----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

සුද්දෙක් ඔබ අමතයි - SEP 01 - Tower Hall

Thursday, August 23, 2012

නාට්‍ය පිළිබඳ ව භරත මුනිවරයාගේ ඉපැරණිම විග්‍රහයට අනුව නාට්‍ය ප්‍රධාන අවස්ථා පහකින් සමන්විත වේ. පේ‍්‍රක්ෂකයාට පෙන්වන නාට්‍යය රඟ දැක්වීමට අවසර ගන්නා නාට්‍ය කරුවා නාට්‍යයේ උච්චතම අවස්ථාවට පත් වීමෙන් පසුවත් තවත් අවස්ථාවකට ගමන් කරයි. ඒ පේ‍්‍රක්ෂකයාට පෙන්වන ඔහුගේ මනස සන්සුන් කොට පේ‍්‍රක්ෂකාගාරයෙන් පිටමන් කිරීමේ අවස්ථාවයි.
අපරදිග නාට්‍යයේ මේ තත්ත්වය ම නැත ද ක්‍රමික විකාශනයකින් යුතු නාට්‍ය ආකෘතිය පවතී. එහෙත් පශ්චාත් නූතන සංකල්පයන්ට අනුව නාට්‍යය සියලු සන්දර්භ රටාවන් ඇතුළු සියලු සම්මතයන්ගෙන් බැහැරව අවස්ථා නිරූපණයකට සීමා වී ඇත. ඒ අනුව ‘සුද්දෙක් කථා කරයි’ නාට්‍යයේ කථා පැවැත්වීම් තුනත් නාට්‍යයක් ලෙස සැලකීමේ වරදක් නැත.
නමට අනුවම සුද්දාගේ කථාව කරන්නට ප්‍රථමයෙන් වේදිකාවට පිවිසෙන්නේ නලින් ප්‍රදීප් උඩුවෙල රංග දරයාය. ඔහු කථාව පැවැත්වීය. එහෙත් කථාවෙන් කී දේ මෙහි සටහන් කිරීමට මතකයේ නැතත් ඔහු හොඳ පේ‍්‍රක්ෂක ප්‍රතිචාරයක් මධ්‍යයේ වරින් වර රංගනයෙන් ද යුතුව තම කථාව පවත්වා කෙළවර කළේය.
දෙවනුව ජයලත් මනෝරත්න රංග වේදියා පැමිණ තවත් කථාවක් කළේය. එම කථාවේ ද කී දේ නොකී දේ මතකයෙන් කිව නොහැකි ය. එහෙත් ඔහු හොඳ ප්‍රසිද්ධ කවි ගී කිහිපයක් ගයමින් රංගනයක් ද සහිතව සිය කථාව කළේය. සැළලිහිණි සන්දේශයේ දස පද සැහැල්ල රසවත් ගීතයක් ලෙසින් ගායනය කළ හැටි විශේෂයෙන් සඳහන් කළ යුතුය. තෙවනුව මාධනී මල්වත්ත සිය කථාව කළේය. ඒ කථාව ද ජනපි‍්‍රය ගීතයෙන් රංගනයෙන් සමන්විත විය. ඇය කථා කළේ සාධාරණත්ව වාදය ගැනය. ඇයට අනුව එය අලුත්ම වාදයකි.
එය අන්තිම කථාව වූ නිසා යම්තමින් මතකයේ ඇත. නාට්‍යය මෙසේ රඟ දක්වන අවස්ථාවේත් ඉන් පසුවත් මෙය නාට්‍යයක් ද යන ප්‍රශ්නය පේ‍්‍රක්ෂකයාට ඇති වූවාට කිසිදු සැකයක් නැත. පෙර කී ලෙස නාට්‍යයක් ආකෘතික වශයෙන් මෙසේ විය යුතු යැයි සම්මතයක් වර්තමානයේ නැත. ඒ අනුව ඕනෑම කෙනකුට, ඕනෑම ආකාරයේ රංගනයක් නීතියට එකඟ නම් නාට්‍යයක් වශයෙන් ඉදිරිපත් කිරීමේ තහනමක් නැත. ඒ අනුව මේ කතා තුනක් නාට්‍යයක් ලෙස එම නාට්‍යවේදියා ඉදිරිපත් කරන්නේ නම් එය භාර ගත යුතු වේ. එම කවි තුළ රංගනය, හාස්සෝත්පාදනය, සමාජ දුර්වලතාවන්ට පහර දීම පේ‍්‍රක්ෂකයාට මොකක් හෝ දෙයක් කීම පමණක් නොව පේ‍්‍රක්ෂකයාට යම් ආශ්වාදයක් ද ලබාදීමට සමත් විය.
රංගනයේ යෙදුණ ශිල්පීන් තිදෙනාම ප්‍රවීණයන් වීම මත පේ‍්‍රක්ෂක ප්‍රතිචාරය ලබාගැනීමට ඔවුන් සමත් විය.
පාරේ තෙල් බෙහෙත් විකුණන මිනිසුන් ද ඒ රැකියාව කරන්නේ ඔවුන් විසින් විකුණනු ලබන තෙල් බෙහෙත් ටික විකුණා ගැනීමට සුදුසු පරිදි කතාවක් කිරීමට ඔවුන් තුළ ඇති දක්ෂතාව නිසාය. එහෙත් මේ රංගධරයන් තිදෙනාම කථාව අවසානයේ පුද්ගලික ප්‍රකාශ තුනක් ද කළේය. එම පුද්ගලික ප්‍රකාශයන්ගෙන් පෙනී ගියේ ඔවුන් කළ දේ පිළිබඳ ව ඔවුන් තුළ ද විශ්වාසයක් නොමැති බව ය.
මේ කථා තුනටම ජනපි‍්‍රය ගීත, කවි, කතා, මාතෘකා, උපයෝගී කරගනු ලැබීය. ඒ නිසා කතා තුන නීරස වූයේත් නැත.
කලා නිර්මාණයකින් කෙරෙන්නේ විඳින්නා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාමකි. නාට්‍යයක තිබිය යුතු සම්මත ආකෘතික රටාව මෙහි නොතිබුණ ද පේ‍්‍රක්ෂකයා එවන් ආනන්දනීය ප්‍රඥාවක් කරා යොමු කිරීමක් හෝ මේ නාට්‍යයෙන් සිදු වුණි නම් මෙය නාට්‍යයක් වශයෙන් භාර ගැනීමේ වරදක් ද නැත.


0 comments:

Post a Comment