට්‍යයද ඉහත නාට්‍ය රැල්ලට දුන් කදිම පිළිතුරකි. එම නාට්‍ය නිපදවා ඇත්තේ ශෛලිගත, තාත්වික යන සම්ප්‍රදායේ මනා සංකලනයකිනි. හෙන්රි සිය නාට්‍ය චාරිකාව අරඹන්නේ "මනමාලයෝ", "වැදගත්කම" වැනි පරිවර්තන නාට්‍ය නිෂ්පාදනය තුළිනි. 1959 දී නිර්මාණය කළ "පව්කාරයෝ" ඔහුගේ පළමු ස්වත්‍රන්ත්‍ර නාට්‍ය නිෂ්පාදනයයි. කෙසේ නමුත් හෙන්රි නාට්‍යකරුවෙක් ලෙස ස්ථාපිත වන්නේ කුවේණි නාට්‍යය තුළිනි. එය ප්‍රේක්ෂක විචාරක නොමද ප්‍රසාදයට පාත්‍ර වූ නාට්‍ය නිර්මාණයකි. ස්වත්‍රන්ත්‍ර, අනුවර්තන, පරිවර්තන නිර්මාණ රැසක් කරළියට ගෙන ආ ඔහු, ඒ හැම තැන්හිදීම ස්වකීය අනන්‍යතාවය සනිටුහන් කිරීමට සමත් වීය. ඒ අනුවර්තන හා පරිවර්තන නාට්‍ය කරුණු 2 ක් යටතේ වැදගත්ය.
1.ලොව විවිධ නාට්‍යකරුවන් තම රටවල සිතුම් පැතුම් අනුව නිර්මාණය කළ දැවැන්ත නාට්‍ය අප රටේ සංස්කෘතියට හා සභ්‍යත්වයට ගැලපෙන ලෙස ඉදිරිපත් කිරීම.
2. අනුවර්තනයේදී හා පරිවර්තනයේදී සංයමයකින් යුතුව බස හසුරුවමින් මතු කළ දේශීය අනන්‍යතාවය පරිවර්තන හා අනුවර්තන නාට්‍ය නිෂ්පාදනයෙන් සිංහල වේදිකාවට එක් කළ නැවුම් අත්දැකීම් සම්භාරය හා ප්‍රේක්ෂකයාට ලබා දුන් උසස් රසවින්දනය.
මීට දශක තුනකට පෙර ඔහු නිෂ්පාදනය කළ බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ "ද චෝක් සර්කල්" (හුණු වටයේ කථාව) මෙරට පරිවර්තන නාට්‍ය කලාවේ මුදුන් මල්කඩ ලෙස පිළිගැනේ. හෙන්රිගේ හුණු වටයේ කථාව පරිපූර්ණ නාට්‍යයක් පමණක් නොව, නාට්‍යකරුවෙකු ලෙස හෙන්රි ජයසේන විකාශනයේ කූටප්‍රාප්තිය පමණක් නොව, එය නූතන සිංහල නාට්‍ය කලාවේ විකාශනයේ අතිශය වැදගත්බවක් ද ගෙන ඇත. ඔහු අනුගමනය කළ ශෛලිගත , ස්වභාවික හා මිශ්‍ර රංග රීතිය තුළ ගීතයද සුවිශාල මෙහෙවරක් කළේය. හෙන්රි කවදත් ගීතයට හා සංගීතයට ලොල් කළ නාට්‍යකරුවෙකි. ජනේලය, කුවේණි, තවත් උදෑසනක්, දිරිය මව, අපට පුතේ මගක් නැතේ, සරන සියොත් සේ පුතුනි හඹා යන ආදී නාටය ඊට නිදසුන්ය. ඔහුගේ ගීත ජනේලයේදී හාස‍්‍යය උපදවයි. කුවේණි නාට්‍යයේදී දාර්ශනික විය. තවත් උදෑසනක් හි සෞන්දර්යාත්මක විය. හුණු වටයේ කථාවේ දී නව නඑ රසයෙන් අනූන විය.
- මේක තමයි කන්තෝරුව - මහ රැජිනගෙ කන්තෝරුව (ජනේලය )
- නොහඩන් කුමරුනි ඇවිල යසෝ ගිනි...
- සත් සියක් රත් මල් රැගෙන මම...(කුවේණි)
- උදෑසනක් තවත් උදාවෙලා ඇවිත්...(තවත් උදෑසනක්)
- පුත නොබලන් හෙළ ගැඹුරුයි...
- යුද්දෙට මං ගියා...(හුණු වටය)
ආදී ගීත නොඇසූ ප්‍රේක්ෂකයෙකු සිංහල නාට්‍ය රසිකයන් අතර නොමැති තරම්ය. ගීතරචකයෙකු කවියෙකු ලෙස පමණක් නොව වේදිකාව සිනමාව යන අංශ තුනේම ඔහු දස්කම් පාන ලදී.
හෙන්රි 1959 සිට 1996 දක්වා වසර 39 ක කාලය තුළ චිත්‍රපට 19 ක රඟ පා ඇත. ඔහු රඟ පෑ ගම්පෙරළියේ පියල්ගේ චරිතය ප්‍රේක්ෂකයන්ට කිසිදා අමතක නොවන චරිතයක් විය. චිත්‍රපටය රූපගත කිරීමට පෙර ඊට පාදක වූ 'ගම්පෙරළිය' 15 වරක් කිය වූ බව (චරිතය අවබෝධ කර ගැනීමට) හෙන්රි පවසයි.
1982 ආරම්භයත් සමඟ රුපවාහිනිය මෙරටට පැමිණී තැන් සිට සිනමා සහ නාට්‍ය ක්ෂේත්‍රයේ කුසලතා දැක්වූ ලාංකීය කලාකරුවෝ ක්‍රමයෙන් රුපවාහිනිය හරහාද ප්‍රේක්ෂකයන් ඇමතූහ. 1983-88 කාලයේ හෙන්රි ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබවූ අතර ඒ කාලය තුළ ඔහුගේ පරිපාලනමය හැකියාව ප්‍රත්‍යක්ෂ කරන්නට වු නිසා ඔහුගේ කලා දායකත්වය අඩු විය.
1990 දශකයේ ඔහු මෙරට ජනතාව අතරට වඩාත්ම පිවිසියේ ඔහුට වඩාත් හුරු පුරුදු නාට්‍ය හා චිත්‍රපට මාධ්‍යයෙන් නොව ටෙලි නාට්‍ය තුළිනි. නෑදෑයෝ, දු දරුවෝ, මානව වාරණ වැනි ජනප්‍රසාදයට පත් වූ මාලා නාටක කීපයක කුශලතා දැක්වීමට හෙන්රි සමත් විය. නාට්‍යකරුවෙකු ලෙස පමණක් නොව සාහිත්‍යධරයෙකු ලෙසද සිය කුසලතාව පළකළ හෙතෙම මිනිසුන් වූ දරුවෝ (1965), ලාසරස් (1999) යන නවකථා දෙකක් පළ කරන ලදී. තම ජීවිත කථාව කරළියක කථාවක්, නිම් නැති කථාවක් 1, 2 ලෙස වෙළුම් තුනකින් 1996 දී පළ කර තිබේ.
සිය දීර්ඝ නාට්‍ය චාරිකාවේ දී අවස්ථා කීපයකදීම ඔහු සම්මාන වලින් පිදුම් ලැබීය. 1963 දී කුවේණි නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම රචනය, හොඳම නිළිය, නිෂ්පාදනය, සංගීතය යන අංශ වලින් සම්මාන ලැබීය. 1979 'හඳයා' චිත්‍රපටයේ රංගනයට හොඳම සහය නඑවාට හිමි සරසවි සම්මානයද, හංස විලක්, බැද්දේගම යන චිත්‍රපටවල රංගනය උදෙසා සරසවි සම්මානත් ඔහුට ලැබී ඇත. 1988 වසරේ කලාශූරී සම්මානය ලැබූ ඔහු සුමති ටෙලි සම්මාන උළෙළේ දී ජීවිතයේ එක් වරක් කලාකරුවෙකුට හිමිවන සම්මානය දිනා ඇත.
හෙන්රි ජයසේන නම් නාට්‍යකරුවා පිළිබඳ තිස්ස අබේසේකර මහතා මෙසේ කියයි. ..."සිංහල නාට්‍ය කලාව උදෙසා තම ජීවිතයේ හොඳම කාලය වැය කළ හෙන්රිට හොඳ වැඩක් කළා යැයි හිත පුරාසතුටු විය හැක. මින් පසු එකම නාට්‍යයක්වත් බිහි නොකළත් හෙන්රිගේ නම නාට්‍ය වංශයේ ඉහළින්ම ලියවෙන්නට හුණු වටයේ කථාව පමණක් ප්‍රමාණවත් ය..."
හුණු වටයේම එන පරිදි "දෙයක් වේ නම් එය සුදූස්සාටම අයිති විය යුතු..." යන්න සනාථ කළ පුද්ගලයෙක් ලෙස ඔහු හැඳින්විය හැකිය. හුණු වටයේ කථාවේ අසඩක්, ගම්පෙරළියේ පියල්, මනමේ නාට්‍යයේ මනමේ කුමරු, දු දරුවෝහි සුදු සීයා ලෙස මෙරට රසික මතකයේ නොමැකී රඳමින් හෙන්රි ජයසේන අප අතර සදා සජීවී කලාකරුවෙක් ලෙස රඳනු ඇත.
0 comments:
Post a Comment