----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

යෞවන ප්‍රේමය ඔබට තවමත් ආගන්තුකද?

Saturday, June 11, 2011

මම ආදරය කරනවා ඒ වගේම ආදරය ලබනවා

ආශා එදිරිසිංහ

අද ‘සතුටු සාමීචිය’ට එක්වන කලා ශිල්පිනිය ආශා එදිරිසිංහ. ආශා රූපවාහිනී නිවේදිකාවක ලෙසත් ටෙලිනාට්‍ය රංග ශිල්පිනියක ලෙසත් ප්‍රේක්ෂකයින් අතර ප්‍රසාදයට ලක්වී ඇති සුරූපී යෞවනියකි. ‘නිල් නෙතු’, ‘සුළඟ’ වැනි ටෙලිනාට්‍ය ආශාගේ රංගන හැකියාව පිළිබඳව සාක්ෂි දරයි. ආශා කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක ද වන්නීය.

ඔබ කලාවට එක්වුණේ පුංචි අවධියේදීම නේද?

ඔව්. මට වයස අවුරුදු 11දී තමයි මම ටෙලිනාට්‍ය රංගනයට දායක වුණේ. ඒ; සතිස්චන්ද්‍ර එදිරිසිංහ සර්ගෙ “ගිරිකුළ අන්දරය” ටෙලි නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින්. උසස් පෙළ හදාරන විටයි විශ්වවිද්‍යාලයේ මුල් අවුරුද්දෙ ඉගෙන ගන්නා විටයි කලා කටයුතුවලට එක්වුණේ නෑ. පසුව ‘සසඳරා’, ‘යශෝ මන්දිර’ වැනි ටෙලිනාට්‍යවලට දායකවෙන්න අවස්ථාව ලැබුණා.

ඒ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්නා කාලෙදිමයි. පසුව අධ්‍යාපන කටයුතු නිසා රංගන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වුණා. විශ්වවිද්‍යාලයෙන් පිටවුණාට පස්සෙ නිවේදිකාවක් හැටියට ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වුණා. ඒ වගේම ගීතවල රූප රචනාවලට රංගනයෙන් දායක වුණා.

ඒ අතරේ තමයි මහේෂ් සත්සර අයියගෙයි එරංග සේනාරත්න අයියගෙයි ආරාධනයට ‘නිල් නෙතු’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ. මම ඉතාම ආශාවෙන් ‘නිල් නෙතු’ ටෙලිනාට්‍යයේ වැඩ කළා. ඉන්පසුව තමයි ‘සුළඟ’ ටෙලිනාට්‍යය කළේ.

’සුළඟ’ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කළේ ඔබද?

නැහැ. මගෙ තාත්ත තමයි එය කළේ.

’සුළඟ’ කළේ ඔබට රඟපාන්නද?

ඇත්තටම නෑ. මටත් තාත්තටත් ලොකු ආශාවක් තිබුණා හොඳ ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන්න හොඳ ලස්සන රූපරාමු තියෙන. සඳරුවන් අයිය තමයි ‘සුළඟ’ අධ්‍යක්ෂණය කළේ. ඒකෙ හොඳ චරිතයක් මටත් ලැබුණා. එහෙම නැතිව මට රඟපාන්න ‘සුළඟ’ නිර්මාණය කළේ නෑ.

ඔබ රූපවාහිනී නිවේදිකාවක් ලෙස කටයුතු කරන වැඩසටහන් ගැන කතා කළොත්..?

බොහොමයක් රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතරට යන්න මට අවස්ථාව ලැබුණේ “හීන හතක්” රූපවාහිනී වැඩසටහන නිසා. මුලපටන්ම මම ඉතාම ආශාවෙන් කළ වැඩසටහනක් ඒක. ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න සිදුවුණොත් ඒකට දින වෙන් කරගත්තෙ ‘හීන හතක්’ වැඩසටහනට බාධාවක් නොවන විදියට. ඒ තරම්ම මම ‘හීත හතක්’ වැඩසටහනට ආදරෙයි. ‘හීන හතක්’ ස්වාධීන රූපවාහිනියේ සංගීත වැඩසටහනක්. මම ඉතාම ආශාවෙන් කළ තවත් වැඩසටහනක් තමයි ස්වාධීන රූපවාහිනියෙන්ම විකාශය වන”ඉබභඤඪධ-01” සංගීතමය වැඩසටහන. ඒක උසස් රසවින්දනයකට මඟ කියාදෙන වැඩසටහනක්.

ඔබ වඩාත් කැමැති නිවේදන කටයුතුවලට ද, රංගනයටද?

මට හිතෙන විදියට නිවේදන කටයුතුවලට මා තුළ ලොකු හැකියාවක් නෑ. ඒත් ගොඩක් දෙනෙක් මට කියනව “ඔයා වැඩසටහන් ඉදිරිපත් කරන හැටි හොඳයි සරලයි” කියල. ඒත් මට හිතෙනව නිවේදන කටයුතුවලට වඩා පුංචි හෝ හැකියාවක් රංගනයට තියෙනව කියල. ඒ නිසා මම රංගනයට වැඩියෙන් කැමැතියි.

ඔබ රංගනයෙන් දායකවී ඇති ඉදිරියේ දී විකාශය වීමට නියමිත ටෙලිනාට්‍ය මොනවාද?

මම රංගනයෙන් දායකවුණු ’රන් සමනළයෝ’ ටෙලිනාට්‍යය ළඟදීම ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි. එය ආදරය ගැන කියවෙන ලස්සන ටෙලිනාට්‍යයක්.

රංගනයේදී ඔබ ඔබටම සීමා පනවාගන්නවාද?

ඇත්තෙන්ම ඔව්. නමුත් ඒක ලොකුකමකට කරන දෙයක් නෙමෙයි. රංගනයේ මම දීර්ඝ කාලයක් යෙදෙන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් මම කැමැතියි මගෙ සීමා, මගෙ ප්‍රතිපත්ති ඇතුළෙ මම කරන දේ හරියට කරන්න. ටෙලිනාට්‍යයකට මට ආරාධනා ලැබුණු විට අධ්‍යක්ෂවරයා එක්ක කතාකරල මට ඒ චරිතය හොඳින් කරන්න පුළුවන් කියල හැඟුණොත් මම ඒ චරිතය අනිවාර්යයෙන්ම බාරගන්නවා.

චිත්‍රපට සඳහා තවම ඔබට ආරාධනා ලැබී නැතිද?

චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබුණා. ඒත් ඒවා බාරගන්න මට හැකියාවක් තිබුණේ නෑ. ඒකට හේතුව තමයි එම චිත්‍රපටවල තේමා මට නොගැළපීම. ඒ වගේම ඇතැම් චිත්‍රපට විදෙස් රටවල රූගත කිරීම් තිබු ඒවා. මගෙ අම්ම හෝ තාත්ත හෝ සමඟ ඒවාට සහභාගි වෙන්න ලැබුණ නම් මම සහභාගි වෙනවා. ඉදිරියේදී හොඳ චිත්‍රපටයකට ආරාධනයක් ලැබුණොත් ඒ ආරාධනය බාරගන්න මම සුදානම්.

ඔබ උපාධිය ලබාගත්තෙ කුමන විෂයයෙන්ද?

මම ලබාගෙන තියෙන්නෙ කළමනාකරණ වාණිජවේදී විශේෂ උපාධියක්.

ඔබ උසස් අධ්‍යාපනය ලද ක්ෂේත්‍රයෙන් රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් නැතිද?

මම ගොඩක් කැමැතියි මානව සම්පත් කළමනාකරණය කියන විෂයෙන් රැකියාවක් කරන්න. විශේෂයෙන්ම එය රජයේ රැකියාවක් වුණොත් වඩාත් කැමැතියි.

ඔබේ පවුලේ තොරතුරු?

අම්ම, තාත්ත, අයිය, අක්කා, මම තමයි අපේ පවුල. අපි හරිම සතුටින් ඉන්නවා.

යෞවන ප්‍රේමය ඔබට තවමත් ආගන්තුකද?

නැහැ. මම ආදරය කරනව. ආදරය ලබනව.

ජීවිතයේ මොනවගේ අරමුණු ද බලාපොරොත්තු ද ඔබට තියෙන්නෙ?

’සුළඟ’ ටෙලිනාට්‍යයට එහා ගිය හොඳ ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීම එක් බලාපොරොත්තුවක්. ඒ වගේම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය පිළිබඳව හොඳ හැදෑරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ළඟදීම ඉටුකරගත හැකි බලාපොරොත්තුවක් නෙමෙයි. ඒකට තව අවුරුදු ගණනාවක්ම යාවි. කවදාහරි හොඳ නිර්මාණයක් කිරීමයි මගේ අරමුණ. ඒ වගේම ජීවිතයට සාර්ථකව මුහුණදීමයි මගේ ප්‍රධානම අරමුණ.

0 comments:

Post a Comment