----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

ධර්මසිරි බණ්ඩාරනායක

Monday, June 14, 2010

ඔබේම තවත් පැරණි නාට්‍යයක් නැවත කරළියට එනවා?

ඔව්. පහුගිය කාලයේ මගේ පරණ වේදිකා නාට්‍ය ටික නැවතත් ප්‍රේක්ෂකයන් අතරට ගේන්න ඕනය කියල මම කල්පනා කළා. ඒකේ පළමු පියවර වුණේ ‘ඒකා අධිපති’ වේදිකාවට ගෙන ඒම. මේ ඒකේ දෙවෙනි පියවර. මෙවර මං මගේ මකරාක්ෂයා නැවත නව නිෂ්පාදනයක් හැටියට මේ මාසේ 19 – 20 දිනවලදී ලයනල් වෙන්ට්ඩ් ශාලාවේ වේදිකා ගත කරන්නයි සූදානම් වෙන්නේ.

‘ඒකාධිපති’ නැවත වේදිකාවට ගෙන ඒම සිද්ධ වුණේ මීට මාස කිහිපයකට ඉහත දී. ඒකට ලැබුණු ප්‍රතිචාරයත් ‘මකරා’ නැවත ගෙන ඒමට බලපෑවද?

කනගාටුවෙන් වුණත් කොහෙත්ම නෑ කියලයි කියන්න වෙන්නේ. මොකද ‘ඒකාධිපති’ නැවත වේදිකාවට ගෙන ඒමෙන් කලාකාරයකු හැටියට මම ලබපු අත්දැකීම නම් එතරම් ප්‍රසන්න එකක් නෙවෙයි.

ඇයි ඔබ එහෙම කියන්නේ?

දෙවෙනි අත්දැකීම ගත්තම ලාංකීය සමාජය ගමන් කරලා තියෙන දිශාන්තය කොයිබටද, ඔවුන්ගේ අධ්‍යාත්මය රැඳිලා තියෙන තැන කොතනද කියන එක පිළිබඳව කලාකාරයෙක් විදිහට මම තෘප්තිමත් නෑ.

මේ තත්ත්වය ඔබට අර්බුදයක් හැටියට පේන්නේ ඇයි?

නාට්‍ය ශාලාවකට එන පිරිස සාමන්‍ය ජනයාට වඩා එහාට ගිය පිරිසක් වෙන්න ඕනය කියන එකයි අපේ බලාපොරොත්තුව. නමුත් ලංකාවේ ඊට එහා ගිය මට්ටමක් දැන් නෑ. මේක මම මේ කියන්නේ කේන්තියකින් නෙවෙයි.

මේක අවබෝධ කර ගත යුතු තත්ත්වයක් කියලයි මට හිතෙන්නේ.

නාට්‍යයත් එක්ක නළුවෙකු හැටියටත් සම්බන්ධ වෙන කෙනෙක් හැටියටයි මම මේ ප්‍රකාශය කරන්නේ. නමුත් 70, 80 දශකවල එහෙම තිබුණේ නෑ.

මේ පසුබිමේදීම ඔබ තවත් නාට්‍යයක් කරළියට ගේන්නෙ ඇයි?

1943 අග භාගයේ දී විතර තමයි The Dragan සෝවියට් දේශයේ රචනා වෙන්නේ. රුසියාවේ ට්‍රොස්කිවාදය මුල් බැහැ ගන්න තිබුණු අවස්ථාව මුළුමනින්ම අහුරන්නෙ ස්ටැලින් විසින්.

ලෙනින්ගෙන් පස්සේ ස්ටැලින් කෙනෙක් පහළ වීම කියන කාරණය අදහ ගන්නත් බැරි එකක්. ඒ මොහොතේ ඒ තත්ත්වය අත් විඳි යෙව්ගිනි ෂ්වාස්ට්ස් කලාකරුවා රචනා කළ නාට්‍යය තමයි The Dragan. දීනභාවය, මර්ධනය, කපටිකම, බියගුළුකම, වංචාව වගේ දේවල්වලින් පිරුණු මිනිස් සමාජයක් ගැන තමයි මේකෙන් කතා වෙන්නේ.

ෂ්වාට්ස්ගේ ‘ද ඩ්‍රැගන්, ‘මකරා’ බවට පත්වීම පිළිබඳ අතීත මතකයට ගියොත්?

ඒ ඉතිහාසය නම් හරිම සුන්දර මතකයක්. ලිපිකරුවෙක් හැටියට කොළඹ රැකියාවට ආවට පස්සේ මට මුලින්ම හමු වුණු නාට්‍යකරුවා තමයි හෙන්රි ජයසේන. ඔහු මේ නාට්‍යයේ ප්‍රධාන භූමිකාවට මොන හේතුවකට මාව තෝරා ගත්තාද දන්නේ නෑ. නමුත් ඒ තෝරා ගැනීම අද දක්වාම මගේ කලා ජීවිතයේ ලැබුණු ලොකුම භාග්‍යයක්. වේදිකා නාට්‍ය කලාවෙත් මගේ අධ්‍යාත්මික කාරණාවලටත් ඒ තෝරා ගැනීම තදින්ම බලපාලා තියෙනවා.

මේ නිසාම මම අද හෙන්රිව හඳුන් වන්නේ ‘මකරා මැරූ වීරයා’ ලෙස මාව වේදිකාවේ අභිෂේක කළ මහා පුරුෂයා හැටියටයි. ඔහු එදා මේ නාට්‍ය තෝරා ගත්තේ මොස්කව්වලදීත්, නැගෙනහිර ජර්මනියේදීත් මේ නාට්‍ය දැකීම නිසයි. ඒ තෝරා ගත් හේතුව දේශපාලනිකයි. ඔහු දේශපාලනය සමඟ සහ සම්බන්ධතා පවත්වන්න නොගිය කෙනෙකු වුණත් හුණුවටයෙන් පස්සේ මේ නාට්‍ය තෝරා ගෙන තිබෙන්නේ ඒක ඇතුළෙ තිබුණු බොහෝ කාරනා අවිඥානිකව හෝ අපේ සමාජය ඇසුුරෙන් හෝ ඔහු ඒත්තු ගෙන තිබූ නිසාය කියලයි මට හිතෙන්නේ.

ඔහු අතින් ‘මකරා’ සඳහා ඔබ මෙහෙය වුණු ආකාරය?

ඔහු මාව මෙහෙය වූ ආකාරය අද හරිම සුන්දර මතකයක්. නළුවෙක් වශයෙන් මගේ හඬ, පෞරුෂත්වය, මගේ ඉරියව්, ඒ වගේම ‘ලාන්ස්ලොට්’ නැමැති රටම නිදහස් කරගන්න ආපු වීරයාගේ චරිතයට පණ පෙවීම වගේ කාරණාවලට වයස අවුරුදු 23 ක තරුණයෙක් හැටියට මේ වගේ දේශපාලනික නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබීමම ආශ්වාදනීය අත්දැකීමක්. ඒ වගේම කිසියම් වෘත්තීය විනයකට අපව හුරු කළ සහ එය කළ හැකි මෙබඳු නාට්‍යයක් සොයා ගැනීම ගැන මම හෙන්රි ජයසේනයන්ට ගරු කරනවා.

අද ඔබ අතින් මකරාක්ෂයා යළි උපදින අවස්ථාවේ මකරා ඔබට හඳුන්වා දුන් හෙන්රි ජයසේනයන් පිළිබඳ මතකය මේ නිර්මාණයට මුසු වෙන්නේ මොන විදිහටද?

මම අද මගේ නළු නිළියන් මකරා සඳහා පුහුණු කරන්නෙත් හෙන්රි ජයසේනයන් පිළිබඳ සඳහන් කරමින්.

මොකද එදා මම මකරා රඟපෑවේ හෙන්රි වගේ කෘතහස්ත නාට්‍යකරුවෙකුගේ සෙවණේ. එදා වාසනාවට හෙන්රි ජයසේනයන්ගේ මකරා බවට පත් වෙන්න මටත්, මාගෙන් ඒ චරිතයට සාධාරණය ඉටු කරවා ගන්න හෙන්රිටත් අවස්ථාව තිබුණා. නමුත් අවාසනාවකට අද ඉන්න ශිල්පීන් ළඟ එදා අපි ළඟ තිබුණු ගුණාංග පළාතකවත් නෑ.

එයින් ඔබ අදහස් කළේ?

නළුවා විතරක් නෙවෙයි අද වෙන කොට පුරවැසියා හැටියට ඉන්නෙම වෙළෙඳ ක්‍රමය මත ජරාජීර්ණ වෙච්ච පිරිසක්. මේ නිසාම එදා මේ නාට්‍ය කිරීමෙන් ලබපු ආශ්වාදය අද මම සහ මේ සමාජය ලබනවද කියන ප්‍රශ්නය මට තියෙනවා. නමුත් මේ සමාජයට අප විසින් ඉෂ්ඨ සිද්ධ කළ යුතු වගකීමක් හැටියට පවරාගෙන තමයි අද අපි මේ වේදිකා නාට්‍ය කරන්නේ.

මුල් වරට මම 1985 දී මකරා නිෂ්පාදනය කළා. ඒ අවස්ථාවේදී කනගාටුදායක අත්දැකීමක් වුණේ හෙන්රිම මේ නිර්මාණය කරන්නය කියලා මට කියලා මම නිෂ්පාදකයෙකුත් හොයාගෙන ඒ කටයුත්තට ලැහැස්ති වෙද්දී ඔහුම මට නැවත කිව්වා ඒ නාට්‍යය කරන්න එපාය, ඒකෙන් රජය අපහසුතාවයට පත් වෙනවය කියලා.

එතකොට හෙන්රි ජයසේනයන් රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් හැටියටයි හිටියේ. එදා ඒ නාට්‍ය සොයා ගත් නිෂ්පාදකවරයාම පස්සේ ඒක කරන්න එපා කියනවා. මම මේක කියන්නේ ඔහු සමඟ අමනාපයෙන්වත්, ඔහුට පහර දෙන්නවත්, අපහාස කරන්නවත් නෙවෙයි. මේ නාට්‍යයේ පසුබිම හා ඉතිහාසය කියන්නයි ඒක කිව්වේ. මේ නිසා මට සිද්ධ වුණා සිරිල් සී. පෙරේරා මහත්තයා ලවා නැවත ඩ්‍රැගන් පරිවර්තනය කර ගන්න. හෙන්රිගේ පරිවර්තනය මගේ අතට නොලැබුණු නිසාත්, මම ඒ නාට්‍යයට ආදරේ නිසාත් ‘ලාන්ස්ලොට්’ හැටියට රඟපාලා ඒ දේශපාලන කල්පනා ලෝකයෙන් මම යම් දෙයක් ලබාගෙන තිබූ නිසාත් තමයි මගේ අතින් මකරා ‘මකරාක්ෂයා’ නමින් නිෂ්පාදනය වුණේ.

ඔබේ මකාරාක්ෂයා සහ හෙන්රි ජයසේනයන්ගේ මකරා ගැන ඔබට පෙනෙන්නේ කොහොමද?

හෙන්රි ජයසේනයන්ගේ මකරා නිෂ්පාදනයේ මම නළුවෙක් වශයෙන් රඟපාපු අවස්ථාවේ දර්ශන වාර 83 ක් ප්‍රදර්ශනය කරන්න හැකි වුණා. නමුත් මම නැවත මකරා වේදිකාවට ගෙනත් දර්ශන වාර 700 ගණනක් දක්වා මනාට්‍ය ඉදිරියට තල්ලු කරන්න හැකියාව ලැබුණා.

වෙනසට හේතුව හැටියට ඔබ දකින්නේ?

මට හිතෙන්නේ මගේ නිෂ්පාදනය වැඩි වැඩියෙන් බලන්න ජනයා පෙළඹුණා. මගේ නිෂ්පාදනය බලලා වරක් හෙන්රි ජයසේනයන්ම මට කිව්වා ‘ධර්මේ මම දේශපාලන කාරණා ඉස්මත්තට ගෙනාවේ නෑ. නමුත් මේ ප්ලේ එක ඇතුළේ ඔයා ඒක ඉස්සරහට ගෙනත් තියෙනවය කියලා. අනිවාර්යයෙන්ම ඒක සිද්ධ වුණාය කියලා මමත් විශ්වාස කරනවා. මොකද ඒ වෙන කොට ‘ඒකා අධිපති’ කරලා මගේ දෙවෙනි නාට්‍ය හැටයටයි මකරා කළේ.

වරක් හෙන්රි ජයසේනයන් අතින් ‘මකරා’ නිර්මාණය වෙලා තියෙද්දිත් ඔබත් නැවත එයම ප්‍රති නිර්මාණය කරන්න හිතුවේ ඇයි?

ඒකට ප්‍රධානම හේතුවක් තමයි ඒ කාලේ යුද්ධය ආරම්භ වීම. මේ නාට්‍යයෙත් මකරයයි, ලාන්ස්ලොට් අතර යුද්ධයක් තියෙනවා.

ඒක කෙලින්ම ජනයා පීඩිතභාවයට පත් කළ මකාරා විනාශ කිරීමේ යුද්ධයක්. මේ නාට්‍ය රුසියාවේ නිර්මාණය වෙන්නේ සදාතනික ධර්මතාවයක් සහිත අවබෝධයක් ජනී ජනයාට ලබාදීමේ අදහසින්.

ඔබ අතින් නිර්මාණය වුණු මකරාක්ෂයාත් මකර කටින් රිංගපු නාට්‍යයක් ?

එක දේශපාලනික නාට්‍යයක් නිසාම පරීක්ෂක මණ්ඩලයේ දැඩි අවධානයට එය ලක් වුණා. මකරාගේ හිස් තුනක් තිබීම ගැන මගෙන් ප්‍රශ්න කළා. නමුත් හෙන්රි ජයසේනයන්ට ප්‍රශ්නයක් වුණේ නෑ ඒක අනුමත කළා. නමුත් හෙන්රි හිතුවා ඔළු තුන හෝ ඔළු හත ගැන සඳහන් කළොත් තුන් හවුල් හා හත් හවුල් ආණ්ඩු ගැන ප්‍රශ්න කරයි කියලා. එදා හෙන්රි මුහුණ නොදී ඔහු උප කල්පනය කරපු හැබෑම ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණේ මටයි.

මම මකරාගේ ඔළු තුන බිම පතිත වන විදිහ නිර්මාණය කළාම පරීක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජිතයෝ සභාපතිතුමාට පැමිණිළි කරලා තිබුණා මැද වැටුණු ඔළුව හිටපු පාලකයාගේ වගේය කියලා.

ඒ කියන්නේ ජේ. ආර්. ජයවර්ධනගේ ඔළුව වගේය කියලා. අපි කිව්වා මෙය ඒ වගේ ප්‍රාථමික ගණයේ, මිනිසුන්ට අපහාස පරිභව කරන්න කලාකාරයෝ සූදානම් වෙන නාට්‍යයක් නෙමේය කියලා. කොහොම වුණත් ඒ අය කිව්වා ඒ ඔළුව වෙනස් කරන්නය කියලා. අපි හවරියක් අලවලා ඒ ඔළුව වෙනස් කළා. ඒ වගේ හාස්‍ය ජනක අත්දැකීම්වලටත් මුහුණ දෙන්න වුණා.

නමුත් අවසානයේ ඇගයීමටත් ලක් වුණා?

ඔව්, 1985 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය ඇතුළු ප්‍රධාන සම්මාන සියල්ලම පාහේ මකරාක්ෂයා නාට්‍යටයි ලැබුණේ. ඒ වගේම එතැන් සිට 1999 දක්වාම අඛණ්ඩව මේ නාට්‍ය රඟ දැක් වුණා.

පරීක්ෂණ මණ්ඩල කඩ ඉමට අමතරව නළු කාර්යයත් විටින් විට මකරාට අභියෝගයක් වුණා?

85 දී ප්‍රධානම රංග භූමිකාව කරමින් හිටිය ස්වර්ණා මල්ලවාරච්චි ගේ ඉවත්වීම රාජ්‍ය නාට්‍ය උළෙලේදී තදින්ම බලපෑවා. ඊට පස්සේ දවස් හතක් වගේ ඉතාමත් කෙටි කාලයක් තුළ රමණී බර්තෝලමියුස් මම වේදිකාවට හඳුන්වලා දුන්නා.

ඇගේ පැමිණීමත් සමඟම නාට්‍ය වේගවත් දීර්ඝ ගමනක යෙදෙන මොහොතකයි ඇය අපෙන් සමු ගත්තේ. ඒ වගේම වින්ස්ටන් සේරසිංහව මම මකරාට තෝරා ගත්තා. ඔහු සමඟ රඟපෑමෙන් මාව හෙන්රි මෙහෙයවීම නිසා මම ලබා ගත් අවබෝධය තරම්ම අවබෝධයක් හා අත්දැකීමක් ලබා ගත්තා. ඔහුත් 1993 විතර වෙද්දී අපෙන් ඉවත් වුණා. ඒ දක්වාම ඔහුගෙන් අති විශාල රංග කාර්යයක් ඉටු වුණා.

‘මකරා’ හෙවත් මකාරක්ෂයා ගැන ඔබට තිබෙන්නේ මොන වගේ් අදහසක්ද?

මේ නාට්‍ය පුංචි දරුවාගේ ඉඳලා මහල්ලා දක්වා හැමෝටම තම තමන්ගේ තරාතිරම් අනුව විවිධ අත්දැකීම් හා අවබෝධය ලබා දෙන නාට්‍යයක්. වඩා නාට්‍යමය සෞන්දර්යාත්මක, දේශපාලනික නාට්‍යයක්. කොටින්ම වෙනස්ම මඟක් ගත් නාට්‍යයක්.

‘මකරා’ කියන්නේ?

කලින් කලට ලෝකයේ ‘මකරා’ නමින් විවිධ රටවල නැගී සිටින බලවේග එහි ජනයා පෙළමින් ඔවුන්ව පීඩාවට පත් කරමින් ඔවුන් මර්ධනය කරමින් නැගී සිටිනවා. මකරා කියන්නේ සංකේතයක් පමණයි. පුද්ගලයෙක් නෙමෙයි. සිස්ටම් එක.

ඒ සිස්ටම් එක වියපත් වීම වෙනුවට ජරාජීර්ණ වීම නිසා ඒ මර්ධන බලවේගයන් ඉතා දරුණු ලෙස නැගී සිටිනවා . මනුෂ්‍යයන්ගේ ලතෝනිය තමයි ඔවුන්ගේ හඬ බවට පත් වෙන්නේ. අන්න එහෙම එන බලවේගයක් විදිහට තමයි මකරාක්ෂයා එළියට එන්නේ.

2010 දී මම මේ නාට්‍ය පෙළ අතට ගන්නේ මේ ළතෝනිය කෙබඳු වූවක්ද කියන කාරණය කොහොමද ජනයාට ඒත්තු ගන්වන්නේ කියන කාරණය ගැන කල්පනා කරලයි. ඒ නිසාම මෙවර මකරාක්ෂයා ආරම්භයේ සිටම නවීන නාට්‍ය ක්‍රමවේදයන් කිහිපයක්ම ප්‍රයෝජනයට ගන්නවා. එක් දෙයක් සඳහන් කරනවා නම් කේමදාසයන්ගේ සංගීතය වෙනුවට මම මෙවර යොදා ගන්නේ ලතෝනිය එහෙමත් නැත්නම් මිනිස් කට හඬ පමණයි.

0 comments:

Post a Comment