----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ආපුවම ගාණ කඩා ගන්නවා

Thursday, November 1, 2012


චිත්‍රපට බෙදා හැරීම යළිත් රජයට ගත යුතුයි

අර්ජුන් කමලනාත්
අර්ජුන් කමලනාත් ජනපි‍්‍රය නළුවෙක් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් හා නිෂ්පාදකවරයෙක් ද වෙයි. ඔහුගේ කුලුඳුල් චිත්‍රපට නිර්මාණය ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ ළඟදීම තිරගත වීමට නියමිතය. මේ, සමකාලීන සිනමා කර්මාන්තය අළලා අර්ජුන් සමඟ කරන්ට යෙදුණු කතාබහකි.
සනත් ගුණතිලක හා රවින්ද්‍ර රන්දෙනිය හැරුණුකොට අපේ සිනමා කර්මාන්තයේ ප්‍රශ්න ගැන කතා කරන එකම චිත්‍රපට නළුවා බවට අද පත්වෙලා ඉන්නෙ ඔබ.
ඒක එහෙම යැයි මමත් හිතනවා. ඊට හේතුව මම සිංහල සිනමාවට ඕනැවට වඩා ආදරය කිරීම. හුඟක් නළු නිළියන්ට මේ ක්ෂේත්‍රය ගැන පොදු හැඟීමක්, ආදරයක්, භක්තියක් නැහැ. ඔවුන් රඟපෑවා; ගෙදර ගියා. එච්චරයි. රඟපාන්න චිත්‍රපට නැත්නම් මෙගා ටෙලි නාට්‍යයක හරි රඟපානවා. එහෙම සිස්ටම් එකක් අද තියෙන්නෙ. සිංහල සිනමාව ගැන මට තියෙන්නේ ඇම්මක්. ඒ ඇම්ම දැන් මටම කරුමයක් වෙලා.
ඉස්සර නම් නළු නිළි හවුල් තිබුණා; චිත්‍රපට නිෂ්පාදක බලමුළු තිබුණා?
තමන්ගේ චිත්‍රපටයක ප්‍රදර්ශනය ළංවෙනකොට කවුරුත් සංගම්, බලමුළු දාගෙන කෑගහනවා. චිත්‍රපටය ආපුවම ගාණ කඩා ගන්නවා. ඊට පස්සේ ඔය මොන පොදු හවුලක්වත් නැහැ.
අද චිත්‍රපට කර්මාන්තයේ යථාර්ථය මොකද්ද?
අද චිත්‍රපට 50 ක 60 ක පෝලිමක් දක්නට ලැබෙනවා. අද හදන චිත්‍රපටයක් තිරගත කරන්න වෙන්නෙ 2016 දී. ඉතිං ආයෝජකයන් චිත්‍රපට නිෂ්පාදනයට එක්වන්නේ නැහැ. මොකද; ඔවුන්ට ඕනැතරම් වෙනත් ආයෝජන අවස්ථා තියෙනවා. මට නම් පේන විදියට මෙහෙම ගියොත් තව අවුරුදු 10 ක් යනකොට සිංහල සිනමාව කියා දෙයක් නැත්තටම නැතුව යාවි.
මොකද්ද මේ පෝලිමට බලපාලා තියෙන්නේ?
චිත්‍රපටයක පිටපත් 50 ක් මුද්‍රණය කරලා දවස් 100 ක් දුවාගන්න කොට අනිත් චිත්‍රපට පෙන්වන්නේ කොහෙද? ඒකයි මේ ප්‍රශ්නයට හේතුව. මෙතැන තියෙන්නේ තනිකරම ආත්මාර්ථය. අද වෙනකොට අපේ සිනමාව තියෙන්නේ ප්‍රපාතයක ගැට්ටේ. අපේ සිනමාව වළ පල්ලට දාලා ‘ආසියාවේ ආශ්චර්ය’ ගොඩනඟන්න බැහැ.
සිනමා කර්මාන්තය ගැන ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයක් තියෙනවනේ?
අපේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ඉන්න එකම උත්තමයා එතුමා විතරයි. ඒත් එතුමා වටේ හැමදාම ඉන්න ‘සෙට්’ එකත් එක්ක මේ ප්‍රශ්න ගැන කතා කරලා තවදුරටත් වැඩක් නැහැ. ඒ අය පැටිස් කනවා; තේ බොනවා, ගෙදර යනවා. බලනකොට වෙච්ච දෙයක් නැහැ. අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා හිටිනවා ඔය සෙට් එකත් එක්ක කතා කළා දැන් ඇති, කරුණාකරලා දෙවැනි පෙළත් එක්ක කතා කරන්න කියලා.
ඇයි පාර්ලිමේන්තුවෙත් ඉන්නවනේ, සිනමා කර්මාන්තයට සම්බන්ධ අය?
ඒ අය මොනවද සිනමාවේ ප්‍රශ්න ගැන කතා කරලා තියෙන්නෙ කියලා මට කියන්න.
චිත්‍රපට සංස්ථාවෙන් දැන් මොනව ද වෙන්නෙ?
කොහොමද සභාපතිවරයෙක් ඉන්නෙ? එයා අද ඉන්නවා; හෙට නැහැ. ඕවා දේශපාලන පත්වීම්නේ. අඩුම ගාණේ සභාපතිවරයෙක් අවුරුදු තුනක්වත් එක දිගට ඉන්න එපායැ. ඊත් වඩා හොඳ දේ තමයි චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම. එතකොට කවුරු ආවත්, කොච්චර කාලෙකට ආවත් කාටත් ඒ ප්‍රතිපත්තිය මත පිහිටලයි වැඩ කරන්න වෙන්නේ.
චිත්‍රපට බෙදා හැරීම දැන් තියෙන්නේ පෞද්ගලික අංශයේනේ. ඔබ හිතනව ද පෞද්ගලික අංශයෙන් සිංහල සිනමාවට යහපතක් වෙනවා කියලා.
යහපතක් වෙලා තියෙන්නේ සිනමාවට නෙමෙයි. ඔය කියන පෞද්ගලික අංශයේ බෙදාහරින සමාගම්වලටයි. ඒ අය තමයි ගොඩ ගිහින් තියෙන්නේ. සමහර සමාගම් චිත්‍රපට ප්‍රදර්ශනයෙන් 55% ක් ගන්නවා. ඉතිං නිෂ්පාදකවරයාට ඉතිරි වෙන්නේ කීය ද? චිත්‍රපට සංස්ථාව යටතේ බෙදාහැරීම තිබ්බ යුගයේ මේ වගේ දේවල් වුණේ නැහැ. එතැන ක්‍රමවේදයක් තිබුණා. නිෂ්පාදකවරු තව තව චිත්‍රපට හැදුවා.
ඇයි චිත්‍රපට සංස්ථාවටත් ප්‍රදර්ශන මණ්ඩලයක් (රිද්මා) තියෙනවා නේද?
තියෙනවා. ඒත් ඔබ දන්නව ද ඔවුන්ට කොළඹ නගරයේ එක සිනමාහලක්වත් නැහැ.
එතකොට ඔබ හිතන්නේ චිත්‍රපට බෙදාහැරීම නැවතත් රජයට ගත යුතුයි කියල ද?
අනිවාර්යයෙන්ම. හැබැයි හරි නීති රාමුවක් යටතේ, අදට ගැළපෙන ක්‍රමවේදයකට අනුව එය පවත්වගෙන යා යුතුයි කියන මතයේයි මම ඉන්නේ.
සාමාන්‍යයෙන් රාජ්‍ය අංශයේ තියෙන්නේ නාස්තිය, දූෂණය, අකාර්යක්ෂමතාව, නිලධාරීවාදය නේද?
ඔව් නිලධාරීවාදය තදින්ම තියෙනවා. සමහර චිත්‍රපටවල ඩබිං කරන කොටම රිලීස් ලෝන් එක දීලා ඉවරයි. එවැනි අක්‍රමිකතා සිද්ධ වෙනවා. ඒත් සාපේක්ෂව ගත්තම තවමත් රාජ්‍ය අංශය හොඳයි. රාජ්‍ය බැංකු, රාජ්‍ය රක්ෂණ, රජයේ රෝහල්, ආණ්ඩුවේ ගමනාගමන සේවා ගැන ජනතාව අතර තවමත් කිසියම් විශ්වාසයක් තියෙනවා.
අද සිනමාහල්වලට ගොස් චිත්‍රපට නරඹන පේ‍්‍රක්ෂක පිරිස අඩු වෙලා ද? එහෙමත් නැත්නම් වැඩි වෙලා ද? මොකද්ද ඒ සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම්?
චිත්‍රපට බලන්න පේ‍්‍රක්ෂකයෝ ඉන්නවා. ඒත් තියෙන සිනමාහල් සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ. දැනට තියෙන්නේ සිනමාහල් 125 ක් පමණ ප්‍රමාණයක්. එයිනුත් සිනමාහල් 100 ක් විතරයි සාර්ථකව පවත්වගෙන යන්නේ. දැන් බලන්න බිබිලේ කියන්නේ වැඩිම සිංහල ජනගහනයක් ඉන්න ප්‍රදේශයක්. ඒත් ඒ ගමට සිනමාහලක් නැහැ.
පස්සර දී මට ළමයි 300 ක් එක්ක කතා කරන්න ලැබුණා. ඔවුන්ගෙන් සිනමාහලකට ගිහින් චිත්‍රපටයක් බලපු ළමයි අත උස්සන්න කියලා කිව්වම දෙන්නයි අත ඉස්සුවේ. අද හුඟ දෙනෙක් සිංහල චිත්‍රපට බලන්නේ ඩී වී ඩී වලින්.
ඔබ දන්නවද ‘සුදු හංසි’ චිත්‍රපටයේ ඩී වී ඩී 20දාහකට වඩා ප්‍රමාණයක් විකිණිලා තියෙනවා. ‘කිව්ව ද නහී නොකිව්ව ද නහී’ චිත්‍රපටයත් එහෙමයි.
ඇයි ළඟදි සිනමාහල් 200 ක් හදන්න ඉන්දියාවෙන්ඕර්‍ණධ් ව්‍යාපෘතියක් ආවේ. ඒකට මොකද වුණේ?
සිනමා කර්මාන්තයේ ඉන්න සමහර ලොක්කෝ ජරාව ඉල්ලපු නිසා ඒ ව්‍යාපෘතිය ඇණහිටියා. ඒ ලොක්කන්ට ඕනැ සිනමාව දියුණු කරන්න නෙමෙයි. මොකකින් හරි ගාණ කපා ගන්න.
සමහර සිංහල චිත්‍රපටවලට තිබෙන නිර්මාණාත්මක දුර්වලකමුත් මේ සිනමා අර්බුදයට හේතු වෙලා තියෙනවා.
ලංකාවේ වැඩිම වියදමක් දරලා හැදුවයි කියන චිත්‍රපටය මං බැලුවා. ඒක බල්ලෙකුට බලන් ඉන්න බැහැ. ඒ තරමටම ලැජ්ජයි. වියදම් කරපු මුදල ඒ චිත්‍රපටයෙන් පේන්නේ නැත්නම් චිත්‍රපටයෙන් වැඩක් නැහැ.
මට හිතෙන විදියට ඒ ගොල්ලෝ වියදම් කරලා තියෙන්නේ වෙන වෙන ‘ආතල්’ ගන්න වෙන්න ඕනැ. ඒකත් බජට් එකට දාලා වෙන්නැති.
කොහොම හරි දැන් අපේ කතාවෙන් පැන නඟින අවසාන විසඳුම චිත්‍රපට බෙදාහැරීම ආයෙත් චිත්‍රපට සංස්ථාවට ගන්න ඕනැ කියන එකයි?
ඔව්. ඒක තමයි දැනට පේන විසඳුම. පෞද්ගලික අංශය අසාර්ථකයි කියන එක (සිංහල සිනමාවට සැලසෙන යහපත සම්බන්ධයෙන්) දැනටමත් ඔප්පු වෙලා ඉවරයි.

0 comments:

Post a Comment