----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පූජා කොහොමද ඉන්දීය නිළියක් වෙන්නේ? මම සිංහල බෞද්ධ කාන්තාවක්

Saturday, June 4, 2011

පූජා කොහොමද ඉන්දීය නිළියක් වෙන්නේ? මම සිංහල බෞද්ධ කාන්තාවක්

පූජාගේ මව කියයි

ප්‍රේක්ෂක ආකර්ෂණය, ආදරය නොඅඩුව දිනාගත් පූජා උමාශංකර් නම් සුරූපී රංගන ශිල්පිනිය පිටුපස සිටින දැවැන්ත සෙවණැල්ල ඇයයි. පූජා සිනමාවෙන් සමුගත්ත ද ඇගේ බලවත් ඉල්ලීම පිට යළිත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘කුස - පබා’ චිත්‍රපටය සඳහා නැවත රංගනයෙන් දායකවීමට සූදානමින් පසුවෙයි.

තම ඉල්ලීම ඉටුකරමින් ‘කුස - පබා’ චිත්‍රපටය ඔස්සේ යළි රංගනයට පිවිස සිනමාවෙන් සමුගැන්මට සූදානම් වන තම දියණිය පිළිබඳව පූජාගේ මව සන්ධ්‍යා උමාශංකර් සමඟ යෙදුණු පිළිසඳරක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.

”කුස - පබා” චිත්‍රපටයට දායක වෙන්න කියලා පූජාට ආරාධනාව ලැබුණේ 2010 වසරෙදියි. ඒ ‘සුවඳ දැනුණා ජීවිතේ’ චිත්‍රපටය රිලීස් කරපු වෙලාවෙදි. ඇත්තටම ඒ වෙලාවෙදි මමවත්, පූජාවත් ඒ තරම් ඒ ගැන හිතුවේ නැහැ. නමුත් මට පසුව ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ගෙන් ආරංචි වුණා ‘කුස පබා’ චිත්‍රපටයේ ‘පබා’ගේ චරිතයට පූජාව ගන්න ඉන්නවා කියන එක. ඒ වගේම අපේ සමීපතම මිතුරෙක් වන ධම්මික සිරිවර්ධනත් මේ චිත්‍රපටය දැවැන්ත චිත්‍රපටයක් බවත් ලැබුණ අවස්ථාව මඟහරින්න එපා කියන දෙය කිව්වා.

ඔහු පූජාට කිව්වේ මේ දැවැන්ත සිනමා නිර්මාණයට දායක වෙලා සිනමාවෙන් සමුගන්න කියලයි. ඊට පසුව දවසක ධම්මික ගේ පුතාගේ මංගල්‍ය උත්සවය වෙලාවේදී අහම්බෙන් වගේ මහාචාර්ය සුනිල් ආරියරත්න, රේණුකා බාලසූරිය අපිට මුණගැසුණා. ඒ අය පූජාට මේ චිත්‍රපටය ගැන කරුණු පැහැදිලි කළාම පූජාට තරමක කැමැත්තක් මේ චිත්‍රපටයට ඇතිවුණා. ඉන්පස්සෙ පූජාගේ තාත්තගෙන් අවසර ගන්න එක තරමක් අසීරු වුණා. ඒ වුණත් මගේත්, ධම්මික සිරිවර්ධනගේත් ඉල්ලීම පිට හුඟක් මහන්සිවෙලා ඒ අවසරය ලබාගත්තා. ඇත්තටම ධම්මික තමයි ඔහුට මේ චිත්‍රපටයේ තිබෙන වටිනාකම ගැන පැහැදිලි කළේ.

මම නම් හිතන්නේ මේ චිත්‍රපටයේ රඟපෑමට ලැබීම පූජා ලැබූ භාග්‍යයක් ලෙසයි ඇත්තටම පූජා උමාශංකර් කිවව්ම අද හුඟ දෙනෙක් පූජාව හදුන්වන්නේ ඉන්දීය නිළියක් විදිහටයි. මම නම් පූජාව ඒ විදිහට හඳුන්වනවාට කොහෙත්ම කැමැති නැහැ. මොකද පූජාව අයිති ලංකාවට. පූජා ඉපදුණේ ලංකාවේ. ජාතික රෝහලේ. මට මතකයි, මම උසස් පෙළ කරලා අවසන් වෙලා ගෙදර ඉන්න කොට පුවත්පතක දැන්වීමක් දාලා තිබුණා යුනිසෙෆ් ආයතනයෙන් ඉන්දියාවේ විශ්වවිද්‍යාල පහකට උසස් අධ්‍යාපනය හදාරන්න යන්න සියදෙනකුට ශිෂ්‍යත්ව ලබා දෙනවා කියලා. ඒ අනුව මමත් එයට ඉදිරිපත් වුණා.

කොහොම හරි අලහාබාද්වල විශ්වවිද්‍යාලයට මට ශිෂ්‍යත්වය ලැබුණා. අවුරුදු 5ක් පමණ මම එහි අධ්‍යාපනය ලැබුවා. අවසන් වසරේදී මට පූජාගේ පියාව හඳුනාගන්න ලැබුණා. ඔහු සරසවියට ඇතුළත් වුණේ ‘ථඵජ’ උපාධිය සඳහා. කොහොම හරි අපේ හඳුනාගැනීම කෙළවර වුණේ විවාහයෙන්. අපේ විවාහය සිදුවුණේ ලංකාවේ දී. ඉන්පසුව නැවත අපි ඉන්දියාවට ගියා. ඒ ගිහින් 1981 දී පමණ නැවත මම ලංකාවට ආවා. ඒ පූජා ලැබෙන්න. මොකද මගේ මව සහ පියා දෙදෙනාටම හිටියේ මම විතරයි. මට සහෝදර සහෝදරියන් කිසිකෙනෙක් නැහැ. මේ නිසා මට ලංකාවෙත් – ඉන්දියාවෙත් ජීවත්වෙන්න සිදුවුණා.

කොහොම හරි පූජා අවුරුදු දෙකක් වෙනකම්ම හැදුණෙ වැඩුණෙ ලංකාවේ. කොහොම හරි පූජාගේ ‘මල්ලී’ මට ලැබුණට පස්සේ පූජාවත්, පූජාගේ මල්ලිවත් අරගෙන මම ඉන්දියාවට ගියා. ඒත් අවුරුද්දකට සැරයක් මම ලංකාවට එනවා. හැම නිවාඩුවකටම ලංකාවට ඇවිත් මව්පියන් බලලා යනවා. පූජාටයි, එයාගෙ මල්ලිටයි ඉගෙන ගන්න ලැබුණේ ඉන්දියාවේ. පූජා’ර්ඕඒ’ දක්වා ඉගෙන ගත් උපාධිධාරිණියක්. ඇත්තටම ඇයට සිනමාවට සම්බන්ධ වෙන්න සිදුවුණේ අහම්බයකින්. පූජා යෙහෙළියන් පිරිසක් එක්ක සාප්පු සවාරි ගිය මොහොතක කොහොම හරි ‘ජීවා’ කියලා දෙමළ සිනමාවේ කැමරාකරුවෙක් සිටියා.

ඔහුට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ඕන වෙලා. එයට නවක නිළියන් පස්දෙනෙක් හොයමින් ඉඳලා තිබෙනවා. පූජාගේ යාළුවෙක් ඉන්නවා ආනන්ද කියලා. ආනන්ද ජීවාගෙත් හොඳ මිතුරෙක්. කොහොම හරි ආනන්ද ජීවාට පොරොන්දු වෙලා තිබෙනවා චරිතයට අවශ්‍ය ගැහැනු ළමයෙක් හොයලා දෙනවා කියලා. මේ අය කොහොම හරි සාප්පු ගිය පූජාව දැකල තියෙනවා. පූජාට එතනදී ඔවුන් චිත්‍රපටයට ආරාධනා කරල තිබෙනවා. නමුත් පූජා ටිකක් අදිමදි කරලා. කොහොම හරි ආනන්දගෙ බලකිරීම මත රඟපාන්න කැමැති වෙලා තියෙනවා. මේ දේවල් කිසිම දෙයක් පූජාගෙ පියා දැනගෙන හිටියේ නැහැ. පූජා රඟපානවා කියල දැනගත්තම එයාට හොඳටම කේන්ති ගියා. ගෙදර ආවාම හමගහනවා කියලයි කේන්ති ගත්තේ. පූජා ඒ හැම විරෝධතාවයක්ම නොසලකා චිත්‍රපටයට දායක වුණා.

නමුත් පූජා ජනප්‍රිය වුණේ ‘ජේ ජේ’ කියන චිත්‍රපටයෙන්. පූජා රඟපානවට අදටත් එයාගෙ පියා කිසිම කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද එයා වතු අධිකාරිවරයෙක්. එයා කියන්නේ මගේ පවුලෙ කිසිම කෙනෙක් සිනමාවට රංගනයට සම්බන්ධ නැහැ. මගේ දුව චිත්‍රපටිවල රඟපානවා කිව්වහම මට මොනතරම් ලැජ්ජාවක් ද කියලා. ඇත්තටම පූජාගේ පියා රඟපෑම කියන දේ දකින්නේ ගැහැනු ළමයකුට අනවශ්‍ය රැකියාවක් විදිහටයි. මෙච්චර උගත් ළමයෙක් රඟපෑමට යොමු වෙයි කියල අපි හිතුවෙ නැහැ. අපේ බලාපොරොත්තුව තිබුණේ පූජා හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් කරල හොඳ විවාහ ජීවිතයක් ගත කරාවි කියන දෙයයි.

පූජා රඟ පෑ ‘නාන් කඩවල්’ චිත්‍රපටයෙන් සම්මාන රැසක්ම පූජාට හිමිවුණා. මේ නිසාම පූජා හැමතිස්සෙම කිව්වේ දැන් මම රඟපෑවා ඇති. මම දැන් සිනමාවෙන් සමුගත යුතුයි කියලයි. ඇත්තටම ඇය නිළි ජීවිතයයි රැකියාවයි, පවුල් ජීවිතයයි පටලවාගන්න සූදානම් නැහැ. කොහොම හරි ආයෙත් රඟපාන්නෙ නැහැ කියල තීරණය කරපු පූජාට මගේ ඉල්ලීමට පිටුපාන්න බැරිවුණා. යම් විදියකින් මට පූජාව ලැබිලා මමත් මගේ මහත්තයත් ඉන්දියාවට නොගියා නම් අදටත් අපි ජීවත්වෙන්නේ ලංකාවේ. එතකොට පූජාගේ වටපිටාව හැඩගැහෙන්නේ සිංහල යුවතියක් ලෙසයි. නමුත් පූජාගේ පියා කැමැති වුණේ ඉන්දියාවේ ජීවත් වෙන්නයි.

පූජා මව පියා සහ සොහොයුරා සමඟ

ඒ කොහොම වුණත් මම නම් හිතන්නේ දරුවන් වඩා අයිති විය යුත්තේ අම්මට කියලයි. මට මතකයි පූජා ලංකාවට ආපු කාලේ ඇයව ඉන්දීය නිළියක් විදිහට සලකලා කතා කළා. පිටරට නිළියො චිත්‍රපටවලට ගන්නවා නම් චිත්‍රපට සංස්ථාවට ලක්ෂ දෙකහමාරක් ගෙවන්න ඕන වගේ නොයෙක් කතා ඇතිවුණා. ඇත්තටම සිංහල චිත්‍රපටවල පූජා රඟපාන්න ගියේ ඒ වගේ ලොකු ප්‍රශ්නවලට මැදිවෙලා.

ඇත්තටම තවමත් සමහරු දන්නේ නැහැ පූජාගේ අම්මා (මම) සිංහල බෞද්ධ කාන්තාවක් කියලා. සමහරු මගෙන් අහනවා දෙමළ ද කියලා. ඇත්තටම මමවත් පූජාගේ පියාවත් දෙමළ නෙමෙයි. අපේ පවුල්වලට දෙමළ ගෑවිලාවත් නැහැ. පූජාගේ පියා කණ්ණඩ. එයා කර්ණාටක භාෂාව කතාකරන්නේ. ඇත්තටම අපි දෙමළ කියලා හිතනවා නම් එය වැරදි අවබෝධයක් ලෙසයි මම දකින්නේ.

දකුණු ඉන්දියානු කියපු ගමන් ලංකාවේ මිනිස්සු හිතන්නේ දෙමළ කියලා. දකුණු ඉන්දියාවේ ජාතීන් කීයක් නම් ජීවත් වෙනවද? ඇත්තටම පූජාගේ විවාහය ලංකාවේ හෝ ඉන්දියාවේ හෝ කෙනෙක් සමඟ සිදුවෙනවා නම් මම කැමැතියි. ඒත් වඩාත්ම හොඳ ඉන්දියාවේ සිදුවෙනවා නම් කියන තැනයි මම ඉන්නේ. මොකද අපේ ඉඩකඩම් හැමදේම ඉන්දියාවේ තියෙන නිසා. අනෙක මම කැමැති නැහැ මට වුණු දේ පූජාට වෙනවාට. මොකද අද මට ලංකාවෙයි ඉන්දියාවෙයි දෙතැනක ජීවත්වෙන්න වෙලා. අම්මල මෙහෙ. ඔවුන්ව රැකබලා ගනිමින් අද මම මෙහෙ ඉන්නවා.

ඉන්දියාවෙන් එනකොට මෙච්චර කාලයක් ඉන්න වෙයි කියලා හිතුවෙ නැහැ. නමුත් දැන් අවුරුදු 7ක් වෙනවා මම ලංකාවට ඇවිත්. මම මගේ මව්පියන් ළඟ ඔවුන්ව රැකබලාගන්නවා. ඒ හින්දා පූජා ඉන්දියාවෙම කෙනෙක් විවාහ කරගන්නවා නම් මම කැමැතියි. පූජාට විදේශ රටවලින් කොච්චර නම් මංගල යෝජනා ආවත් පූජා කවදාවත් කැමැති නැහැ විදේශ රටක ජීවත්වෙන්න. පූජා කැමැති ලංකාවට හෝ ඉන්දියාවට පමණයි. පූජාගේ කේන්දරේ හැටියට නම් ඇයට විවාහයට හොඳ ලබන වසරයි. ලබන වසරේදී පූජාගේ විවාහය වේවිද කියලා අපිත් බලාගෙන ඉන්නවා.

මේ දවස්වල පූජා ඉන්දියාවේ එයාගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ වැඩකටයුතු වෙනුවෙන් වෙහෙසෙනවා. ඒ වගේම කුස පබා රූගත කිරීම් සඳහා ජූලි අග ලංකාවට එන්නට බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ‘කුස- පබා’ ඔස්සේ පූජා සාර්ථක රංගනයක් ඉදිරිපත් කරමින්ම සිනමාවෙන් සමුගනීවි කියලා.

0 comments:

Post a Comment