----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

‘කෝ මාක් නෝ මාක්’

Friday, August 10, 2012


රඟපෑම වෘත්තියක් කියල හිතන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුව විතරයි

- මිහිර සිරිතිලක
මේ දිනවල පුංචි තිරෙත්, සිනමාවෙත්, වේදිකාවෙත් සිය රංග පරාසය මුදාහරින අපේ කාලයේ රංගන ශිල්පියකු විදිහටයි මිහිර සිරිතිලක අපට මුණගැහෙන්නේ. ලැබෙන ඕනෑම චරිතයකට සිය සාධාරණය ඉටු කරන රංගන ශිල්පීන් අතර සිටින මිහිර හුදු නළුවා කියන ප්‍රතිරූපයෙන් බැහැරව පොළවේ පය ගසා ජීවත්වන රංගන ශිල්පියකු ලෙස අපට මුණ ගැහෙනවා.
චරිතාංග රංගන ශිල්පියකු වීමේ සිහින දකින මිහිර පසුගිය දවසක ‘යෞවනයේ අපි’ විශේෂාංගයට කතා කළා.
මිහිර කොහොමද මේ දවස්වල ජීවිතේ...?
මේ දවස්වල ‘කෝ මාක් නෝ මාක්’ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කරනවා. සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ඒ චිත්‍රපටයත් ‘මායා’ නම් තවත් චිත්‍රපටයක් රූගත කිරීම් සිද්ධ වෙනවා. ඒ වගේ ම සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලිනාට්‍යයෙත් රූගත කිරීම් වලට සම්බන්ධ වී සිටිනවා.
මිහිර, ඔය ගමන පටන්ගත්තේ කොහේ ඉඳල ද?
මගේ ගම් පළාත අගුණුකොළපැලැස්ස. ඉතිං උසස් පෙළ කරලා ඉවරවෙලා මට පුළුවන් වුණා, ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා වැඩමුළුවට එකතු වෙන්න. එතැනින් තමයි මේ චාරිකාව පටන්ගත්තේ.
ඇයි මේ ක්ෂේත්‍රයම තෝරාගන්නේ.
උසස් පෙළ කරලා ඉවර වුණාට පස්සේ අපි හිටියේ ආර්ථික අර්බුද කියන තැන හිරවෙලා. මෙතැනින් එහාට මොකක්ද කරන්නේ කියලා හිත හිතා ඉන්න අතරෙදියි තරුණ සේවා සභාවට යන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක මගේ ජීවිතයේ ‘ටර්නින් පොයින්ට්’ එකක්. කොහොමත් මගේ ඩ්‍රීම් එක වුණේ වේදිකාව. පසුකාලීනව ටෙලිනාට්‍යයට, සිනමාවට ඇදිලා ගියත් මගේ සිහිනය වුණේ වේදිකාව.
ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලම රංගන ශිල්පියෙකු වෙන්න හීන මැව්වා.
නැහැ එහෙම දෙයක් කවදාවත් හිතලා නැහැ. නමුත් ජීවත්වෙන්න ඕන කියන තැනදියි මේ පාත් එක මතුවෙන්නේ.
හොඳයි ඔය පාත් එකත් අහුවුණේ නැත්නම්?
එහෙම නම් අනිවාර්යයෙන් ම මම චිත්‍ර ශිල්පියෙක් වෙලා මතුවෙයි. අදටත් රංගනයෙන් ඈත් වුණ දවසක මම චිත්‍ර අඳියි.
අද ඔබ කොමඩි නළුවා කියන තැන හිර කරල ද හිරවෙලාද කියලා මම ඇහැව්වොත්.
ඒ ගැන මගේ හිතේ අහිතක් නෑ. මොකද ප්‍රහසන නළුවා කියන එක හෝ රංගනයේ යෙදෙන එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. නමුත් මගේ ඉලක්කය වෙලා තියෙන්නේ චරිතාංග නළුවෙක් වෙන එක. ඒ නිසා මම දැනටත් උත්සාහ කරනවා වෙනසක් හොයා යන්න. තවත් දෙයක් මට හිතෙනවා. අධ්‍යක්ෂවරුන්ට අත්හදා බැලීම් කරන්න තියෙන අවස්ථා අඩුයි. ඉතිං මොකක් හරි ප්‍රහසන චරිතයක් දැක්ක ගමන් ඔන්න කතා කරනවා.
ඒ කියන්නේ ලැබෙන ඕනෑම චරිතයක් ඔබට ප්‍රශ්නයක් නැහැ.
එහෙම ප්‍රශ්නයක් වෙන්න බැහැනේ. මොකද මම රංගන ශිල්පියෙක්. දැන් මම ප්‍රහසන චරිත පමණක් ම කරලා නැහැ. ‘අළුපාට හීන’ ටෙලිනාට්‍යයේ ‘බච්චා’ කියන්නේ වෙනස් ම චරිතයක්. ‘මොනරතැන්න’ ටෙලිනාට්‍යයේ ‘අන්දිරිස් නිලමේ’ වෙනස් ම චරිතයක්. අද කවුරුත් දන්නෑ ඒ චරිතය කරන්නේ මම ද කියලවත්. මම උත්සාහ කරන්නේ මගේ මුහුණ පෙන්නගෙන නම ප්‍රසිද්ධ කරගන්න නෙමෙයි රංගනයෙන් යමක් කරන්නයි මට ඕන.
අගුණකොළපැලැස්සේ ඉඳලා මේ ගෙන්දගම් පොළවේ පයගහන්න කාපු කට්ට ගැන අද මොකද හිතෙන්නේ.
ලෙහෙසි පහසුවෙන් ලැබෙන දේවල්වල කිසිම අගයක් නැහැ. මේ ටික ලබාගන්න ලොකු සටනක් කළා. ඒක විශ්වවිද්‍යාලයක් විදිහටයි මම දකින්නේ. මම බිංදුවේ ඉඳලා ආව ගමනක් තියෙන්නේ. බෑග් එකක රෙදි ටිකක් දාගෙන තරුණ සේවා සභාවේ හැංගිලා නිදාගෙන, පන්සල්වල නිදාගෙන එහෙම ආව ජීවිතයක් තිබුණා. අද අවුරුදු 14 ක් තිස්සේ මම පිළිවෙළක් වෙලා මටම කියලා ගෙන්දගම් පොළවේ ගේ පොඩ්ඩක් හදාගෙන යම් කිසි දියුණුවකට එන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ගැන ලොකු ආත්ම තෘප්තියක් මට තියෙන්නේ.
වර්තමානයේ තරුණ පරම්පරාව ගැන තරුණයකු විදිහට මොකක්ද ඔබේ තක්සේරුව.
අද තරුණයා තුළ තියෙන්නේ අතරමං වුණ ජීවිත. අද තරුණයාට මාවත හඳුන ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. අද තාරුණ්‍යය පේෂ්බුක් ලයිෆ් එකට වැටිලා ඉන්නේ. සමාජමය වශයෙන් එකතු වෙලා හෝ තරුණයින්ට ඉලක්ක ලබාදිය යුතු වෙලාවක් මේ.
ජනප්‍රියත්වය කියන කාරණාව මිහිර කොහොමද දකින්නේ.
මෙහෙම හිතමුකෝ. පිටකොටුව බෝධිය හැමවෙලේම ටී.වී. එකේ පෙන්වනකොට ඒක බොහෝම ජනප්‍රියයි. කළුගලක් වුණත් එහෙමයි. මම කියන්නේ සරල ජනප්‍රියත්වය කියන කාරණාවෙන් එහා ගිය ගෞරවනීය ජනප්‍රියත්වයක් අවශ්‍යයි. ටෙලිනාට්‍යයක් විකාශය වෙන කාලේ ජනප්‍රිය වෙලා ඒක ඉවරවෙනකොට මිනිසුන්ට මතක නැත්නම් ඒ මොන ජනප්‍රියකමක් ද? අද අපි යැපෙන්නේ තවත් පිරිසකගේ මතනේ. මා ගොඩනගන්න හදන ලෝකය හදන්න වෙලා තියෙන්නේ වෙනත් පිට්ටනිවලනේ. එහෙම එකේ ජනප්‍රියත්වය කියන දේ සරල කාරණයක් විතරයි.
රඟපෑම අද ඔබේ වෘත්තීය ද
රඟපාන එක කරනවා. නමුත් ඒත වෘත්තියක් ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම බැංකුවකට යනවා වැඩ කටයුත්තකට. හැබැයි මේක ආදායමක් ලබන වෘත්තියක් බවට පිළිගන්නේ නැහැ. මේක ආදයමක් ලබන වෘත්තියක් කියලා අපිව පිළිගන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුව විතරයි. ඉතින් එක්තරා මොහොතක අපි සමහර තැන්වල අසරණ වෙනවා.

0 comments:

Post a Comment