----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

කොමඩි චරිත රඟන ශිල්පීන්ට සංයමයක්‌ අවශ්‍යයි

Saturday, June 4, 2011

කොමඩි චරිත රඟන ශිල්පීන්ට සංයමයක්‌ අවශ්‍යයි
'කිං හන්තර්' අධ්‍යක්‍ෂ ඡේ. සිවගුරුනාදන්

කුසුම් වැසි වසී පෙම් රජදහනට සඳපානේ
රජ සැප මදිද එළොවින් මෙළොවට ආවේ
මා පිනවන්නට කෙස්‌වලු පටලන් පැටික්‌කියන් දඟලන වේලේ
අගමෙහෙසියකට සුදුසු කෙනෙක්‌ ඕනෑ වාගේ....



මේ.. මේ දිනවල සාර්ථක ලෙස තිරගත වන 'කිං හන්තර්' චිත්‍රපටයේ ගීයක කොටසකි. "කිං හන්තර්" හාස්‌යෝaත්පාදක චිත්‍රපටයකි.

කැරැල්ලක්‌ අවසානයේ තම රජු නිරුපද්‍රිතව බේරා ගැනීමට අවශ්‍ය නිසා පුරෝහිත විසින් රජුට සමාන රුවක්‌ ඇති පුද්ගලයෙක්‌ මාළිගයේ තබා රජු කාලයාත්‍රා නින්දකට පත්කිරීමට සූදානම් වේ. ඒ කෙදිනක හෝ නින්දෙන් අවදිවන රජු සමස්‌ත ලෝකයේම රජවනු දැකීම අරමුණ කරගෙනය.

රජු කාලයාත්‍රා නින්දට සූදානම්ය. එහෙත් සූක්‍ෂම ලෙස කාලයාත්‍රා නින්දෙන් රජු මිදේ. රජු යෑයි සිතා පුරෝහිත විසින් කාලයාත්‍රා නින්දට ලක්‌කරන්නේ රජුට සමාන රුව ඇති පුද්ගලයාය. ඔහු කිං හන්තර්ය. දිගු නින්දක්‌ අවසන කිං හන්තර් අවදිවේ. ඒ වසර දෙතුන් සියයකට පමණ පසුවය. ඉන්පසු කුමක්‌ සිදුවේද... කිං හන්තර්ට මිනිස්‌ ඇසුර ලබන්නට සිදුවේ. එළොව සිට මෙළොව ආ කිං හන්තර් මෙළොවේ කෙසේ හැසිරේද.

සිවා.....

ඒ නම් අතිශය විනෝදාත්මක හැසිරීමකි. "කිං හන්තර්" දේශපාලනයටද පිවිසේ... රටේ පාලකයා වීමටත් උත්සාහ කරයි... "කිං හන්තර්" ධම්මික සිරිවර්ධනගේ නිෂ්පාදනයකි. අධ්‍යක්‍ෂවරයාගේ පළමු සිනමා නිර්මාණයයි. හේ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ය.

කිං හන්තර් චරිතයත්, රජුගේ චරිතයත්, චරිත ද්වයම රඟන්නේ ජනප්‍රිය ප්‍රවීන නළු විජය නන්දසිරිය. සනත් ගුණතිලක, මහෙන්ද්‍ර පෙරේරා, අනර්කලී ආකර්ෂා, කුමාර තිරමාදුර සහ ගිරිරාඡ් කෞශල්‍යද රඟති.

ජයප්‍රකාශ් සිවගුරුනාදන් කිං හන්තර් අධ්‍යක්‍ෂවරයා කලක්‌ උපාලි පුවත්පත් ආයතනයේ විශේෂාංග ලේඛකයෙක්‌ ලෙස කටයුතු කළේය. ජනප්‍රිය සිනමාකරු ජයන්ත චන්ද්‍රසිරි එදා නවලිය පත්‍රයේ සංස්‌කාරකවරයාය. සිවගුරුනාදන් එහි විශේෂාංග ලේඛකයාය. ඡායාරූප ශිල්පියෙකුගේ භූමිකාවද ඔහු එදා කළේය. එවක ඔහු භාවිත කළ නම වූයේ ජී. සිවගුරුනාදන් යන්නය.

සිවගුරුනාදන් "සිසිල ගිනිගනී" චිත්‍රපටයෙන් කලා ක්‍ෂේත්‍රයට ආවේය. පසුව සිරසට එක්‌විය. නෝනාවරුනි මහත්වරුනි, පාමිණි, කතුර, අහන්න ආසයි ගයන්න, නිදිකුමාරි, එතුමා මෙතුමා, මැති නැති දා, ආතබූත, බිම කරනම්, ෂෝට්‌කම් ආදී නාට්‍යවල අධ්‍යක්‍ෂවරයා ද සිවගුරුනාදන්ය.

රවින්ද්‍ර ගුරුගේ යටතේද සිවගුරුනාදන් ද වීඩියෝ ටීවි (ටී.වී.ටී.) සමග එක්‌ව වෙළෙඳ දැන්වීම් ගණනාවක්‌ නිර්මාණය කළේය. ස්‌වර්ණවාහිනියේ "අළුපාට හීන", ජාතික නාලිකාවේ විකාශනය වන "කප්සුවහස්‌කල්" මෙන්ම ස්‌වර්ණවාහිනියේ "ඇන්ඩ් කොම්පැනි" අධ්‍යක්‍ෂවරයාද සිවගුරුනාදන්ය.

සිවගුරුනාදන්ගේ කුළුඳුල් සිනමාපටය නිපදවන ධම්මික සිරිවර්ධනද මේ වනවිට චිත්‍රපට රැසක නිෂ්පාදකයෙකි. "ආසයි මං පියාඹන්න", "රෝස කැලේ", "පායා එන්න හිරුසේ" නිපදවූ ඔහු "සුවඳ දැණුනා ජීවිතේ" නිපදවමින් අධ්‍යක්‍ෂණයද කළේය.

"කිං හන්තර්" සමග ප්‍රේක්‍ෂකයාට මෙතෙක්‌ නොවිඳි රසයක්‌ ගෙන එන ජයප්‍රකාශ් සිවගුරුනාදන් සිනමා කලා සංග්‍රහය සමග කළ සාකච්ඡාවයි මේ.

"කිං හන්තර්" හාස්‍ය ජනක චිත්‍රපටයක්‌... පළමු අධ්‍යක්‍ෂණය ලෙස මෙවැනි කතාවක්‌ තෝරා ගත්තේ ඇයි?

ධම්මික සිරිවර්ධන මහත්මයා මට ආරාධනා කළා චිත්‍රපටයක්‌ කරන්න. ඔහු මේ ආරාධනාව කළේ මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ කතා සාරාංශයකුත් අරගෙන. ඒ කතාව තමයි මේ... තිරපිටපත ලියද්දී අපි එකඟවුණා මේ චිත්‍රපටය කරන්න.

ඔබ රූපවාහිනියට අධ්‍යක්‍ෂණය කළේත් හාස්‌යෝaත්පාදක ටෙලි නාට්‍ය. කිං හන්තර් ඒ රැල්ලේම චිත්‍රපටයක්‌ ද?

ඔව්... මම සහාය අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස සම්භාව්‍ය චිත්‍රපට කිහිපයකම වැඩ කළා. ඉන්පසුව සිරස නාලිකාව සමග එක්‌ වුණා. සිරසට ආ පසුව නොනාවරුනි මහත්වරුනි, එතුමා, මෙතුමා, කතුර, මැති නැතිදා, ආත බූත ආදී ටෙලි නාට්‍ය කළා... දිගටම මට අවස්‌ථාව ලැබුනේ මෙවැනි නිර්මාණවලටයි. ඒ නිසාම වෙන්නැති "කිං හන්තර්" සඳහා ධම්මික සිරිවර්ධන මහත්තයා මාව තෝරා ගන්න ඇත්තේ.

අපි මෙතෙක්‌ දැකපු "කොමඩි" චිත්‍රපට සමග සසඳද්දී "කිං හන්තර්" වෙනසක්‌ තියෙනවාද?

පළමු වෙනස තමයි අපි "කිං හන්තර්" කළේ පැහැදිළි තිර පිටපතක්‌ සමග වීම. මෙය සංවර්ධිත පිටපතක්‌. අනෙක අපි හිතන දෙයක්‌ තමයි කොමඩි කිව්වාම නළු නිළියෝ හුඟාක්‌ දඟලලා, ඇඟපත හොලවලා රඟපාන්න ඕනෑ කියන එක.. එහෙම නැහැ. හාස්‌යෝaත්පාදක චිත්‍රපටයක රඟපාද්දී නළු නිළියන්ට මනා සංයමයක්‌ තිබිය යුතුයි. නැතිනම් අපි රංගනයකින් දඟලන්න ගියාම විකාරයක්‌. කොමඩි කරද්දී මනා සංයමයක්‌ අවශ්‍යයි. සංයමයකින් යුත් චරිත තිර පිටපත ඔස්‌සේ හැසිරවීමෙන් තමයි කොමඩි මතුවෙන්නේ. "කිං හන්තර්" තුළින් මේ වෙනස දැකබලා ගන්න පුළුවන්.

චිත්‍රපටයක්‌ හදනවට වඩා එය ප්‍රදර්ශනය කිරීම අද අභියෝගයක්‌... මේ අභියෝගය හමුවේ ඔබ මුහුණ දෙන්නේ කෙසේද?

ඇත්ත... මට වඩා නිෂ්පාදක ධම්මික සිරිවර්ධනට මේ අභියෝගයට මුහුණ දෙන්න සිදුවේවි. ඔබේ කතාව සහතික ඇත්ත. චිත්‍රපටයක්‌ හදනවාට වඩා පෙන්වන එක අභියෝගයක්‌. ඒත් මේ අභියෝගය ජය ගැනීම සඳහා තවම පොදු ක්‍රමවේදයක්‌ හැදිලා නැහැ. හැමෝම තනිව කරන සටන "කිං හන්තර්" වෙනුවෙනුත් කරන්න වේවි.

චිත්‍රපටයකින් ප්‍රේක්‍ෂකයාට පණිවිඩයක්‌ ලබාදිය යුතුමද?

මම නම් සාමාන්‍යයෙන් චිත්‍රපට වලින් පණිවිඩ දෙන්නේ නැහැ. යම් සිද්ධියක්‌ විශ්ලේෂණය කිරීමක්‌ පමණයි.මම කරන්නේ... මේ මගේ පුද්ගලික මතය...

"කිං හන්තර්" ගැන ප්‍රේක්‍ෂකයාට යමක්‌ කියන්න තියෙනවද?

ධම්මික සිරිවර්ධන මහත්මයා තමයි පළමු චිත්‍රපටය හදන්න මට ආර්ථික ශක්‌තිය ලබා දෙන්නේ. නළු නිළියන්, කාර්මික ශිල්පීන් හැම කෙනෙක්‌ගේම සාමුහික ප්‍රයත්නයක්‌ තමයි "කිං හන්තර්". මෙය බාල මහලු, වැඩිහිටි භේදයක්‌ නැතිව පවුලේ සැමට රස විඳින්න පුළුවන් චිත්‍රපටයක්‌. ඉතින් හැම කෙනෙකුටම "කිං හන්තර්" නරඹන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

අජිත් අලහකෝන්


Copy Rights - Divayina

0 comments:

Post a Comment