----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

බිපාෂාට මිනිෂාට මාර පරිප්පුවක්?

Saturday, June 4, 2011

පසුගිය දෙසතිය තුළදී බොලිවුඩ් පුරයේ ජනප්‍රිය නිළියන් දෙදෙනකුට කරදර කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ දෙදෙනාගෙන් එක් අයෙකු ඔබ හොඳින් දන්නා නිළියක්. ඇය අතිශය ජනප්‍රිය සුපිරි නිළි බිපාෂා බාසු. අනෙක් රුවැත්තිය තවත් ජනප්‍රිය නිළියක්. ඇය, මිනිෂා ලම්බා. බිපාෂාට නම් ගෙවී ගිය සති කිහිපය පුරාම ගතකරන්නට සිදුවුණේ කලබලකාරී මනසකින් යුතුවයි.

ඇය, තම පෙම්වතා වූ ජෝන් ඒබ්‍රහම්ගෙන් වෙන්වුණේ ඒ කාලය තුළදීයි. ඉන්පසුව ඇය හොලිවුඩ් සුපිරි නළු ජෝශ් හාර්ට්නට් සමඟ හාදකම් පවත්වන බවට කටකතා පැතිරී ගියා. ඒ විතරක් නොවෙයි ඉන්දියාවේ ප්‍රකට දේශපාලනඥයකු සමඟ ඇය දුරකථනයෙන් කළ කතාබහක් පිළිබඳවත් විවිධාකාර දූෂ්‍යමාන ආරංචි පැතිරී ගියා. මෙම දේශපාලනඥයා සමඟ ඇය අසෝබන සංවාදයක යෙදී සිටි බවයි පැවසුණේ.

එවැනි වාතාවරණයක සිටි බිපාෂාට තවත් අකරතැබ්බයක් සිදුවුණා. පසුගිය සතියේ මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවකදී ඇය එහි සිටි රේගු නිලධාරීන් විසින් රඳවා ගනු ලැබුවා. මේ නිසා බිපාෂාට පැය කිහිපයක්ම මුම්බායි ගුවන් තොටුපළේ රැඳීසිටින්නට සිදුවුණා. බිපාෂාට මෙලෙස රැඳී සිටින්නට සිදුවුණේ අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘ප්ලේයර්ස්’ හි රූපගත කිරීම් කිහිපයකට එක්වී ලන්ඩන් නුවරට ගොස් ආපසු සියරට පැමිණි අවස්ථාවේදීයි. බිපාෂාව රේගු නිලධාරීන් විසින් රඳවා ගනු ලැබුවේ ඇය රැගෙන ආ බඩුමුට්ටුවලින් කොටසකට නියමිත රේගු ගාස්තු නොගෙවා තිබීමයි.

මෙම රේගු ගාස්තුවල වටිනාකම ඉන්දිය රුපියල් ලක්ෂ 50ක් බවයි රේගු නිලධාරියෙකු ප්‍රකාශ කර තිබුණේ. බිපාෂා විසින් එම ගාස්තුව ගෙවා නිමකරන තුරු ඇයව ගුවන්තොටුපළේ රඳවා ගත් බවත් එම නිලධාරියා ප්‍රකාශ කළා. රේගු නිලධාරීන් විසින් අතිරේක ගමන් මල්ලක් (excess baggage) ලෙස සලකනු ලැබූ එහි තිබුණේ මොනවාදැයි බිපාෂා හෙළිකළේ නැහැ. රේගු ගාස්තු වශයෙන් රු. ලක්ෂ 50ක් ගෙවිය යුතු වූ එහි වටිනා බඩු භාණ්ඩ තිබුණු බවට නම් කිසිම සැකයක් නැති බවයි සමහරු ප්‍රකාශ කළේ.

කොහොම වෙතත් පැය කිහිපයකට පසුව බිපාෂාට එම මුදල ගෙවා දමන්නට හැකිවුණා. ඒ හේතුවෙන් ඇයට ගුවන් තොටුපළින් ‘නිදහස ලබා’ නිවසට පැමිණෙන්නට හැකියාව ලැබුණා. තමන්ට සිදුවූ පටලැවිල්ල ඇය විස්තර කළේ මෙහෙමයි... “මම ලන්ඩන් ගියේ ‘ප්ලේයර්ස්’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක රගපාන්නයි. ඒ වැඩ කටයුතු ඉවර කරලා මම මුම්බායි එයාර්පෝට් එකට ආවා.

ලන්ඩන්වලදි ෂොපින් ගිය වෙලාවෙ අරගත්තු බඩු ටිකකුත් මම ගෙනාවා. මුම්බායි එයාර්පෝට් එකේදි ඒවා පරීක්ෂා කරපු නිලධාරීන් කිව්වා ඒවාට බදු හැටියට රුපියල් ලක්ෂ 12ක් ගෙවන්න ඕනෙ කියලා. මම ඒ මුදල ගෙව්වා. මං හිතන්නෙ කස්ටම් ඔෆිසර්ස්ලා ඒ අයගෙ රාජකාරිය හොඳින් ඉටුකරනවා කියලා. මට බදු ගෙවන්න වුණේ මගේ පාවිච්චියට ගෙනාපු බඩුවගයකටයි.” බිපාෂා ඒ කතාවේදී රුපියල් ලක්ෂ 50ක ගාස්තුවක් ගෙවූ බවක් හෝ එම ගාස්තුව ගෙවන තුරු තමන්ව මුම්බායි ගුවන් තොටුපළේදී රඳවාගත් බවක් හෝ පැවසුවේ නැහැ.

බිපාෂා මේ සිද්ධියට මුහුණදුන්නේ පසුගිය මැයි 26 දායි. මිනිෂා ලම්බා නම් වූ තාරකාවියටත් මෙවැනිම අත්දැකීමකට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඒ, පසුගිය මැයි 18දා මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීමයි. ඇය මුම්බායි වෙතට ගුවනින් පැමිණියේ පසුගියදා නිමාවට පත්වූ ප්‍රංශයේ කාන්ස් චිත්‍රපට උළෙලට සහභාගිවීමෙන් පසුවයි.

ගුවන් තොටුපළට පැමිණි පසුව මිනිෂා රැගෙන ආ ස්වර්ණාභරණ පරීක්ෂා කළ රේගු නිලධාරීන් ඇයට දැනුම් දුන්නේ වහාම එම ස්වර්ණාභරණ වෙනුවෙන් බදු ගෙවන ලෙසයි. බදු මුදල කොපමණදැයි මෙතෙක් හෙළිවී නැහැ. කොහොම වෙතත් මිනිෂා රැගෙන පැමිණි ස්වර්ණාභරණවල වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් පමණ විය හැකි බවයි වගතුග දන්නා අය ප්‍රකාශ කර තිබුණේ. මිනිෂාට මේ ස්වර්ණාභරණ ඉන්දීය සමාගමක් ණයට ලබා දී තිබෙන බවයි ඇතැම් අය පවසන්නේ.

”මිනිෂා මුම්බායි එයාර්පෝට් එකට ඇවිත් ග්‍රීන් චැනල් එකෙන් කිසිම පරීක්ෂාවකට ලක්නොවී පිටවෙන්න ආවා. ඒත් එතන හිටපු රේගු නිලධාරියෙක් මිනිෂාට පැත්තකට කතාකරලා කිව්වා, පොඩි ප්‍රශ්න කිරීමක් කරන්න තියෙනවා කියලා. ඉන්පස්සෙ මිනිෂා ඇඳගෙන හිටපු රත්තරන් බඩු පරීක්ෂා කරපු රේගු නිලධාරීන් කිව්වා ඒවාට බදු ගෙවන්න ඕනෙ කියලා. ඒ හින්දා එයාට සිද්ධ වුණා පැය 16ක් විතර එයාර්පෝට් එකේ ඉන්න. ඇත්තටම මිනිෂාගෙ අතේ වරදක් තිබුනෙ නෑ. එයා නොදැනයි ග්‍රීන් චැනල් එකෙන් ආවෙ“ ගුවන් තොටුපළේ නිලධාරියෙකු එලෙස ප්‍රකාශ කළා.

මේ ගැන මිනිෂාගෙන් විමසූ විට ඇය කීවේ මෙවැනි කතාවකි.

”ඒක හරිම සුළු සිද්ධියක්. ඒ වෙලාවෙ කස්ටම් ඔෆිසර්ස්ලා මට හරිම කාරුණිකව සැලකුවා. ඒ අය මට වාඩිවෙන්න ඉඩකඩ ලබාදීලා මට සමෝසා එකකුයි තේ එකකුයි ගෙනත් දුන්නා. මට ගොඩක් වෙලා එයාර්පෝට් එකේ ඉන්න වුණා. පස්සෙ මට ආරංචි වුණා මගේ රත්තරන් බඩුවල වටිනාකම රුපියල් ලක්ෂ 50ක් කියල සමහරු කියල තිබුණ කියලා. ඒක බොරුවක්. ඒවයේ වටිනාකම ලක්ෂ 40කටත් අඩුයි. මම මේ රත්තරන් බඩු අරගත්තෙ කාන්ස් චිත්‍රපට උළෙලේ විවිධ අවස්ථාවලදි අඳින්නයි.”

ස්වර්ණාභරණවල නියම වටිනාකම කොපමණදැයි මිනිෂාගෙන් ප්‍රකාශ වුණේ නැහැ. කොහොම වෙතත්, මිනිෂාටත් මුම්බායි ගුවන් තොටුපළින් නික්ම යන්නට ඉඩකඩ ලැබුණේ අදාළ රේගු ගාස්තු ගෙවීමෙන් පසුවලු.

0 comments:

Post a Comment