රන් ඉර මඬල පායලා
කුරහන් යාය පීදිලා
කිරි බණ්‌ඩි ගොයම සිනා සලනවා
මල් ඔටුණු පළඳවා
කඳු මුදුන් සොය සොයා
සුදු පරවි රෑන් වියන් බඳිනවා
සුබ අනාගතේ සිහින එළිවෙලා
මිණි මුතු අහුරු ගෙනල්ලා
එකමුතු පවුර බඳිනවා
රට අත හැර ගිය කුරුළු කොබෙයියෝ ඇවිදින්...//
ගුණ දම් ශිල්ප සොයන්නා
රළු තල් වැටෙන් ඉගිලිලා
ගිනි අවි අතහැර දකුණට ආ
පුංචි සමනලුන්...
රන් කොත් අහස සිඹින්නා
සියපත් සිරිස නමන්නා
නිදහස වෙනුවෙන් රුහිරු හෙළු
විරුවන් නාමෙන්
මැලිකම් දුරු කරපල්ලා
ඉගිලී යන්න වරෙල්ලා
මේ දෙරණ අපේ නෑ බාධක
සීමා මායිම්...
ඔබ වහන්සේගේ ළමා කාලය සහ දෙමාපියන් ගැන විස්‌තර කරනවා නම්,
මගේ මව කස්‌තුරිගේ ඇලන් නෝනා ගෘහණියක්. අප්පච්චී බටගොඩගේ සිරිසේන. වෘත්තියෙන් මේසන් බාස් කෙනෙක්. මං ඉපදිලා තියෙන්නේ 1982 ජනවාරි 01 දින මොරවක රෝහලේදී.
මූලික අධ්‍යාපනය ලැබුවේ රඹුකන කොඩිකාර ගොඩ කනිටු විදුහලෙන්. 1994 ජන. 27 දුරුතු පෝයදා පැවිදි දිවියට ඇතුළත්ව පිරිවෙන් අධ්‍යාපනය සඳහා මතුගම හොරවල සිද්ධාර්ථ පිරිවෙනටත් පසුව පාදුක්‌ක උඩුමුල්ල විමල ජෝති පිරිවෙනටත් ඇතුළු වුණා. සරසවි අධ්‍යාපනයෙන් අනතුරුව දැනට පාදුක්‌ක පියරතනාරාමයේ වැඩ සිටිනවා.
ඔබ වහන්සේ දේශාභිමානී ගීත නැත්නම් තේමා ගීත විතරද ලියන්නේ.
නෑ මං වැඩිපුර ලියලා තියෙන්නේ ළමා ගීත. ගායනා කරපු ගීත නම් මේ වෙනකොට 35 ක් විතර තියෙනවා. තේමා ගීත ලෙස පාදුක්‌ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාහිත්‍ය තේමා ගීතයත්, උඩගම විදුහලේ තේමාගීතයත් මෙවර නිදහස් උළෙලේ තේමා ගීතයත් හඳුන්වන්න පුළුවන්.
විශාල ගීත ප්‍රමාණයක් තියෙද්දිත් සී. ඩී. තැටියක් නිකුත් නොකරන්නේ ඇයි?
ඇත්තටම දැන් අවුරුදු පහක විතර ඉඳන් සූදානම් වෙනවා. ඒත් ආර්ථික ප්‍රශ්න නිසා ඒ අදහස යටපත් වෙනවා. රුපියල් ලක්‍ෂ 10 ක් 15 ක් වත් නැතුව අද සී. ඩී. පටයක් නිම කරලා එළියට දාන්න බෑ.
ඉදිරියේදී අපට අහන්න ලැබෙන ගීත මොනවාද?
ඉදිරියේදී එඩ්වඩ් ජයකොඩි මහතා සහ හිමාෂ දිසානායක ගයන "බට්‌ටිච්චා" ගීතයත් උෂාවර්ණී මෙන්ඩිස් ගයන "මේ තරමට" කියන ගීත දෙක ළඟදීම රසිකයන්ට අහන්න ලැබේවි.
කලා ලෝකේ මේ තරම් දුරක් එන්න ශක්‌තිය ලැබුණේ කොහොමද?
මේ රටේ තරුණ භික්‍ෂුවකට ලේසියෙන් නොලැබෙන වස්‌තුවක් මට ලැබිලා තියෙනවා. ඒ මගේ ගුරු හාමුදුරුවෝ. රතනසාර විද්‍යාලයේ ආචාර්ය ශාස්‌ත්‍රවේදී කිරිඇල්ලේ දේවානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේගෙන් මගේ කලා කටයුතුවලට වගේම අධ්‍යාපන කටයුතුවලටත් උපරිම නිදහස සහ සහයෝගය ලැබෙනවා.
මෙහිදී රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ මතක් නොකරම බෑ. රාහුල කුමාරයා බුදුහාමුදුරුවන්ගේ අතේ එල්ලිලා ගියා වගේ. සිද්ධාර්ථ හාමුදුරුවෝ මාව කලා ලෝකෙට එක්‌කගෙන ගියා.
කොහොමද? මෙවර නිදහස් උළෙල සහ දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් තේමා ගීතය ලියන්න අවස්‌ථාව උදාවුණේ?
ඇත්තටම ඒක අහඹු සිදුවීමක්. පසුගිය දෙසැම්බර් මාසයේ පාදුක්‌ක සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ පෙර පාසල් උත්සවය තිබුණා. එදා සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම්තුමිය මාලා නන්දනී රාජපක්‍ෂ මහත්මිය මුණ ගැහුණා. ඒ වෙලාවේ පාදුක්‌ක සංස්‌කෘතික මධ්‍යස්‌ථානාධිපති මංජුල මහත්තයා තමයි එතුමියට මාව හඳුන්වලා දුන්නේ. ඊට දින දෙකකට පසු මට අමාත්‍යාංශයෙන් දුරකථන ඇමතුමක් ආවා තිලකසිරි කියල මහත්තයකුගෙන් ලංකාවේ අලුත් පිබිදීම ගැන ගීතයක් ලියන්න කියලා. ඉතිං මං දවස් තුනක් යන කොට ගීතය ලියලා ඉවර කළා. ඒත් මං තාම ඒ මහත්තයා දැකලවත් නෑ.
ඒ කොහොම වුණත් මමත් මම ඉපදුණු මේ රට ගැන අලුත් ප්‍රබෝධයකින් හිටියේ. මොකද යුද්ධය නිමාවෙලා රට අතහැර ගිය අය එන්න පටන් අරගෙන බියක් නැතිව මග තොටේ අපි ඇවිදිනවා. ඉතිං මීට වඩා නිදහසක් වෙන කොහේද තියෙන්නේ.
මං මේ රටට මගේ දෙමවුපියන්ට වගේම ආදරෙයි. ඉතිං ඒ භක්‌තිය, ගෞරවය නිසා වෙන්න ඇති මටත් නොදැනීම හොඳ වචන ටිකක් ලියෑවුණේ. ගීතය සඳහා ජානක ෆොන්සේකා රාජ්‍ය සංගීත කණ්‌ඩායමේ නියමුවා හොඳ සාධාරණයක් ඉටුකර තිබෙනවා. ගායනයත් ඒ වගේම ප්‍රශස්‌ථ මට්‌ටමක තියෙනවා. ගායනයත් රාජ්‍ය සංගීත කණ්‌ඩායමම තමයි කරන්නේ. දැන්නම් මටත් හිතෙනවා මේ ගීතය ලිව්වේ මමමද කියලා.
ධම්මික හේවාවසම්
Source - ඉරිදා දිවයින 2010 - 02 - 07
0 comments:
Post a Comment