----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

“කෝ තාත්තෙ අම්මා?”

Friday, August 10, 2012


දයානන්ද ගුණවර්ධන

දයානන්ද ගුණවර්ධනයන් කලා ලෝකයේ පහළ වූ බොහොම සුන්දර කලාකරුවෙක්. කලාවේ විවිධ ඉසව් ඔස්සේ තම හැකියාවන් ප්‍රකට කළත් නාට්‍ය නිෂ්පාදකයකු ලෙස ඔහු දැක්වූ ප්‍රතිභාව අනෙක් සෑම ක්ෂේත්‍රයකම ඔහුගේ හැකියාවන් අබිබවා ගිය බවයි අපට නම් පෙනෙන්නේ.
ගුණවර්ධනයන් කිසියම් නිර්මාණයක් කිරීමේදී මුළු ලෝකයම අමතක කොට ඊට ආවේශ වීමක් දක්නට ලැබුණා. තම පෞද්ගලික ජීවිතය, එම නිර්මාණය වෙනුවෙන් මුළුමනින් ම කැප කිරීමේ ස්වභාවයක් ඔහුගේ චරිතය තුළ කැපී පෙනුණා. ඒ නිසාම ගුණවර්ධනයන්ට බරපතළ අමතක වීම් සිදුවුණා. ඒ හේතුවෙන් විවිධ අකරතැබ්බයන්ට ඔහු මුහුණ පෑවා.
ගුණවර්ධනයන් දවසක් දා තම බිරියත් සමඟ ලුම්බිණි රඟහලේ පැවැත්වුණු නාට්‍යයක මංගල දර්ශනයකට සහභාගි වුණා. නවක නාට්‍යකරුවකු ගුණවර්ධනයන්ගේ සොඳුරු නවාතැන්පළ වූ සුදර්ශිය වෙත අවුත් බොහොම ගෞරවයෙන් කළ ආරාධනයක් අනුවයි ඔහු තම ගම්පහ නිවෙසේ ඉඳලා මේ නාට්‍යය නරඹන්නට ලුම්බිණි රඟහලට ආවේ. සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් දල්වලා නාට්‍යය ඇරැඹුණා.
ගුණවර්ධන මහත්තයත් පොල් තෙල් පහන් දැල්වීමට සහභාගි වෙලා ඇවිත් තම අසුනේ හරිබරි ගැහිලා නාට්‍යය නරඹන්නට සූදානම් වුණා. නාට්‍යය ඇරඹිලා විනාඩි පහක් පමණ ගෙවුණා. එහි බොහොම නීරස ආරම්භයක් සහ මන්දගාමී ස්වරූපයක් තිබුණේ.
නාට්‍යය අරුත්සුන් ප්‍රලාපයක් නිසා වේලාව ගත කරගන්න හරිම අමාරුයි. ඔහු අසීරුවෙන් වුවත් වේදිකාව මතම දෑස් රඳවා ගත්තා.
විවේකය සඳහා සීනුව නාද වුණාම ඔහු තම අසුනින් නැගිටලා කඩිනමින් ලුම්බිණියේ කොරිඩෝවට පියමං කළා. සෙනඟ අතරින් කොරිඩෝවේ ඈතට පියනැඟුවා. නොදැනුවත්වම ඔහු පැමිණ තිබුණේ ලුම්බිණි අංගනයේ නවත්වා තිබු තම රථය ළඟට. ‘මේකෙ තව මොනවා බලන්න ද?’ තමන්ටම මුමුණාගත් ගුණවර්ධනයන් රථයට පිවිසිලා එය පණ ගන්වා ගෙන පිටත් වුණා.
තමා ඒ වන විට සැලසුම් කරමින් සිටි තම නිර්මාණයක ඉදිරි කටයුතු පිළිබඳ සිතුවිල්ලක පැටලිලා ඔහු ගම්පහ තම නිවෙස බලා ගියා. ගම්පහ තම නිවෙස ඉදිරිපිට රථය නැවැත්වූවාම ඔහුගේ දියණිය එහි හඬට ආලින්දයට ආවා. තනිවම ආලින්දයට ගොඩවන තම පියා දෙස ඈ බැලුවේ විමතියෙන්. ඈ හනික මෝටර් රථය දෙසට කර පෙව්වා.
“කෝ තාත්තෙ අම්මා?” දියණියගේ පැනයෙන් ඔහු ඉද්ද ගැසුවාක් මෙන් නැවතුණා. ඔහුගේ සුරත නළල වෙත දිව ගියේ සැණෙකින්. බලා සිටින්නට බැරි නාට්‍යය අතහැරලා ඔහු ලුම්බිණියෙන් පලා ඇවිත් තිබුණේ ඔහුගේ ආදරණීය බිරිය ලුම්බිණියේ දාලා. ඔහු වහාම තම රථයට ගොඩවෙලා ලුම්බිණිය බලා ඉගිල්ලුණා.
ගුණවර්ධන මහත්තයා වරක් තම බිරියත් සමඟ ඥාතියකුගේ මංගල උත්සවයකට සහභාගි වුණා. මංගල උලෙළ තම ළඟම ඥාතියකුගේ වූ නිසා ඔවුන් කල් වේලා ඇතුව එහි ගියා. ඔවුන් එහි ළඟා වෙද්දි මනාල යුවළගේ ඡායාරූප ගැනීම සිදු කෙරෙමින් තිබුණා.
මනාල යුවළ සමඟ යහළු යෙහෙළියන්, මල් කුමර කුමරියන් ඇතුළත් සමූහ ඡායාරූප රැසක් විවිධ ඉරියව් ඔස්සේ රූපගත කෙරුණා. ඒ අතර සිටි එක් හුරුබුහුටි දැරියක වෙත ගුණවර්ධනයන්ගේ අවධානය නිරායාසයෙන්ම යොමු වුණා. ඈ මනාලියගේ මල් කුමරියක්. ඇගේ සුකුමාල ඉරියව් ඔහු තුළ ලොකු ස්නේහයක් ඉපිද වූවා. ඇගේ ඒ සුන්දර මුහුණින් එක්වරම සිහියට නැඟුණේ තම කුඩා දියණියව. ගුණවර්ධන මහතා තම බිරිය වෙත ළංව, මඳක් ඉදිරියට නැමී, ඇගේ කනට මුව ළංකොට මෙහෙම කිව්වා.
‘අයිරාංගනී, අර ෆ්ලවර් ගර්ල් බලන්ඩකො’ ඔහු අර දැරිය දෙසට ඇඟිල්ල දිගු කරමින් ඇගේ අවධානය ඒ දෙසට යොමු කළා.
‘එයා හරියටම අපේ දුව වගෙ නේද?’ ඔහු තම අනුමානය ඈ වෙත ඉදිරිපත් කළේ ළෙන්ගතු හිනාවකින්. ගුණවර්ධන මහත්මිය දෑස් විසල් කොට තම සැමියා දෙස බැලුවේ ලොකු විමතියකින්.
‘ඉතින් අනේ! ඒ අපෙ දුව නෙ.’ ඇය කිව්වා.

0 comments:

Post a Comment