----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

බල්ලො මාරු වෙලා

Saturday, August 18, 2012


බල්ලොත් එක්ක බෑ ඕස්ට්‍රේලියාවේ පෙන්වද්දී තිරිමාදුරට බල්ලො මාරු වෙලා


මම කලාවට ආදරය කරන්නේ පාසල් කාලයේදීමයි. සංගීතයට තිබුණ ලැදියාව නිසාම මම සංගීතයත් හැදෑරුවා. උසස් පෙළ විභාගයෙන් පසුව සරසවි වරම් ලැබෙන තෙක් ගත කළ සංක්‍රාන්ති සමයේ දී මගේ කලා ජීවිතයට පිවිසීමේ මූලික අඩිතාලම වැටුනේ.
මේ අයුරින් තම අතීතය ආවර්ජනය කළේ නාට්‍ය අධ්‍යක්ෂ රවීන්ද්‍ර ආරියරත්න. මේ දවස්වල ‘බල්ලොත් එක්ක බෑ’ නිසා රවීන්ද්‍ර ටිකක් කාර්යබහුල වෙලා.
මොනවද මේ දවස්වල අලුත්ම විස්තර?
පසුගිය කාලය ටිකක් කාර්යබහුල වුණා. ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යය රැගෙන විදේශ ගත වුණා. සාර්ථක සංචාරයක් නිමා කර පසුගිය සතියේ තමයි මව්බිමට පැමිණියේ.
ඒ ගැන තවත් විස්තර ටිකක් කියමු?
‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යය සමඟින් මාසයක පමණ කාලයක් ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වුණා. එහිදී ෆර්ත්, කැන්බරා, මෙල්බන්, සිඩ්නි, බ්‍රිස්බෙන් නගරවල අපේ නාට්‍යය වේදිකා ගත කළා. ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමය තමයි මෙය සංවිධානය කළේ.
කොහොමද ලැබුණු ප්‍රතිචාර?
ගොඩක් ඉහළ ප්‍රතිචාර ලැබුණා. සෑම දර්ශනයක් සඳහාම බොහෝ අවස්ථාවල මාසයකට පෙර සියලුම ප්‍රවේශ පත් විකිණී අවසන්ව තිබුණා. ඒ නිසා සමහර අවස්ථාවල දී වැඩිපුර දර්ශන වාර පවත්වන්නටත් සිදු වුණා.
ඔබ කියන්නේ ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යයට ලංකාවෙදි වඩා ඕස්ට්‍රේලියාවෙදි ඉහළ ප්‍රතිචාර ලැබුණු බවද?
එහෙම නෙවෙයි. ලංකාවෙදිත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ නාට්‍යය පටන් ගත්තේ 2009 වසරේ දී. මේ වන තෙක්ම වේදිකා ගත වෙන්නෙත් එහි ඇති සාර්ථකත්වය නිසානේ. මේ සමඟ ලාංකේය වේදිකා නාට්‍ය ප්‍රේක්ෂාගාරයේ පිබිදීමක් ඇති වුණා. ඊට වඩා එම රටවල ජනතාව විනෝදයට කැප කිරීමක් කරනවා. ඒවාට ඔවුන්ගේ ආර්ථික තත්ත්වයත් බලපානවා කියලා කියන්න පුළුවන්. ලංකාවේ මේ වනවිට සියයට අසූවක් පමණ ප්‍රදේශවල ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා ගත කළා. ඒ අතර සමහර තැන්වල කිහිපවතාවක් වේදිකා ගත වූ අවස්ථා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්පසු ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යයට හැම අතින්ම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඒක සතුටක්.
ඕස්ට්‍රේලියාවෙදි කලාව පිළිබඳ ලද අලුත් අත්දැකීම් මොනවාද?
අපේ රටේ තාක්ෂණය සමඟ බලද්දි ඕස්ට්‍රේලියාව වැනි රටවල තියෙන්නෙ නවීනතම තාක්ෂණය. අපට ඒ පිළිබඳ අත්දැකීම් ලැබුණා. ඒ අතර සිඩ්නි ඔපෙරා හවුස් නරඹන්නට ගිය ගමන සුවිශේෂීි එකක්. අප එහි යනවිට වේදිකා ගත වෙලා තිබුණේ ලංකාවේ ඉතිහාසය ගැන සඳහන් වාර්තා චිත්‍රපටයක් වූ පර්ල් ෆිෂර්.
මේ ගමනේ දී රසවත් සිදුවීම් එහෙමත් සිදුවන්නට ඇති නේද?
අපි එහි දී උදේට ව්‍යායාම් සඳහා ඇවිදින්න ගියා. කුමාර තිරිමාදුර නම් උදේට ඇවිදින්න ටිකක් කම්මැලියි. ඒත් එක දවසක් අපටත් කලින් නැගිටලා සූදානම් වෙලා. අපි ඉතින් ඇවිදින්න ගියා. එහෙ හරිම ලස්සනයි. ඒවගේම හැම පාරක්ම එකවගේ. කුමාර බංකුවක් ළඟට ඇවිත් කිව්වා ඔයාලා ඇවිදලා එනකම් මම මෙතන ඉන්නම් කියලා. එයා ඇවිත් තියෙන්නේ ඇවිදින්න නෙවෙයි. සිගරට් එකක් බොන්න. අපි ඇවිදලා එනකොට කුමාර එතන නැහැ.
අපි හිතුවා යන්න ඇති කියලා. ඒත් ඉතිං පාර හොයාගෙන ගියාද කියලත් ප්‍රශ්නයක්. අපි නැවතිලා හිටපු ගෙදරට යනකොට කුමාර ඉන්නවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් වෙලා. අපි නැවතිලා ඉන්න ගෙදර බල්ලෙක් හිටියා. ඌ අපි එක්ක එකතුයි. එහේ ගෙවලුත් එකවගේ නිසා කුමාර ගෙවල් දිහා බලාගෙන එනකොට බල්ලා දැකලා මේක තමයි ගේ කියලා. එනකොටම බල්ලා බුරලා. කුමාර ගණන් ගන්නෙ නැතුව බල්ලා හුරතල් කරන්න හදනකොට ඉස්සරහා ගෙදර කාන්තාව ඇවිත් කිව්වලු ඔයාලා ඉන්න ගෙදර ඕක නෙවෙයි එහා පැත්තෙ ගෙදර කියලා. ප්‍රශ්නෙ තමයි ගෙවල් දෙකේ බල්ලොත් එක වගේ. ඒකයි කුමාරට ගේ මාරුවෙලා තියෙන්නේ.
ඕස්ට්‍රේලියානු සංචාරයේ නිමාවත් සමග තවත් සංචාර යෙදිලා තියෙනවද?
ඉදිරියේ දී අමෙරිකා එක්සත් ජනපදයේ දී ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා ගත වේවි.
ඔබට දැනෙන පරිදි වේදිකා නාට්‍ය නිර්මාණය දුෂ්කර කාර්යයක් වෙලා තියෙනවද?
වේදිකා නාට්‍යයක් ලෙහෙසියෙන්ම නිර්මාණය කරන්න පුළුවන්. ඒත් පවත්වාගෙන යන්න අමාරුයි. ටෙලි නාට්‍ය වගේ නෙවෙයි.ටෙලි නාට්‍ය රූගත කරලා සංස්කරණයෙන් පසුව විකාශය කරන්න පුළුවන්. ඒත් වේදිකා නාට්‍ය එහෙම බෑ. ඒක හැම විටම සජීවියි. ඒ නිසා නළු නිළියන්, සංවිධායකයන් හැම දර්ශන වාරයකටම ඉන්න ඕන. වේදිකා නාට්‍යවලට සහභාගි වන ශිල්පීන් බොහොමයක් වෙනත් රැකියා සමඟින් තමයි මේ සඳහා දායක වන්නේ. ඒ නිසා වේදිකා නාට්‍ය කාලයක් තිස්සේ ඉදිරියට පවත්වාගෙන යාම අපහසුයි.
මෙවැනි හේතූන් මත වේදිකා නාට්‍ය කර්මාන්තය කඩාවැටිලා කියලා ඔබ හිතනවා ද?
වේදිකාවේ අය ලෙහෙසියෙන් කඩා වැටෙන අය නෙවෙයි. ඔවුන් හරිම ශක්තිමත්. ඒ නිසා වේදිකා නාට්‍ය කඩා වැටෙනවා කියලා මම හිතන්නේ නැහැ. මේ කාලෙ හොඳ නිර්මාණ බිහි වෙනවා වගේම වේදිකාවෙන් පැමිණි අය තමයි සිනමාවේ වගේම පුංචි තිරයෙත් පෙළහර පාන්නේ. වේදිකා නාට්‍ය තුළින් මිනිසකුට හොඳ පන්නරයක් ලැබෙනවා. ඒ මගින් ඕනම අභියෝගයක් ජය ගන්නට නාට්‍යකරු සමත්.
ඔබගේ වේදිකා නාට්‍යවලට වෙන් වූ විශේෂ දැක්මක් තියෙනවද?
පැහැදිලි දැක්මක් තියෙනවා. එය දේශපාලන හෝ සමාජ වැනි විවිධාකාර විය හැකියි. නමුත් මම ඒවා ආකෘතිගත කරන්නේ නැහැ. පිටපත ලියලා අවසානයේ දි තමයි ඒ ගැන බලන්නේ.
රවීන්ද්‍ර ඔබ රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍යවලින් ඉවත් වුණා ද?
ඉවත්වෙලා නැහැ. ගොඩක් නාට්‍ය දැන් වේදිකා ගත වෙන්නේ නැහැ. මම මුලින්ම රඟපෑවේ ‘පාදඩ අසපුව‘ වේදිකා නාට්‍යයේ. ඊට අමතරව ‘සුබ සහ යස, කපුටු බෝ, ආයෙත් එන්න, අහසින් වැටුණු මිනිස්සු, කපුවා කපෝති’ ඒ අතර විශේෂයි.ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට කෙරෙහි යොමු වෙන්න අදහසක් නැද්ද? මේ දෙකම පිළිබඳ හදාරණවා. දැන් තියෙන ක්‍රමවේදයට අනුව ටෙලි නාට්‍ය ගැන නම් පැහැදීමක් නැහැ. මම බලන්නෙත් නැහැ. චිත්‍රපට සම්බන්ධව නම් ඉදිරිය දැන්ම කියන්න බැහැ.

 

0 comments:

Post a Comment