----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මාලී රුවන්මාලි.... මගේ ජීවිතය වෙනසකට ලක්‌කළා

Friday, June 10, 2011

මාලී රුවන්මාලි.... මගේ ජීවිතය වෙනසකට ලක්‌කළා
- ක්‍රිස්‌ටීන් ගුණවර්ධන

ක්‍රිස්‌ටීන් - එදා සුමනා අමරසිංහ සහ නීටා ප්‍රනාන්දු සමඟ විමලදාස පෙරේරාගේ "සමනළ කුමරියෝ" චිත්‍රපටයේ රඟපෑ අවස්‌ථාවකි.

ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ ක්‍රිස්‌ටීන් ගුණවර්ධන ගැයූ ජනප්‍රිය ගීත සමුච්චයක්‌ රැගත් "ආරාධනා 2" සංයුක්‌ත තැටිය ඉකුත්දා එළිදැක්‌විණි. "ආරාධනා, මා ඉපදුන රට, මාලි, නෑ වාසනා, පෙම් රජදහනේ මගේ ශ්‍රී ලංකා, ලස්‌සන දවසක්‌, පොල්කිචි කිරිල්ලියේ, ඡේසු බිළිඳා ඔබයි, මංගල මහ තරු වේ, නත්තල් ජයශ්‍රී ආදී ගී එහි ඇතුළත්ය. මේ ක්‍රිස්‌ටින් සමග කළ පිළිසඳරකි.

කණ්‌ඩායම් සංගීතය අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රයට අලුත් අත්දැකීමක්‌ එක්‌ කළේය. ඒ මීට දශක තුනහතරකට පමණ පෙරය. එදා වෙනස්‌ ආකාරයේ අත්දැකීමක්‌ වුවත් කල්ගත වෙද්දී කණ්‌ඩායම් සංගීතය අප හදවත්වල ප්‍රබෝධයක්‌ ඇති කරවන්නට සමත් ගීත ශෛලියක්‌ විය. අද ද එය ඒ තරමටම ජනප්‍රියය.

ඉඳුනිල් මිණි කැට පරදවන
ඇගෙ නෙත් යුවළින් කැළුම් විහිදුන
සිහිනිඟ සුඟ ගත හැකි මිටින
ඒ තොල් නාදළු පරදවන
මාලී..... රුවන් මාලි...... මාලී රුවන් මාලී....

මේ කණ්‌ඩායම් සංගීතය නිසා මීට දශක හතරකට පමණ පෙර අපට දායාද වූ ගීයකි. පරම්පරා ගණනාවක්‌ ඉතා කැමැත්තෙන් මිමිණු ගීයකි. මෙතරම් ජනප්‍රිය වූ මේ ගීය ගයන්නේ ක්‍රිස්‌ටීන් ගුණවර්ධනය. ඕ මාධ්‍ය ඔස්‌සේ වැඩිපුර කතාබහට ලක්‌ නොවූ චරිතයකි. එය ඇගේ වරදක්‌ද මාධ්‍යයේ වරදක්‌ද යන්න සොයා බැලීම පසෙකලා අපි ඇය හමුවූයේ ඒ ගීයට හා ගී හඬට ආදරය කරන රසික සමූහයා වෙනුවෙනි. සැබවින්ම ඕ ප්‍රචාරය ඉල්ලා මාධ්‍ය පසුපස හඹා යන්නියක්‌ නොවූවාය.

මගේ පියා ක්‍රිස්‌ටෝපර් ප්‍රනාන්දු. හොඳ වයලීන වාදකයෙක්‌. අපේ ගෙදර නිතරම සංගීත නාදයෙන් පිරිලා. මට පුංචි කාලෙ ඉඳලාම සංගීතය හුරු වුණා. තාත්තා සමහර අවස්‌ථාවල විවිධ සංගීත ප්‍රසංග බලන්න මාවත් කැඳවාගෙන ගියා. මගේ දස්‌කම් පෙන්වීම ආරම්භ කළේ පාසලේදී. මෝදර ශාන්ත අන්තෝනි කන්‍යාරාමයේ කන්‍යා සොයුරියන් හැම ගායනා තරගයකටම මාව යොමු කළා. ඒ තරගවලින් ජය ගත්තා.

ක්‍රිස්‌ටීන්ගේ ගම මෝදරය. ප්‍රවීණ නළු ටෝනි රණසිංහ, ග්‍රැන්විල් රුද්‍රිගු, හයසින්ත් විජේරත්න, වොලී බැස්‌ටියන් ආදී ශිල්පීන් ගණනාවක්‌ම මෝදර ග්‍රාමයෙන් කලා ලොවට දායාද කළ අයය.

මාලී ගීය මුල්වරට මම ගැයුවේ පාසල් යද්දී. මම ප්‍රසංගවලට ගී ගයද්දී ලා සිලනියස්‌ සංගීත කණ්‌ඩායම මාලී ගීය ගයන්න ගායිකාවක්‌ සොයමින් සිටියා. ඒ වෙද්දී මම ලාබම්බාස්‌ කණ්‌ඩායමටත් ගී ගයමින් සිටියා. පසුව එය තැටිගත කළා. මම මේ ගීතය ගයද්දී මිල්ටන් මල්ලවාරච්චි ප්‍රසිද්ධියට පත්වෙලා නැහැ. "මාලි රුවන් මාලී" කියන කෝරස්‌ එකට මිල්ටනුත් සම්බන්ධ වුණා. ගුවන් විදුලියට මම පළමුවරට තැටිගත කළේත් මේ ගීය. "ලාබම්බාස්‌" සමගත් මම ගීත හතරක්‌ තැටිගත කළා.

ක්‍රිස්‌ටීන් චිත්‍රපට රංගනයට ද සම්බන්ධ වූවාය. හැත්තෑව දශකය අපේ ගීතයේත්, සිනමාවේත් ස්‌වර්ණමය යුගයයි. එවන් යුගයක සිනමාවට ආ ඕ.... ඒ ගැනද ඉතා අභිමානයෙන් යුක්‌තව සිහිපත් කළාය.

මම ලස්‌සන මුහුණු තරගයට සහභාගි වුණා. ඒ තරගයෙන් ජයග්‍රහණය කරන තුන්දෙනකුට විමලදාස පෙරේරාගේ "සමනල කුමරියෝ. චිත්‍රපටයේ රඟපාන්න අවස්‌ථාවක්‌ ලබා දුන්නා. මේ තරගයෙන් මමත්, සුමනා අමරසිංහත් නීටා ප්‍රනාන්දුත් තේරුණා. අපි තුන්දෙනාම සමනල කුමරියෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. ඉන් පස්‌සේ ධර්ම ශ්‍රී කල්දේරාගේ, මී මැස්‌සෝ චිත්‍රපටයට මාව තෝරා ගත්තා. සෝනියා දිසානායක සහ ගාමිණී ෙµdන්සේකා සමග මම ඒ චිත්‍රපටයේ රඟපෑවා.

ඒත් මම වඩාත් කැමති වුණේ ගීත ගයන්න..... රුක්‌මණී දේවියගේ ගීත තමයි මම වැඩිපුරම ගායනා කළේ. එඩී ජයමාන්න මහතා මගේ අම්මාගේ පැත්තෙන් නෑයෙක්‌ වෙනවා. සඳක්‌ නැගී, මල්බර හිමිදිරියේ වැනි ගීත මම ගායනා කළා. ඒත් විවාහවීමත් සමග මට වැඩිපුර ගත කරන්න වුණේ විදේශවල. ඒ නිසා කලා ක්‍ෂේත්‍රයෙන් ඈත් වෙන්න සිදු වුණා.

ක්‍රිස්‌ටීන් පවුලේ තොරතුරු අප හමුවේ හෙළිකළා. ඒ මේ ආකාරයටයි.

මගේ මහත්තයා ඇනස්‌ලි ගුණවර්ධන රබර් කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරිකයෙක්‌. මාලී ගීය ලස්‌සන දියණියක ගැන කියෑවෙන ගීයක්‌. ඒ නිසාම මම අපේ දුවටත් මාලි කියන නම තැබුවා.

මගේ පුතා මාලන් ගුණවර්ධන. මට වගේම ඒ තුන්දෙනාටත් ගීත ගයන්න පුලුවන්. පුතා නම් ලස්‌සනට ගී ගයනවා. මා සමග රූපවාහිනි වැඩසටහන්වලත් පුතා ගීත ගැයුවා. මාලන් එංගලන්තයේත්, ඕස්‌ටේ්‍රලියාවේත් ඉංජිනේරු තාක්‌ෂණය පිළිබඳ විශේෂ උපාධියක්‌ ලබාගත් කෙනෙක්‌. ඒත් පුතා නියෑලී ඉන්නේ සංගීත ක්‍ෂේත්‍රයේ. පුතා දක්‍ෂ ගීත ගයන අය සහ සංගීත කණ්‌ඩායම් තෝරාගෙන ගීත නිර්මාණය කරදී ඔවුන් ජාත්‍යන්තර තලයට ගෙන යැමේ කටයුත්තක නියෑලී ඉන්නවා. පුතාටම අයත් ලේබලයක්‌ තියෙනවා. මාලින් රෙකෝඩින් කියලා. පුතා මේ වන විටත් නිව්යෝර්ක්‌, එංගලන්තය සහ ඕස්‌ටේ්‍රලියාවේ ප්‍රසිද්ධ නමක්‌ දිනාගෙන ඉන්නවා. ඕස්‌ටේ්‍රලියාවේදී පුතාගේ නිර්මාණයකට සම්මානයක්‌ ලැබුණා. ඒ අවස්‌ථාවේ ඒ රටේ ටී. වී. එකේ පෙන්වද්දී ගුණවර්ධන කියන නම නිසා එරට පදිංචි ශ්‍රී ලාංකිකයන් මේ ලංකාවේ කෙනෙක්‌ කියලා දැනගෙන සුබ පතන්න පටන් ගත්තා. එය මට අමතක නොවන සිද්ධියක්‌. මා ජීවත්ව සිටියදීම මගේ පුතාට මෙවැනි ප්‍රසාදයක්‌ ලැබීම මගේ රටටත් ගෞරවයක්‌.

මාලී...... ගීය ක්‍රිස්‌ටීන් වඩාත් ආදරය කරන ගීයක්‌. ඒ බව අපට දැනුණේ ඇය කතා කළ සෑම අවස්‌ථාවකදීම මාලී ගීය ගැනද සඳහන් කිරීම නිසාය. මම මාලි ගීතය නිසා වඩාත් ජනප්‍රිය වුණේ රූපවාහිනි වැඩසටහන්වලට. ඒ ගීය ගැයීම නිසා ප්‍රේක්‍ෂකයන් මාව හඳුනා ගත්තා. හැත්තෑව දශකයේ පටන් අද දක්‌වාම වාදක කණ්‌ඩායම් වැඩිම වාර ගණනාවක්‌ ගායනා කළ ගීය "මාලී" වෙන්න ඇති. මගේ මේ ගීතය තවත් අය ගායනා කිරිම ඇත්තෙන්ම මට පුදුමාකාර සතුටක්‌. එහෙම ගයද්දී මුල් ගායකයා හෝ ගායිකාව ගැනත් සඳහනක්‌ කරනවා නම් ...... හොඳ දෙයක්‌.

ඕනෑම සාදයකදී මගේ ගීයක්‌ තව කෙනෙක්‌ ගයනවාට මම විරුද්ධ නැහැ. ඒත් කෙනෙක්‌ට අයිති ගීයක්‌ තවත් කෙනකු විසින් තැටිගත කරනවාට මම විරුද්ධයි. සුපිරි තරු තෝරන ගායනා තරගවලදී මගේ ගීත තරුණ ළමයින් ගයනවා. ඒ අවස්‌ථාවලදී මට ඒ විනිශ්චය මණ්‌ඩලවලත් ඉන්න ලැබිලා තියෙනවා. ඉතින් මා ඉදිරියේ මගේ ගීයක්‌ තරුණ දරුවෙක්‌ ගායනා කරද්දී දැනෙන හැඟීම හරිම හැඟුම්බරයි. මේ තරුණ අය හරිම දක්‍ෂයි. මා ජීවත්ව සිටියදීම මේ දක්‍ෂ ළමයින් මගේ ගීතයක්‌ ගැයීම.... කියන්න බැහැ ඒ සතුට......

ක්‍රිස්‌ටීන්......නිහතමානී ගති ගුණ ඇති නව පරපුර පිළිබඳ ද්වේෂයක්‌ හෝ ඊර්ෂ්‍යාවක්‌ නොමැත්තියක බව ඈ හා කතා බහ කරද්දී වැටහේ.

මට ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. මේ ප්‍රසංගවලට මගේ සහෝදර ශිල්පීන් සමග සහභාගිවෙද්දී හරිම සුන්දර අත්දැකීම් ලබනවා. මා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පැවැති හා බුත්තල පැවැති දැයට කිරුළ ප්‍රසංගවල දහස්‌ ගණනක්‌ ඉදිරියේ ගීත ගැයුවා. දහස්‌ ගණනකගේ අත්පොළසන් නාදයෙන් මට ප්‍රතිචාර එද්දී ඇතිවුණ හැඟීම වචනයෙන් විස්‌තර කරන්න බැහැ.

ක්‍රිස්‌ටීන් පසුගියදා ආරාධනා නමින් තැටියක්‌ වෙළෙඳපොළට නිකුත් කළාය. ඒ තැටියේ ගීත කිහිපයකම පදමාලා සහ තනු නිර්මාණ ක්‍රිස්‌ටීන්ගේය.

සංගීත ක්‍ෂේත්‍රයේ ඉන්න දක්‍ෂතම වාදක ශිල්පීන් යොදාගෙනයි මම මේ තැටිය කළේ. මට ඕනෑ වුණේ හොඳ දෙයක්‌ කරන්න. ටොරානා සහ කීල්ස්‌ වෙළෙඳ සල්වලින් මේ තැටිය ලබා ගන්න පුලුවන්.

ව්‍යාජ තැටිවලට රැවටෙන්න එපා කියලා මම මගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ තැටිය නිෂ්පාදනය කළේ මගේම ශබ්දාගාරයේ. මගේ සැමියා මට ලෝකයේ විශිෂ්ටතම ශබ්දාගාරයක්‌ තෑගි කළා. මේ ශබ්දාගාරයේ උපකරණ ශ්‍රී ලංකාවේ කිසිම තැනක නැති බව මම වගකීමෙන් කියනවා. මම කැමතියි හොඳ නිර්මාණ කරන්න කැමැති අපේ සහෝදර ශිල්පීන්ගේත්, නව පරපුරේත් ගීත නිෂ්පාදනය කිරීමට මගේ මේ ශබ්දාගාරයට එන්න කියා ආරාධනා කරන්න. අපි අපේ නිර්මාණ කළ යුත්තේ ජාත්‍යන්තරයට ගැළපෙන ලෙසයි. මම ඒ සඳහා සූදානම්.

ක්‍රිස්‌ටීන් දශක පහකට ආසන්න කාලයක පටන් තමන් සමග සිටින රසික රසිකාවියන්ටද ස්‌තූතිය පුද කළාය..... ඇගේ ගීත රස විඳ ඒ පිළිබඳ ගුණදොස්‌ බලාපොරොත්තුවෙන් ක්‍රිස්‌ටීන් පසුවන්නීය. මගේ දුරකථන අංකය 0773744998 ඕනෑම වෙලාවක කතා කරන්න නැත්නම් 110/17, ලේක්‌ ඩ්‍රයිව් කොළඹ 08 ලිපිනයට ලියන්න. මම සෑම විටකම මගේ රසිකයන්ගේ අදහස්‌ උදහස්‌ වලට කරුණාවෙන් යුතුව ඇහුම්කන් දෙනවා.

අජිත් අලහකෝන්


Copy Rights - Divayina

0 comments:

Post a Comment