නළුකම දත්තෝ - නොදත්තෝ සහ හිතට ගත්තෝ
රූපවාහිනි මාධ්‍යය නිසා, අද බුරුතු පිටින් නළු නිළියෝ බිහි වෙති. එක රැයින් ජනපි‍්‍රය වෙති. ඉන් සමහරු සම්මාන ද ලබති. එහෙත් ඔවුන් අතුරින් උසස් රංගධරයින් සෙවීම දුෂ්කර කටයුත්තක් බව පෙනී යාම කනගාටුවට කාරණයකි. මීට දශක දෙක තුනකට පෙර රිදී තිරයේ දක්නට ලැබුණු දක්ෂ චරිතාංග නළුවන්, අද පුංචි තිරය තුළින් බිහි නොවන බව එහි අධ්‍යක්ෂවරුම පවසනු අපට අසන්නට ලැබී ඇත.
මෑතකදී තිර නාටකයක් කියැවූ තරුණ ටෙලි නළුවෙක්, එහි රඟපෑම ප්‍රතික්ෂේප කර තිබුණේ එහි එක් එක් කොටස් තුළ තමන්ට රඟන්නට (පෙනී සිටීමට?) ඇති කාලය ඉතා සීමිත යැයි කියමිනි. තවත් නළුවෙක් “චරිතයක්” ප්‍රතික්ෂේප කර ඇත්තේ, එය එනවා යනවා මිසක්, කරන්නට දෙයක් නැතැයි කියමිනි. තවත් අවස්ථාවක තරුණ නිළියක් ටෙලි නාටකයකට අකැමැති වූයේ, එය ‘වයස්ගත චරිතයකැ’යි බිය වෙමිනි.
මේ ප්‍රතික්ෂේප කිරීම් තුනෙන්ම පෙනී යන්නේ අද නළු නිළියන් යැයි සිතා සිටින, නොපැසුණු “ටෙලි තරු” රඟපෑම පිළිබඳව දරණ වැරැදි මත හා තක්සේරුවය.
ලොව විසූ ශ්‍රේෂ්ඨ නළු නිළියෝ, චිත්‍රපටයක හෝ නාට්‍යයක රඟපාන්නට ඇති කාල ප්‍රමාණය ගැන නොව එහි චරිත ස්වභාවය ගැන සිය අවධානය යොමු කළෝය. මාලන් බ්‍රැන්ඩෝ ප්‍රකාශ කර ඇති අන්දමට, ඔහු රඟපෑමට සත්‍යය එකතු කිරීම සඳහා මිනිස් ප්‍රජාව ගැන හැදැරුවේය. ජීවිතය නිරීක්ෂණය කළේය. “පැත්තකට වී, මුළු දවසම මිනිසුන් එහා මෙහා යන හැටි බලා සිටීමට මා කැමැතියි. එයින් මට බොහෝ දේ ඉගෙන ගත හැකියි. මා සෑම කලාවක්ම ප්‍රගුණ කරනවා. විශේෂයෙන්ම මනෝ විද්‍යාව තුළින් මා මිනිසා හා මිනිස් ස්වභාවය වටහා ගන්නවා.” බ්‍රැන්ඩෝ වැනි නළුවකුගෙන්, බොහෝ දේ උගත හැකි බව ගාමිණි ෆොන්සේකා නිතර නිතර කියා ඇත.
හොඳ නළුවන් බිහිවන්නේ හොඳ තිර නාටක තුළිනි. චරිතයක් ගොඩ නැංවීම අසීරු කාර්යකි. එය ටෙලි නාටක මාලාව පළමු කොටස් කීපයේදීම කළ නොහැකි වනු ඇත. එහෙත්, ආප්ප බාන්නාක් මෙන් ලියැවෙන ටෙලි පිටපත් තුළ නිතර දක්නට ඇත්තේ දුෂ්ට - වීර - කළු - සුදු යනුවෙනි, නම් කළ හැකි පැතලි චරිතය. (Flat Characters)
ඇරිස්ටෝටල් පවසා ඇති අන්දමට කිසියම් චරිතයක් මනාව විවරණය කළ හැක්කේ, කිසියම් ගැටුමකට ඔහු මුහුණ දෙන අවස්ථාවේ දක්වන ප්‍රතික්‍රියා අනුවයි. එවැනි ගැටුම්, සිද්ධීන් හා අවස්ථාවන් තෝරාගෙන තම චරිත තුළින් ක්‍රමානුකූලව ඒවා ඉදිරිපත් කිරීම ශූර තිර රචකයාගේ පිළිවෙතයි. කතාව අවසානයේ මනුෂ්‍යත්වයේ ස්වභාවය මෙසේ යැයි ඔහු අපට ඉඟි කරයි. එබඳු තිර රචනයක එන සුළු චරිත පවා, යුගයෙන් යුගය සජීවී වෙයි.’
ඇන්ටන් චෙකෝෆ්ගේ නාට්‍ය හා කතාවල එන චරිත වර්තමාන මොස්කව් නගරයේ පෙළ ගැස්වී නම්, එකල රුසියාවේ වාසය කළ විවිධාකාර මිනිසුන්ගේ ගති සොබා හොඳින් දැකගත හැකි යැයි කියමනක් ඇත.
ඇමෙරිකානු මහා නළු කර්ක් ඩග්ලස් පැවසු ආකාරයට, රඟපෑම යනු සංගීත සංධ්වනියක් බඳු විනීත කලාවකි. එහෙත්, තිර නාටකයක් සම්පූර්ණයෙන් කියැවීමටවත් ඕනෑකමක් නැති, එහි තමන්ගේ කොටස් හෝ දෙබස් පමණක් කියවා සෑහීමකට පත්වන නළු නිළියන් සිටින රටක රඟපෑම පිළිබඳ නිර්වචන කුමකට ද? වෘත්තීය මට්ටම යනු නළුවකුගේ ශිල්පීය තලය හා අගය මිස ඔහුගේ “දවස් කුලිය” වැඩිකර ගැනීම හෝ නියමිත වෙලාවට ලබා ගැනීම නොවන බව අද සිටින අපේ “අලුත් උදවියට” අමතකව ගොසිනි.
සත්‍යජිත් රායි ලියු “පතෙල් බාබු” නමැති කෙටිකතාව සියලුම නළු නිළියන් විසින් කියැවිය යුතු ‘අත්පොතක්’ බඳුය.
පතෙල් බාබු, මිටි, තට්ටය පෑදුණු මහළු පුද්ගලයෙකි. කලකට පෙර, ඔහු ගමේ ගොඩේ නාට්‍යකාරයන්ට නැතුවම බැරුව සිටි නළුවෙකි. ජීවිතයේ සැඳැ සමයේදී ඔහුට, අහම්බෙන් මෙන් චිත්‍රපටියක සුළු චරිතයක් රඟපෑමට භාග්‍ය උදාවෙයි.
“මට දෙබස් තියෙනව ද?”
පතෙල්, සහාය අධ්‍යක්ෂවරයාට ළංව සෙමින් අසයි. උපහාසාත්මක සිනාවක් නඟන සහාය අධ්‍යක්ෂ, කුඩා කඩදාසියක “උහ්” යන වචනය ලියා දෙයි. එක්වරම ලැජ්ජාවක් දැනෙන නමුදු, පතෙල් සිය නාට්‍ය ගුරුන්නාන්සේගේ උගැන්වීම් දෙකක් මතකයට නඟා ගනී.
“පතෙල්, තමන්ට ලැබෙන කුඩාම චරිතයක් වුණත් තත්ත්වෙට මදිකමක් කියලා බාර නොගෙන ඉන්න එපා. ලැබුණු දේ උපරිම කරන්න... නළුවකුට ලැබෙන හැම වචනයක්ම ගහක තියෙන පලතුරක් වගේ. පේ‍්‍රක්ෂකයන්ට ඒකට කිට්ටු වෙන්න බෑ. ඒත් නළුවා හැටියට ඔබ දැනගන්න ඕනෙ ඒක කඩාගෙන පේ‍්‍රක්ෂකයන්ට රස විඳින්න ළං කරන්න.
“උහ්” යන වචනය විවිධාකාරයෙන් හඬ නැගෙන අයුරු පුහුණුවන පතෙල් එය ඉදිරිපත් කරන්නේ අධ්‍යක්ෂවරයා මවිතයට පත් කරමිනි. එකම එක වචනයකින්, ඔහු තමා විශිෂ්ට නළුවෙකු බව සනාථ කරයි.
තිර නාටකයක් කියවා චරිතයක් වටහාගත නොහැකි, නළුවන් යැයි හිතට ගත්තවුනට, පතෙල්ගෙන් ලැබෙන්නේ, තරු විසිවෙන කනේ පහරකි!
Silumina
0 comments:
Post a Comment