----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

මාලක දේවප‍්‍රියගේ ”නිහොන් සැප ලැබේවා”

Thursday, August 23, 2012



රේඩියෝ නාට්‍යයක කථා වස්තුව තර්කානුකූල සිහි බුද්ධියට අනුව ශ‍්‍රාවකයා විසින් පසක් කර ගනු ලැබෙනවා. කිසියම් සංඛ්‍යාතයක් හා ස්ථානීය පරිසරයක්ද ඊට ඇතුළත්. තේමාව, චරිත, කථා වස්තුව හා පරිසරය, ගැටලූව විසඳීමට ගන්නා පියවරවල්ද, ඒ නිසා මතුවන ගැටුම්කාරී ස්වභාවයද අවසානයේ දී ගැටලූව නිරාකරණය වන ආකාරයද රේඩියෝ නාට්‍ය කලාව තුළ දැකිය හැකියි. එහෙත් මෙකී රාමුවලට හසු නොවන ආකෘතිද රේඩියෝ නාට්‍ය හදන අය විසින් නිර්මාණය කෙරෙනවා. මෙවැනි කථා වලින් රේඩියෝ නාට්‍යයක දැකිය හැකි සුලභ ආකෘතිය මග හැරීයාම සුවිශේෂ දෙයක්. විවිධ චරිත වේදිකාව මත සිටින නළුවන් සේ නොපෙනුණත් රේඩියෝ නාට්‍ය සන්දර්භය තුළ සවන් දීම පාදක වන බැවින් චරිත දෘශ්‍යමානව පෙනී සිටීමට සැලැස්වීමේ අභියෝගය ජය ගැනීමට නාට්‍ය රචකයාට ඉඩ කඩ ඇති වෙනවා.
රේඩියෝ නාට්‍යයක්  ඕනෑම ශෛලියකින් ඉදිරිපත් කරන්න හැකියාව තිබුණත් කතාවෙන් ඉදිරිපත් කරන අර්ථයට හානියක් නොවන පරිදි නාට්‍යය නිපදවන එක තමයි අභියෝගය. රේඩියෝ නාට්‍යයක දක්නට ලැබෙන වින්දනාත්මක පරිසරය ඇතුළේ විවිධාකාර රස මතුවෙනවා. හාස්‍ය රසය ඉන් ප‍්‍රධාන එකක්. මෙම ‘නිහොන් සැප ලැබේවා’ කෘතියේ එන ‘භෂ්මාන්තර’ නාට්‍යය ප‍්‍රධාන චරිතය පමණක් ඉස්මතු කරන ආකාරයේ නාට්‍යයක්. හේතුව එහි කතා නායකයාමයි නාට්‍යයේ ඉදිරියේ සිදුවෙන දේවල් හෙළි කරන්නේ. ප‍්‍රධාන තේමාව ගැන පවා අදහස් මතුවන්නේ ඔහු දකින ආකාරයටයි. අසන්නාගේ ආකර්ෂණය ඔහුට තිබෙන හින්දා ඔහුට සිදුවෙනවා ශ‍්‍රාවකයාගේ   හැ`ගීම් උද්දීපනය කරන්නත්, කල්පනා ලෝකය පළල් කරන්නත්. මේ නිසා තනි චරිතයක් වටා කතාව ගලා යන ‘භෂ්මාන්තර’ වැනි නාටයයක් නිර්මාණය කිරීම සැහැල්ලූ කාර්යයක් වෙන්න බැහැ.
”සුවදෙන අග්නි” නාට්‍යයට ගිනිකන්දක් පිපිරීමක් නිසා තමන්ගේ දේශය අතහැර යනවාද? නැද්ද යන ගැටලූව  පාදක වෙනවා. ඇත්තටම එවැන්නකට කෙනෙක් මුහුණ දීමෙන් ලබන අත්දැකීම කලාකෘතියකට ඇතුළත් කිරීම වඩා අසීරු කාරණයක්. ඒ හරහා සාහිත්‍යමය වටිනාකමක් ඇතිවෙන්නේ නාට්‍යකරු අත්විඳින සමාජ විකෘතීන් මනාව විවිධ චරිත ඔස්සේ පිිළිබිඹු කිරීමයි. මෙහිදී කර්කෂ සමාජ විවරණයක් දක්නට ලැබෙනවා. සමාජය පිළිබඳ ඇත්ත වසන් කිරීමට එරෙහිව අර්ථකථනයක් ගෙන දෙන නාට්‍යානුරූපී කලා කෘතියක් ලෙස සුවදෙන අග්නි මෙහිදී වඩා සැලකිල්ලට භාජනය වෙනවා. මේ වගේ කෘති ඛේදනීය ප‍්‍රහසනයක් ලෙසයි ටොම් ස්ටොපාඞ් නමැති විකාර රූපී නාට්‍යකරුවා පවසන්නේ. කථාවස්තුවේ දක්නට ලැබෙන ගිනිකන්ද පිපිරීම ඛේදනීය සිද්ධියක්. ඒ එක්කම සමාජ අර්බුදයන් කුඩා තේමාවන් හැටියට ඉදිරිපත් කිරීමෙන් ප‍්‍රධාන සිද්ධිය හා උද්ගතවන සමාජ අර්බූදයන් සමාජ සංඝටනය ආකාරයෙන් අසන්නාට හිතන්න උනන්දු කිරීම හාස්‍යොත්පාදක බවක් දනවනවා. ඇතැම් ප‍්‍රතිවිරෝධතාවන් ඉදිරිපත් වෙන්නේ හැංගි හැංගි සතුරාට පහර දෙන ගරිල්ලා භටයෙක් ආකාරයටයි.
”තරුවන් සරණයි” නාට්‍ය රචනය වර්තමාන සමාජයේ සුපිරි තාරකාවන් රැුල්ල කෙරෙහි සමාජ විවරණයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ඔද්දල් වූ තරුණ ජවය සිවිල් බලධාරින් අතරට ගැනීම හා ඒ නිසා ඉලෙක්ට්‍රෝනික මාධ්‍ය මුදලාලිලාගේ ආශාවන් පිනවීම කෙරෙහි රසික ජනයාගේ අවධානය යොමුකිරීම මෙහි ඉලක්කය වෙන්න පුළුවන්. අසන්නාට පහසුවෙන් තේරුම් ගන්න හා විඳින්න පුළුවන් විධියට සමකාලීන භාෂා ප‍්‍රයෝගද සත්‍ය නම් ගම්ද භාවිතා කොට තිබෙනවා. කිසියම් අවස්ථාවක් තෝරා ගෙන නරුම දේශපාලන වුවමනාවන් හා හරසුන් මාධ්‍ය හසුරුවන්නන් අතර පවත්නා බලූපොරය හාස්‍යජනක අයුරින් ඉදිරිපත් කිරීමක් තමයි මතු වෙනවා. ”තරුවන් සරණයි” නාට්‍යයේ එන ඇතැම් චරිත යුනිෆෝම් (Uniform Characters)   ඒවායි. ඒඞ්ස් රෝගය, ඩෙංගු රෝගය වැනි අභෞතික වස්තූන් (Abstract objects)  අපි එදිනෙදා දකින කරන චරිත විධියට හඳුන්වා දීම, එම නාට්‍යයේ සුවිශේෂත්වයට බෙහෙවින්ම උදව් කරනවා.


”නිහොන් සැප ලැබේවා” නාට්‍යය තුළ රේඩියෝ නාට්‍යයක පොදු මූලධර්ම බොහෝ දුරට භාවිතා වී තිබෙනවා. නාට්‍ය පෙළෙහි ආරම්භය කිසියම් කථාන්තරයක කුළුගැන්වෙන තැනක් සනිටුහන් කරනවා. කතාවේ බොහෝ දේවල් නාට්‍යය ආරම්භ කරන්නට පෙර සිදුවී තිබෙන බවත්, ඊළඟට කතාන්තරය නාට්‍යයක් විධියට දිග හරින්න  ඕන කොතනින්ද යන්නත්, මනාව පැහැදිළියි. ජපානයේ දුම්රියක ගමන් කරන ලාංකිකයන් දෙදෙනා මුහුණපාන ගැටලූව හා බැඳුණු සියලූ සමාජ දේශපාලනික හා සංස්කෘතික කාරණාවල් ඒ ඔස්සේ නිදහස් කිරීමට හොඳ මාවතක් එතැනදී උදා වෙන අතර රේඩියෝ නාට්‍යකරුට කතාවේ හේතු ඵල සම්බන්ධය ගොඩ නැගීමට පදනම් වටපිටාවන් ද මතු වෙනවා. අප අවට ලෝකය කොතරම් තාක්ෂණික ජයග‍්‍රහණවලින් හා දර්ශන ශාස්ත‍්‍රවලින් මෙන්ම ආගම් ධර්මවලින් දියුණුවී ඇතැයි කොතෙක් පුරසාරම් දෙඩුවත් ”රාජ්‍යය” යන සංකල්පය ඇතුළේ තවමත් මිනිසා වහලෙක් විලසින් කොටුවී සිටිනවාද යන්න ”නිහොන් සැප ලැබේවා” නාට්‍යයෙන් අපට හිතන්න බල කරනවා. අද සිවිල් වැසියන් ලංකාව හැර ජපානය, ඉතාලිය හා මැද පෙරදිග වැනි රටවලට නීත්‍යානුකූලව හා නීතිවිරෝධීව ගමන් කරනවා. එතැනදී ඔවුන්ගේ අනන්‍යතාව නිශ්චය කෙරෙන්නේ කෙලෙසදැයි යන්න තවම නො විසඳුණු දේවල්.
ඇන්ටන් චෙකොව් කියන්නේ ‘‘ජීවිතය තේමා කරගත් කිසිම කථාවකට මුලක් නෑ’’ කියලා. ඔහුගේ හැම කතා වස්තුවක්ම ජීවිතයෙන් කපා ගත්ත පෙත්තක්. ඒක හරියට කිසිම විසඳුමකින් තොර ගැටලූවක තීරණාත්මක අවස්ථාවක් හැටියටයි ඔහු දකින්නේ. මාලක දේවප‍්‍රියගේ මේ රේඩියෝ නාට්‍යයේ සංග‍්‍රහයේ ”ආලයක දමනය”ද එවැනි නාට්‍ය සේයාවක් පිළිබිඹු කරනවා. වරෙක මනමේ කතාවේ වැද්දා සහ මනමේ කුමරිය අතර සංවාදයේ දී ස්ත‍්‍රිය චපලද නැද්ද කියන කථාවද සිහිගන්වන ඇතැම් දෙබස් පාඨවලින් භාවමය වටපිටාවක් මේ නාට්‍යයේදී දක්නට ලැබෙනවා. අහිංසක හා සුජාතා අතර සර්පිලාකාරව ගොඩ නැගෙන සංවාදය සානුකම්පිත හාස්‍යය හා රොමැන්ටික් සල්ලාපයකින් උද්දීපනය වන්නාවූ උද්වේගකාර නාට්‍යමය පරිසරයක්. දෙදෙනාම වැරදි නිගමනයන් තුළ හිරවී ඉන් ගොඩ ඒමට බැරිව ජීවිතය බදා ගැනීමටත්, වරෙක ඉන් පලා යාමටත් තැත් දරනවා. මිනිසා ශාරීරිකව මෙන් මනසින්ද රමණයේ යෙදෙන අතරේ ඒ නිසා පඹ ගාලක පැටලිලා පැටලූම් ලිහන්න මාන බැලීම කොයි තරම් හාස්‍යජනකද? රති කෙළිය ගැන ප‍්‍රශ්න කිරීමට තරම් ලෝකය තවම සූදානම් වන්නේ තිරිසනුන්ටත් වඩා පහත් මට්ටමකට මිනිසා ඇද වැටී ඇති නිසාද? ස්ත‍්‍රිය සමග නිදාගත් පුරුෂයන් ගණන ගැන ප‍්‍රශ්න කරන අහිංසක වැනි චරිත, එමෙන්ම මිනිසුන් දහස් ගණන් හිත් පිත් නැතිව මරා දමාපු මිනිසෙකුට අනුකම්පා කරන ස්ත‍්‍රිය විකාර රූපී රංග කලාවේ නාට්‍ය දර්ශනයන් මෙනෙහි කරවන්නක්. දෙදෙනාම අසන්නා ගේ නාට්‍යමය අනුකම්පාව උදුරා ගැනීමට වෙර දරනවා. සිවිල් සමාජයේ නීති රීති ආගම් දර්ශනවලින් කොටුවී සිටින අසන්නාට මේක මහ සීරියස් දෙයක් වුණාට නගරයේ හුදකලා තැනක ලැප්ටොප් එකක් උකුළේ් හොවාගෙන රති කෙළියක යෙදෙන දර්ශන දැක දැක මනසින් රති සැප විඳින බහුතරයක් මෙම රසිකයන් අතරේ නැද්ද? ආගම් දර්ශන හා සංස්කෘතික සීමාවලින් හිරවී හිරබත් කන අය කියන ඊනියා ශිලාචාර ගුණ දහම් දෙසාබාන සත්පුරුෂයෝ, කුහකයෝ නොවේ යයි කියන්න පුළුවන් කාටද?
ප‍්‍රබන්ධකරණය නමැති ගෙට හුඟාක් ජනේල තියෙනවා. ඒ උනත් ඒකට තියෙන්නේ දොරවල් නම් දෙකයි. එහෙම නැත්නම් දොරවල් තුනයි. කතාන්තරයක් කියන්නට කෙනෙක් උත්සාහ කරන්නේ එක්කෝ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් හෝ එසේත් නැත්තම් අන්‍ය පුරුෂ දෘෂ්ටි කෝණය භාවිතයට ගන්නවා. ”මනවිදමන” නාට්‍යයේ පෙළ කියවන විට ප‍්‍රධාන චරිතය මෙම දෘෂ්ටි කෝණ දෙක එකිනෙකට හුවමාරු කරගෙන චරිතය, කතාවේ තේමාව, කතා වස්තුව හා වස්තු පරිසරයට එළිදරව් කිරීමට ඉමහත් පරිශ‍්‍රමයක යෙදෙනවා. මෙවන් ආකාරයේ කථනයන් හරිම දුර්ලභයි. ඒත් සියලූ සාහිත්‍යමය මූලධර්ම හඳුනා ගෙන සිටින සාහිත්‍යකාරයෙකුට මෙවැනි ආඛ්‍යාන රීතින් මැනවින් මෙල්ල කරගැනීමට හැකියාව තිබෙනවා. ”කැල්” නමැති තරුණයා අධිවේගී දුම්රියක් ඇතුළේ තම පුරුෂාධිපති බලය ”ඩාමේ” නම්වූ කාන්තාව ඉදිරියේ මුදා හරින්නේ ඉහත කී සාහිත්‍ය මෙවලම් මනාව පාලනය  කරගෙනයි. කතාන්තරයක් දිගට හරහට දිග ඇරියත් එකේ යම් යම් සීමාවන් ස්වයංවාරණයන් ඔස්සේ කිරීමයි නුවණට හුරුවන්නේ. ස්ත‍්‍රීය ඝාතනය කිරීමට පවා පෙළඹෙන පුරුෂයා කොතරම් ආක‍්‍රමණශීලී වුවත් ගැරඬියෙක් වගේ ආපස්සට හැකිලෙන බොළඳයෙක් බවට පත්වෙන්නේ සිග්මන් ෆ්‍රොයිඞ්ගේ මනෝ විශ්ලේෂණයන්හි ගැතිව තිබෙන ලිංගිකත්වයේ උත්කර්ෂණය විවිධාකාර හැකියාවන්ට පරිවර්තනය වන සිද්ධාන්තය පවා සිහිගන්වමින්. ලිංගික කාර්යයෙහි නියැළෙන්නෙකුට බොහෝ දුරට තම රාගික දැහැන තුළ ඔටුනු පළඳින්ට පුළුවන්කමක් නැහැ. තෘප්තිය සිඳී යද්දී ඔහු කොන්ද නැති කෝඳුරු මිනිසෙක් බවට පරිවර්තනය වෙනවා. ඩාමේ සමග නිදාගන්න පතන හේ ජාත්‍යන්තරවාදියෙක් වෙන්නට තරම් භාෂාන්තර දැනීමක් ඇති අයකු මෙන්ම උපාධිය දක්වා ඉහළින් සිප් සතර හදාරා ඇති අයෙක් වුවද ”ඩාමේ” වැළඳ ගැනීමට ඒ කිසිම විෂය දැනුමක් ඔහුටු අනුබලයක් හෝ සහයෝගයක් දක්වන්නේ නැහැ. තට්ටෙයි, බඩයි තිබෙන විධායක ශ්‍රේණියේ ඇතැම් පරිපාලන නිලධාරීන් පවා තම බිරිඳ ගෙදර සිටියදී අන්‍ය අ`ගනුත් සොයා කාර්යාලයීය වෙලාවෙන් පසු වැඩට බසින්නේ ඇයි?  ඇන්ටන් චෙකොෆ්ගේ න්‍යාය අනුව බලන විට විසඳුමකින් තොරව අවසන් වෙන ගැටුම්කාරී නාට්‍යමය අවස්ථාවකින් කතාන්තරයේ පෙළද නතර වෙනවා. තාත්වික හා අතාත්වික සම්ප‍්‍රදායන් අතරමැද කැපීපෙනෙන වෙනස පමණයි අසන්නා ග‍්‍රහණය කරගන්නේ. කලාකෘතියක් වඩා සාර්ථකයි කියලා හිතෙන්නේ සාහිත්‍යකාරයාගේ පුද්ගලික ආකල්ප සොයා ගන්නට බැරි තරමට හැංගිලා තිබුණොත් පමණයි. එංගල්ස් 1888 දී ඉංග‍්‍රීසි නවකථාකාරි මාග‍්‍රට් හාර්ක්නස්ට සමාජවාදී සමාජයක් ගැන කිසිදු වචනයක් සඳහන් නොකිරීම ඇගේ වරදක් හැටියට ඔහු දකින්නේ නෑ. කලාව සහ ප‍්‍රචාරකවාදය අතර වෙනස මාර්ක්ස් මෙන්ම එංගල්ස්ද දැඩිව අවධාරණය කරනවා. ලේඛකයා ඇතුළත්ව සිටින සමාජ පංතිය සහ ඔවුන් ඇලූම් කරන දේශපාලන ධර්ම කෙරෙහි දැඩි විමසිල්ලෙන් පසුවීම මාක්ස්වාදී සාහිත්‍ය විචාරයේ අනිවාර්ය ලක්ෂණයක්.

”නව නළු දහම” මිනිස් සංහතිය පුරාම දක්නට ලැබන සූරාකෑමට එරෙහිව සටන් පාඨයක් වගෙයි පේන්නේ. එක් මානව කොට්ඨාසයක් තවත් මානව කොට්ඨාසයක් වෙත බලය යොදා අනුන්ගේ අයිතියට අත පෙවීමත්  නොවිසඳුණු ගැටුම අතීරණාත්මක අවස්ථාවක් කරා පැමිණීම හා නො විසඳුණ ගැටලූවක් ලෙස අවසාන කිරීම කතුවරයාගේ ජීවන දැක්ම මැනවින් පිළිිබිඹු කරන්නක්. කූට ජාවාරම්කාරයන්ගේ තත්ත්වයට අද මාධ්‍ය බලවතුන් ගොදුරු වීම හා ඔවුන්ට අත්වන ඉරණම කියා පාන මෙම නාට්‍යය සමාජ ප‍්‍රගතිය අපේක්ෂා කරන්නන්ගේ් ආශිර්වාදය හිමිවන නිර්මාණයක් හැටියට පෙන්වන්න පුළුවන්. පාරම්පරික කලා සම්ප‍්‍රදායයන් නවීන මාර්කටින් වියරුව විසින් ගිල ගැනීම කිසිසේත්ම සමාජ ප‍්‍රගතිශීලීන් අනුමත කරන දෙයක් නෙවෙයි. රූකඩ කලාව මත යැපෙන අහිංසක ශ‍්‍රමය තම ධනවාදී ආශාවන් මුදුන් පත් කරගන්න මාන බලන පිරිස් කෙරෙහි අවධානය යොමු කරවීම හා ඒ වෙනුවෙන් ජනතාව වීදි බැස්සවීමට තරම් ප‍්‍රබල තේමාවක් වෙනවා.
”රෝම රූපන” නාට්‍යය ප‍්‍රහසන (farce)  වර්ගයට ඇතුළත් රේඩියෝ නාට්‍යයක් හැටියට සලකන්න පුළුවන්. රංග සම්ප‍්‍රදායයන් තුළ ප‍්‍රහසන යනු සිදුවෙන්න බැරි දේවල් හා  ඕනෑවට වඩා අතිශයෝක්ති බහුල පේ‍්‍රක්ෂකයා හෝ අසන්නා සිනා රසයේ ගිල්වන නාට්‍ය විශේෂයක්. වැරදි වැටහීම් සහ වසන් කෙරෙන උපක‍්‍රම, වචන හරඹ, ඉල ඇදෙන විහිළු තහළු මෙම නාට්‍ය අංගයට ඇතුළත් වෙනවා. හනි හනික පියවර තැබීමේ රිද්මය ඇතිව සිද්ධියෙන් සිද්ධිය ඉදිරියට තල්ලූ වෙනවා. පසු පස හඹා යන්නා සේ ගමන් කරන සිද්ධි පෙළ කූටප‍්‍රාප්තිය කරා එළඹෙන්නේ විස්මය උපදවන නිමාවක් ඇති කරමින්. කිසියම් අර්බුදකාරී වටපිටාවක් ඇතුළේ ක්ෂණික සිනා උපදවන හාස්‍ය කෑලි (Twist)   බොහෝමයක් පටලවා ගෙනයි ප‍්‍රහසනය ගලා යන්නේ. රසිකයා පොළඹවන්නේ කථා රසය පස්සෙන් යාමටම නොවේ. එක පිට එක තොරතුරු වැඩි වීමෙන් වළක්වා ගැනීමටද ප‍්‍රහසන රචකයා වගබලා ගතයුතු වෙනවා. බාහිර විනෝදය ඉලක්ක කර ගැනීම නිසා ගැඹුරු රස වින්දනය මේ කලාංගය තුළ දකින්න බැහැ. හිතාමතාම භාවිත කරන විකාර රූප රංග ලක්ෂණ මෙම නාට්‍යවල කැපී පේන දෙයක්. ”රෝම රූපන” නාට්‍යයේ මෙකී නියමයන් අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. එහෙත් වේදිකාවේදී නළුවෙකුගෙන් ප‍්‍රක්ෂේපණය නොවන දේවල් රේඩියෝ නාට්‍ය ශිල්පියෙකුගෙන් ඉෂ්ට වන්නට ඇති ඉඩකඩ වැඩි බැවින් අසන්නන්ට තම වින්දනය පෝෂණය කරගැනීමට (Sustaining) ඇති තරම් ඉඩ කඩ තිබීම එක්තරා සුවිශේෂි ගුණයක්.
මෙම රේඩියෝ නාට්‍ය සංග‍්‍රහයේ දැක්වෙන ”නිරාභිෂේකන”, වර්තමාන සමාජයේ දක්නට ලැබන තම වෘත්තීය වැදගත්කම වෙනුවෙන් පෙනී සිටින ගෞරව නාමයන් පිළිබඳ පවතින ආන්දෝලනාත්මක සමාජ ප‍්‍රපංචයක් කෙරෙහි අවධානය යොමු කරනවා. අසාධාරණය වෙනුවෙන් නැගී සිටින අය පවා ප‍්‍රතිවිප්ලවීය කොටස් බවට පත් වීම නිසා තත්වය පාලකයාටම වාසිදායි විධියට සකස්වීම හාස්‍ය ජනකයි. මෙවැනි සමාජ අර්බුදයන් අසන්නන් සඳහා රේඩියෝ නාට්‍ය ලෙස හඳුන්වාදීම අලූත් දෙයක්. එහෙත් යථාර්තය නම් ”කලාවට ආණ්ඩු පෙරළන්න බැහැ” කියන සැබෑ අත්දැකීමයි. ප‍්‍රීතිමත් සහ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මිනිසුන් එකට එකතු වී පිහිටුවා ගත් සංවිධානය රාජ්‍යය වේ යන්න ඇරිස්ටෝටල් දැක්වූ පරමාදර්ශි මතය අද සමාජයේ ප‍්‍රශ්න කිරීමට ලක්වී තිබෙනවා. නූගතා උගතා හඳුනාගන්න බැරි තරමට සමාජය ඔද්දල් වෙලා. ඒ නිසා සමාජය විකෘති අර්ථ දැක්වීම්වලට ගොදුරු වෙලා. පරමාදර්ශි සමාජ රටාවකට පෙරගමන් කරුවන් වන උදවියට අද සමාජය පෙරළා පහර දීමට තරම් උරණ වෙලා. හිට්ලර්ගේ නාසි හමුදාවට හසු වූ ප‍්‍රංශ කවියකුවන රෙබෙර් දෙස්තේ යුදෙව්වකු යයි සැක කොට 1945 ජූනි 8 දින වධකාගාරයට සිරකර තබා ගෑස් යොදවා මරා දමනු ලැබුවා. ඔහු විසින් තම බිරියට ලියූ අවසාන කවිය මෙහෙමයි.

ඒ සා ශක්තියකින්
මම දුටුවෙමි ඔබ සිහිනෙන්
මම බොහෝ ඇවිද්දෙමි
බොහෝ කතා කළෙමි
ඔබ සෙවණැල්ලට තරම්, ආදරේ
නමුත්
ඔබ හෝ ඔබ කිසිවක් මා සතු නැත.
ඉතිරිව ඇත සෙවණැලි අතරේ සෙවණැල්ලක්
සිය ගුණයක අඳුරේ අඳුරක් වීමට
නැවත නැවත එන ඔබ ජීවිත හිරු එළියේ
අඳුරේ අඳුරක් වීමට
මෙසේ අති දුක්ඛදායක ඉරණමකට ගොදුරුවූ ලොවට වැඩදායක බුද්ධිමතුන්ගේ පිරිස සුළුපටු නොවීය. පරිත්‍යාගශීලීන් පවතින සමාජයට හතුරෙක් කිරීමට තරම් රාජ්‍ය යන්ත‍්‍රය අද ශක්තිමත් යැයි හැෙඟන්නේ              ”නිරාභිෂේකන” නාට්‍යයේ  ”මනුම්‍ය” මරණාසන්න මොහොතේ කරන ප‍්‍රකාශයට සවන් දෙන අසන්නා තුළයි.
මනුම්‍ය- මට හරිම සංතෝෂයි. මට හොඳට ඇහෙනවා උඹලගේ මනස. මාව බලන්න පැමිණීම සම්බන්ධයෙන් බොහෝම ස්තූතියි. කොහොමද ආචාර්ය ඉන්ද්‍රජාත සෙනෙවිරත්න. මට හරිම සන්තෝෂයි කාලෙකට පස්සේ හැමෝම එකම තැනකදි මුණ ගැහෙන්න ලැබිච්ච එක. ඔව් ඊළඟට මගේ හිස අහිමි වුණත්, මං මගේ සටන අතහරින්නෙ නැහැ. මොකද හැමෝම නිහඬ. මට ඇහෙන්නේ සේලයින් බිංදු වැටෙන හඬ විතරයි. ම්  මොකද මේ මං දිහා ගල් පිළිම වගේ බලාගෙන ඉන්නේ? දැන්වත් මට සහයෝගය දීපල්ලා, දැන්වත් මට සහයෝගය දීපල්ලා....
මෙතැන දි අසන්නාට දැනෙන්නේ අසාධාරණයට එරෙහිව සටන් වදින්නාට අත්වන ඉරණමයි. බෞද්ධාගමික පරිසරයක් තුළ ස්ථාපිතව පවතින සමාජයක ”මේ තමයි සංසාරෙ හැටි” යන අර්ථකථනය තුළ හිරවෙනවා. ඊළඟට ජීවිත පරිත්‍යාග කළ පුද්ගලයාගේ වීරත්වය ගැන ටික කලක් මෙනෙහි කරලා වැඬේ අතැරල දානවා. ඇල්බෙයා කැමු නැමැති ප‍්‍රංස සාන්දෘෂ්ටිකවාදී ලේඛකයා වැඬේ අතට ගන්නේ පෙරදිග ලොව විඥානවාදී අර්ථකථනයෙන් අතරහැර දැමූ තැනින්. කැමූගේ වචනවලින් කියනවා නම් ආත්ම ඝාතකයාගේ විරුද්ධාර්ථය මරණයට කැප කරන ලද පුද්ගලයායි. දවසක අරුණලූ නැගෙ--න්නට මොහොතකට පෙර තමා වෙනුවෙන් තමා සිටින සිරගෙදර යකඩ දොරටු විවෘත වන විට මරණයට කැපවූ මිනිසා තුළ ජීවමාන දෙවියන්ගේ මෙන්වූ ආදේශක ලක්ෂණද ඔහු තුළ පවතින ජීවන ගිනි සිළුව හැර ඇදහිය නොහැකි තරම් වූ උපේක්ෂාවද සැලකිල්ලට ගත්කල එකම තර්කානුකූල නිදහස ගතින් හා සිතින් විඳිය හැකි නිදහස දනවන මූලධර්මයන් වන්නේ මරණය හා අසම්මතය පමණක් බව මට හොඳටම විශ්වාසයි යනුවෙන්.
මට අවසාන ලෙස කිවහැක්කේ සමස්තයක් වශයෙන් ගත්විට මාලක දේවප‍්‍රියගේ මෙම ගුවන් විදුලි නාට්‍ය පෙළෙහි දක්නට ලැබෙන අරුත් කෙරෙහි පවතින ගතානුගතික සම්ප‍්‍රදායික සමාජ චර්යාවන් හා මිථ්‍යාවන් හිසේ ටොන් ගණන් පටවා ගෙන සිටින බහුතර ලාංකික රසික සමාජය කෝපයට පත්වීම ස්වාභාවික බවයි. මේවාට  මොන ආකාරයේ ප‍්‍රතිචාරයක් දක්වයිද  යන්න කලාකාරයකු ගණන් ගත යුත්තක් නොවෙයි. මාර්ටින් වික‍්‍රමසිංහ පනස් හයේ දේශපාලන පිබිදීම දුටුවේ බමුණු කුලයේ බිඳවැටීමක් හැටියටයි. හැත්තෑ එකේ නැගිටපු කැරලිකාරයන් පුළුස්සලා දැම්මේ ඒ බමුණු කුලයේ බිඳවැටීම තුළින් මතුවූ ඒ ඊනියා ප‍්‍රගතිශීලි බලාධිකාරය මගින්.  සමාජ යථාර්ථයන් හඳුනානොගත් ඒ සමාජ පැළැන්තිය විසින්ම අසූහත අට වකවානුවේද යළි අවධි වූ සමාජ ස්ථරය සමුල ඝාතනය කළා. ඉන්පසු වර්ගවාදය ලෙස හංවඩු ගසා උතුරේ සන්නද්ධ අරගලය කුඩු පට්ටම් කිරීමට තරම් පනස් ගණන්වල මතුවූ මහලූ ස්ථාපිත සමාජය කරපින්නා ගත් අයට ජව බලය ලබා දුන්නේද අර ඊනියා ජාතිවාදය, කුලවාදය, ආගම්වාදය හා ගෝත‍්‍රික ආකල්පවලින් ඔද්දල් වූ දිරාපත් නොවන යකඩ මෙන් ස්ථාපිත සමාජ ව්‍යුහය විසින්. මීට සමාන්තරව අවි අතට නොගත්තද සාහිත්‍ය මෙවලම්වලින් සන්නද්ධ වන කලා කෘතිවලට කෙබඳු ඉරණමක් අත්වේද යන්න කුමන කතාද? සංස්කෘතික හා සාහිත්‍ය සේනාංකයන්හි පදක්කම් පැළඳ සිටින නාට්‍ය සේනාංකයේ බි‍්‍රගේඩියර්ලාට, පද්‍ය හා ගීත සේනාංකයේ මේජර්ලාට, ටෙලිවිෂන් හා රේඩියෝ සේනාංක භාර සේනාධිනායකයන්ට මෙන්ම මාධ්‍ය සේනාංකයේ ආඥාපතිවරුන්ට, සංස්කෘතික කටයුතු භාර පොලිස්පතිලාට සැලියුට් නොගහන  සාහිත්‍ය කරුවන්ට අත්වන ඛේදනීය ඉරණම කෙරෙහි අවධියෙන් සිටීම බුද්ධිමත් පාඨකයා සතු කාර්යයක්.

ඩබ්ලිව්. එස්. විජේසිංහ

0 comments:

Post a Comment